"සමරිසිබව සාපරාධි ක්‍රියාවක් නොවේ . එම නීති සහ ඔවුන් වෙනස් කොට සැලකීමේ සහ කොන් කිරීමේ නීති ඉවත් කෙරෙන ප්‍රයත්න වලට රදගුරු හිමිවරුන් සහය දිය යුතුයි" - ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කළ ප්‍රකාශය සභා ඉගැන්වීම් වලට පටහැනියි ?

Holy Father's statement "homosexuality is not a crime" - Is that against Catholic teaching?


(2023 පෙබරවාරි 5)

"සමරිසි පුද්ගලයකු වීම සාපරාධී ක්‍රියාවක් නොවේ," යි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඉකුත් ජනවාරි මාසයේ  පැවැති සම්මුඛ සාකච්චාවක දී කියා සිටියේ ය.  ඇතැම් රටවල් සමරිසි හෙවත් LGBTQ+  පුද්ගලයකු වීම "සාපරාධී" ක්‍රියාවක් ලෙස නීති ගත කර තිබීම "අයුක්තිසහගත" බව එතුමා පෙන්වා දුන්නේ ය. සමරිසි ජනතාව සභාවට සහ දෙව්මැදුරු වලට පිළිගන්නා නීති සම්පාදනය කිරීමේ ප්‍රයත්න වලට  කතෝලික රදගුරු හිමිවරුන් සහය දැක්විය යුතු බව ද එතුමා කියා සිටියේ ය.

 එතුමා මේ අදහස් පළ කළේ ලොව කීර්තිමත් ප්‍රවෘත්ති සේවාවක් වන එක්සත් ප්‍රවෘත්ති සේවාවේ  (Associated Press) ප්‍රවෘත්ති කලාවේදියකු සුදොතුම් පියතුමන් ගේ නිවසේ දී එතුමන් සමග කල සම්මුඛ සාකච්ඡාවක දී ය. එය ජනවාරි 25 දින පළ කරන ලද අතර ඒ අවට දිනවල ලොව පුරා ජනමාධ්‍ය වල ප්‍රචාරය විය. 

ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ ගේ මේ ප්‍රකාශය ශ්‍රී ලංකාවේ ඇතැම් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් "ආන්දෝලනාත්මක" නොහොත් "මතභේදාත්මක " ප්‍රකාශයක් ලෙස හුවා දක්වා තිබිණි. විශේෂයෙන් ම මිථ්‍යාවේ, අසත්‍යයේ, මෝහයේ, බල තන්හාවේ අන්ධකාරය දුරලා සත්‍යයේ සහ මානව දයාවේ ආලෝකය පතුරවන සුන්දර 'හිරු මඬලක්' වනු වෙනුවට එම අන්ධකාරයත් භේදයේ ගින්නත් පතුරවන 'චණ්ඩ සූර්යයන්' වැනි මාධ්‍ය විසින් මේ ගැන  මිථ්‍යාව සහ අසත්‍යය බෙදා දෙන  බව පෙනේ. සුදොතුම් පියතුමා ගේ මේ  ප්‍රකාශය  ගැන සේ ම  ඒ ගැන පළවන මාධ්‍ය වාර්තා ගැන ද කතෝලික ජනතාව ව්‍යාකුලවී සිටින බව "වතිකාන සුලඟ" ඇමතූ පාඨක සහ හිත මිත්‍ර පිරිස් කියා සිටියහ. මේ නිසා සුදොතුම් පියතුමා ගේ මේ ප්‍රකාශයේ අග මුල, එතුමන් ගේ අදහස විස්තර කරණ ලෙස ඔව්හු ඉල්ලා සිටියහ.


  

පසුබිම 

විෂයයන් රැසක් සම්බන්ධයෙන් AP ප්‍රවෘත්ති සේවාව සුදොතුම් පියතුමා සමග කල මේ  සම්මුඛ සාකච්ඡාවට ලොව පුරා විශාල ප්‍රචාරයක් ලැබිණි. ඒ අතරින් වඩාත් ප්‍රසිද්ධියක් ලැබුණේ සමරිසි ජනතාව සම්බන්ධයෙන් ඇසූ ප්‍රශ්නයට එතුමා දුන් පිළිතුරටයි. 

"සමරිසි තැනැත්තකු වීම යනු සාපරාධි ක්‍රියාවක් නොවේ" යි එම ප්‍රශ්නයට  පිළිතුරු දුන් සුදොතුම් පියතුමා කීවේ ය. තවමත් ලොව පුරා  රටවල් රැසක නීත්‍යනුකුලව  සමරිසි භාවය සාපරාධී දෙයක් බව පිළිගනියි. එම රටවල රදගුරු හිමිවරුන් ද එම නීති වලට සහය දෙන අතර ඊට අමතරව  සමරිසි ප්‍රජාව වෙනස් කොට සැලකීමට  සහ ඔවුන් කොන් කිරීමටත් සහය දක්වන බව සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය. එබඳු ආකල්ප වලට පදනම් වී ඇත්තේ ඇතැම් විට  එම රටවල සංස්කෘතික වටපිටාව බව එතුමා පිළිගත්තේ ය. එහෙත් මේ කාරණයේ දී රදගුරු හිමි වරුන් වෙනස්වි වීමේ අවශ්‍යතාව  සුදොතුම්  පියතුමා පහදා  දුන්නේ ය:  "රදගුරු හිමිවරුන් 'වෙනස් විය' යුතුයි යනුවෙන් අප පරිවර්තනය කල ද සුදොතුම් පපියතුමා භාවිත කර ඇත්තේ "සිත් මාරුවක්" ඇති කරගත යුතු ය යන තේරුම ඇති Conversion යන වචනයයි.) 

"රදගුරු හිමිවරුන් විශේෂයෙන් සිත්මාරුවේ ක්‍රියාවලියක් ඇති කරගත ගැනීම අවශ්‍යයි. එතුමන් ලා, කරුණාකර, දෙවියන් වහන්සේ අප එකිනෙකාට දක්වන්නා සේ,  කරුණාවන්තකම මොලොක් බව භාවිත කිරීම අවශ්‍යයි." 

Human Dignity Trust නමැති ආයතනයට අනුව ලෝකයේ රටවල් 67 ක්,  එකඟත්වය සහිත සමරිසි සම්බන්ධතා .සාපරාධි ක්‍රියාවක් ලෙස සලකයි. ඒ අතරින් රටවල් 11ක නීතියට අනුව එවැනි සම්බන්ධතා ඇති තැනැත්තන්ට මරණ දණ්ඩනය පවා පැමිණවිය හැකිය. 

"මේ නීති අයුක්ති සහගතයි. එම නීති ඉවත් කිරීමේ ප්‍රයත්න වලට කතෝලික සභාව සහය දැක්විය යුතුයි. සභාව එය කල යුතුයි. සභාව එය කල යුතුයි," යි එතුමා අවධාරණයෙන් කියා සිටියේ ය. 

ඊට හේතුව සියලු දුර්වලකම් නොතකා  මානව අප සියල්ලන්  "දෙවියන් වහන්සේ ගේ දරුවන් වීම නිසා" යයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා විස්තර කළේය. කතෝලික සභාවේ ධර්මෝපදේශය මෙය අපට උගන්වන  බව එතුමා පහදා දුන්නේ ය. සමරිසි ජනතාව ආදරයෙන් පිළිගත යුතු බවත්  ඔවුනට ගෞරව කල යුතු බවත් ඔවුන් කොන් කිරීම හෝ ඔවුනට වෙනස් කපට  සැලකීම නොකළ යුතු බවත් කතෝලික  සභාවේ ධර්මෝපදේශය උගන්වන බව එතුමා කීවේය.

"අපි සියල්ලෝම දෙවියන් වහන්සේ ගේ දරුවෝ. උන්වහන්සේ අප කවුරුන් වූවත් අපට ප්‍රේම කරනවා. එසේම අපේ ගරුත්වය උදෙසා අප සටන් කරන ශක්තියේ තරමට උන්වහන්සේ අපට ප්‍රේම කරනවා..." 

අපරාධය සහ පාපය අතර පවතින වෙනස ද පැහැදිලි කල ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා "සමරිසි ලිංගික සම්බන්ධතා  අපරාධයක් නොවුණත් එය පාපයක්" බව පෙන්වා දුන්නේ ය. එහෙත් පාපයක් වන්නේ හුදෙක් සමරිසි සම්බන්ධතා පමණක් නොවන බව ද එතුමා මේ පිළිතුරේ දී පෙන්වා දුන්නේය. මන්ද සමරිසි ලිංගික සම්බන්ධතා හැරුණු කොට වෙනත් දරුණු පාප රැසක් ඇතත් බොහෝ කතෝලිකයන් ඒවා පාප ලෙස නොදකින නිසා ය. 

"සමරිසි ලිංගික සම්බන්ධතා අපරාධයක් නොවේ . එහෙත් එය පාපයක්. හොඳයි. අපි අපරාධයක් සහ පාපයක් යන දෙකේ වෙනස හඳුනාගනිමු. නිදසුනක් ලෙස අප එකිනෙකාට දයාව නොදැක්වීමත් පාපයක්," යි සුදොතුම් පියතුමා පැහැදිලි කලේ ය. 

තව දුරටත්  පැහැදිලි කිරීම - ජේම්ස් මාටින් පියතුමාට පිළිතුරු 

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ මෙම සම්මුඛ සාකච්ඡාව දුටු ඇමෙරිකානු ජාතික ජේම්ස් මාටින් ජේසු නිකායික පියතුමා එම ප්‍රකාශය පැහැදිලි කරන්නැයි සුදොතුම් පියතුමා ගෙන්  ඉල්ලා සිටියේ ය. ජේම්ස් මාටින්  පියතුමා ඇමෙරිකාවේ  සමරිසි ප්‍රජාව වෙත යොමු වීමේ සේවාවක්  ක්‍රියාත්මක කරන, ඔවුන් සමග සහ ඔවුන් අතර සේවාව කරන පියනමකි. එතුමා ගේ විමසීමට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ස්පාඥ්ඥ බසින්  සිය අත්අකුරින් ම ලීයූ පිළිතුරක් යැව්වේ ය. එම පිළිතුර ඇතුළත් සටහන   මාටින් පියතුමා ප්‍රසිද්ධියට පත් කළේය.

සමරිසි බව අපරාධයක් නොවන බව සුදොතුම් පියතුමා එම සටහනේ යළි අවධාරණය කරයි. "මා එසේ කීවේ එය සාපරාධි ක්‍රියාවක්  ලෙස සැලකීම යහපත් දෙයක් හෝ යුක්තිසහගත දෙයක් නොවන නිසා ය." 

"මා එය පාපයක් බව කීවේ කතෝලික ශීල ධර්ම ඉගැන්වීම අනුව යමිනි. විවාහයෙන් බාහිරව පවතින ඕනෑම ලිංගික සම්බන්ධතාවක් පාපයක් ලෙස කතෝලික ශීල ධර්මය උගන්වයි. එම ඉගැන්වීම ද අවස්ථාවට සහ අරමුණට යටත් ය. ඒ අනුව පාපයේ බරපතල කම අඩු වැඩි විය හැකි අතර පාපයක් නොවීමේ හැකියාව ද තිබේ. .සෑම පාපයකට ම එය වලංගුය' යි එතුමා එම සටහනේ සඳහන්  කර තිබේ. 

විවේචන සහ ප්‍රශංසා 

ප්‍රැන්සිස් පාප් වහන්සේ ගේ මේ ප්‍රකාශය ඇසුණු සැනින් විවේචනය කිරීමට පටන් ගත්  පිරිසක් වෙති. එනම් පසුගිය අවුරුදු 10 පුරා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ කිසිදු යහපතක් නොදුටු, දේව ධාර්මික ඉගැන්වීම් තුළ දෙවියන් වහන්සේ ගේ අපරිමිත  දයා කරුණාව හඳුනා නොගත් තවමත් 'දේව නීතිය" මත පමණක් රැඳී සිටින, නිරන්තරයෙන් එතුමා ගේ සේවාවට බාධා ම කරන අන්ත දක්ෂිනාංශික 'විශාරදයන්' ය. 

එහෙත් එම ප්‍රකාශයට ප්‍රශංසා කල සහ සාධනීය ලෙස  විවෙව්චනය කරන පිරිසක් ද සිටිති. ඒ අතර ප්‍රමුඛව සිටින්නේ සමරිසි හෙවත් LGBTQ+ ප්‍රජාව ය. ලොව විවිධ රටවල සහ ප්‍රදේශ වල සිටින සමරිසි සංවිධාන සහ ඔවුන් වෙනුවෙන් සේවාව කරන ක්‍රියාකාරිකයන්  මෙම ප්‍රකාශය සලකන්නේ සභාව ගත්  නිවැරදි දිශාවක් ලෙසයි.  පාප් වහන්සේ ගේ ප්‍රකාශය එම ප්‍රජාවේ ඇගැයීමට පාත්‍ර වීම  ඉතා යහපත් ප්‍රවනතාවකි. මන්ද ඔවුන් තුළ   සභාව කෙරෙහි විශ්වාසයක් ගොඩ නැගීමට, සභාව රැකවරණය කරා යා හැකි අම්මා කෙනෙකු යන හැඟීම ජනිත කිරීමට එය සමත් වන නිසා ය. 

හොර්හේ මාරියෝ බෙර්ගෝලියෝ රදගුරු තුමා - ප්‍රැන්සිස් පාප් වහන්සේ - අත්දුටු දේව දයාව 

ප්‍රැන්සිස් පාප් වහන්සේ ගේ මේ ප්‍රකාශය තේරුම් ගන්නට හුදෙක් දේව ධාර්මික දැනුම පමණක් ප්‍රමාණවත් නොවේ.  ඒ සඳහා හොර්හේ මාරියෝ බෙර්ගොලියෝ නමැති ආජන්ටිනාවේ ජේසු  නිකායික පියතුමා එරට  යුද හමුදා ආණ්ඩුව සමයේ ගත කල අභියෝගාත්මක  ජීවිතයත්, විශේෂයෙන් ම කොර්දෝබා නමැති දුෂ්කර ප්‍රදේශයේ එතුමා ලද අත්දැකීම් සම්භාරයත් විමසා බැලිය යුතු ය. එසේ ම බුවනෝස් අයරෙස් පදවියේ සහයක රදගුරු තුමන් ගේ සිට  එම පදවියේ කාදිනල් -අගරදගුරු තුමන් හරහා සසුනිසුරාණන් වන තෙක්  එතුමන් ගේ එඬේරික සේවා ජීවිතය කියවිය යුතු ය. එය අවබෝධ කරගත යුතු ය.

එම එඬේරික සේවාවට දොර හරින එක් යතුරක් වන්නේ පාප් වහන්සේ ලෙස එතුමන් කල ප්‍රථම ආධ්‍යාත්මික කාර්යයයි. එනම් 2016 වසර දයා කරුණාවේ වසර ලෙස ප්‍රකාශයට පත්කිරීමයි.  

දයාවේ වසර ප්‍රකාශයට පත් කරමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් නිකුත් කල ප්‍රකාශ පත්‍රය එතුමන් ගේ ආධ්‍යාත්මයේ කැඩපතක් වැන්න. ":දෙවියන් වහන්සේ ගේ නම දයා කරුණාව යැ"යි  එම ප්‍රකාශ පත්‍රයේ සුදොතුම් පියතුමා කියා සිටියි. එතුමා එහි මෙසේ ද  කියයි: "දෙවියන් වහන්සේ ගේ යුක්තිය උන්වහන්සේ ගේ දයාව ම ය." . එහි සුදොතුම්  පියතුමා මෙසේ භාවනා කරයි:

"ජේසු සමිඳාණෝ   'මා කැමතිවන්නේ දයාවට මිස පුජාවලට නොවේ' යයි පැවසුහ.  පව්කාරයන් සොයා ගොස් ඔවුනට පව් සමාව සහ ගැලැවීම ලබාදීමේ මගඟු තිලිණය උන්වහන්සේ  මෙහිදී අනාවරණය කරන සේක. එවැනි විමුක්තිදායක දයාවක් නව ජීවනයේ උල්පතක් ලෙස ඉගැන්වූ ජේසු සමිඳුන්, පරිසිවරුන් සහ නීතිය පිලිබඳ ගුරුවරුන් විසින් ප්‍රතික්ෂේප කරන ලද්දේ මන්දැයි කෙනෙකුට පැහැදිලිව දැකගත හැකිය.  එනම් ඔවුන් නීතිය පිළිපැදීමට වෑයම් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස, පියාණන් වහන්සේ ගේ දයාව හෑල්ලුවට ලක්කරමින් ජනතාවගේ කර මත ඉසිලිය නොහැකි බර පැටවීමයි. හුදෙක් නීතිය මත පමණක් පිහිටා කටයුතු කිරීමට  යාමෙන් මෙලෙස දෙවිඳුන් ගේ අසීමිත කුළුණු ගුණය නොසලකා හැරීමතක්  හෝ සැහැල්ලු කීරීමක් සිදුවන්නේ ය."

(ඒ විස්තරය මේ දිගුවෙන් කියවන්න : "දෙවියන් වහන්සේ ගේ යුක්තිය උන්වහන්සේ ගේ දයාව ම ය" - දයාවේ වසර ප්‍රකාශ පත්‍රය)

මේ භාවනාව් වූ කලී ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය ජීවිතයේ දී විවිධ අවධි වල ජේසු සමිඳුන් ස්පර්ශ කරමින් ලද අත්දැකීම් වලින් පැන නැගුනකි. 

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා විශේෂයෙන් ම කොර්දෝබා දුෂ්කර ප්‍රදේශයේ දී  ඇසූ විශ්වාසිකයන් ගේ පාපොච්චාරන වලදී අත්දුටු කාරනාවක් තිබේ. එනම්, දෙවියන් වහන්සේ  පුරාණ ගිවිසුමේ හඳුන්වා දුන් ආකාරයේ දැඩි සිතැති විනිශ්චයකාරයකු නොව අසීමිත දයා කරුණාවෙන් සහ මුදු මොලොක් බවින් පිරිපුන් ආදරණීය පියෙකු බවයි. එතුමා ම විස්තර කරන පරදී "දෙවියන් වහන්සේ ගේ පතුල නොපෙනෙන නිම් හිම් නැති මේ දයා කරුණාව' බෙර්ගෝලියෝ පියතුමා -අගරදගුරු තුමා, තමන් වෙතින් සමගි සන්ධානයේ ප්‍රසාද නිධානය ලබා ගන්නට පැමිණෙන ජනතාව තුළ පමණක් නොව තමා ගේ ජීවිත වෙනස තුළ ද අත්දුටුවේ ය. සහයක රදගුරු තුමකු අවධියේ සහ අගරදගුරු තුමා ලෙස සේවාව කරද්දී මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් ඇතුළු විවිධ අපචාර වලට ගොදුරු  වූවන් පමණක් නොව ගණිකාවන් ගේ ජීවිත ද ස්පර්ශ කරන්නට එතුමාට අවස්ථාව  ලැබුණේ ය. බෙර්ගෝලියෝ අගරදගුරු තුමා නගරයේ උද්‍යාන වල වල බංකු මත හිඳ වීදි කාන්තාවනට සමගි සන්ධානයේ ප්‍රසාද නිධානය ලබා දුන්නේ ය. අගරදගුරු තුමන් සමයේ  පරිපාලකයකු, ව්‍යාපාරිකයකු නොව ජනතාවට ඉතා සමීප, ජනතාවට ඉතා පහසුවෙන් ලංවිය හැකි, දුක සැප බෙදා ගත හැකි   පියෙකු, එඬේරෙකු සහ මිතුරෙකු වීම නිසා සමරිසි තරුණ තරුණියන් එතුමා සමග සිය හදවත විවර කරමින්, වේදනා, කම්කටොලු, නින්දා අපහාස  සහ අභියෝග බෙදාගත්තේ නැතැයි  කිව නොහැකිය.     

මේ කාරණා භාවනා  කළ එතුමා  සභාව ක්‍රියා කල යුත්තේ පරිසිවරුන් සහ  නීතීඥයන් බඳුව දෘඩ නීතිය ම මත පිහිටා  නොව පුත් දෙවි සමිඳුන් විසින් සිය මාංශ ගත වූ ජීවිතය තුළ ජීවිතයෙන්, වචනයෙන් සහ ක්‍රියාවෙන් පෙන්වා  දෙන ලද කරුණාබර පියාණන් ගේ දෑසින් සහ හදවතින් ලෝකය දෙස බලමින් බව විශ්වාස කළේය . 

මේ නිසා සමරිසි ජනතාව දෙස කතෝලිකයන් බැලිය යුත්තේ,  ඔවුන්  සමග සම්බන්ධතා දියුණු කරගත යුත්තේ  දෙවියන් වහන්සේ සෑම  පුද්ගලයකු වෙතම දක්වන ප්‍රේමයෙනි. දයාවෙනි. වෙනත් අය සේ ම සම උණුසුමින් ඔවුන් පිළිගත  යුතු ය. 'වෙනස් ජන කොටසක්' ලෙස  ඔවුන් කොන් කිරීම, නිග්‍රහ කිරීම, පහත්  කොට සැලකීම ප්‍රේමයේ පනතට විරුද්ධ පාපයකි. "නිදසුනක් ලෙස අප එකිනෙකාට දයාව නොදැක්වීමත් පාපයක්" යනුවෙන් පාපය ගැන කතා කරමින් ඉහත ප්‍රකාශයේ සුදොතුම් පියතුමා පෙන්වා දෙන්නේ ඒ නිසාය. බොහෝ දෙනෙකු "පාපයක්" යයි කී විට සිතන්නේ "එකම පාපය කාම මිථ්‍යාචාරය" කියාය. එහෙත් දයාව, ආදරය, ප්‍රේමය නොදැක්වීම, ප්‍රේමයෙන් සිඳුණු සිතින් ජනතාව දුක්විඳින විට අසංවේදීව සිටීම  ඒ තරමටම බරපතල පාපයකි. එබැවින් සමරිසි ලිංගික සම්බන්ධතා ගැන කතා කරන විට "තමන් පව් කර නොමැති තැනැත්තේ පළමු ගල ගසාවා" යි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිහිපත් කරනවා වැන්න.

ප්‍රේමයේ දෑසින් 

සමරිසි ජනතාව වෙනුවෙන් සහ ඔවුන් ආරක්ෂා කරන නීති වෙනුවෙන් කතෝලික සභාව පෙනී සිටිය යුත්තේ සහ එවැනි ප්‍රයත්න වලට රදගුරු හිමිවරුන් සහය දිය යුත්තේ මේ ප්‍රේමයේ, දයාවේ දෑසින් ඔවුන් දෙස බලමිනි. 

බුවනෝස් අයරෙස් නුවර  අගරදගුරු තුමන් ලෙස සේවාව කරද්දී බෙර්ගෝලියෝ කාදිනල් හිමි (ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා)  කතෝලික සභාවේ ඉගැන්වීම  අනුව විවාහය යනු එක් ගැහැනියක් සහ  එක් පිරිමියකු අතර ඇති වන ප්‍රේමයේ ජීවිත  සම්බන්ධතාවය යන්න තරයේ පිළිගත්තේ ය. දෙවියන් වහන්සේ ඉදිරියේ ගිවිස ගන්නා එම බැඳීම සක්‍රමේන්තුවක් ය යන්න  නිර්භයව ඉගැන්නුවේය. දේශනා කළේය. ඒ වෙනුවෙන් පෙනී සිටියේ ය. විශේෂයෙන් ම එම අගරදගුරු පදවිය පුරා ව්‍යාප්තව තිබුණු "කාලකන්ණි වතු" ලෙස හැඳින්වුණු මුඩුක්කු ප්‍රදේශවල පවුල් නංවා ලීමේ සේවා ක්‍රියාත්මක කළේය. මත්ද්‍රව්‍ය වලින් විනාශ වෙමින් තිබු එම පවුල් ඒවායින් මුදා, බිඳ වැටුණු පවුල් නගා සිටුවීම  සඳහා තරුණ නවක පියවරුන් යොදා නිර්මානාත්මක  වැඩසටහන් ක්‍රියාත්මක කළේය. 

 ඒ අතර ම  විවිධ මිනිසුන් ගෙන් එතුමන් ලද ජීවිත අත්දැකීම් අනුව සමරිසි යුවල් සඳහා සිවිල් නීතිමය පිළිගැනීමක් වෙනුවෙන් ද එතුමා පෙනී සිටියේ ය. ක්‍රිස්තු  ධර්මය අනුව 'සමරිසි විවාහ පිළිගත නොහැකිය. එහෙත් සිවිල් නීති අනුව ආණ්ඩු වලට "සිවිල් සමවායක්" (Civil Union ) පිළිගැනීමේ හැකියාව තිබේ. 

මීට පාදක වන්නේ   කතෝලික සභාවේ සමාජ ධර්මයේ ඉගැන්වීම් ය. එම ඉගැන්වීමට අනුව,  මිනිසා දෙවිඳුන් ගේ සමාන කමට සහ  උන්වහන්සේ ගේ ස්වරුපයට  මවනු ලැබීම නිසා උපතින් ම උන්වහන්සේ ගෙන් මිනිසා ලබන තිළිණයකි,  "මානව පුද්ගල ගරුත්වය".  මේ නිසා ජීවත්වන කාලය පුරා තමන් ගේ මානව පුද්ගල ගරුත්වයට අවශ්‍ය ගෞරවය ලබා ගැනීමේ අයිතියක් සෑම පුද්ගලයකුටම තිබේ. ජාතිය, කුලය, උගත්කම, පංතිය, දුප්පත්කම, විරැකියාව, ආබාධිතභාවය හෝ වෙනත් දුර්වලකමක් නිසා මිනිසුන් කොන් කිරීමෙන්, වෙනස් කොට සැලකීමෙන්  ඔවුන් තුළ හටගන්නා වේදනාව, ලැජ්ජාව, අසරණ වීම ඔවුන් ගේ මානව ගරුත්වය කෙළෙසීමකි. සමරිසි ප්‍රවනතාව හෝ වෙනත් ලිංගික ප්‍රවනතාවක් නිසා ඔවුන් ගර්හාවට කොන් කිරීමට ලක් කිරීමද ඔවුන් ගේ ගරුත්වයට පහර දීමෙකි. මිනිසුන්, විශේෂයෙන් ම කතෝලික ජනතාව, සමරිසි ජනතාවට වෙනස් කොට නොසැලකිය යුත්තේ ඒ නිසා ය. 

ඒ වෙනුවට ඔවුන් වෙනත් අය සේ ම සමව  සමාජයට ප්‍රේමයෙන් පිළිගැනීම මගින් ඔවුන් තුළ ආත්ම අභිමානයක් ඇති කල හැකිය. මෙය දයාවේ ක්‍රියාවකි. ඔවුන් කොන් කිරීම ප්‍රේමයේ පනතට විරුද්ධය. ඔවුන් කොන් කිරීමේ  පාපය සහ කාම මිථ්‍යාචාරය  යනු දෙකම පාප ය.  ඒවා 'බරින්' එක සමාන ය. මෙය,  කතෝලික සභාවේ සමාජ ධර්මයේ ජීවමාන පොතක් බඳු ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ ප්‍රකාශයෙන් කියන්නට උත්සහ කරන තවත් පණිවිඩයකි.

සාපරාධී ක්‍රියාවක්?

පින්තුරය BBC යෙනි 


සමරිසි තැනැත්තකු එම තත්වයට පත් වන්නේ උපතින් ම ලබන ජෛව විද්‍යාත්මක හේතුවක් නිසා ය යන්න නුතන විද්‍යාත්මක මතයයි. මේ නිසා ඔවුහු සිය සම ලිංගික තැනැත්තන්/තැනැත්තියන් වෙත ආකර්ෂණය වෙති. සෙනෙහස දක්වති.

සෙනෙහසක්, ආදරයක්  'සාපරාධි ක්‍රියාවක්' වන්නේ කෙසේ ද? 

එහෙත් රටවල් රැසක, විශේෂයෙන් අප්‍රිකා මහාද්වීපයේ රටවල් රැසක එම සම්බන්ධතාව බරපතල දඬුවම් ලැබෙන "අපරාධ" ගණයට ඇතුළත් කර තිබේ. 

මේ ප්‍රකාශයේ මුල් ම වාක්‍යයෙන්, එනම් "සමරිසි පුද්ගලයකු වීම සාපරාධී ක්‍රියාවක් නොවේ," යන්නෙන් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පැහැදිලි කරන්නේ එයයි. පුද්ගල මානව ගරුත්වයට ගරු කරන ප්‍රජාවක් ලෙස එවැනි නීති ආණ්ඩු ලවා අහෝසි කිරීමට කතෝලික ජනතාව පියවර ගත යුත්තේ මේ නිසා ය. 

ඔවුන්  කොන් කිරීම සහ සමාජයෙන් බාහිරව තැබීම ද ඔවුන් මානසිකව මරා දැමීමකි. මේ නිසා සමරිසි තැනැත්තන් සභාවෙන්  හෝ දෙව්මැදුරෙන්  ඉවත් නොකළ යුතු බවත් ඔවුන් සභාවට  සහ දෙව්මැදුරු වලට උණුසුමින් පිළිගත යුතු බවත් කතෝලික සභාවේ ධර්මෝපදේශය උගන්වයි. 

ආන්දෝලනාත්මක ?

මේ අනුව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සමරිසි තැනැත්තන් ගැන කල මේ ප්‍රකාශය ගැන පුදුම වීමට හෝ  "එතුමා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළා"  යයි කියා එයින් කම්පනයට පත් වීමට හෝ හේතුවක් නොමැත. 

 "මිනිසා සහ ගැහැණිය එකිනෙකා සම්පූර්‍ණ කරයි.වෙන විකල්පයක් නැත."

විවාහය යනු අන්‍යෝන්‍ය ප්‍රේමය සහ උපකාරය උදෙසාත්., එම සම්බන්ධතාව මගින් දරුවන් බිහි කිරීම උදෙසාත් එක්   මිනිසකු එක්  ගැහැනියක සමග ඇතිකරගන්නා ජීවිත ගිවිසුම බව සභාව පැහැදිලිව උගන්වයි. 

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පුදැදුරු වරයකු ගේ සිට ම මේ දක්වා  සභාවේ ඉගැන්වීම් පිළිගන්නවා පමණක් නොව එය එතුමා එඩිතරව දේශනා කරයි. උගන්වයි.

2016 පවත්වන ලද  පවුල පිලිබඳ රදගුරු සාංගමනික කතිකාවට සූදානමක් ලෙස ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා බදාදා පොදු හමුවේ දී කල ධර්මෝපදේශ කතා සියල්ල එය සනාථ කරයි. "වතිකාන සුළඟ" වෙබ් අඩවිය  සහ පොත  ඒවායින් බොහොමයක් වාර්තා කළේය. (එම අවස්ථා මෙම දිගු ඔස්සේ හෝ  වතිකාන සුළඟ පොතේ මෙහි සඳහන් පිටුවල  කියවා බලන්න .) 

"මිනිසා සහ ගැහැණිය එකිනෙකා සම්පූර්‍ණ කරයි; වෙනත් විකල්පයක් නැහැ" - එක් පිරිමියකු සහ එක් ගැහැණියක අතර ඇති වන විවාහය ගැන සභාවේ පැහැදිලි මතය අවධාරණය කරමින් ප්‍රැන්සිස් සුදොතුමපියතුමා 2015 අප්‍රේල් 23 වන දා කියා සිටියේය. (වතිකාන සුලඟ පොත 163 පිටුව)

2015 මැයි 7 පොදු හමුවේ දේ එතුමා "ආත්ම පරිත්‍යාගය ආත්ම කොටගත් විවාහයේ සොඳුරු රටාව" පැහැදිලි කලේ ය.(එම පිටුව 189.)

"ගැහැනියක සහ පිරිමියකු අතර ඇති ආදරයේ සෞන්දර්යය" 2015 ජුනි 16 වන දා පොදු හමුවේදී එතුමා පහදා දුන්නේ ය. (වතිකාන සුළඟ පිටුව 267)

"අඹු සැමි තුවාල පිළිකාවක් සේ ඔඩුදුවා පවුල ගිලගන්නට පෙර ..." යයි ගැහැණියක හා පිරිමියකු විසින් ගොඩ නගන පවුලේ ඇති විය හැකි බාධක ගැන සහ ඊට ඔවුන් මුහුණ දිය යුතු ආකාරය ගැන 2015 ජුනි 24 දා එතුමා කීවේ ය. (පිටුව 286)

2015 ඔක්තෝබර 4 වැනි ද පවුල පිලිබඳ සසුන් සාංගමනික කතිකාව ආරම්භ කරමින් "අඹු-සැමි ප්‍රේමයේ හා විවාහයේ පූජනීයත්වය" ගැන කතා කල එතුමා "පවුල වූ කලී මැවිල්ල සඳහා වූ දෙවියන් වහන්සේ ගේ සිහිනය" බව පෙන්වා දුන්නේ ය. (එම පිටුව 415)

"පවුල පිලිබඳ සාංගමනික කතිකාවේ අරමුණ වූයේ පවුල නමැති ආයතනයේ වැදගත් කමත් පිරිමියකු සහ ගැහැණියක අතර ඇති වන විවාහයේ වැදගත්කමත් තහවුරු කොට එය අගය කරන ලෙස සැම කෙනෙකුගෙන් ම ඉල්ලා සිටීම" බව 2015 ඔක්තෝබර 28 දා එම සාංගමනික කතිකාවේ සමාප්ති දේශනය කරමින් එතුමා අවධාරණය කළේය. (පිටුව 473)

මෙබඳු තවත් නිදර්ශන රාශියක් පෙන්වා දිය හැකිය.

ආශීර්වාදකාර බන්ධනය 

කතෝලික ජනතාවට විවාහය යනු  හුදෙක් 'දෙදෙනෙකු අතර එකතුවක්' නොවේ. එය එක්  පිරිමියකු සහ එක් ගැහැණියක ජීවිතය පුරා ප්‍රේමයෙන් බැඳී සිටින්නට දෙවියන් වහන්සේ ඉදිරියේ ඇති කරගන්නා ගිවිසුමකි. මේ නිසා එය සක්‍රමේන්තුවක් හෙවත් දේව ප්‍රසාද නිධානයකි. එය වෙනස් කල නොහැකි සභා ඉගැන්වීමකි. 

වෙනස් වන්නේ නූතන අභියෝග සහ ගැටළු  සහගත ප්‍රශ්න හමුවේ කතෝලිකයන්  ලෝකයේ විවිධ වූ ජනයා  දෙස බලන ආකාරයයි. විවිධ ආකල්ප, ජීව විද්‍යාත්මක හෝ මනෝ විද්‍යාත්මක තත්ත්ව මත උපදින ජනතාව කිතුනු  දයාවෙන් සහ ප්‍රේමයෙන් අන්තර්ග්‍රහණය කරගන්නා ආකාරයයි. ක්‍රිස්තු නෙතින්, ක්‍රිස්තු හදවතින් ඒවා දෙස බලා ක්‍රිස්තු වදනින් ඒවා ආමන්ත්‍රණය කිරීම  මෙහිලා මහෝපකාරී වේ. 

WWJD සූත්‍රය 

අපට අභියෝග වන බොහෝ  සදාචාරාත්මක ප්‍රශ්න වලට විසඳුම් සොයා ගැනීම සඳහා එක් සූත්‍රයක් උපකාර කරගත හැකි බව එක් ජේසු නිකායික පියනමක් මේ ලියුම් කරු සමග පැවසුවේය. 

එම සුත්‍රය නම්: "WWJD" යන්නයි. "එනම් What Would Jesus do?" යන ප්‍රශ්නයයි. 

මේ ප්‍රශ්නයේ දී "ජේසු කුමක් කරාවිද ?"  WWJD ?

සය වැනි දේව පනත අනුව ජුදා ජනතාව අතර තුබුණු නීතියක් වූයේ කාම මිථ්‍යාචාරයේ යෙදෙන ස්ත්‍රීන් වරදේ යෙදී සිටිය දී හසු වුවහොත් ඔවුනට ගල් ගසා මරා දැමීමයි. (එම වරදේ යෙදුනු පිරිමින්ට එසේ නොකළේ මන්ද යන ප්‍රශ්නය මට හැමදාමත් තිබේ.  පව්කාර වන්නේ එම ක්‍රියාවේ යෙදුනු ස්ත්‍රීය පමණක් ද? මුදලට හෝ වෙනත් අරමුණක් මත  ඇය ඊට පොළඹවා ගත් පිරිමියා පව් කරන්නේ නොවේ ද? )

එබඳු පව්කාර ස්ත්‍රියක් නාසරෙතයේ  ජේසු  නමැති දයා  නෙතින්, සෙනේ සිතින් ප්‍රශ්න දෙස බලන,  එසේ ම මහා බලයකින් සහ අධිකාරීත්වයකින්  දේශනා කරණ  තරුණයා වෙත පරිසිවරුන් විසින්  ගෙන එන ලද්දේ  උන්වහන්සේ අමාරුවේ දමන පිණිස ය. 

"මේ පාපයේ යෙදී අපට අහුවෙච්ච පව්කාර ගෑනියෙක්. නීතියට අනුව ඇයට ප්‍රසිද්ධියේ ගල් ගසා මර දැමිය යුතුයි" ඔව්හු අවධාරණය කළහ. "ගුරු තුමා මොනවද මේ ගැන කියන්නේ? ඔව්හු විමසූහ. 

නීතිය අනුව නම් ජාතියෙන් සහ ආගමෙන්   ජුදෙව්වකු ලෙස පමණක් නොව නිර්දෝෂී මිනිසකු ලෙස  පළමු ගල ගැසීම ජේසු සමිඳුන්ට කරන්නට තිබිණි. එහෙත් දේව පුත්‍රයාණන් වන උන්වහන්සේ ඉගැන්නුවේ වෙනත් පාඩමකි. කෙළේ වෙනත් දෙයකි:

"ඔබ අතරේ පාපයක් නො කල තැනැත්තේ ඇයට පළමු ගල ගසාවා!" යි පැවසූ උන්වහන්සේ ඇඟිල්ලෙන් පොළොවේ ලියන්නට පටන් ගත් බව සුවිශේෂ කරු කියයි. 

ටික වෙලාවකින් උන්වහන්සේ හිස ඔසවා බලද්දී අර ගල් ගසන්නට පැමිණි සෙනග "වැඩිමහල්ලා ගේ පටන් බාලයා දක්වා" මාරු වී ගොස් සිටියහ.  එහි සිටියේ උන්වහන්සේත් පව්කාර යැයි චෝදනා ලැබූ ස්ත්‍රියත් පමණි. 

"කවුරුත් ඔබට වරද පැටවූයේ නැද්ද ? " උන්වහන්සේ විමසූහ.

"නැහැ  ස්වාමීනි"

"මමත් ඔබට වරද නොපටවමි. යන්න යළිත් පව් නොකරන්න." 

ඒ "ජේසු කළ දෙයයි". 

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සමරිසි ජනයා පිලිබඳ ප්‍රශ්නයේ දී ද අනුප්‍රාණය ලබන්නේ "ජේසු කුමක් කරයි ද?"  යන ප්‍රශ්නය මත පිහිටා විය හැකිය. 

එතුමා ගේ මේ අලුත්ම ප්‍රකාශයේ අරුත විවර කරගන්නට මේ සිතිවිලි යතුරක් වනු ඇත.

ශ්‍රී ලංකාව 

අපේ රටේ ජනතාව අතරින් කොටසක්  තවමත් අපේ විවිධ ජනකොටස් ජනවර්ගය, ජාතිය, ස්ත්‍රී-පුරුෂ බව, ආගම, සමාජ පන්තිය වැනි විවිධ භේද මත ජනතාව කොන් කරයි. වෙනස් කොට සලකයි. ඒ අතරින් වඩාත් කොන් කරනු ලබන්නේ සමාජයෙන් ඉවත් කරනු ලැබ සිටින්නේ ලිංගික ප්‍රවනතාව මත වෙනස් වන ජනකොටස් ය. 

කිතුනු හදින්, කිතුනු නෙතින් ඔවුන් දෙස බලන්නට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ගේ මේ අලුත්ම ප්‍රකාශය අපට පිමි පුවරුවක් විය යුතු ය.  

එසේ ම ප්‍රැන්සිස් පාප්වහන්සේ ගේ ඉගැන්වීම් වලින් වික්ෂිප්ත නොවීමට නම් එතුමන් කියවීමට පුරුදු විය යුතුය. එහෙත් එසේ කල හැකි තැනැත්තන් විරල වීම අභාග්‍යයකි.  එතුමන් කියවන්නට හැකි වුවහොත්  එතුමන් ගේ ඉගැන්වීම් ශ්‍රී ලාංකේය කතෝලික සංඝයේ පෝෂණයට යොදා ගත හැකි වනු ඇත. 

 © වතිකාන සුළඟ.  - වතිකාන සුළඟින් උපුටා ගත බව සඳහන් කරමින් මෙහි එන අදහස් බෙදා ගත හැකිය. ප්‍රචාරය කල හැකිය.






 


   


 

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය