"බමුණුකුලවාදී, පූජකඅධිපතිවාදී සභා තුළ අපයෝජනය සශ්‍රීකව වැඩෙනවා" -සුදොතුම් පියතුමා කියයි

"Abuse thrives in elitist and clericalist church"-  Pope Francis in Ireland 


(2018 සැප්තැම්බර 14)
ලිංගික සහ භෞතික අපයෝජනය, බලය අවභාවිත කිරීමේ ප්‍රතිඵලයක්  බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියයි. එසේම අධිකාරී බලය අධිපතිවාදය සමග අවුල් කරගත් විට ද අපයෝජන සිදුවන බව එතුමා පෙන්වා දෙයි.

"බලය අවභාවිත කිරීම (සභාව තුළ) පවතිනවා. අධිපතිවාදී රදගුරු තුමකු ගැන නොදන්නේ අප අතරින් කී දෙනෙක්ද? සභාව තුළ නිරන්තරයෙන් ම අධිපතිවාදී රදගුරුවරුන් සහ පැවිදි නිකාය නායකයින් සිට තිබෙනවා" යි එතුමා කීවේය.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ ඉකුත් අගෝස්තු මස අවසානයේ අයර්ලන්තයට ගිය අවස්ථාවේදී සිය සහෝදර ජේසු නිකායිකයන් ඇසුරේදීය. එම අපෝස්තලික සංචාරය අතරතුර අගෝස්තු 25 වැනිදා සවස අයර්ලන්තයේ සිටින ජේසු නිකායිකයන් සමග විවේකීව සුහද සංවාදයක යෙදීමට එතුමාට කාලය වෙන්කර දී තිබිණි. එම සංවාදයේ තොරතුරු මෙතෙක් ජේසු නිකායිකයන් අතර පෞද්ගලිකව තබාගෙන තිබිණි. එහෙත් එම සංවාදයේදී හුවමාරු වූ අදහස් පිලිබඳ විස්තරයක්  සැප්තැම්බර 13 වැනිදා  La Civilta Cattolica නමැති ජේසුනු සඟරාවේ පළකර තිබේ. අයර්ලන්තය, චීලි සහ ඇමෙරිකාවේ පූජක ළමා ලිංගික අපයෝජන ගැන ජේසුනුවන් ඇසු ප්‍රශ්නවලට පිළිතුරු දුන්  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියා සිටියේ පූජකවරුන් සහ රදගුරුවරුන් තුළ පවතින ප්‍රභූවාදී හෙවත් ඉහල "බමුණුකුල" (elitist) මානසිකත්වය සහ පූජකාධිපතිවාදී (clericalist) මානසිකත්වය නිසා ඔවුන් බිය සැක නොමැතිව සිය බලය අවභාවිත කරන බවයි. ලිංගික මෙන්ම භෞතික දේ අපයෝජනය ද එහි ප්‍රතිඵලයක් බව එතුමා පෙන්වා දුන්නේය.

"අධිපතිවාදය (authoritarianism) යනු පූජකාධිපතිවාදයමයි. ඇතැම්විට තීරණාත්මක ලෙස සහ අධිකාරී බලයක් සහිතව දූත මෙහෙවරක යෙදවීම අධිපතිවාදය සමග පටලවා ගනු ලබනවා. එහෙත් ඇත්තෙන්ම මේ දෙක (අධිකාරී බලය සහ අධිපතිවාදය) වෙනස් ආකල්ප දෙකක්. අප අධිපතිවාදය පරාජය කර දූත මෙහෙවර සඳහා යවනු ලැබීමේ කීකරුකම යළි සොයාගත යුතුව තිබෙනවා..." ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කීවේය.

කතිකාවෙන් අඩසියවසකට පසුවත් සේවක නායකත්වය වෙනුවට පවතින වැඩවසම් මහේශාක්‍ය අධිපතිවාදය 


පූජකවරුන් සහ පැවිදිවරුන් විසින් සිදුකෙරෙන ලිංගික සහ භෞතික අපයෝජන මෙන්ම සභාවේ නායකයන් විසින් එම අපරාධ වසා සඟවා ගැනීමේ අවාදර්ශයන් ඉතා  සශ්‍රීකව වර්ධනය වන්නේ කතෝලික සභාව "බමුනුකුලවාදී සහ පූජක අධිපතිවාදී" ස්වරූපයෙන් ක්‍රියා කරන රටවල බව ද එතුමා පෙන්වා දුන්නේය.

"මා ඉතා පැහැදිලිව තේරුම් ගත් දෙයක් තිබෙනවා. එනම්, මෙම අපයෝජනයේ නාට්‍යය, විශේෂයෙන් මහත් අවාදර්ශයක් සහ අපකීර්තියක් වන තරමට පැතිර ගොස් තිබෙන්නේ එම සභා පසුබිමේ බමුණුකුලවාදී සහ පූජකඅධිපතිවාදී  නායකත්වයක් සහිත රටවලයි. චීලිය, අයර්ලන්තය සහ ඇමෙරිකාව ගැන සිතන්න...එවැනි  සභාවලට දේව ජනතාවට සමීප වීට නොහැකියාවක් තිබෙනවා..." සුදොතුම් පියතුමා කියා සිටියේය.

මේ නිසා අර්බුදයේ මුල වන්නේ බමුණුකුලවාදය  සහ පූජකඅධිපතිවාදය බව එතුමා කීවේය. මෙම ආකල්ප දෙක විසින් සෑම ආකාරයක ම අවභාවිතය වර්ධනය කරන බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ජේසුනුවන් සමග පැවති සංවාදයේදී අවධාරණය කළේය. "ලිංගික අපයෝජනය ප්‍රථම අපයෝජනය  නොවෙයි. පළමුවෙන්ම අපයෝජනය කරනු ලබන්නේ බලය සහ හර්දය සාක්ෂියයි," යි එතුමා පෙන්වා දුන්නේය.

මේ නිසා අපයෝජනය සහ අවභාවිතය අවසන් කරන්නැයි එතුමා ජේසු නිකායිකයන්ගෙන් ඉල්ලා සිටියේය. "එය අවසන් කරන්න යැයි කීමෙන් මා අදහස් කරන්නේ කුමක්ද? මා එයින් අදහස් කරන්නේ ඉතා සරලව අලුත් පිටුවක් පෙරලන්න කියන එක නොවේ. ඊට වඩා, එයින් ඇති කරන ලද තුවාල සුවපත් කර බොහෝ ජනතාවකට යළි ජීවිතය ලබා දිය හැකි ප්‍රතිකාරයක්, වන්දියක්, හානි පූර්ණයක් සොයන්න'" යි එතුමා අවධාරණය කළේය.

මෙම හමුවට අයර්ලන්තයේ සිටින ජේසුනුවෝ 63 දෙනෙක් සහභාගී වූහ.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අපෝස්තලික සංචාරයේ යෙදෙන සෑම රටකම එරට සිටින සිටින ජේසු නිකායිකයන් සමග ඉතා සමීපව විවේකීව හා පෞද්ගලිකව ගත කිරීම සඳහා කාලය වෙන්කර තබයි. මෙතක් එතුමා සැපත් වූ රටවල් අතරින් මෙම අවස්ථාව එතුමාට ලබා දී නොතිබුනේ ශ්‍රී ලංකාවේදී පමණි. අයර්ලන්තයේ එතුමා ගත කලේ පැය 30ක පමණ කාලයක් නමුදු එරට සභාව ද එතුමාට ජේසුනු හමුවක් ලබා දී තිබිණි.



Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය