"ගැහැනියක හා පිරිමියකු අතර ඇති ආදරයේ සෞන්දර්යය ......."

"Do you believe in the Beauty of love between a man and a woman?" Pope asks parents  




(2015 ජුනි 16)
"දෙවියන් වහන්සේ ප්‍රේමය වන සේකැ"යි ජුවාම් තුමා සිය ලිපියේ පවසයි. එම "ප්‍රේමය" විසින් මවන ලද මිනිසා  සහ ගැහැණිය අතර හටගන්නා ප්‍රේමයේ සුන්දරත්වය ගැන ඔබ විශ්වාස කරනවා ද?

ඉකුත් ඉරිදා වතිකානයේ දී දෙමාපියන් කණ්ඩායමකට අනුශාසනා කරමින් ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ ඇසු ප්‍රශ්නය එයයි.

"මට ඔබෙන් මෙය අසන්නට ඕනෑ: ඔබ ප්‍රේමයේ සුන්දරත්වය කෙරෙහි විශ්වාස කරනවා ද? ප්‍රේමයේ විශිෂ්ටත්වය ගැන විශ්වාස කරනවා ද? ඔබට මේ ගැන විශ්වාසයක් තිබෙනවා ද?" යි උන්වහන්සේ ඇසූහ."ප්‍රේමය ගැනත් ප්‍රේමයේ සුන්දරත්වය කෙරෙහිත් විශ්වාස කරන කාන්තාවන්ටත් පිරිමින්ටත් දෙමාපියන් වන්නට දෙවියන්වහන්සේ ඇරයුම් කරනවා" යැයි එතුමා කියා සිටියේ ය.

පාප්වහන්සේ මෙසේ පැවසුවේ පසුගිය ජුනි 14 වන ඉරිදා සාන්ත පීතර චතුරශ්‍රයේ පැවැති දෙමාපියන්ගේ රැස්වීමකදීය. රෝම රදගුරු පදවියේ ප්‍රථම වරට දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබන සහ අභිවෘද්ධි ආලේපය දේව ප්‍රසාද නිධානය ලබන දරු දැරියන්ගේ දෙමාපියන් සඳහා මෙම රැස්වීම පැවැත්විණි. එම දරුවෝ ද ඔවුන් ඒ සඳහා සූදානම් කරන ධර්මෝපදේශකයන් හා පියතුමන්ලා ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

ආදරය හා විවාහය ගැන සභාවේ ඉගැන්වීම්, සිය ජීවිතයෙන් දරුවනට සන්නිවේදනය කල යුත්තේ දෙමාපියන් බව ශුද්ධෝත්තම පියතුමා පැවසීය."දරුවෝ මහත් සැලකිල්ලෙන් සිය දෙමාපියන් දෙස බලා සිටිති. තම අම්මා සහ තාත්තා එකිනෙකාට ආදරය කරන අයුරු ඔව්හු ඉතා ඕනෑ කමින් බලා සිටිති.දෙමාපියන්ගේ  ආදරය දකින දරුවෝ, ආදරයේ පරිසරයක් තුළ ප්‍රීතියෙන් සහ ආරක්ෂාව ලබමින් වර්ධනය වෙති" යි පාප්වහන්සේ පෙන්වා දුන්හ. එකිනෙකා වැළඳ ගැනීමෙන්, උදව් කර ගැනීමෙන්, ආදරයෙන් කතා බස් හා විහිලු තහලු කිරීමෙන් දරුවනට තම අතර ඇති ආදරය දැනෙන්නට සලස්වන්නැයි උන්වහන්සේ දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියහ.

එහි ප්‍රතිවිරුද්ධ තත්ත්වයද පාප්වහන්සේ ගෙනහැර දැක්වූහ. "එහෙත්, ගතවන සෑම දිනකම අම්මාත් තාත්තාත් එකිනෙකාට බැන ගන්නා විට, නින්දා කරගන්නා විට, කෑගසා ගන්නා විට, ඇතැම් විට ගුටි හුවමාරු කරගන්නා විට, දරුවන් දුක් විඳිනවා. අම්මේ, තාත්තේ, ඔබ මේ පාප වලට වටෙන විට මේ සත්‍යතාව ගැන මඳක් සිතන්න. මේ පාපයේ ප්‍රථම ගොදුර බවට පත්වන්නේ ඔබේ දරුවෝ යි. ඔබේම මාංශයයි" යැයි ශුද්ධෝත්තම පියතුමා අවධාරණය කළේය.

එකිනෙකාට ආදරය කරන ගැහැනියක් හා පිරිමියෙක් විවාහ වී පවුලක් අරඹන්නට තීරණය කිරීම යනු ත්‍රිත්වීය දෙවිඳුන්ට සම ජීවිතයක් ගත කිරීමට ලැබී ඇති කැඳවීම ප්‍රීතියෙන් පිළිගැනීමක් බව පාප්වහන්සේ පෙන්වා දුන්හ. එනම් තමන් අතර ඇති වෙනස් කම් තුළ එකිනෙකාට ප්‍රේම කිරීම හා නව ජීවිතයක් මැවීම යයි එතුමා විස්තර කළේය.



නූතන ලෝකය, ස්ත්‍රීන් හා පුරුෂයන් අතර වෙනසක් නොමැති බවට ගෙන යන මතවාදයන් පාප්වහන්සේ දෝෂ දර්ශනයට ලක් කළහ.පාසල් විෂය හා පත පොත මගින් ළමා මනස් වලට කා වද්දන මෙවැනි මතවාද එතුමා හැඳින්වුයේ "න්‍යායාත්මක යටත් විජිතකරණයක්" ලෙසයි. එම මතවාද පරාජය කොට, මැවිල්ලේ මුදුන් මල්කඩ වන මිනිසා සහ ගැහැණියට අනන්‍ය වූ සෞන්දර්යයත්, මිනිසා සහ ගැහැණිය අතර ආදරයෙන් සිදුවන විවාහයේ රමනීයත්වයත් දරුවනට ඉගැන්විය හැකි පාසල පවුල බව උන්වහන්සේ ගෙන හැර දැක්වූ හ.

"විවාහය යනු දෙදෙනකු අතර ඇති වෙනස් කම් තුළ එකිනෙකාට ආදරය කිරීමට කෙරෙන කැඳවීමකි. එමෙන්ම සැමියා සහ බිරිඳ, අනෙකාට වඩ වඩා පුරුෂයකු වීමටත්, වඩ වඩා ගැහැනියක වීමටත් දින පතා උදව් කරගැනීමට  කෙරෙන කැඳවීමකි. විවාහ ජීවිතයේත් පවුල් ජීවිතයේත් ඇති කලාත්මක බව එයයි. එකිනෙකාට වර්ධනය වීමට උදව් වීමයි. සැමියා බිරිඳ පිළිබඳවත්, බිරිඳ සැමියා පිලිබඳවත් නිතර කල්පනා කිරීමයැ" යි එතුමා විස්තර කලේ ය. "ගැහැනියක හෝ පිරිමියකු යනු කව්ද යන්නේ අරුත වැඩෙන දරුවන් දැනගත යුතුයි. තම දෙමාපියන් අතර ඇති මේ වෙනසේ සුබවාදී බව ඔවුන් අවබෝධ කරගත යුතුයි"

වෙන්වීම වැළැක්විය නොහැකිම නම්........

ඉරිදා සන්ධ්‍යාවේ රැස්වූ දෙමාපියන්ට අනුශාසනා කල ශුද්ධෝතම ප්‍රැන්සිස් පාප් වහන්සේ,විවාහ ජීවිතය ගෙන යා නොහැකි තරමින් දුෂ්කරතා සැබෑ ලෙසම දැනේ නම්,සිය දරුවන් ගැන සිතා උදව් සහ ආධාර ලබා ගැනීමේ වගකීමක් දෙමාපියන් සතුව ඇති බව අවධාරණය කළහ.

"වෙන්වීම නොවැලක්විය හැකි නම්, සභාවේ හදවත තුළ ඔබව දරා ගෙන සිටින බව සිත තබා ගන්න. එසේම දරුවනට අධ්‍යාපනය ලබා දීමේ වගකීමත් අවසන් නොවන බව මතක තබා ගන්න. සැමදාට ම ඔබ ඔබේ දරුවන් ගේ අම්මායි, තාත්තා යි. ඔබට එක්ව ජීවත් විය නොහැකි වූවත්, දරුවන් වෙනුවෙන් සංහිඳියාවෙන්  ක්‍රියා කල හැකි මාර්ගයක් සොයා ගන්නැ" යි උන්වහන්සේ ඉල්ලා සිටියහ.

"ඔබේ දරුවන් ප්‍රාණ ඇපකරුවන් ලෙස යොදා නොගන්න. ඔබේ දරුවන් ඉදිරියේ එකිනෙකා ගැන කිසිදාකත්, කිසිදාකත් නරකක් කතා නොකරන්න. කිසිදාකත්! ඔබ අතර ගැටුමේ ප්‍රථම ගොදුරු බවට පත් වන්නේ ඔවුන් යැ" යි පාප් වහන්සේ සඳහන් කළහ.


සිය පෝප් මොබයිල් රථයෙන් රැස්වීමට එන අතර, ඒ සඳහා පැමිණ සිටි පිරිස අතර සිටි දරුවන් දෙදෙනකු ට කතා කළ පාප් වහන්සේ එම රථයට ගොඩවන ලෙස ඔවුන්ට ආරාධනා කළහ. "අම්මල තාත්තලාට ආචාර කරන්න මට උදව් වෙන්න" යයි එතුමා ඔවුන්ට කීවේය.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය