"පුදැදුරු ළමා ලිංගික අපයෝජන ගැන දැනුම් දීමත් ඒ ගැන පරීක්ෂණ පැවැත්වීමත් අනිවාර්යයි" - සුදොතුම් පියතුමා නව නීතියක් ප්‍රකාශයට පත් කරයි; ක්‍රියාත්මක වන්නේ ජුනි 1; එහෙත් මීට කලින් සිදු වූ අපයෝජන දැනුම් දීමත් මේ මගින් අනිවාර්ය කෙරේ

In a new law Holy Father makes it mandatory for all priests and religious worldwide  to report any suspicions of abuse or cover-up;  Church leaders are also obliged to carry out investigations 



(2019 මැයි 9)

පුදැදුරු ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් ඉතා දැඩි නව නීතියක් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ප්‍රකාශයට පත් කරයි. එතුමා අද (මැයි 9) ප්‍රකාශයට පත් කල නව නීතියට අනුව ළමා ලිංගික අපයෝජනයක් හෝ තවත් කෙනෙකු විසින් කරන ලද අපයෝජනයක් සැඟවීමට සභා ශ්‍රේෂ්ඨයකු ක්‍රියා කළ අවස්ථා පිළබඳ සැකයක් ඇති වූ විට ඒවා ගැන වාර්තා කිරීම සෑම පුදැදුරු වරයෙකුටම සහ සෑම පැවිදි වරයකුට හා පැවිදි වරියකටම අනිවාර්ය කර තිබේ.

අපයෝජන සම්බන්ධයෙන් ලැබෙන දැනුම් දීම් හෝ වාර්තා කිරීම් සමබන්ධයෙන් ක්‍රියා කිරීමේ ලෝක ව්‍යාප්ත පිළිවෙතක් ද මෙම නීතිය මගින් හඳුන්වා දී ඇත. මෙම චෝදනා පිළිබඳව විමර්ශනය කොට අදාළ පුද්ගලයන් ඒ සම්බන්ධයෙන් වරදකරුවන් වන්නේ නම් ශාසන නීතිවලට අනුකුලව ඔවුන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමේ වගකීම අදාල ශාසනික කලාපයේ අගරදගුරු තුමන් වෙත පවරා තිබේ. අවශ්‍ය අවස්ථාවල විමර්ශන සඳහා ගිහි විමර්ශකයන් යොදා ගත හැකි බව නව නීතිවල  සඳහන් වේ.

නව නීතිය ක්‍රියාත්මක වීම ආරම්භ වන්නේ ජුනි මස 1 දායි. එහෙත් මෙම නීතිය අනුව මීට කළින් තමන් දැන සිටි හෝ එවැන්නක් සිදු වූ බවට විශ්වාස කළ හැකි අවස්ථා තමන් දන්නේ නම් ඒවා ගැන දැනුම් දීමට සියලු පැවිදිවරුන් හා පැවිදි වරියෝ ද සියලු පුදැදුරුවරු ද බැඳී සිටිති.

මෙම නම ව්‍යවස්ථාව නම් කර ඇත්තේ "ඔබ ලෝකයේ ආලෝකයයි" ("Vos estis lux mundi" - "You are the light of the world") යනුවෙනි.

"ලිංගික අපචාර අපරාධ අපගේ ස්වාමීන් වහන්සේට වේදනාවකි. එම අපචාර  ඊට ගොදුරු වන්නන්ට ශාරීරික, මානසික සහ ආධ්‍යාත්මික වශයෙන් හානි කරන අතර විශ්වාසිකයන් ගේ සංඝයට ද පීඩා ඇති කරයි," යි එම නීතිය ඇතුළත් කුඩා අපෝස්තලික සංදේශයේ හැඳින්වීමේ ශුද්ධෝත්තම පියතුමා  කියයි. " මෙම ප්‍රපංචය එහි සියලු ආකාර වලින් යළි කිසිදා සිදු නොවනු සඳහා හදවත් වල ගැඹුරු සහ අඛණ්ඩ සිත් හැරීමක් අවශ්‍ය වන අතර සභාවේ සෑම කෙනෙකුම සම්බන්ධ කරගන්නා මූර්ත සහ ඵලදායී ක්‍රියාකාරකම් මගින් ඊට සාක්ෂි දැරිය යුතුව තිබේ," යි එතුමා පෙන්වා දී තිබේ.

පළමු කොටසට ඇතුළත් වන්නේ අපයෝජන සහ ඒවා සඟවා තබා ගැනීම සම්බන්ධයෙන් තොරතුරු ලබා දීම  ගැනයි.

මේ අනුව "අපයෝජනයක් සිදු වූ බවට හෝ සිදු කරන ලද  අපයෝජනයක් සඟවා තබා ගන්නා බවට දැනුම් දීමක් ලැබී ඇති විටෙක හෝ එවැන්නක් සිදු වී ඇති  බව විශ්වාස කල හැකි යහපත් අභිප්‍රායෙන් යුත් පදනමක් ඇති අවස්ථාවක සෑම පුදැදුරු වරයෙකුම සහ පැවිද්දෙක්ම " තමා දන්නා එම කාරණා අදාළ පදවියේ රදගුරු තුමාට හෝ සිය පැවිදි පංතියේ ශ්‍රේෂ්ඨයන්ට වාර්තා කිරීමට බැඳී සිටිති. ඒ අතර මෙවැනි සිද්ධි ගැන දැනගත් විට  සභාවේ ඒ පිලිබඳ අධිකාරිය පැවරෙන නායකයන්ට  එම සිද්ධීන් ගැන දැනුම් දෙන ලෙස සමස්ත ගිහි ජනතාවට ද ආරාධනා කර තිබේ. එවැන්නක් පූජක වරයකුට හෝ පැවිද්දෙකුට දැනුම් දුන් විට ඒ සම්බන්ධයෙන් වහා ක්‍රියාත්මක වීමට ඔව්හු බැඳී සිටියි.

පූජක අපචාරයක් පිළිබඳව දැනුම් දෙන පුද්ගලයන් සියලු ආකාරයේ වැරැදි විනිශ්චයන්ගෙන්, පළිගැනීම් වලින් හෝ වෙනස් කොට සැලකීම් වලින් මුළුමනින්ම ආරක්ෂා කළ යුතුය. එසේම අපචාර වලට ගොදුරු වූ තැනැත්තන් ආරක්ෂා කරමින් ඔවුන් ගේ ශාරීරික, මානසික සහ ආධ්‍යාත්මික යහපත වෙනුවෙන් ක්‍රියා කල යුතුය.   මේ දක්වා මෙවැනි දැනුම් දීම් කරන තැනැත්තන් සභාවට අපක්ෂපාතී  පුද්ගලයන් ලෙස දක්නා ලදහ. එහෙත් මෙම වගන්තිය මගින් එම තත්වය මුළුමනින්ම වෙනස් කර තිබේ. යුරෝපය, අමෙරිකාව සහ දකුණු ඇමෙරිකාවේ රටවල සභා මෙවැනි සිද්ධීන් සඟවන්නට සේ ම ඒවා ගැන දැනුම් දෙන අපචාරයට ලක්වූවන් කොන් කිරීමට ක්‍රියා කල බවට චෝදනා නැගී තිබිණි.

මෙවැනි සිද්ධීන් ගැන සිය රදගුරු තුමන් වෙත දැනුම් දිය හැකිය. නැතහොත් වෙනත් ඕනෑම සන්නිවේදන ක්‍රමයක් මගින් හෝ  ඍජුව වතිකානයට හෝ දැනුම් දිය හැකි බව ද මෙම නීතියේ සඳහන් වෙයි.   

ලොව පුරා ඇති සියලුම රදගුරු පදවි විසින් මෙලෙස අපයෝජන දැනුම් දීම සම්බන්ධ ක්‍රමවේදයක් සකස් කරගත යුතුය. 2020 ජුනි 1 දාට පෙර එම ක්‍රමවේදය සකස් කරගත යුතු බව මෙමෙ නව නීති ප්‍රකාශයට පත් කරමින් රදගුරු හිම්වරුන් පිලිබඳ සසුන් නියෝජනයේ ප්‍රධානී මාක් අවුලේ කාදිනල් හිමි කියා සිටියේය.

මෙම සංදේශයේ දෙවන කොටසේ සඳහන් වන්නේ  රදගුරු හිමිවරුන් ගේ වගවීමේ ක්‍රම වේදයයි. රදගුරු හිමි නමක් සම්බන්ධයෙන් අපචාර හෝ අපයෝජන සැඟවීම පිලිබඳ දැනුම් දීමක් ලැබුණොත් එය විභාග කිරීමේ බලය පැවරෙන්නේ සසුන් කලාපයේ අගදගුරු තුමාට ය. අගරදගුරු හෝ කාදිනල් තුමකු සම්බන්ධයෙන් එල්ල වන චෝදනා වතිකානය වෙත යොමු කල යුතු බව ද නව නීති වල වැඩිදුරටත් සඳහන් වේ.

පුදදුරු ළමා අපයෝජන ගත වූ දශකයක පමණ කාලය තුළ කතෝලික සභාව දැඩි අපකීර්තියට පත් කල එක් ප්‍රධාන කරුණකි. ලොව මවිත කරමින් සොළොස්වන බෙනඩික් පාප්තුමන් ඉසුඹු ලබීමෙට තීරණය කිරීමේදී එක සාධයක වූයේ ද සභාව මේ සම්බන්ධයෙන් නිසි ලෙස ක්‍රියා නොකළේය යන කාරණයයි.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කාලයක් තිස්සේ  විවිධ රටවල සභා විසින් නොසලකා හරින ලද අපයෝජනයට ගොදුරු වුවන් සමග කතා කළේය.  ඔවුන්ගෙන් අවංකවම  සමාව යැද්දේය. මේ සම්බන්ධයෙන් දැනට පවතින සභා ක්‍රමවේදයන් ගැන සාකච්ඡා කිරීම සඳහා ඉකුත් පෙබරවාරි මාසයේ ලොවපුරා රදගුරු මණ්ඩලවල සභාපති හිමිවරුන් රෝමයට කැඳවීය.

මෙම නව නීතිය  එම චෝදනාව සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේදී මෙතෙක් පනවනු ලබා ඇති දැඩිම නීතිය ලෙස හඳුන්වා දිය හැකිය.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය