අඹු-සැමි ප්‍රේමයේ හා විවාහයේ පුජනීයත්වය - සිනොඩ් කතිකාව අරඹමින් සුදොතුම් පියතුමා පෙන්වා දෙයි

Church's mission to the families: Fidelity, Truth and love - Pope says at the opening of Family Synod 

සිනොඩ් කතිකාවේ පියවරු දිව්‍ය  පුජාවට එක්  වෙමින් 


(2015 ඔක්තෝබර 4)
පිරිමියකු හා ගැහැනියක අතර සංයෝගය පවුල සඳහා ආරම්භයේ සිට ම දෙවියන් වහන්සේ ගේ සැලැස්ම වූ බව සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ අවධාරණය කරති. නූතන ලෝකය පෙලෙන හුදෙකලා බවේ ගැටලුවෙන් මිදීමේ මාර්ගය ද පිරිමියකු හා ගැහැණියක අතර  ඇතිවන මෙම සංයෝගය බව උන්වහන්සේ  පෙන්වා දෙති. විවාහය හුදෙක් තාවකාලික "ගිවිසුමක්" බවට පරිවර්තනය වී ඇති ලෝකයට යලිත් අභියෝග කරන උන්වහන්සේ විවාහයේ  ස්ථිරත්වය හා වෙන් කල නොහැකි බව තහවුරු කරති.

ඔක්තෝබර 4 වැනි ඉරිදා (ඊයේ ) වතිකානයේ සාන්ත පීතර බැසිලිකාවේ දී පැවැත්වුණු පවුල පිලිබඳ ජගත් රදගුරු සිනොඩ් කතිකාවේ සමාරම්භක දිව්‍ය පූජාවේ අනුශාසනය කරමින් සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ ය. සිනොඩ් කතිකාවට සහභාගිවන රදගුරු හිමිවරුන් ගේ සහභාගිත්වයෙන් මෙම දිව්‍ය පුජාව පැවැත්වින. ඔක්තෝබර 4 වැනි දා සිට 25 වැනි දා දක්වා කතිකාව පැවැත්වේ. මෙවර කතිකාවේ තේමාව,"සභාව සහ නූතන ලෝකය තුළ පවුලේ කැඳවීම සහ දූත මෙහෙවර" යන්නයි.

ඉරිදා දිව්‍ය  පූජාවේ දේව වචනය පාදක කරගනිමින් සුදොතුම් පියතුමා පැවැත්වු මෙම දේශනයෙන් විවාහය, පවුල හා ලිංගිකත්වය පිලිබඳ කතෝලික සභාවේ ඉගැන්වීම හා ස්ථාවරය ඉතා පැහැදිලිවත්  රසවත්වත්  සාරංශ කර තිබුනේ ය. විවාහය ගැනත් ඊට ඇතුළත් වන පාර්ශව ගැනත් විවධ මත පලවෙමින් ඇති ලෝකයට පාප්වහන්සේ කියා සිටියේ එය එක් පිරිමියකු හා එක් ගැහැනියක අතර ඇති වන ප්‍රේමයේ සංයෝගයක් බවයි. පිරිමියා ගේ සහකරුවා ගැහැණිය බව පැරණි ගිවිසුමේ උත්පත්ති පොතේ එන දේව වචනයත් ජේසු සමිඳුන් ගේ නිශ්චිත ඉගැන්වීමත් උපුටා දක්වමින් උන්වහනේ පැහැදිලි කළහ. එසේම, පාරිභෝගිකවාදය, කාම සුඛ විහරණය හා ජනමාධ්‍ය කලාවේ අහිතකර ප්‍රතිඵල ආදියේ බලපෑම නිසා  දෙදරා යමින් ඇති නූතන පවුල් වල ගැටළු ගැන ඉඟි කල පාප්වහන්සේ අවධාරණය කෙළේ විවාහයේ සංයෝගය දියකරහැරිය නොහැක්කක් බවයි.

එසේම අර්බුද හේතුවෙන් පවුලක් ඉරිතැලුණු හෝ බිඳ වැටුණු විට සභාව කල යුත්තේ ඔවුන් විනිශ්චය කිරීම හෝ ඔවුන්ට සභාවේ දොරගුළු වසා තැබීම නොවන බව ද පාප් වහන්සේ පැවසුහ. ඒ වෙනුවට සභාවේ මෙහෙවර වන්නේ එවැන්නන් සොයා ගොස් ඔවුනට අත දීම බව ද උන්වහන්සේ පෙන්වා දුන්හ.

සිනොඩ් කතිකාව ආරම්භයේ කල මෙම දේශනය සිනොඩ් පියවරුන්ට එම කතිකාව ගැන දුන් මාර්ගෝපදේශයක් වැන්න.

දෙවිඳුන් ගේ සිහිනය

පවුල වූ කලී මැවිල්ල සඳහා දෙවියන් වහන්සේ ගේ සිහිනය වූ බව සිය දේශනාව ආරම්භ කරමින් ප්‍රැන්සිස් පාප්වහන්සේ කියා සිටියහ.

"සිය ප්‍රේමවන්ත මැවිල්ල වෙනුවෙන් දෙවියන් වහන්සේ ගේ සිහිනය වුයේ මෙයයි: එනම්  මිනිසා සහ ගැහැණිය අතර ඇතිවන ප්‍රේමාන්විත සම්බන්ධතාවයෙන් එය පරිපුර්ණතත්වයට පත්  වනු දැකීමයි; පිරිමියා සහ ගැහැණිය සිය හවුල් ගමන තුළ ප්‍රීති සන්තෝෂ වෙමින්, සිය ස්වීයත්වය අන්‍යෝන්‍ය වශයෙන් තිළිණ කිරීමෙන් ඵල බරිතවෙමින්  මැවිල්ල පරිපුර්ණත්වයට පත් කරනු දැකීමයි."

මැවිල්ලේ ආරම්හයේ සිටම දෙවියන් වහන්සේ ඔවුන් පුරුෂයා සහ ස්ත්‍රිය ලෙස මවා වදාළ බව ඉරිදාට නියමිත මාක් තුමා ගේ සුබ අස්නෙන් ජේසු සමිඳුන් පවසන්නේ ඒ නිසා යයි සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය. "ඒ හේතුකොට ගෙන මිනිසෙක් තම පියා ද මව ද අත හැර සිය භාර්යාවට ඇලුම් වන්නේ ය. එම යුවල එකම මාංශයක් වෙති.එබැවින් ඔවුහු එතැන් සිට දෙදෙනෙක් නොව එක කෙනෙක් බවට පත් වෙති."

පළමු මිනිසා ගේ හුදෙකලාව

උත්පත්ති පොතෙන් උපුටාගෙන තිබූ පළමු කියැවීමේ එන මැවිල්ලේ කතාව විග්‍රහ සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ, ඒව මවන්නට පෙර ආදම් අත්දකිමින්  සිටි තනිකම ගැන විස්තර කළහ. එබැවින් ඔහුට "සුදුසු උදව්කරුවකු" ලෙස ගැහැණිය මැවූ දෙවියන් වහන්සේ එම සංයෝගයට ආශීර්වාද කලද, විවාහයට එල්ලවන විවිධ අභියෝග නිසා නුතන ලෝකය තුළ මිනිසා යලිත් "තනි වී" සිටින ආකාරය එතුමා පැහැදිලි කළේය.

"උද්‍යානය සහ මැවිල්ලේ සෙසු ජීවීන් කෙරෙහි ආධිපත්‍යය මිනිසාට පැවරී තුබුණත් ඔහුට සිතුනේ තමා තනිවී සිටින බවයි. මේ නිසා ඔහු තනිකමක් හුදෙකලාවක් අත්දුටුවා. එසේ ම නූතන සමාජය තුළ ද මෙම තනිකම විවධ අයුරින් අපට දක්නට ලැබෙනවා. සුවිසල් මන්දිර හා අහස සූරන කුළුණු වලින් සුසැදුනු ගෝලීය කරන වූ නුතන ලෝකයේ පවුල තුළ ඇති උණුසුම කනගාටුදායක ලෙස අඩුවෙමින් පවතිනවා. මිනිසුන් තුළ ඇති අභිලාශ, අභිප්‍රායයන් බොහෝයි.අපට විවිධාකාර විනෝදාස්වාද මාර්ග ද තිබෙනවා. එහෙත් ඒවා ලබාගැනීමට හෝ රසවිඳීමට අපට ඇති කාල් වෙලාව හෝ නිදහස ඉතා අඩුයි" එතුමා පෙන්වා දුන්නේය.

"ගැඹුරු අභ්‍යන්තර හිස් බවක් වර්ධනය වෙමින් තිබෙනවා. තනිකමින්, හුදෙකලා බවින් පීඩා විඳින මිනිසුන් සංඛ්‍යාව වැඩිවෙමින් පවතිනවා. එසේම, ආත්මාර්ථකාමී බව, දොම්නස, විනාශකාරී හිංසන ක්‍රියා,  සුඛ විහරණය සහ මුදල් යන බලවේග වලට හසු වූවන්  ගේ සංඛ්‍යාව ද වැඩිවෙමින් තිබෙනවා."

" මේ ආකාරයෙන්, නුතන ලෝකය ද ආදම් සේම, බලය තිබුනත්, තනිකම හා දුර්වලබව අත්දකින බව සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය.

ආදරයේ පරිපුර්ණ එක්වීම  වන විවාහය තුළ අන්තර්ගත ආධ්‍යාත්මික බැඳීමත් ඒ තුළින් ගලා එන විවාහයේ ස්ථිරත්වයත් වැනි වටිනාකම් අද්‍යතන ලොව තුල බිඳ වැටී ඇති අන්දම පාප් වහන්සේ විස්තර කළහ.

"ස්ථිර හා ඵලදායි ප්‍රේම සම්බන්ධතාවක් ගොඩනැගීම ගැන ජනතාව බැරෑරුම්ව නොසිතන බවක් පෙනෙන්නට තිබේ. නිත්‍යවූ, විශ්වාසවන්ත, සවිඥානික ,ස්ථාවර සහ ඵලදායි ප්‍රේමය අතීතයෙන් ඉතිරි වූ විකාරරූපී නෂ්ටාවශේෂයක් ලෙස ගර්හාවට ලක්වීමට පටන්ගෙන ඇත."

මෙම තත්වයේ අවාසනාවන්ත ප්‍රතිඵල එතුමා පෙන්වා දුන්නේ ය: "අවම උපත් අනුපාතය, ඉහලම ගබ්සා, දික්කසාද හා සියදිවිහානිකර ගැනීම්  ප්‍රතිශතය හා සමාජ හා පරිසර දුෂණයේ ඉහලම අගයන් වාර්තා වන්නේ අතිශයින් දියුණුම සමාජවලින් බව පෙනී යයි."

පළමු මිනිසා ගේ තනිකම වටහා ගත දෙවියන් වහන්සේ ඔහුට සුදුසු සහකාරිය ලබා දෙමින් ඔහු පුර්ණත්වයට පත් කල ආකාරය  දවසේ දේව වචනය ගෙන හැර පාමින් පාප් වහන්සේ විස්තර කළහ. "මෙයින් පෙන්නුම් කෙරෙන්නේ දෙවියන් වහන්සේ අප මවා වදාළේ අප  තනිව දොම්නස්ව සිටිනු දැකීමට  නොවන බවයි.එතුමන් පිරිමින් හා කාන්තාවන් මවා වදාළේ සතුටින් ජීවත් වීම සඳහායි. අපව අනුපුරණය කරන සහකාරියකු, සහකාරියක සමග අපගේ ජීවිත ගමන බෙදා ගැනීම සඳහායි. ආදරය ලැබීම හා ආදරය කිරීම සඳහායි. එසේම එම ආදරය දරුවන් තුළින් ඵල දරනු සඳහායි."

දික්කසාදය - වෙන්වීම

පැරණි ගිවිසුමේ ජුදෙව්වන් සිතා සිටියේ දිකසාද කිරීමට ඇති අයිතිය අනුල්ලංගනීය එකක් බවයි. ඒ නිසා ජේසු සමිඳුන් උපායකට හසු කර ගැනීමේ අදහසින් උන්වහන්සේට සවන් දුන් පිරිස  දික්කසාදය ගැන ප්‍රශ්න කළහ. එහෙත් ඔවුන් බලාපොරොත්තු නොවූ අයුරින් ජේසු සමිඳුන් ඉතා නිශ්චිතව  මැවිල්ලේ කතාවටම යලිත්  ඔවුන් ගෙනයමින් විවාහයේ නිත්‍යභාවය තහවුරු කල බව පාප් වහන්සේ පෙන්වා දුන්හ.

"දෙවියන් වහන්සේ මානව ප්‍රේමයට  ආශීර්වාද කරන බව ජේසු සමිඳාණන්  මේ මගින් අපට පෙන්වා දෙනවා . එකිනෙකාට ආදරය කරන දෙදෙනකු ගේ හදවත් එකට යා කරන්නේ උන්වහන්සේ බව  උන්වහන්සේ අපට පසක් කරදෙනවා.එසේම උන්වහන්සේ ඔවුන් සම්බන්ධ කරන්නේ දියකර හැරිය නොහැකි, වෙන් කල නොහැකි එකත්වයකින් බවත් සමිඳුන් අපට පවසනවා."

"එබැවින් දෙවියන් වහන්සේ එක්‌  කල දෙය මිනිසා වෙන් නොකරාවා යයි ජේසු සමිඳුන් දුන් අවවාදයේ ඉතා නිශ්චිත උපදේශයක් ගැබ්ව තිබේ. එනම් දෙවියන් වහන්සේ ගේ සැලැස්ම තුළ ස්ත්‍රි-පුරුෂ යුවලේත්  මානව ලිංගිකත්වයේත් සැබෑ අර්ථය පිළිගැනීමට ඇති බිය හෝ පටු ආත්මාර්ථකාමිත්වය, නීතිය හෝ පුද්ගලවාදය තුළින් වසා දැමීමට කෙරෙන උත්සාහයන්ට කිතුනුවන් යටපත් නොවිය යුතු බවයි."

"දෙවියන් වහන්සේට විවාහය යනු යෞවනයේ යුටෝපියාවක් නොවේ. එය සිය මැවිල්ල හුදෙකලා බවින් ඉවත්කිරීම සඳහා උන්වහන්සේ ගේ සිහිනයයි. ඇත්ත වශයෙන්ම, මෙම සිහිනය පිළිගැනීමට අපොහොසත් වුවහොත් එයින් මනුෂ්‍ය හදවත අකර්මන්‍ය  වෙයි"  

නුතන ලෝකය සැබෑ, විශ්වසනීය ප්‍රේමයට ගරහමින් මාංශ තෘෂ්ණා ඔස්සේ ලුහුබඳින ආකාරය ප්‍රැන්සිස් පාප් වහන්සේ විස්තර කළහ

සභාවේ දූත මෙහෙවර 

මෙවැනි පරිසරයක් තුළ කතෝලික සභාවේ දූත මෙහෙවර කුමක් දැයි පාප් වහන්සේ පෙන්වා දුන්හ.  පවුල පිලිබඳ සිනොඩ් කතිකාවේ පියවරුන්ට මග පෙන්වීමක් බඳු විය. මෙම දූත මෙහෙවර පාප් වහන්සේ කොටස් දෙකකින් ඉදිරිපත් කළහ. පළමුවැන්න විවාහය හා පවුල පිලිබඳ සභා ඉගැන්වීම ආරක්ෂා කරන අතර පවුලේ ආධ්‍යාත්මිකත්වය ශක්තිමත් කිරීමට කැපවීමයි.

පවුල පිලිබඳ දුත මෙහෙවර විශ්වාසවන්තකමින්, සත්‍යතාවයෙන් හා ප්‍රේමයෙන් යුක්තව ඉටුකිරීමට සභාව කැඳවනු ලබා ඇතැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේය. "සිය ස්වාමියානන් වන ක්‍රිස්තුන් වහන්සේට විශ්වාසවන්ත වෙමින් නිවැරැදි හා විශ්වාසවන්ත ප්‍රේමය වෙනුවෙන් පෙනී සිට එය රැකබලා ගැනීමටත්, සිය විවාහ ජීවිතය තුළින් දෙවියන් වහ්න්සේසේගේ ම ප්‍රේමය හෙළිදරව් කරන පවුල් දිරිමත් කිරීමටත් සභාව කැඳවීම ලබා සිටියි. ජීවිතයේ පාරිශුද්ධත්වය - එනම් මව් කුසේ සිට ස්වාභාවික මරණය තෙක් සාම ජීවිතයකම ඇති පුජනීයත්වය - වෙනුවෙන් පෙනී සිටීමටත් ,විවාහ බන්ධනයේ ඒකීයත්වය හා වෙන් කල නොහැකි බව ආරක්ෂා කිරීමටත් දෙවියන් වහන්සේ සභාව කැඳවා තිබේ. සභාවේ මෙම දුත මෙහෙවර සත්‍යතාවයෙන් යුතුව ඉටුකළ යුතුය. එහි අර්ථය නම්, කාලයෙන් කාලයට වෙනස් වන විලාසිතාවලට අනුව හෝ ජනප්‍රිය මතිමතාන්තර වලට අනුව හෝ මෙම ඉගැන්වීම් වෙනස් නොවිය යුතු බවයි. සත්‍යය,  ඵලදායි ප්‍රේමය නිසරු ආත්මාර්ථකාමී ආශාවක්  වීමේ  දුර්පරීක්ශාවෙන් ද විශ්වසනීය සම්බන්ධය ස්ව කේන්ද්‍රීය තාවකාලික ගිවිසුමක් වීමේ තත්වයෙන් ද එක් එක් පුද්ගලයන්වත් සමස්තයක් වශයෙන් මුළු මානව සංහතියත් ආරක්ෂා කරයි."

දයාව

සභාව පවුල් දූත සේවාව ප්‍රේමයෙන් හා දයාවෙන් යුතුව ඉටුකළ යුතුය යන්නෙන් අදහස් කරන්නේ කිසිවකුට හෝ ඇඟිලි දික්කිරීමෙන් හෝ කිසිවකු විනිශ්චය කිරීමෙන් හෝ සභාව වැලකි සිටිය යුතු බව යැයි ප්‍රැන්සිස් පාප් වහන්සේ අවධාරණය කළහ. ඒ වෙනුවට තුවාල ලද පවුල් සොයා ගොස්, ඔවුන් පිළිගනු ලැබීමේ සහ දයා කරුණාවේ ඔසුවෙන් සුවපත් කිරීමයි."

1998 දී ශු. දෙවැනි ජුවාම් පාවුළු පාප් වහන්සේ මේ සම්බන්ධයෙන් කල ප්‍රකාශයක් ප්‍රැන්සිස් පාප් වහන්සේ උපුටා දැක්වුහ. "නපුර සහ වැරැද්ද නිරන්තරයෙන් හෙලා දැක ඊට විරුද්ධ විය යුතුය. එහෙත් වැරැද්දට වැටෙන පුද්ගලයා තේරුම් ගෙන ඔහුට ප්‍රේම කල යුතුය."

"එසේම සභාව විවාහයේ දී ඇද වැටෙන පුද්ගලයන්  සොයා ගොස් ඔවුන් පිළිගෙන ඔවුන් සමග ගමන් කල යුතු ය. මන්ද ඔවුනට දොරවල් වසා ඇති සභාවක් සිය දූත මෙහෙවරත් තමාවත් පාවා දී ඇති සභාවක් බැවිනි. එවැනි සභාවක් පාලමක් වනවා වෙනුවට මාර්ග බාධකයක් බවට පත්වෙයි" යැයි දයාවේ දුත මෙහ්වර පාප් වහන්සේ පැහැදිලි කළහ.

අවසානයේදී ප්‍රැන්සිස් පාප් වහන්සේ පවුල පිලිබඳ සිනොඩ් කතිකාව දේව මෑණියන් වන මරිය වහන්සේට කැප කළහ.

(CNA/CNS)





Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය