පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

Pope Francis to meet with Fidel Castro in Cuba?

1988 ජනවාරියේ දී කියුබාවට පැමිණි ශු. දෙවැනි ජුවාම් පාවුළු පාප් වහන්සේව එවකට ජනාධිපති පිදෙල් විසින් පිළිගනු ලැබූ මොහොත

(2015 සැප්තැම්බර් 15)
සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ සිය කියුබා සංචාරයේ  දී හිටපු ජනාධිපති පිදෙල් කස්ත්‍රෝ හමුවනු ඇතැයි වතිකාන ආරංචි මාර්ග පවසයි.

ශුද්ධෝත්තම පියතුමා ලබන සෙනසුරාදා එනම් සැප්තැම්බර් 19 වනදා උතුරු ඇමෙරිකාවේ අපෝස්තලික ගමනක් ආරම්භ කරයි. එම ඓතිහාසික ගමනේ ප්‍රථම නැවතුම කියුබාවයි. මෙම චාරිකාවට කියුබාව ඇතුලත් කරගන්නා ලද්දේ පාප් වහන්සේ ගේ ම ඕනෑකම මත වීම විශේෂත්වයයි. ඒ සඳහා ජනාධිපති රවුල් කස්ත්‍රෝ මහතා ගේ නායකත්වයෙන් යුත් කියුබා රජයේ ප්‍රතිචාරය නොමදව ලැබිණ. ඇමෙරිකා එක්සත් ජනපදය හා කියුබාව අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා     යළි සාමන්‍ය තත්වයට ගෙන ඒමේ කර්තව්‍යයේ දී ප්‍රැන්සිස් පාප් වහන්සේ ඉටු කළ අතරමැදි මෙහෙවර මෙම පිළිගැනීමට බෙහෙවින් ම හේතු වී තිබිණ.

මෙම අපෝස්තලික ගමනේ දී පාප් වහන්සේ කියුබා නායක රවුල් කස්ත්‍රෝ මහතා නිල වශයෙන් මුණගැසීමට නියමිතය. ඊට අමතරව එතුමන් ඔහුගේ වැඩිමහල් සහෝදරයා වන කියුබාවේ හිටපු නායක පිදෙල් කස්ත්‍රෝ මහතා ද මුණ ගැසෙනු ඇතැයි ආරංචි පැතිර ගොස් තිබිණ.

මේ සම්බන්ධයෙන් ප්‍රවෘත්ති කලාවේදීන් පාප් වහන්සේ ගේ මාධ්‍ය ප්‍රකාශක ෆ්‍රෙඩ්රිකෝ ලොම්බාඩි ජේ.නි. පියතුමාගෙන් කල විමසීමේ දී එතුමන් කියා සිටියේ එම ආරංචියේ සත්‍යතාවක් තිබෙන බවයි.

"එම මුණගැසීම සිදුවීමේ අතිශය වැඩි සම්භාවිතාවක් තිබෙනවා. පාප්වහන්සේ හවානා නුවර ගතකරන දවසේ දී එය සිදුවනු ඇති" යි එතුමා කියා සිටියේ ය. කෙසේ වුවද පාප් වහන්සේ ගේ නිල වැඩසටහනේ ඒ සඳහා මෙතෙක් වෙලාවක් වෙන් කොට නැති බව පියතුමා පෙන්වා දුන්නේ ය. "ඒ නිසා එම හමුව සඳහා පහසු වෙලාවක් අපට සොයා ගන්නට සිදු වෙනවා. එහෙත් ඇත්ත වශයෙන් ම මෙම හමුවීම සිදුවිය හැකියි" එතුමා සඳහන් කළේය.

"දයා කරුණාවේ ධර්ම දූතයා "


මේ අතර, ප්‍රැන්සිස් පාප් වහන්සේ කියුබාවට පැමිණෙන්නේ දයාවේ ධර්ම දුතයකු ලෙස බව කියුබා කතෝලික රදගුරු මණ්ඩලය ප්‍රකාශ කරයි. එතුමන් ගේ අපෝස්තලික සංචාරයේ තේමාව "දයා කරුණාවේ ධර්ම දූතයා " යන්න යැයි එම රදගුරු මණ්ඩලය ප්‍රකාශයට පත් කළේය. මෙම තේමාව විශේෂයෙන් තෝරාගෙන ඇත්තේ ලබන වසර සඳහා පාප්වහන්සේ විසින් ප්‍රකාශයට පත් කර ඇති "දයාවේ ජයන්ති වසර " සැලකිල්ලට ගනිමිනි.

ශු. දෙවැනි ජුවාම් පාවුලු  පාප්වහන්සේ කියුබාවට පැමිණියේ "සත්‍යයේ හා බලාපොරොත්තුවේ පණිවිඩකරු" ලෙස බව රදගුරු මණ්ඩල ප්‍රකාශකයෙක් කියා සිටියේය. සොළොස්වන බෙනඩික් පාප්වහන්සේ ගේ කියුබා චාරිකාවේ තේමාව වූයේ "දයාවේ වන්දනාකරු" යන්නයි. දැන් ඒ මග අඛණ්ඩව ඉදිරියට ගෙන යමින් ප්‍රැන්සිස් පාප්වහන්සේ දයා කරුණාවේ දහම් දුතයා ලෙස පැමිණෙන බව හෙතෙම සඳහන් කළේය.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය