දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය

Jesus' blood type revealed by consecutive Eucharistic Miracles


(2017 ජුනි 20)
පසුගිය ඉරිදා (ජුනි 18) ජේසු සමිඳුන් ගේ ශ්‍රී ශරීරයේ සහ ශ්‍රී රුධිරයේ මංගල්‍ය දිනයයි. "දිව්‍ය සත්ප්‍රසාද මංගල්‍යය" ලෙසද මෙය හැඳින්වේ. මෙදින කතෝලික සභාව උත්සව ශ්‍රීයෙන් සමරා වන්දනා කරන්නේ දිව්‍ය ශ්‍රී පූපය තුළ පූර්ණ මිනිස් බවින් හා පූර්ණ දිව්‍ය බවින් සැබවින් ම වැඩවෙසෙන ජේසු සමිඳුන්ටයි.

දිව්‍ය පූජාව අවස්ථාවේ පුදැදුරුතුමන් විසින් ජේසු සමිඳුන් අන්තිම රාත්‍රී භෝජනය අවස්ථාවේ ප්‍රකාශ කළ වදන් පුනරුච්චාරණය කිරීමත් සමග පූප සහ මිදිරස භාවාර්ථීය වශයෙන් ජේසු සමිඳුන් ගේ ශ්‍රී ශරීරයටත් ශ්‍රී රුධිරයටත් පරිවර්තනය වන්නේ ය යන්න කතෝලික ධර්මයේ කේන්ද්‍රීය ඉගැන්වීමකි. අපොස්තුලුවරුන්ගේ  සිට මේ දක්වාම කතෝලික සභාව අඛණ්ඩව මෙම කේන්ද්‍රීය ඇදහිල්ල කිසිදු සැකයකින් තොරව නොබියව ප්‍රකාශ කරයි.

ගතවූ කාලය තුළ සිදු වූ ප්‍රාතිහාර්ය කිහිපයකින් ද පූපය හා මිදිරස තුළ ජේසු සමිඳුන් වැඩවෙසෙන බව ප්‍රකාශ වී තිබේ.මෙම ප්‍රාතිහාර්යයන් හැඳින්වෙන්නේ "දිව්‍ය  සත්ප්‍රසාද ප්‍රාතිහාර්යයන්" ලෙසය.  එපමණක් නොව ජේසු සමිඳුන් ගේ ලේ වර්ගය ඉතා දුර්ලභ ලේ වර්ගයක් වන  AB වර්ගය බවද මෙම ප්‍රාතිහාර්යවල ප්‍රතිඵල විද්‍යාත්මක පරීක්ෂණ වලට ලක් කරන විට යළි යළිත් තහවුරු  වී තිබේ.

මේ සත්ප්‍රසාද මංගල්‍ය නිමිත්තෙන් එම දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය ගැන තබන කෙටි සටහනකි.

මේ පිලිබඳ පළමු ප්‍රාතිහාර්යය වාර්තා වන්නේ ඉතාලියේ ලන්සියානෝ නගරයෙනි.

දිව්‍ය සත්ප්‍රසාදය තුළ ජේසු සමිඳුන් සැබවින් ම වැඩවෙසෙන්නේ ද යන්න ගැන 8 වන සියවසේ ලන්සියානෝවේ සේවය කල පූජකතුමෙකු තුළ සැකයක් හටගෙන තිබිණි. දිනක් එතුමා දිව්‍ය පූජාව ඔප්පු කරමින් පූපය අභිෂ්ක කිරීමේ වචන (words of consecration) උච්චාරණය කරද්දී එතුමන් මවිත කරමින් එම පූපය සහ මිදිරස මිනිස් මාංශයටත් මිනිස් ලෙයටත් පරිවර්තනය විය. මෙම මාංශය හා රුධිරය ලන්සියානෝහි  සන් ප්‍රන්සෙස්කෝ දෙව්මැදුරේ විශේෂ වන්දනාමාන සහිතව වැඩමවා තිබිණ.

මෙම රුධිරය සහ මාංශ කොටස් 1971 දී   ඔදොරාදෝ ලිනොලි නමැති ව්‍යවච්ඡේද විද්‍යාඥයා විසින්  පරීක්ෂාවට ලක් කෙරිණ.  ඔහු කියා සිටියේ මෙම කොටස් මිනිසකුගේ සැබෑ මාංශ හා රුධිර කොටස් වන අතර  ඒවා තවමත් නරක් නොවී නැවුම් තත්වයෙන් පවත්නා බවයි.  මෙම මාංශ කොටස් මිනිස් හර්ද පටකයේ කොටස් වන අතර එය අයත් පුද්ගලයා AB  වර්ගයේ  ලේ සහිත පුද්ගලයකු බවට ද විද්‍යාඥ ලිනොලි නිගමනය කළේය. රුධිරය තවමත් නැවුම් බව ද කිසිදු කල්තබාගැනීමේ සංයෝගයක් එහි නොමැති  බව ද ඔහු හෙළිදරව් කළේය.

ඔබ ලන්සියානෝ දෙව්මැදුරට  ගියහොත් අදත් නොවෙනස්ව පවතින  මෙම ප්‍රාතිහාර්යමය ශ්‍රී මාංශය සහ ශ්‍රී රුධිරය ඔබට දැකගත හැකිවනු ඇත.

1996 අගෝස්තු 18 වනදා උදෑසන  ආජන්ටිනාවේ අලිහන්ඩ්රෝ පසෙත් පියතුමා බුවනෝස් අයරෙස්හි වෙළෙඳ මධ්‍යස්ථාන දෙව්මැදුරක  දිව්‍ය පූජාව ඔප්පුකර අවසන් වූවා පමණි. එතුමා වෙත කලබලයෙන් මෙන් පැමිණි  මීසම් වැසි කාන්තාවක්, "ඉටිපන්දම් රඳවනයක දමා අගරු කරන ලද පූපයක් පල්ලිය පිටිපස්සේ තිබෙනවා" යි  මහත් වේදනාවෙන් කියා සිටියාය. වහාම දෙව්මැදුරේ පිටුපසට ගිය පියතුමාට එම පූපය දැකගත හැකිවිය. පූපය  පරෙස්සමින් සිය අතට ගත එතුමා එය පිරිසිදු වතුර වීදුරුවකට බහාලුයේය . (සභා  නීතිය අනුව මෙලෙස හමුවන පූප දිය වීම සඳහා  දිය බඳුනකට දැමිය යුතුය.) පසුව පූපය සහිත දිය බඳුන දෙව්මැදුරේ දිව්‍ය සත්ප්‍රසාද මංජුසාවේ තැන්පත් කල එතුමා නික්ම ගියේය.

අගෝස්තු 26 වනදා සත්ප්‍රසාද මංජුසාව විවෘත කළ අලිහන්ද්රෝ පියතුමාට දක්නට ලැබුණේ එතුමන් ද මවිත කල දර්ශනයකි. එනම්  දිය බඳුනට දැමූ පූපය ලේ සහිත ද්‍රව්‍යයක් බවට පත්ව තිබූ අයුරුයි. එතුමා වහාම මේ ගැන සිය රදගුරු තුමන් වූ හොර්හේ මාරියෝ බොර්ගෝලියෝ අගරදගුරු තුමන්ට දැන්වූයේය. "මෙය ප්‍රසිද්ධ කරන්නට එපා! වෘත්තීය චායාරූප ශීල්පියකු ලවා මෙය සේයාරූ ගත කරන්න" අගරදගුරු තුමා උපදෙස් දුන්නේය. සේයාරූ ගැනීමෙන් පසු බඳුන යළිත් සත්ප්‍රසාද මංජුසාවේ  තැන්පත් කෙරිණි.

1999 දී මෙය පරීක්ෂා කළ බොර්ගෝලියෝ අගරදගුරු තුමන්ට දක්නට ලැබුණේ මෙම මාංශමය කොටස නරක නොවී දිරාපත් නොවී පවත්නා බවයි. මේ නිසා මේ ගැන විද්‍යාත්මක පරීක්ෂණයක් කිරීමට එතුමා තීරණය කළේය.

මේ අනුව 1999 ඔක්තෝබර 5 වනදා අගරදගුරු තුමා ගේ නියෝජිතයකු ඉදිරියේ වෛද්‍ය කැස්තනොන් මහතා මෙම මාංශයේ නියැදියක් වෙන් කර ගත්තේය. අනතුරුව එය පරීක්ෂණ සඳහා කැලිෆෝනියාවට යවන ලදී. පරීක්ෂණයේ නිරවද්‍යතාව සහතික කරගනු පිණිස  මේ මාංශ කොටස ගැන කිසිදු විස්තරයක් කැලිෆෝනියා විද්‍යාඥ කණ්ඩාමට ලබා නොදීමට ද තීරණය කෙරින.

පරීක්ෂණ මෙහෙයවන ලද්දේ ප්‍රකට හර්ද විශේෂඥයකු හා ව්‍යාධිවේද වෝහාරිකවිද්‍යා විශේෂඥයකු ද වන ආචාර්ය ෆ්‍රෙඩ්‍රික් සුගීබා මහතායි. මෙම නියැදිය පිළිබඳව ඔහු ඇතුළු කණ්ඩායම දීර්ඝ නිගමනයක් ඉදිරිපත් කළේය. එහි කැපීපෙනෙන නිගමන කෙටියෙන් මෙසේය:

"මානව DNA සහිත මෙම මාංශ කොටස පිරිමියකු ගේ  හෘදය වස්තුවේ වම් කර්ණිකාවේ කපාට අසලින් ලබා ගන්නා ලද මාංශ පේශී කොටසකි.  මෙය හෘදය සංකෝචනය කිරීම සිදුකරන මාංශ පේශිය යි. .....මාංශ පේශිය ඉදිමී ඇති අතර එහි සුදු රුධිරානු විශාල සංඛ්‍යාවක් දක්නට ලැබේ. මෙයින් එළඹිය  හැකි නිගමනය නම් නියැදිය ලබා ගන්නා අවස්ථාවේ හෘදය ජීවත් වූ බවයි. ...එසේම සුදු රුධිරානු පටකය තුළට  කා වැදී ඇති බව පෙනෙන්නට තිබේ. මෙයින් පෙන්නුම් කෙරෙන්නේ හෘදය දැඩි පීඩනයකට ලක්ව තිබූ බවයි. හෘදය හිමිකරුවාගේ ළය ප්‍රදේශය පහර දීමකට ලක්ව ඇති බව මේ මගින් නිගමනය කල හැකිය......මේ හෘදය අයත් පුද්ගලයාගේ රුධිර කාණ්ඩය AB වේ."

ලන්සියානෝ ප්‍රාතිහාර්යයේ නියැදියක් පසුව පරීක්ෂා කරන විට හෙළිදරව් වී ඇත්තේ එම මාංශ පේශිය හා ආජන්ටිනාවේ නියැදිය තුළ ඇති DNA එක සමාන බවයි.


මෙවැනි තවත් ප්‍රාතිහාර්යයක් 1263 දී ඉතාලියේ බෝල්සේනා නගරයේ දී සිදුවිය. ජර්මානු ජාතික ප්‍රාග් හි පීටර් පියතුමා ඉතා බැතිමත් හා සිල්වත් පියතුමකු වුවත් දිව්‍ය සත්ප්‍රසාදය තුළ ජේසු සමිඳුන් ගේ සැබෑ වැඩසිටීම ගැන එතුමා තුළ සැකයක් තිබිණි. වරක් රෝමයට යන අතර බොල්සේනාවේ දෙව්මැදුරේ දිව්‍ය පූජාව සිදු කරද්දී සැක සහිත සිතකින් අභිෂේක කිරීමේ වචන උච්චාරණය කරන විට පූපයෙන් ලේ බිඳු ගලා එන්නට විය. එම ලේ බිඳු පියතුමා ගේ අතට ද වැදී ඉහිරී  අභිෂේක කරන ලද පූප හා මිදිරස බඳුන් තබන සළුව (Corporal) මතට වැටිණ. වහාම යාබද ඔරිවෙතෝ නගරයට ගිය පීටර් පියතුමා එවකට එහි සිටි සිව්වන උර්බන් පාප් වහන්සේ මුණගැසී  මේ පුවත පවසා සිය අවිශ්වාසය ගැන සමාව ඉල්ලා සිටියේය. මෙම ලේ වැදුණු සළුව ආරක්ෂා කර ඊට ගෞරව කරන්නට සුදොතුම් පියතුමා පියවර ගත්තේය. 1990 ගණන්වල අග භාගයේ මෙම සලුවේ වැදුණු "සංයෝගය" ගැන විද්‍යාත්මක පරීක්ෂණයක් කෙරින. මෙම සංයෝගය මිනිස් ලේ බවත්, එහි මානව DNA දක්නට ලැබෙන බවත් මෙම පරීක්ෂණයේ දී  නිගමනය විය. මෙම පරීක්ෂණ අනුව මෙම ප්‍රාතිහාර්ය තුනම සඳහා යොමු කල නියැදි වල අඩංගු වන්නේ එක සමාන DNA ය. රුධිර වර්ගය AB ය. 

තවත් වැදගත් කරුණක් එකතු කල යුතුය. ඒ, ජේසු සමිඳුන් ගේ ශ්‍රී දේහය ගල් ලෙනෙහි තැන්පත් කරන අවස්ථාවේ ජුදා සම්ප්‍රදාය අනුව එම දේහය වෙලා තිබූ සළුව ලෙස කතෝලිකයන් විශ්වාස කරන ටියුරින් හි ශව වස්ත්‍රය ගැනයි.

මෙම වස්ත්‍රයේ  වැදී ඇති රුධිරය ද පරීක්ෂාවට ලක් කර තිබේ. එම රුධිරයෙහි ඇති DNA සත්ප්‍රසාද ප්‍රාතිහාර්වල නියදිවල අඩංගු DNA හා සමාන වන අතර, එම රුධිරයේ රුධිර කාණ්ඩය ද AB බව තහවුරු වී තිබේ.  





Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු