සිනොඩ් කතිකාවේ අරමුණ පවුලේ වැදගත්කම යලි තහවුරු කිරීමයි - සමුළුව අවසන් කරමින් සුදොතුම් පියතුමා කල ප්‍රකාශය

"Synod was about affirming family, indissoluble marriage" - Holy Father's remarks at the closing of the Synod



(2015 ඔක්තෝබර 28)
පවුල පිලිබඳ රදගුරු සිනොඩ් කතිකාවේ අරමුණ වූයේ පවුල මුහුණ දෙන ගැටළු වලට විසඳුම් සෙවීම නොව, දේව කැමැත්ත, ශුද්ධ ලියැවිල්ල සහ දෙදහස් වසරක සභා සම්ප්‍රදායේ ආලෝකයෙන් එම ගැටළු හා අභියෝග දෙස බැලීම යැයි සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ පවසති.

සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ ඉකුත් සෙනසුරාදා (ඔක්තෝබර්  24 වනදා) සිනොඩ් කතිකාවේ සමාප්ති දේශනය කරමිනි. මෙම කතිකාව  ඔක්තෝබර 4 වනදා සිට 24 වනදා දක්වා වතිකානයේ සවැනි පාවුළු ශාලාවේ දී පැවැත්වින.

පාප් වහන්සේ ගේ දේශනයට පෙර, කතිකාවේ දී සිනොඩ් පියවරුන් එළැඹුණු නිගමන ඇතුලත් සමුළු ප්‍රකාශනයට ඡන්දය විමසනු ලැබිණ. ප්‍රකාශනයේ සඳහන් සියළු වගන්ති, ඒ සඳහා අවශ්‍ය තුනෙන් දෙකේ ඡන්දයෙන් අනුමත විය. (ඒ පිලිබඳ කතාව වෙනම ප්‍රවෘත්තියක සඳහන් වේ.)

"සිනොඩ් සමුළුවේ අරමුණ වූයේ පවුල නමැති ආයතනයේ වැදගත්කමත්, පිරිමියකු හා ගැහැනියක අතර ඇති වන විවාහයේ වැදගත්කමත්  වටහාගෙන, එය අගය කරන  ලෙස සෑම කෙනෙකුගෙන්ම ඉල්ලා සිටීමයි; විවාහයේ එක්සත්කම හා දියකරහැරිය නොහැකි බව යලි වටහා දීමයි; පවුල, සමාජයේත් මානව ජීවයේත් මූලික පදනම බව වටහාගෙන එය අගය කරන ලෙස ඉල්ලා සිටීමයි" යයි සිය දේශනය අරඹමින් පාප් වහන්සේ පැවසුහ.

"සිනොඩ් කතිකාවේ අරමුණ වූයේ පවුලට අභියෝග කරන හා ඊට තර්ජනය කරන සියලු දුෂ්කරතා සහ අවිනිශ්චිතතාවලට සවිස්තර විසඳුම් ලබා දීම නොවේ" එතුමා පහදා දුන්නේය. "එහි අරමුණ වූයේ එම දුෂ්කරතා සහ අවිනිෂ්චිතතා දෙස වීශ්වාසයේ   ආලෝකයෙන් බලා, ඒවා පරෙස්සමින් අධ්‍යයනය කොට, අපගේ හිස් වැල්ලේ සඟවා නොගෙන, ඒවාට නිර්භයව මුහුණ දීමය. එසේම, සිනොඩ් කතිකාවේ අරමුණ වූයේ මීසම් සේවක පියවරුන් ගේ සහ පවුල් වල හඬට සව දෙමින්, අර්බුද සහ අසුබවාදය වර්ධනය වෙමින් පවත්නා ලෝකයක් තුළ, එම පවුල්වලට ධෛර්යය හා බලාපොරොත්තුව ලබා දීම සඳහා, යථාර්ථය දෙස දේව ඇසින් බැලීමයි"

සිනොඩ් කතිකාව තුළ උණුසුම්ව අදහස් හුවමාරු වීම ගැන ද සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ සුබවාදීව කතා කළහ. එතුමන් කියා සිටියේ එය සභාවේ සජීවී බව පිලිබඳ නිර්නායකයක් බවයි.

"සිනොඩ් සමුළුව පුරාම වෙනස් අදහස් හා මතිමතාන්තර ප්‍රකාශ වීම නිසා සාරවත් හා සජීවී සංවාදයකට මග පෑදිණි. එසේම, එයින් ප්‍රකට වූයේ හුදෙක් සියල්ල 'රබර් මුද්‍රාවකින්' මෙන් අනුමත කරන සභාවක් නොව, වියලුනු හදවත් ප්‍රබෝධවත් කිරීමට සිය විශ්වාසයේ ජීවන ජල උල්පත්වලින් දිය ඇද ගන්නා සජීවී සභාවක දිදුළන චිත්‍රයයි.එයින් ප්‍රදර්ශනය වූයේ,  පවුල පිළිබඳව අවංකව හා සජීවීව සාකච්ඡා කිරීමෙන් උදාසීන හර්දය සාක්ෂි කළඹන්නටත්, සිය දෑත් කිලිටි කරගන්නටත් බිය නොමැති සභාවක ජීව ගුණයයි.

සභාවේ කැඳවීම දෙවිඳුන් ගේ දයා කරුණාවට සිය ජීවිත ශෛලියෙන් සාක්ෂි දැරීම බව ප්‍රැන්සිස් පාප් වහන්සේ පෙන්වා දුන්හ. පවුල සම්බන්ධයෙන් ද එම දයා දෑසින් බැලීමේ අවශ්‍යතාව එතුමා පෙන්වා දුන්නේ ය:

"මිනිසුන් සිත් මාරුව සහ ගැළවීම සඳහා කැඳවමින් දෙවියන් වහන්සේ ගේ දයාව හා ප්‍රේමය ප්‍රකාශ කිරීම සභාවේ යුතුකමයි.එහෙත් එසේ කිරීම මගින් ව්‍යවස්ථා, නීති හෝ දේව පනත්වල වැදගත්කම කිසිසේත් අවතක්සේරුවට ලක් නොවේ. ඇත්ත වශයෙන් ම එයින් අදහස් කෙරෙන්නේ මිනිසා සඳහා දෙන ලද සියලු නීති සහ දේව පනත් වඩ වඩාත් අනුසාර කිරීමයි; නොඑසේව, එහි ප්‍රතිවිරුද්ධ තත්වය නොවේ."

මෙයට නිදසුනක් ලෙස 1985 පැවැති සිනොඩ් සමුළුවේ දී දේශානුරූපීකිරීම (කුලගැන්වීම) ගැන කතා කල බව සුදොතුම් පියතුමා සිහිපත් කළේය. සභාවේ හදවත බඳු ජනවන්දනාව දෙශානුරූපී කිරීම මගින් සිදු වූයේ සභා ඉගැන්වීම අවතක්සේරුවට ලක්වීම නොව ඊට එක්  එක් ප්‍රාදේශීය සංස්කෘතීන් තුළ  වඩාත් ගැඹුරු අර්ථයක් ලැබීම බව එතුමා පෙන්වා දුන්නේය. "සභාවේ වේද සත්‍යතා වල අරමුණ හා වැදගත්කම වන්නේ න්‍යායාත්මක හා පුද්ගලවාදී ප්‍රහාර වලින් පවුල ආරක්ෂා කිරීමයි" යි එතුමා සඳහන් කළේය.

එතුමා සිය දේශනය නිම කලේ ශු. දෙවන ජුවාම් පාවුළු පාප්වහන්සේ දයාව පිළිබඳව කල ප්‍රකාශයක් උපුටා දක්වමිනි:

"ඇත්තෙන් ම සිනොඩ් සමුළුවක් නිමා කිරීම යනු, අපගේ සැබෑ 'එක්ව ගමන් කිරීම"ට ආපසු හැරී ගොස්, සුබ අස්නේ ආලෝකයත්,සභාවේ ආලිංගණයත්, දේව දයාවේ උපකාරයත්  ලෝකයේ සියලු ප්‍රදේශවලට, සියලු පදවි හා මීසම් වලට,සියලු සිද්ධි අවස්ථා සහ තත්ත්ව වලට ගෙන යාමයි."




Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය