චිලීයේ සියලුම රදගුරු හිමිවරු සිය ඉල්ලා අස්වීම් සුදොතුම් පියතුමාට භාර දෙති (UPDATED)

All of Chile's bishops offer resignations after meeting pope on abuse

රදගුරු හිමිවරුන් සිය තීරණය ප්‍රකාශ කරමින්

(2018 මයි 18)
ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් සමග පැවැති දින තුනක හමුවෙන් පසුව චිලීයේ සියලුම රදගුරු හිමිවරුන්  සිය ඉල්ලා අස්වීම් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමාට භාර  දී තිබේ.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් සමග ඉකුත් සතියේ පැවැති දින තුනක හමුවෙන් පසුව චිලීයේ සියලුම රදගුරු හිමිවරු  සිය ඉල්ලා අස්වීම් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමාට භාර දුන්හ.

වතිකානයේ දී මැයි 18සිකුරාදා  පවත්වන ලද මාධ්‍ය හමුවක දී මේ බව දැනුම් දුන්නේ චීලි රදගුරු සමුළුවේ මහ ලේකම් ෆර්නැන්ඩෝ රාමෝස් පෙරේස් සහ එම රදගුරු සමුළුවේ ළමා අපචාර වැලැක්වීම සහ ඊට ගොදුරු වුවන් කැටුව යාම පිලිබඳ ජාතික කමිටුවේ සාමාජික ඉග්නාසියෝ ගොන්සාලේස් යන රදගුරු හිමිවරුන් ය. රදගුරු හිමිවරුන් මෙම තීරණයට එළැඹුණේ  සුදොතුම් පියතුමන් සමග පැවැත්වුණු තුන් දින හමුව අවසානයේ බව ඔව්හු පැවසුහ.

"රෝමයට පැමිණ සිටින සියලුම රදගුරු හිමිවරුන් අපගේ ධුරයන් සුදොතුම් පියතුමන් අතට ලිඛිතව භාර දුන් බව ප්‍රකාශ කිරීමට කැමැත්තෙමු. ඒ අනුව අප සෑම කෙනෙකුම සම්බන්ධයෙන් නිදහසේ තීරණය කිරීම සඳහා එතුමනට හැකියාව ලැබෙනු ඇත" යි එම රදගුරු හිමිවරුන් විසින් මම මාධ්‍ය හමුවේදී කියවන ලද නිවේදනයේ සඳහන් වෙයි.

චීලි කතෝලික සභාව දෙදරවූ පූජක ළමා අපචාර සම්බන්ධයෙන් කටයුතු කලයුතු ආකාරය ගැන තීරණය කිරීමට තමාට "සහාය වීම සඳහා" ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් විසින් එරට සියලු රදගුරු හිමිවරු රෝමයට කැඳවන ලදහ. චිලියේ ළමා අපචාරවලට ගොදුරුවුවනට සවන් දීම සඳහා එරටට යවන ලද චාල්ස් ශික්ලුනා අගරදගුරු හිමියන් ගේ වාර්තාව අලලා සුදොතුම් පියතුමන් විසින් මෙම හමුවේදී ප්‍රකාශයක් ඉදිරිපත් කර තිබේ.

"චිලි සභාව තුළ බලය  අයුතු ලෙස භාවිත කිරීම, හර්දය සාක්ෂ්‍යයට සවන් නොදීම, ලිංගික අපචාර වැනි නොපිළිගත හැකි නපුරු ක්‍රියා රැසක් සිදුවී ඇති බව එතුමන් ඉදිරිපත් කල මෙම ප්‍රකාශය පැහැදිලිව පෙන්නුම් කළේය. මේ නිසා සභාවේ දිවැසිවර  ශක්තියට හානි වී තිබේ" යයි එම හමුව අවසාන වීමෙන් පසුව පවත්වන ලද මෙම මාධ්‍ය හමුවේදී මහ ලේකම්  රාමෝස් පෙරේස් සහයක රදගුරු හිමි කියා සිටියේය.

"සුදොතුම් පියතුමන් ගේ මෙම නිරීක්ෂණය සම්බන්ධයෙන් මෙනෙහි කිරීමෙන් පසුව එතුමන් ගේ කැමැත්ත සමග එකඟ වීම සඳහා   අප සියල්ලන්ගේම ඉල්ලා අස්වීම් එතුමාට භාරදීමට තීරණය  කල" බවද රදගුරු තුමා කියා සිටියේය. "මේ ආකාරයෙන්, සිදු  වී ඇති බරපතල ක්‍රියා වෙනුවෙන් වගකීම භාර ගැනීම සඳහා එක් කණ්ඩායමක් ලෙස සාමුහිකව මෙම තීරණය ගත්  බව ද එතුමා කීවේය.

තමන් රදගුරු මණ්ඩලයක් ලෙස මෙම වැරැද්ද සම්බන්ධයෙන් සුදොතුම් පියතුමාගෙනුත්, ළමා පචාර වලට ගොදුරු වුවුන්ගෙන්, චිලි ජනතාවගෙන් සහ සමස්ත විශ්වාසිකයන් ගෙන් සාමුහිකව  සමාව ඉල්ලා සිටින බවද රදගුරු හිමිවරු සිය නිවේදනය මගින් ප්‍රකාශ කළහ.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙම හමුවේ දී රදගුරු හිමිවරුන් හමුවේ ඉදිරිපත්  කරන ලද ලේඛනය චීලි ජාතික මාධ්‍යයක් අතට ලැබී තිබිණි. පූජක ළමා අපචාර සිද්ධි වලට වගකිව යුතු  ඇතැම් සභා නායකයන් "සිය ධුර වලින් ඉවත් කල යුතු" බව එම ලේඛනයෙන් සුදොතුම් පියතුමා ප්‍රකාශ කර තිබේ. "එහෙත් ඒ පමණක් ප්‍රමාණවත් නොවේ. අපි තවත් ඉදිරියට ගමන් කල යුතු වෙමු. මෙම සිද්ධි ඇති වීමට පාදක වූ හේතු වල මුල් සොයා අප ගමන් නොකළහොත් එය අපගේ වගකීම පහර හැරීමක් වනු ඇත.....මෙම වේදනාකාරී සිද්ධිවලින්පෙන්නුම් කරන්නේ සභා දේහයේ කිසියම් වරදක් තිබෙන බවය...." යයි එතුමා එහි සඳහන් කරයි.

"මෙම (ළමා අපචාර)තුවාලයට ප්‍රතිකාරය ලෙස මෙතෙක් භාවිත කර ඇත්තේ එය සුවපත් වනවා වෙනුවට තවත් දරුණු කරන අන්දමේ බෙහෙතකි. එයින් සිදු වී ඇත්තේ තුවාලය පෑරී වේදනාව දරුණු වීමයි........ශ්‍රාවකයා ස්වාමියාට වඩා ශ්‍රේෂ්ඨ වන්නේ නැත යන කියමන මම ඔබට මතක් කර දෙමි. 'ප්‍රභූ මානසිකත්වය' මගින් සිදුවන්නේ  විශ්වාසකයන් ගේ වේදනාව නොසලකා හරිනු ලැබීම" යයි ද එහි සඳහන් වේ.

සම්බන්ධ පුවත
පාප්වහන්සේට වරදින්න පුළුවන් ද? ඔව්. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා තම වරද පිළිගනියි; සමාව ඉල්ලයි


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය