"අඹු-සැමි තුවාල පිළිකාවක් සේ ඔඩුදුවා පවුල ගිල ගන්නට පෙර........." (Video)

"If your wounds are not healed in time, they would cripple the family" - General Audience 


(2015 ජුනි 24)
පවුලේ තුවාලවලට කලට වේලාවට, පවුලේ සුව සෙත ලැබෙන ලෙස ප්‍රතිකාර නොකළහොත් ඒවා ඔඩු දුවන්නට ඉඩ තිබේ. එසේ වුවහොත් සැමියා සහ බිරිඳට පමණක් නොව දූ දරුවනටත් ඒවායේ ආදීනව වලට මුහුණ දීමට සිදු වේ. එබැවින් තුවාල සඟවාගෙන නොසිට ඒවා සුවපත් කර ගැනීමේ මගට පිවිසීමට පවුල් ප්‍රඥාවෙන් කටයුතු කල යුතුය.

ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ ගේ බදාදා (ජුනි 24 දා) පොදු හමුවේ ධර්මෝපදේශ කතාවේ සාරාංශය එයයි. ලබන ඔක්තෝබරයේ පැවැත්වෙන පවුල පිලිබඳ ලෝක රදගුරු කතිකාව තෙක් පොදු හමුවේ ධර්මෝපදේශ කතාවේ තේමාව ලෙස පාප්වහන්සේ තෝරාගෙන ඇත්තේ පවුලයි. පවුලේ සම්බන්ධතාවලට සිදුවන තුවාල, එහි පැවැත්මට බලපාන අයුරු මෙම බදාදා හමුවේ දී පාප්වහන්සේ පෙන්වා දුන්හ.

"පවුලේ එක සාමාජිකයකු තවත් කෙනෙකුට රිදවන අවස්ථා පවුල් ජීවිතයේ දක්නට ලැබෙනවා" සිය දේශනය අරඹමින් පාප්වහන්සේ කියා සිටියහ."එහි ප්‍රතිඵල ලෙස ඇතිවන තුවාල එක සාමාජිකයකුගේ වචන, ක්‍රියා හෝ අත පසු කිරීම් නිසා සිදුවන්නට පුළුවන්. ආදරය ප්‍රකාශ කරනු වෙනුවට ඒ මගින් සිදුවන්නේ අප බෙහෙවින් සමීප,  පෙම්බර කෙනකුගේ සිත රිදී, පවුලේ සාමාජිකයන් අතර, විශේෂයෙන් සැමියා සහ බිරිඳ අතර බරපතල බෙදීම් සිදු වීමයි" යැයි එතුමා පෙන්වා දුන්නේ ය.

"මෙවැනි රිදීම් සඟවාගෙන සිටීමෙන් සිදුවන්නේ තුවාල තවත් ගැඹුරු වීමයි. ඒ මගින් කෝපය ගොඩ නැගී ආදරය කරන අය අතර ගැටුම් ඇති වීම දක්වා වර්ධනය විය හැකියි. කලට වේලාවට මෙම තුවාල සුවපත් කල නොහැකි වුවහොත් සිදුවන්නේ , ඒවා නොරිස්සුම් සහගත බව මෙන්ම එදිරිවාදිකම් දක්වා දරුණු වීමයි. එසේ වනවිට ඒවා කඩා වැටෙන්නේ දූ දරුවන් මතටයි. මෙවැනි තත්වයක් ඇති වනවිට, ඇතැම් විට, සැමියා හෝ බිරිඳ පවුලට හානි වන අන්දමට පවුලෙන් පිටත 'අවබෝධය' සොයා යන්නට පුළුවන්" යැයි පවුලට හානි සිදුවන ආකාරය පාප් වහන්සේ විස්තර කළහ.

තුවාල සහ දූ දරුවන් 

මිට කලින් දිනයක රෝම රදගුරු පදවියේ දෙමාපියනට උපදෙස් දුන්නා සේ, දෙමාපියන් අතර ගැටුම් වල බලපෑම තදින්ම දැනෙන්නේ දරුවන්ට බව ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ පෙන්වා දුන්හ.

"දෙමාපියන් එකිනෙකාට රිදවන විට, දු දරුවන්ගේ ආත්මය දුක්  විඳියි. ඒ ආත්ම තුළ වේදනාවේ කැළල තදින් තැන්පත් වෙයි.සැමියා සහ බිරිඳ 'එකම මාංශයක් ' වන්නේ කෙතරම් ද , තුවාල සහ අමතක කිරීම් ඒ තරමින් ම ඔවුන් ගේ ජීවමාන මාංශය වන දරුවන්ට බලපායි. විවාහ බැඳීම ආරක්ෂා කර ගන්නැයි ජේසු සමිඳාණන් අවධාරණය කලේ මේ නිසයි."

"අපේ මනෝවිද්‍යා විශ්ලේෂණ කෙතරම් සියුම් වූවත්, දරුවන් පිළිබඳව අප කෙතරම් දැඩි සංවේදී භාවයක් දැක්වුවත්, ලමයින් ගේ ආත්ම මත ඇතිවන තුවාල ගැන අප අතිශයින් අසංවේදී යි. තෑගී හෝ රස කැවිලි මගින් රිදවීම් වලට වන්දි ගෙවීමට අප  උත්සාහ කරන තරමට, දූ  දරුවන්ගේ තුවාල වල ගැඹුර හා ඔවුන් විඳින දරුණු වේදනාවේ තරම අපට තේරුම් ගත නොහැකි වෙනවා" යි ළමයින් මත පවුලේ ගැටළු බලපාන අයුරු පෙන්වා දෙමින් එතුමා කියා සිටියේ ය.

"මනෝ විද්‍යාත්මක වශයෙන් හැසිරීමේ ගැටළු, මානසික සුවය, ළමයින් ගේ යහ පැවැත්ම, කාංසාව වැනි මාතෘකා ගැන අපි හැර බරව කතා කරමු. එහෙත් ආත්මයක තුවාලය ගැන අප දන්නවා ද" යි එතුමා ප්‍රශ්න කලේ ය. පවුලක වැරැදි නිසා පවුල කඩා වැටෙන තරමට ගැටළු දුර දිග ගිය පවුලක, දරුවකු ගේ ආත්මය පොඩිපට්ටම් කළහැකි තරම් ඔවුන් ගේ ආත්මය මත  ඇතිවන වේදනා කන්දේ බර ගැන ඔබ දන්නවාද? අපේ තීරණ - අපේ දුර්වල තීරණ- ඔවුන් ගේ ආත්ම මත ඇති කරන බලපෑම කෙතරම් දැයි දන්නවා ද? දෙමාපියන් එකිනෙකාට රිදවා ගන්නා විට ඔවුන් තුළ ඇති වන මේ කැළැල් ඔවුන් ගේ ජීවිත කාල පුරා පවතිනවා" යි පාප්වහන්සේ පෙන්වා දුන්හ.


තුවාල - වෙන්වීම සහ සභාවේ කාර්ය භාරය 

කෙසේ නමුදු මෙවැනි තුවාල නිසා 'වෙන්වීම' නොවැලක්විය නොහැකි වන අවස්ථා ඇති බව පාප් වහන්සේ කියා සිටියහ. ඇතැම් විට එය ආචාර ධාර්මික අවශ්‍යතාවක් ද වෙයි. දරදඬු බව,අහංකාරය, ප්‍රචණ්ඩ කාරීත්වය,පහත්කොට සැලකීම, අපචාරය ආදිය ඊට හේතු විය හැකි බව එතුමා පෙන්වා දුන්නේ ය.

"මෙවැනි අවස්ථාවනට පත්වන පවුල් වලට සහාය වීම අවශ්‍ය යි.ඔවුන් විශ්වාසය තුළ කැටුව යා හැකි මාර්ග ගැන සභාවත් විශ්වාසයේ ජනතාවත් මෙනෙහි කල යුතු යැ"යි ප්‍රැන්සිස් පාප්වහන්සේ අවධාරණය කළහ.

ගැටළු තිබුනත් තමන් අතර ඇති වූ බැඳීමට ගරු කරමින් හා දරුවනට ඇති ප්‍රේමය නිසා එකිනෙකාට සමාව දෙමින් විවාහය තුළ විශ්වසනීයව සිටින පවුල් ද සිටින බව එතුමා සිහිපත් කළේය. ඔවුන් ලෝකයට සාක්ෂියක් බව එතුමා ප්වෙන්වා දුන්නේ ය.

"පවුලේ යතාර්ථය දෙස දෙවියන් වහන්සේ ගේ ඇසින් බලන්නට අපතුළ ශක්තිමත් විශ්වාසයක් ඇති වේවා. උන්වහන්සේ ගේ කරුනාබර් හදවතින් සෑම පවුලක් වෙතම ලඟා වන්නට අපෙ හදවත් ප්‍රේමයෙන් පිරේවා" යි පාප්වහන්සේ යාච්ඥා කළහ.





Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය