"සභාවේ සාමාජිකයන් අතින් අපයෝජනයට ලක් වන්නන්ට සිය වේදනාබර සිද්ධිය කියන්නට අවශ්‍ය ආරක්‍ෂිත වටපිටාව ඇති කල යුතුයි; ඔවුන් නිහඩ නොකළ යුතුයි; ඔවුන් වෙනුවෙන් යදිමු; අපයෝජනය කරන විලෝපිකයන් ආරක්ෂා නො කල යුතුයි" - ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මාර්තු මාසයේ සිය යැදුම් පණිවිඩයෙන් අවධාරණය කරයි.

"Church must offer safe spaces for victims of  abuse to be heard; Church cannot try to hide the tragedy of abuse of any kind; let us pray for the victims of abuse by the members of  the Church." Holy Father's Prayer Intention for March 2023  




(2023 මාර්තු 2)

ලිංගික අපයෝජනයට  ලක් වන අවිහිංසක වින්දිතයන්ගෙන් සමාව ඉල්ලීම ප්‍රමාණවත් නොවන බව ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමා අවධාරණය කරයි. "සමාව ඉල්ලීම අත්‍යවශ්‍යයි. එහෙත් එය ප්‍රමාණවත් නොවේ" යයි එතුමා දැඩි ලෙස කියා සිටියි. 

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ කාරණය ඉතා අවධාරණයෙන් කියන්නේ අද නිකුත්  කරන ලද මාර්තු මාසය සඳහා සුදොතුම් පිය යැදුම් අදහස ඇතුළත් සසුන් පිය වීඩියෝවෙන් සිය පණිවිඩය ප්‍රකාශ කරමිනි. 

මේ මාසයේ ශුද්ධෝත්තම පියතුමා ලොව පුරා කතෝලික ජනතාව ගෙන් ඉල්ලා සිටින්නේ, ලෝකය පුරාම විවිධ පුද්ගලයන් අතින්, විශේෂයෙන් "සභාවේ සාමාජිකයන් අතින්" ලිංගික අපයෝජනයට  ලක්වන නිකැළැල් සොඳුරු මල් බඳු ළමයින් සහ තරුණ තරුණියන් වෙනුවෙන් යාච්ඥා කරන ලෙසයි. එලෙස යාච්ඥා කරන අතර අපයෝජන  සම්බන්ධයෙන් සභාවේ නායකත්වය, සභාවේ සාමාජිකයන් සහ දෙමාපියන් ප්‍රමුඛ පවුලේ සාමාජිකයන් ක්‍රියා කල යුතු ආකාරයත් එතුමා පැහැදිලිව, දැඩිව පෙන්වා දෙයි. 

සමාව ඉල්ලීම ප්‍රමාණවත් නැහැ 

මෙවර යැදුම් තේමාවට බඳුන් වන්නේ "සභාවේ සාමාජිකයන් අතින්" අපයෝජනයට පත්වන්නන්  වෙනුවෙන් යන්නයි. මේ අනුව හුදෙක් පුදැදුරු, පැවිදි පිරිස් විසින්  පමණක් නොව විවිධ වගකීම් වල සේවාව කරන හිහි සාමාජිකයන් විසින් ද අපයෝජන සිදුවන බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ තේමාවෙන් ම පෙන්වා දෙයි. 

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය කෙටි භාවනාව ආරම්භ කරන්නේ අපයෝජනයට ලක් වූ වින්දිතයන්ගෙන් සමාව ඉල්ලීම පමණක් ප්‍රමාණවත් නොවන බව පෙන්වා දෙමිනි. 

සමාව ඉල්ලීම අත්‍යවශ්‍ය ය. එය එම වින්දිතයන් ගේ ඇසින් ඔවුනට යහපතක් විය හැකි ප්‍රකාශයක්  නිසා ය. එහෙත් එය ප්‍රමාණවත් නොවේ. මන්ද, අපයෝජනය නමැති අපරාධයේ වේදනාකාරී සහ අඳුරු, රුදුරු තුවාල එම වින්දිතයන් ජීවත් වන දවසක් දවසක්  පාසා ඔවුන්  රිදවමින් වේදනා ගෙන දෙන බැවිනි. එම තුවාල සුවපත් වීමට පටන් ගන්නේ තමන්ට සිදු වූ කැළැල් වල  අයුක්තියට ඔවුනට පිළිතුරු ලැබෙන විටය. එනම්,   ඊට යුක්තිය ඉටු කිරීමටත් එම අපරාධ යළි සිදුවීම වැලක්වීමට ප්‍රායෝගික පියවර ගන්න බව සහතික වූ විටත්  බව සුදොතුම් පියතුමා පෙන්වා දෙයි. 

සවන් දීම, කැටුව යාම, ආරක්ෂා කිරීම, පිළියම් කිරීම 

කෙනෙකු අපයෝජනයට ලක් වූ බව දැනගත් විට සභාව අනුගමනය කල යුතු අනිවාර්ය පියවර හතරක් මේ පණිවිඩය මගින් සුදොතුම් පියතුමා පෙන්වා දෙයි. 

එහෙත් එම සියලු පියවර වලදී මතක තබා ගත යුතු වැදගත් ම කාරණයක් තිබේ. එනම් මේ සමස්ත ක්‍රියාවලියේ දී අපේ අවධානයත්, කරුණාවත් තේරුම් ගැනීම සහ සහය වීමත් යන සියල්ලේ  "කේන්ද්‍රය" අපයෝජනයට ලක් වූ වින්දිතයා වීමයි.  

මුලින් ම සභාව අපයෝජනයට ලක් වූ වින්දිතයාට සවන් දිය යුතු ය. නිදහසේ සහ විශ්වාසයෙන් යුතුව තමන්ට සිදු වූ ඛේදාන්තය නොවලහා ප්‍රකාශ කල හැකි ආරක්ෂා සහිත අවකාශයක් සභාව වින්දිතයාට ලබා දිය යුතුය. තමන් ඔහුට/ඇයට  සවන් දෙන බව සහ ඔහු/ඇය  තේරුම් ගන්නා  බව වින්දිතයාට විශ්වාසවන්ත විය යුතු ය. 

ඉන් අනතුරුව ඔහුට/ඇයට අවශ්‍ය ආරක්ෂාව දෙන අතර ඔහු/ඇය සුවපත් වීමේ මාර්ගයේ දයාර්ද්‍රව කැටුව යා යුතු ය. මේ පියවරේ දී වින්දිතයාට අවශ්‍ය අව්‍යාජ ගෞරවනීය  ආදරය, සහකම්පනය, මෙන් ම ශාරීරික සහ මානසික ප්‍රතිකාර, උපදේශන සේවා ලබා දීම ද වැදගත් ය. එසේ වන්නේ අපයෝජිත වින්දිතයන් තුළ ඇති වන බියකරු, දැඩිලෙස රිදුම් දෙන මනෝභාවික තුවාල බරපතල ඒවා  නිසා ය. ඒවා පරෙස්සමින්  සුවපත් කිරීම අත්‍යවශ්‍ය වේ. 

අවසන් වශයෙන් එම තුවාල වලට පිළියම් කිරීම අවශ්‍ය ය. එසේ කල හැක්කේ ඊට යුක්තිය ඉටු කිරීම සහ එවැනි ශාරීරික සහ මානසික ප්‍රචණ්ඩත්වයන් යළි ඇති වීම වැලැක්වීමට අවශ්‍ය ප්‍රත්‍යක්ෂ පියවර ගැනීමෙනි.  

අපයෝජනය කරන්නන් - විලෝපිකයන් -  නො සැඟවිය යුතුයි 

සභාව කිසිදු විටෙක මේ අපරාධකරුවන්, එනම් අපයෝජනය  කරන්නන් සැඟවීමට හෝ ඔවුන් ආරක්ෂා කිරීමට උත්සහ කිරීමෙන් වැළකිය යුතු බව ද සුදොතුම් පියතුමා සිය සසුන්  පිය වීඩියෝ පණිවිඩයේ අවධාරණය කරයි. "විලෝපිකයන්" හෙවත් predators යන්න ඔවුන් හඳුන්වන තවත් වචනයකි. විලෝපිකයන් යනු දුර්වලයන් ගොදුරු කරගෙන යැපෙන සතුන් ය. දුර්වල, අවිහිංසක ළමයින් හෝ තරුණ තරුණියන් අපයෝජනය කරන්නෝ ද විලොපිකයෝ වෙති. ඔවුන් හානිදායක ය. ඔවුන් ආරක්ෂා නො කළ යුතු ය. 

මෙවැනි සිද්ධි වාර්තා වූ විට ඒවා නො සැඟවිය යුතු බව ද ඒවා ගැන කතා කිරීමෙන් වින්දිතයන් නොවැලක්විය යුතු බව ද ප්‍රැන්සිස් සිදොතුම් පියතුමා කියයි. දෙමාපියකුට හෝ වෙනත් විශ්වාසවන්ත වැඩිහිටියෙකුට මෙවැන්නක් වාර්තා වූ විට ඒවා සභාවේ එම වගකීම පැවරී ඇති පුදැදුරු තුමකුට හෝ වෙනත් බලය ලත් තැනැත්තෙකුට හෝ  වාර්තා කර අවශ්‍ය උපකාර ලබා ගත යුතු ය. 

සභාවේ කිසියම් ම සාමාජිකයකුට හෝ බලය ලත් තැනැත්තෙකුට,  දෙමාපියකු හෝ වැඩිහිටියකු විසින් මෙවැනි සිද්ධියක් වාර්තා කල  විට එය වාර්තා කරන්නන් නිහඬ නොකොට ඔවුන්ට සිය වේදනාව කියන්නට අවශ්‍ය වාතාවරණය සකස් කිරීම එම බලධාරියා ගේ වගකීම ය. මෙහි දී  අවශ්‍ය ශාසනික පියවර ගැනීමත් වින්දිතයා ආරක්ෂා කොට ඔවුන්ට සවන් දීමත් එම බලධාරීන් බැඳී සිටින බව ද සුදොතුම් පියතුමා ගේ පණිවිඩයෙන් කියවෙන තවත් කාරණයකි. 

අපයෝජනයෙන් තුවාල ලැබුවන් වෙනුවෙන් යදිමු 

යාච්ඥාව සභාවේ ජීවිතය ය. එයේ ද සුවයේ උල්පතකි.

මේ නිසා මේ මාසය තුළ ලොව පුරා අපයෝනයෙන් තුවාල ලබා මානසිකව සහ ශාරීරිකව වේදනා විඳින සෑම වින්දිතයකු වෙනුවෙන් ම යාච්ඥා කරන ලෙස ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සමස්ත කතෝලික ජනතාව ගෙන් ඉල්ලා සිටියි.

වීඩියෝ කතාව 

මෙවර සසුන් පිය  වීඩියෝව අරුත් ගැන්වී තිබෙන්නේ ඉතාලි ජාතික හර්මීස් මැන්ගියලාර්දෝ කලාකරුවා අතින් නිර්මානය වූ සංකේතාත්මක සජීවීකරණ කතාවකිනි. මල්, ආලෝකය-අඳුර මේ කතාව සඳහා යොදාගෙන තිබේ. එය අවධානයෙන්   නරඹන ලෙස සසුන් පිය වීඩියෝව සම්පාදනය කර නිකුත් කරන සසුන් පිය ලෝක ව්‍යාප්ත යැදුම් ජාලය ජනතාවගෙන් ඉල්ලා සිටියි. 

 මානව ජීවිතයේ අනුපමේය බව සහ  අපයෝජන ප්‍රචණ්ඩත්වයට ලක්වන අහිංසකයන් ගේ ගැඹුරු, වචනයෙන් විස්තර කල නොහැකි වේදනාව,  මල්, සුළඟේ සැලෙන තිරයක්, ආලෝකය අඳුර භාවිතයෙන් ඉදිරිපත් කරන  ගැඹුරු සංකේත මගින් කියන්නට මේ වීඩියෝව උත්සාහ දරයි. 

එම පණිවිඩය විකේත කර ගැනීමට ඔබට හැකිදැයි බලන්න. 

2023 මාර්තු මාසය සඳහා සසුන් පිය යැදුම් අදහස සම්පූර්ණයෙන්  

අපයෝජන සිද්ධි වලට ප්‍රතිචාරයක් ලෙස, විශේෂයෙන් ම සභාවේ සාමාජිකයන් විසින් කෙරෙන අපයෝජන  වලට ප්‍රතිචාර ලෙස, සමාව ඉල්ලීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැත. 

සමාව ඉල්ලීම අත්‍යවශ්‍ය ය. එහෙත් එය ප්‍රමාණවත් නොවේ.

සමාව ඉල්ලීම වින්දිතයන්ට යහපත් ය. එහෙත් සියල්ලේ ම "කේන්ද්‍රයේ' සිටිය යුත්තේ ඔවුන් ය. 

වින්දිතයන් ගේ වේදනාව සහ  ඔවුන් ගේ මානසික තුවාල සුවපත් වීමට පටන් ගන්නේ ඔවුනට  පිළිතුරු ලැබෙන්නේ නම් පමණයි - එනම්, ඔවුනට  වේදනා දුන් රුදුරු  බියකරු අත්දැකීම්වල වරද හරිගැස්සීමට නිසි ප්‍රායෝගික ක්‍රියාමාර්ග ගන්නේ නම් සහ ඒවා යළි ඇති වීම වැලක්වීමට අවශ්‍ය පියවර ගන්නේ නම් පමණයි. 

කිසිදු ආකාරයක අපයෝජන  ඛේදවාචකයක් සඟවන්නට සභාව උත්සාහ නො කළ යුතුයි. එසේ ම, පවුල් වල හෝ සමාජ ශාලා වල හෝ වෙනත් කිසිදු ආකාරයේ ආයතනයක හෝ අපහරණ සිදු වන විට ඒවා ද  සැඟවීමට ඉඩ නො දිය යුතුය. 

මේ ගැටළුව විසඳීමට සහය වීමේත් සමාජයේ සහ පවුල් වල සිදුවන එවැනි සිදුවීම් හෙළිදරව් කර ගැනීමේත් ආදර්ශයක් ලෙස සභාව ක්‍රියා කළ යුතු ය.

සභාව අපයෝජනයට ලක් වූ වින්දිතයනට කතා කළ හැකි  ආරක්ෂා සහිත  අවකාශ සම්පාදනය කල යුතුයි. එසේ ම සභාව ඔවුන් ගේ මානසික සුවතාවට අවශ්‍ය උපකාර කල යුතු අතර  ඔවුන් ආරක්ෂා කළ යුතු ය.

අපි යාච්ඥා කරමු. සභාවේ සාමාජිකයන් විසින් තමන්ට  සිදු කරන ලද වැරැදි නිසා දුක් විඳින්නන් වෙනුවෙන් අපි යාච්ඥා කරමු; ඔවුන්ගේ  දුකට  සහ වේදනාවට සරිලන ප්‍රත්‍යක්ෂ ප්‍රතිචාරයක් සභාව තුළින් ම සොයා ගැනීමට ඔවුන්ට හැකි වේවා!"

අතිරේක කියවීම් 

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් සසුන් පිය ධුරයට පත් වීමෙන් පසුව අපහරණ ව්‍යසනය පිටු දැකීම් සඳහා පියවර රැසක් ගත්තේ ය. ඒවායින් සමහරක් පහත දැක්වෙන දිගු ක්ලික් කිරීමෙන් දැනගත් හැකිය:

"පුදැදුරු ළමා ලිංගික අපයෝජන ගැන දැනුම් දීමත් ඒ ගැන පරීක්ෂණ පැවැත්වීමත් අනිවාර්යයි" - සුදොතුම් පියතුමා නව නීතියක් ප්‍රකාශයට පත් කරයි; ක්‍රියාත්මක වන්නේ ජුනි 1; එහෙත් මීට කලින් සිදු වූ අපයෝජන දැනුම් දීමත් මේ මගින් අනිවාර්ය කෙරේ

"බමුණුකුලවාදී, පූජකඅධිපතිවාදී සභා තුළ අපයෝජනය සශ්‍රීකව වැඩෙනවා" -සුදොතුම් පියතුමා කියයි

"අපි දරුවන් කෙරෙහි සැලැකිල්ලක් නොදැක්වූයෙමු; ඔවුන් අත්හැර දැමුවෙමු," පූජක ළමා අපචාර වැලක්වීමට එක්සත්ව ක්‍රියා කරන ලෙස සුදොතුම් පියතුමා සියලු කතෝලිකයන්ගෙන් ඉල්ලයි.

පාප්වහන්සේට වරදින්න පුළුවන් ද? ඔව්. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා තම වරද පිළිගනියි; සමාව ඉල්ලයි

චිලීයේ සියලුම රදගුරු හිමිවරු සිය ඉල්ලා අස්වීම් සුදොතුම් පියතුමාට භාර දෙති (UPDATED)

"පුදැදුරු ළමා ලිංගික අපයෝජන චෝදනා සියල්ල ගැන නොපමාව විමර්ශනය කළ යුතුයි" වතිකාන නිලධාරී අගරදගුරු තුමා ලෝක රදගුරු හිමිවරුනට උපදෙස් දෙයි

Comments

  1. Appreciate the sinhala translation Saman..God bless you

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය