"අපි දරුවන් කෙරෙහි සැලැකිල්ලක් නොදැක්වූයෙමු; ඔවුන් අත්හැර දැමුවෙමු," පූජක ළමා අපචාර වැලක්වීමට එක්සත්ව ක්‍රියා කරන ලෙස සුදොතුම් පියතුමා සියලු කතෝලිකයන්ගෙන් ඉල්ලයි.

Pope Francis issues new letter on sex abuse: "We showed no care for the little ones"


(2018 අගෝස්තු 20)
පූජක ළමා අපචාර සහ ඒවා සඟවා තබා ගැනීමට උත්සාහ කිරීම "අපරාධයක්" බව සඳහන් කරමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අද (අගෝස්තු 20) විශේෂ ලියුමක් නිකුත් කළේය. "දේව ජනතාව වෙත" යනුවෙන් ආමන්ත්‍රණය කර තිබූ එම ලියුම යොමු කර තිබෙන්නේ  ලොව පුරා සියලු කතෝලික ජනතාව වෙතයි. ඇමෙරිකාවේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ පූජක ළමා අපචාර පිලිබඳ නව අධිකරණමය  වාර්තාවක් නිකුත් වීමට ප්‍රතිචාරයක් ලෙස එතුමා මෙම ලියුම සියලු කතෝලිකයන් වෙත යොමු  කර තිබේ.

මෙම ලියුමේ තේමාව ලෙස ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා තෝරාගෙන ඇත්තේ "එක් සාමාජිකයකු දුක් විඳින විට ඒ සමග සියල්ලෝ දුක් විඳිති" (1 කොරින්ති 12:26)  යන ශු.පාවුළු තුමන් ගේ ඉගැන්වීමයි. "පුජකවරුන් සැලකිය යුතු සංඛ්‍යාවක් විසින් බලය අයුතු ලෙස භාවිත කිරීම, සහ හර්දය සාක්ෂිය අපහරණය කිරීම නිසා බාලයන් බොහෝ දෙනෙකුට විඳින්නට සිදුවූ දුක්  වේදනා ගැන අලුතින් පලවූ වාර්තා දුටු විට ශු. පාවුළු තුමාගේ මේ වදන් මා තුළ ප්‍රතිරාව නගන්නට විය" යයි එතුමා මෙම ලිපිය ආරම්භයේ කියා සිටියි. මෙම "අපරාධ" ඒවාට ගොදුරු වූවන් තුළත් ඔවුන් ගේ පවුල්වල සාමාජිකයන් තුළ සේ ම සමස්ත සමාජය තුළත් ගැඹුරු වේදනාත්මක තුවාල ඇති කරන බව එතුමා පෙන්වා දෙයි. ඒවාට සමාව ඉල්ලීමෙන් නොනැවතී ඒවා යළිත් සිදුවීමත් එවැනි සිද්ධීන් යට ගසා සැඟවීමත් වැලැක්වීමේ සංස්කෘතියක් ඇති කිරීම සඳහා ගත යුතු සෑම පරිශ්‍රමයක් ම ගත යුතු බව එතුමා අවධාරණය කරයි. "මෙම අපරාධවලට ගොදුරු වූවන් හා ඔවුන් ගේ පවුල්වල වේදනාව අපගේ ද වේදනාව" බව සිය තේමාව සිහිපත් කරමින් එතුමා සඳහන්  කරයි. 

"අප අප සිටිය යුතු තැන නොසිටි බවත්, නිසි වෙලාවට ක්‍රියා නොකිරීම නිසා ජීවිත ගණනාවකට සිදු වූ අලාබහානියේ බරපතලකම වටහා ගනීමට අසමත් වූ බවත් ලජ්ජාවෙන් සහ පශ්චාත්තාපයෙන් යුතුව සභා සංඝයක් ලෙස අපි පිළිගනිමු. අපි දරුවන් කෙරෙහි සැලැකිල්ලක් නොදැක්වූයෙමු; අපි ඔවුන් අත්හැර දැමුවෙමු," යි එතුමා පසුතැවිල්ලෙන් යුතුව කියා සිටියි.

"බොහෝ දෙනෙකු ගේ ජීවිත අඳුරට හෙලූ මෙම  නපුරට ප්‍රතිචාර දැක්විය හැක්කේ එය සමස්ත දේව ජනතාවගේ කාර්යභාරයක් ලෙස භාර ගෙන ක්‍රියා කිරීමෙන් බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දෙයි. මේ නිසා "ජේසු සමිඳුන් ගේ නියෝගය අනුව යාච්ඥාව සහ උපවාසය යන පශ්චාත්තාපික ක්‍රියා වල යෙදීමෙන්" දේව මගපෙන්වීම තුළ මේ නපුර තුරන් කිරීමේ ක්‍රියා ගවේෂණය කරන ලෙස එතුමා සියලු දේව ජනතාවට ආරාධනා කරයි. "මෙවැනි දේ යළිත් කිසිදාකත් එපා!" එතුමා අවධාරණය කරයි. එසේම අදට "අත්‍යවශ්‍යව තිබෙනේ මෙම ශාසනික සහ සමාජ පරිවර්තනයට ක්‍රියාකාරී ලෙස සම්බන්ධ වීම ප්‍රසාද ස්නාපනය ලද සියල්ලන් සතු වගකීමක්" බවද එතුමා අවධාරණය කරයි.

"මෙහිදී සියලු ආකාරයේ පුදැදුරු අධිපතිවාදී ක්‍රියා ප්‍රතික්ෂේප කල යුතුය. මන්ද පුදැදුරු අධිපතිවාදය බෞතීස්මයේ වරප්‍රසාද අවතක්සේරු කරන අතර එය සභා අධිකාරිත්වයේ අපහරණයන්ට මග පාදන බැවිනි. පුදැදුරු අධිපතිවාදය සභා දේහය මත කැපීමක් ඇති කරයි. ඒ මගින් අප අද හෙලා දකින බොහෝ නපුරු ක්‍රියා වලට සහය දීමට අප යොමු කරයි" යි එතුමා සඳහන්  කරයි.


පසුබිම 

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් මෙමෙ ලියුම ලියන්නට හේතු වූ ආසන්නම හේතුව වන්නේ අමෙරිකාවේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ නීතිපති වරයා විසින් ඉකුත් සතියේ නිකුත් කර තිබූ ළමා අපචාර පිලිබඳ ජූරි සභා වාර්තාවයි. ඉකුත් වසර 70 ක කාලය තුළ මෙමෙ ප්‍රාන්තයේ පූජකවරුන් 300 දෙනෙකු පමණ පිරිසක් විසින් ළමයින් 100කට ආසන්න පිරිසක් අපයෝජනයට ලක් කරනු ලබා ඇති බව එම වාර්තාව හෙළිදරව් කර තිබිණි. එසේම එම අපචාර සිදු කර පුද්ගලයන් හඳුනාගෙන ප්වුනට දඬුවම් කරනු වෙනුවට ඔවුන් ආරක්ෂා කර සඟවා තබා ගැනීමට සභා නායකත්වය ක්‍රියා කර ඇති බවට ද එම වාර්තාව මගින් චෝදාන කර තිබිණි.


කර්තෘ සටහන 

මෙම ප්‍රවෘත්තිය "වතිකාන සුළඟ" වාර්තා කරන්නේ හද කකියන වේදනාවෙන් යුතුවය. මේ වන විට මේ ලජ්ජා සහගත අපරාධ  සිද්ධි දාමය  ගැන ලොව පුරා පලවන තොරතුරු හා මේ නිසා සභා මාතාවට එල්ලවන විවේචන හා ගැරහුම් කතෝලිකයකු තුළ ඇතිකරන්නේ වේදනාවකි. මේ සිදධීන්  බටහිර ලෝකයේ හෝ ඇමෙරිකාවේ සිදු වූවද "එක් සාමාජිකයකු දුක් විඳින විට ඒ සමග සියල්ලෝ දුක් විඳිති" යන පාවුළු තුමාගේ ඉගැන්වීම අනුව ලොව ඕනෑම කොදෙව්වක වෙසෙන කතෝලිකයකුට මෙම වේදනාව දැනිය යුතුය.

එලෙස වේදනාව දැනෙන කතෝලික ජනතාවට උදාසීනව සිටිය නොහැකිය. අක්‍රීයව සිටිය නොහැකිය, මේ අනුව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ගේ ආරාධනය පිළිගනිමින් ශ්‍රී ලාංකික කතෝලික ජනතාව පියවර තුනක්  වෙත යොමු විය යුතුය. ඒවා මෙසේය.

- සුදොතුම් පියතුමා ගේ ආරාධනය පිළිගනිමින් මෙම අපරාධ  වෙනුවෙන් පසුතැවිලි වී දේව මගපෙන්වීම ඉල්ලා යාච්ඥා හා භාවනා කිරීම.
- ශ්‍රී ලාංකික පූජක සමාජය තුළ මෙවැනි සිදධීන ඇතිවීම වැලැක්වීම සඳහා අවශ්‍ය යාන්ත්‍රණයක් ඇති කරන ලෙස සභා නායකත්වය ක්‍රියා කල යුතු අතර, ඔවුන් ඒ වෙත යොමු කිරීම සඳහා ගිහි කතෝලිකයන් විසින් බලපෑම් කිරීම
-මේ වන විටත් එවැනි අපහරණ සිදු වී තිබේ නම්, හෝ සිදු වන්නේ නම් , ඊට වගකිව යුත්තන් ආරක්ෂා නොකර සභා නීතිය සහ සිවිල් නීතිය යටතේ ඒවා සම්බන්ධයෙන් පියවර ගැනීම. 




Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය