ප්‍රැන්සිස් විරෝධී යුද්ධය

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් අනීත්‍යනුකුල කිරීමේ අරමුණින් සභාවේම කොටසක් විසින් දියත් කර ඇති 'යුද්ධය' ගැන විමර්ශනයක්

The War to delegitimize Pope Francis 



(2018 දෙසැම්බර 28)
(සංස්කාරක සටහන: මෙම ලිපිය සකස් කොට අවසන් වූයේ ඔක්තෝබර මස අවසන් සතියේය. ශ්‍රී ලංකාව දේශපාලන අර්බූදයකට ඇද වැටුනේ  මෙය පලකිරීමට සූදානම් වන විටය. එවකට ජනතා අවධානය වෙනතක පැවති බැවින් ලිපිය පල කිරීම ප්‍රමාද කෙරිණි. දැන් වර්ෂාවසාන ලිපියක් ලෙස මෙය පලකෙරේ. මෙය මෑත ඉතිහාසයේ පාප් වහන්සේ නමක් මුහුණ දෙන ප්‍රබලම අභියෝගයකි. ගත වූ වසර තුළ සභාව මුහුණ දුන් මෙම වේදනාත්මක අත්දැකීමට සුදොතුම් පියතුමා මුහුණ දුන් ආකාරය මෙයින් විමර්ශනය කෙරේ.)  

"ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා වර්තමානයේ  ලෝකයේ වැඩියෙන් ම වෛරයට පාත්‍රවූ කෙනෙකි."  බ්‍රිතාන්‍යයේ පළවන "The Guardian" පුවත්පතේ ලියුම්කරු ඇන්ඩෘ බ්‍රවුන් 2017    ඔක්තෝබර 27 වනදා එම පුවත්පතට ලියූ සිය විශ්ලේෂණයක් ආරම්භ කර තිබුනේ එහෙමය.එහෙත් ඔහු ඊට තවත් වැදගත් තොරතුරක් එකතු කර තිබුනේය. ඒ මෙසේය:

"ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන්ට වෛර කරන්නේ අදේවවාදීන් නොවේ; ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියානීන් ද නොවේ; මුස්ලිම් ආගමිකයන් හෝ වෙනත් ආගමිකයන් ද නොවේ. ඇත්තෙන්ම, තමන් ආධ්‍යාත්මික නායකත්වය දෙන කතෝලික සහාවට පිටත ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මහත් ආදරයටත් ගෞරවයටත් ජනප්‍රියත්වයටත් පාත්‍රව සිටියි"

එසේ නම් එතුමනට වෛර කරන්නේ කවුරුන් ද? 

එතුමන්ට වෛර කරන්නේ එතුමන් නායකත්වය දෙන කතෝලික සභාවේම බමුණු කුලයේ නායක පූජක, දේවධර්ම ශාස්ත්‍රවේදී සහ ශීල ධර්මවේදී පිරිසකි.

ප්‍රැන්සිස් පාප්තුමන් තුළින් ගලා එන මෘදු මානව දයාව හා කරුණාවත්, එතුමන් ගේ සරලබව හා නිහතමානී බවත් එතුමා ජනතා ආදරය දිනා ගැනීමට එක හේතුවක් වී තිබේ.  එතුමන් ගේ අභියෝගාත්මක ජීවිත ශෛලිය සහ ඉගැන්වීම්  වසර 2000කට පෙර ගලීලයේ ජීවත් වූ නාසරෙතයේ ජේසු නමැති තරුණයාගේත්, ඔහුගේ ලෝකෝත්තර ආධ්‍යාත්මික බලයෙන් සවිමත්ව ලෝකය පුරා ඔහුගේ පණිවිඩය සිය ජීවිතයෙන් ම ප්‍රකාශ කළ  ශ්‍රාවක කණ්ඩායමේත් මතකය යළි අවදිකරන්නක් බඳුව ජන හදවත් ආකර්ෂණය කරගන්නකි.

ඒ අතරම ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා තවත් දෙයකට අත ගසා තිබිණි. එනම්  මධ්‍යතන යුගයේ දී -එනම් කොන්ස්තන්තීනු අධිරාජයාගේ සමයේ දී- මහේශාක්‍ය බවට පත් කොට රාජකීයත්වයක් ආදේශ කරන ලද කතෝලික සභාවේ පූජක පන්තිය සේම පරිපාලන ව්‍යුහය ද සභාවේ ස්වාමියා වන නාසරෙතයේ  ජේසු තරුණයා  ඉගැන්වූ "සේවක-නායක" දැක්ම වෙත ආපසු ගෙන යාමයි. එසේම සේවක බව, ආදරය, දයාව සහ අල්පේච්ඡ (දිළිඳු) ජීවිතය යන ගුණාංග වෙනුවට ධනය, බලය, තනතුරු සහ එම තනතුරු සමග එන මානයෙන් අතරමංවූ සභා නායකත්වය ක්‍රිස්තු කේන්ද්‍රීය ජීවිතය වෙත යළි ගෙනයාමයි. ඇත්තෙන්ම එතුමන්  මෙම ධුරයට තෝරාගනු ලබද්දී එතුමාට ලැබුණු කැඳවීම එයයි.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ගේ මෙම ක්‍රියාකාරකම්  ලොව පුරා එතුමන්ට මිතුරන් රැසක් ඇතිකරද්දී සභාව තුළම ප්‍රබල සතුරු හමුදාවක් ගොඩ නැගීමට හේතු වී තිබේ. ගත වූ වසර 5 තුළ අවස්ථා කිහිපයක දී මෙම 'හමුදාව' ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන්ට ප්‍රබල ලෙස පහර දීමට උත්සාහ කළහ. එහෙත් ඒ කිසිදු ප්‍රහාරයක් අවසානය තෙක් ගමන් කලේ නැත. ඊට හේතුව කතෝලික සභාව තුළම සිටින පොදු ජනතාවගේ සහය ලබා ගැනීමට එම එකදු ප්‍රහාරයක්වත් සමත් නොවීමයි.

ඇමෙරිකාවේ හිටපු වතිකාන තානාපති කාලෝ විගානෝ අගරදගුරු  හිමි ඉකුත්දා  ප්‍රබල 'බෝම්බ ප්‍රහාරයක්' එල්ල කලේ මෙම වාතාවරණය තුලය. 'බෝම්බ ප්‍රහාරයක්' ලෙස හඳුන්වන්නේ එතුමන් ඉදිරිපත් කරන චෝදනාව - එනම් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා දැන දැනම ළමා ලිංගික අපයෝජක කාදිනල් වරයකු ආරක්ෂා කළේය යන්න -  පොදු ජනතාවට සමීප අතිශය සංවේදී එකක් වන නිසාය. මේ මගින් සුදොතුම් පියතුමා මෙතෙක් කලක් ජීවත්කල දූෂණ විරෝධී නායකත්වයේ විශ්වසනීයත්වය ඇසිපිය හෙළන සැනෙකින් විනාශ කල හැකි නිසාය. විශේෂයෙන් ම එතුමන්ට ආදර භක්තියක් දක්වන යෞවන යෞවනියන්, දරු දැරියන් හා මව් පියන්ද එතුමා කෙරෙන් ඉවත් කිරීමට මෙවැනි චෝදනාවක් පවා ප්‍රමාණවත් නිසාය. එතුමන් ගේ විශ්වසනීයත්වයට තුවාල කිරීම මගින්  මෙතෙක් තමන් සමග සම්බන්ධ නොවූ සභාව තුළ සේ ම සභාවට පිටත ද සිටින ජනතාව ද සම්බන්ධ කරගනිමින් එතුමන්ට එරෙහි යුද්ධය තීව්ර කිරීමට හැකි බව මෙම යුද්ධයේ නායකයන් සිතන නිසාය. එසේම මේ මගින් මෙතෙක් එතුමන් විසින් සිදු කරන ලද සියලු ප්‍රතිසංස්කරණ සහ නවෝදය නීත්‍යනුකුල නොවන (delegitimize) තත්වයට පත් කිරීම සඳහාය.

මේ නිසා මෙය 'ප්‍රැන්සිස් විරෝධී යුද්ධය' විශ්ලේෂණය කිරීමට සුදුසු අවස්ථාවකි.

දෙවන වතිකාන කතිකාව සහ සභාවේ "බහිර්ගතික" ප්‍රවේශය

ඇතැම් විචාරකයන් පවසන්නේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන්ට විරුද්ධ මෙම යුද්ධය කතෝලික සභාවේ ගතානුගතික මතවාදීන් (conservatives) සහ නිදහස් මතධාරීන් (liberals) අතර  ඉකුත් දශක 5 කට වැඩි කාලයක් පුරා පැවති ගැටුමේ පැහැදිලි සහ උච්ච්චතම අවස්ථාවක් ලෙසයි. එසේම මෙය දෙවන වතිකාන කතිකාවේ ප්‍රබෝධය වැළඳගත් කණ්ඩායම  සහ එදා සිටම ඊට දැඩි සේ විරෝධය පළකළ කණ්ඩායම අතර ගැටුමක් බව තවත් ඇතැමෙක් පවසති. "The Guardian" පුවත්පතේ ලියුම්කරු ඇන්ඩෘ බ්‍රවුන් පවසන්නේ මෙය සභාවේ අන්තරාවර්තිත හෙවත් 'තමන් තුළටම එබී සිටින" (Introvert) සහ බහිර්ගතික (Extrovert) හෙවත් "තමන්ගෙන් පිටතට විහිදුනු"  නායකත්වය අතර ගැටුමක් බවයි.

දෙවන වතිකාන කතිකාව කැඳවූ 23 වන ජුවාම්  පාප් වහන්සේ සහ  එය අවසන් කොට ක්‍රියාත්මක කිරීමේ පියවර තැබූ 6 වැනි පාවුළු පාප් වහන්සේ සිය චරිත ලක්ෂණ වලින් අන්තරාවර්තිත පුද්ගලයෝ වූහ. එහෙත් එම කතිකාව කැඳවමින් "සභාවේ කවුළු ලෝකයට විවෘත කරමු", "නැවුම් වා රැළි සභාව තුළට එන්නට ඉඩ හරිමු" යි ප්‍රකාශ  කරමින් 23 වන ජුවාම් පාවුළු පාප් වහන්සේ සභාවට කියා සිටියේ ධර්මදානීය සභාවක් වීම සඳහා ඇය බහිර්ගතික, ජනතාවට, ලෝකයට සමීප ආධ්‍යාත්මික ආයතනයක් විය යුතුය යන්නයි.

සවැනි පාවුළු පාප්තුමා 
එතුමන් ගේ අවෑමෙන් පසුව එම කතිකාව පරිසමාප්තියට පත් කළ 6 වැනි පාවුළු පාප්තුමාට සභාවේ අන්තරාවර්තිත කණ්ඩායමෙන් දැඩි බාධා එල්ල විය එහෙත්. එතුමා එම කතිකාව පරිසමාප්තියට පත් කොට එයින් බොහොමයක් තීරණ ක්‍රියාත්මක කිරීමේ අඩිතාලම දමමින් මෙතෙක් තමන් තුළටම එබී සිටි සභාව ලෝකය වෙත  විහිදෙන, ලෝකයේ සෑම පුද්ගලයෙකුම ස්පර්ශ කළ හැකි 'පුද්ගලයකු' බවට පත්කළේය. එතුමන් ගේ මෙම ප්‍රතිසංස්කරණයේ අති සුන්දරම හා ප්‍රබලම සංකේතය දිව්‍ය පූජාවයි. දෙවන වතිකාන කතිකාව අවසන් වන තෙක් කාලයේ දිව්‍ය පූජාව පැවැත්වුනේ ලතින් බසින් පමණි. 'ලතින් පූජාව' යනුවෙන් තවමත් ඇතැම් පැරැන්නන් හඳුන්වන්නේ එම පූජාවයි පූජාප්‍රසාදී තුමා විශ්වාසකයන්ට පස්ස හරවා තමන් වෙතටම නැමී ඔප්පු කළ එම පූජාව සභාවේ අන්ත්රාවර්තිත බවේ සංකේතයක් වැන්න. දැනට භාවිත වන දිව්‍ය පූජාව සවැනි පාවුළු සුදොතුම් පියතුමාගේ ම සංස්කරණයක් ය යන්න තතු දත් සසුන් වේදීන් සහ ජනවන්දනා ශාස්ත්‍රවේදීන් ගේ මතයයි. පූජාප්‍රසාදී තුමන් ජනතාව වෙතට හැරී ඔවුන් සමග ඔවුන්ට තේරෙන ඔවුන්ගේ ම බසින් දිව්‍ය පූජාව ඔප්පු කරන ආකාරයට එහි ආකෘතිය අර්ථාන්විතව වෙනස් කරමින්  එය විශ්වාසිකයනට සමීප යාගයක් බවට එතුමා පත්කළේය. මෙය ඒ සමයේ  ආරම්භ වූ සභාවේ බහිර්ගතික ප්‍රවේශයේ ප්‍රබල සංකේතයක් යයි ප්‍රකාශ කරන්නේ ඒ නිසාය.

එහෙත් මේ ප්‍රතිසංස්කරණ  නිසා සවැනි පාවුළු පාප්තුමා සතුරන් හා විවේචකයන් රාශියක් සාදා ගත්තේය. එතුමා ගේ ප්‍රතිසංස්කරණ ඇතැමෙක් ප්‍රසිද්ධියේ විවේචනය කළහ. එහෙත් එතුමා සිය පුර්වගාමී පාප් වහන්සේලා සහ අනුප්‍රාප්තිකයන් කිහිප දෙනෙකු කළ  සේ  සිය විවේචකයන් සභාවෙන් නෙරපා හැරියේ නැත. විවේචනයට ඉඩ හැරියේය.  එහෙත් ප්‍රතිසංස්කරණ වෙනස් කළේ ද නැත. එතුමා සතුව ද එක 'දුර්වලකමක්' තිබිණ. එනම් සිය ප්‍රතිසංස්කරණ වලට සම්ප්‍රදාය මතවාදීන් හෙවත් අන්තරාවර්තිතයන් නැඹුරු කර ගැනීම සඳහා ඇතැම් ලේඛන ඔවුනට පිළිගත හැකි භාෂාවකින් ඉදිරිපත් කිරීමයි. මේ වන විට සම්ප්‍රදාය මතවාදීන් එල්බගෙන සිටින්නේ එම ලේඛනවලය.

පළමුවන ජුවාම් පාවුළු පාප්තුමා 

එතුමන් ගේ අනුප්‍රාප්තිකයා වූ පළමුවන ජුවාම් පාවුළු සුදොතුම් පියතුමා සවැනි පාවුළු පාප් තුමන්ගේ ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යන බව ප්‍රථම දින කිහිපයේ සිටම පැහැදිලිව පෙන්නුම් කළේය. "සිනාසෙන පාප්තුමා" (Smiling Pope) යන දයාබර විරුදය ලබා සිටි එතුමා පෞරුෂයෙන් ද බහිර්ගතිකයෙක් වූයේය. මේ නිසාම සභාව තමාගෙන් 'බැහැර විය යුතුය' යන්න එතුමා සිය ප්‍රථම පියවර වලින්ම සංඥා කළේය. එහෙත් එතුමාට ජීවත් වීමට ලැබුණේ දින 33ක් පමණි. මනා ශරීර සෞඛ්‍යයකින් සිටි එතුමා ගේ හදිසි ස්වර්ගස්ථ වීම ගැන පවතින සැකය අද ද දුරු වී  නොමැත.

එතුමා ගේ  අනුප්‍රාප්තිකයා තෝරා ගැනීම සඳහා වූ සුදොතුම් පිය වරණ දැහැනේ දී (conclave) සභාවේ ගතානුගතික හෙවත් අන්තරාවර්තිත කණ්ඩායම 'පෙරළා පහර දුන්නේය'. යුරෝපයේ දැඩිම සම්ප්‍රදාය මතවාදී කතෝලික රට වන පෝලන්තයේ ක්‍රැකෝ හි අගරදගුරු කැරොල් වොයිටිවා කාදිනල් හිමියන් නව පාප්තුමන් ලෙස තෝරාගනු ලබන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසය. දෙවන ජුවාම් පාවුළු නමින් පාප් ධුරයට පත් එතුමා ගේ 27 අවුරුදු ධුර  කාලයේ දීද එතුමා ගේ අනුප්‍රාප්තික සොළොස්වන බෙනඩික් පාප් වහන්සේ ගේ කාලයේදීද දෙවන වතිකාන කතිකා ප්‍රතිසංස්කරණ නැවතී තිබුණේය. සභාව යළිත් තමන් වෙතට නැඹුරු වීම පටන් ගෙන තිබුනේය. සභාවේ ධුරාවලිය තුළ පුදැදුරු අධිපතිවාදය (Clericalism) ශක්තිමත් වීම, එයින් ලැබෙන බලය විවිධාකාරයෙන් අයුතු ලෙස භාවිත කිරීමට නොපැකිලීම,  ඉහළ නගින්නට දරන අරගලය  හෙවත් වෘත්තීය උන්නතිකාමය (careerism) හා ධනය සහ ලෞකිකත්වය කෙරෙහි ලොල් වීම එම අන්තරාවර්තිත නැඹුරුවේ ප්‍රතිඵල විය.

මෙහි ප්‍රතිඵලයක් ලෙස සොළොස්වන බෙනඩික් පාප් වහන්සේ පත්වන විට අර්බුද රැසක් හටගෙන තිබිණි.  වතිකාන බැංකුවේ මුල්‍ය දූෂණ, පූජකවරුන් ගේ ළමා ලිංගික අපයෝජන, වතිකාන පරිපාලනය ඔස්සේ ඔඩු  දුවා තිබූ දැඩි නිලධාරිවාදී ක්‍රියා කලාපය සහ  බල පොරය, යුරෝපයේ සහ ඇමෙරිකාවේ පූජක දේව කැඳවීම් පහත වැටීම ඉන් කිහිපයකි. මේ සියල්ලට මුහුණ දෙමින් සිටි සොළොස්වන බෙනඩික් පාප්තුමන්ට නොසිතූ විරූ අභියෝගයකට මුහුණ දීමට සිදුවිය.

එනම් 2012 දී වතිකාන රාජ්‍යයේ  අතිශය රහස්‍ය ලියුම් කිහිපයක් ජනමාධ්‍ය වලට කාන්දු වීමයි. මේ අතරින් ලියුම් දෙකක් කෙරෙහි ලෝකයා ගේ අවධානය වෙසෙසින් යොමු විය. ඊට හේතුව ඒවා එවකට වතිකානයේ ප්‍රබල නිලධාරියකු  වූ වතිකාන ආණ්ඩු කාර්යාලේ මහ ලේකම් (Secretary General of the Vatican City Governatorate) කාලෝ මරිය විගානෝ අගරදගුරු තුමන් විසින්  පාප් වහන්සේටත් එවකට වතිකාන රාජ්‍ය ලේකම් තාර්සිසියෝ බර්තෝනේ කාදිනල් හිමියන්ටත් යවන ලද ඒවා වීමයිමා වත්මන් තනතුරින් ඉවත් කොට  ඇමෙරිකාවේ වතිකාන තානාපති ලෙස පත් කරනු ලැබීමට විරෝධය ප්‍රකාශ කරමින් සහ තමා මෙම කාර්යාලයේ තබාගත යුත්තේ මන්ද යන්න ගැන කරුණු දක්වමින් එතුමා එම ලියුම් ලියා තිබුණේය.මෙම ලියුම් වලින් කරුණු දෙකක් පැහැදිලි විය. කක් වතිකානයේ පවතින මුල්‍ය දුෂණයයි. අනෙක එහි නිලධාරී නායක  පූජකවරුන් අතර පවතින බල අරගලයයි.

'වතිකාන්දුව' හෙවත් Vatileaks යනුවෙන් කුප්‍රකට වූ මෙම සිද්ධිය සොලොස්වන බෙනඩික් පාප්තුමන් තුළ දැඩි වේදනාවක් ඇති කළේය. විසඳීම දුෂ්කර වූ  මෙම අර්බුද  හේතුවෙන් 'අලුතින් සිතන්නට හැකි' නායක්තවයකට ඉඩ දී විශ්‍රාම ගන්නට සොළොස්වන බෙනඩික්  පාප් වහන්සේ තීරණය කලේ මේ අතරය.

ප්‍රැන්සිස් සුදොතුම්  පියතුමා ගේ සම්ප්‍රාප්තිය

සොළොස්වන බෙනඩික්  පාප් වහන්සේ ඉසුඹු ලැබීම කතෝලික ලෝකය මහත් කම්පනය කල  සිද්ධියක් විය. මන්ද සියවස් ගණනකින් පාප්තුමෙකු විශ්‍රාම ගෙන නොමැති වීම පමණක් නොවේ. එතුමාට විශ්‍රාම ගනීමට හේතු වූ සාධක සභාවට අභියෝගයක් වූ නිසාය. මේ නිසා නව පාප් වහන්සේ කෙබඳු විය යුතු ද යන්න ගැන ගැඹුරු සංවාද පැවැත්වින.

බෙනඩික් පාප්තුමන් ගේ අනුප්‍රාප්තිකයා තෝරා ගැනීමේ පාප් වරණ දැහැනට  පෙර පැවැති කාදිනල් හිමිවරුන් ගේ පූර්ව සාකච්ඡා වටයේදී මේ ගැන ගැඹුරින් කතා බහ කෙරිණි. මේ අතර එම සාකච්ඡා වටය ඇමැතූ ලතින් ඇමෙරිකානු කාදිනල් තුමකු ගේ දේශනය එහි සිටි කාදිනල්වරුන් බහුතරයක ගේ අවධානය දිනා ගනීමට සමත් විය. එම කාදිනල් තුමා ආජන්ටිනාවේ බුවනෝස් අයර්ස් පදවියේ අගරදගුරු  හොර්හේ මාරියෝ බෙර්ගොලියෝ කාදිනල් හිමිය. කාදිනල් වරුන් අමතමින් එතුමා  කීයා සිටියේ "සභාව තමා වෙතින් පිටතට පැමිණ පරිධිය වෙත ගමන් කළ යුතු" බවයි. බෙර්ගෝලියෝ කාදිනල්  තුමන් ඉදිරිපත් කළ එම කතාවේ තුබූ කාලීන බවත් වැදගත්කමත් නිසා එහි  දළ පිටපත එවකට කියුබාවේ හවානා හි අගරදගුරු හයිමේ ලූකස් ඔර්තේගා කාදිනල් හිමියන් විසින් එතුමන්ගෙන් ඉල්ලා ගන්නා ලදී. ඔර්තේගා කාදිනල් හිමියන් විසින් පසුව ප්‍රසිද්ධ කරන ලද එම කතාවේ වැදගත් කොටස් කිහිපයක් මෙසේය:
                                                                                                                                     
"සභාව ධර්මදානය සඳහා තමන් වෙතින් පිටතට නොපැමිණෙන්නේ නම්, එය තමන් වෙතම යොමු වීම හේතුවෙන් රෝගී වෙයි. ශාසනික ආයතනවල ගත වූ කාලය පුරා පැවැති අයහපත් දේ වල මුල් පවතින්නේ ඒවායේ ආත්ම -යොමුව (self-referentiality) සහ දේවධර්මවේදීය ස්වරූපරාගය (theological narcissism) තුළ ය. තමන් වහන්සේ දොර ළඟ සිට තට්ටු කරන බව හෙළිදරව්ව පොතේ ජේසු සමිඳාණෝ පවසති. (හෙළිදරව්ව 3:20)


නිසැකවම මෙයින් අදහස් කෙරෙන්නේ උන්වහන්සේ පිටත සිට ඇතුළුවීම සඳහා දොරට තට්ටු කරන බවය. එහෙත් උන්වහන්සේ ඇතුළේ සිට තමන් වහන්සේට පිටට යාමට ඉඩ දෙන ලෙස ඉල්ලා තට්ටු කරන කාළය පැමිණ ඇතැයි මට සිතේ. ආත්ම-යොමුවෙන් යුත් සභාවක් උන්වහන්සේව තමන් තුළ කොටු කරගෙන සිටියි.පිටතට යාමට ඉඩ නොදෙයි.

සභාව ආත්ම-යොමුවෙන් සිටින විට තමා සතුව තමාගේම ආලෝකය පවතින බව නොසැලකිලිමත්ව විශ්වාස කිරීමට පටන් ගනියි. මේ නිසා ඇය "චන්ද්‍රයාගේ අබිරහස" ('mysterium lunae') වීම අත්හරියි. ('mysterium lunae' යන්නෙහි අදහස නම් චන්ද්‍රයා සූර්යයා ගේ ආලෝකය පරාවර්තනය කරන්නේ යම් සේ ද සභාව ක්‍රිස්තුන් වහන්සේ ගේ ආලෝකය පරාවර්තනය කරන්නේය යන්නයි.). ඩි ලුබැක් කී ආකාරයට මෙහි ප්‍රතිඵලය ආධ්‍යාත්මික ලෞකිකත්වය නමැති බරපතල නපුරයි.

කෙටියෙන් කියන්නේ නම්, සභාව පිලිබඳව චිත්ත රූප දෙකක් තිබේ. පළමුවැන්න තමාගෙන් පිටතට පැමිණ ධර්මදානය කරන සභාවයි. ...දෙවැන්න තමා තුළ, තමා විසින්, තමන් වෙනුවෙන් ජීවත් වන ලෞකික වූ සභාවයි. මෙය සභාවට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සඳහා ආලෝකය සැපයිය යුතුය.

මීළඟ පාප් වහන්සේ ගැන සිත විට: ඔහු ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ගැන භාවනා කරමින් සහ උන්වහන්සේට වන්දනා කිරීම තුළින්, අනුභූතික පර්යන්ත වෙත (existential peripheries) යාමට සභාවට සහය දෙන්නා වුද, 'ධර්මදානයේ මිහිරි සහ සැනසිලිදායක ආනන්දයෙන්' ජීවය ලබීමට ඇයට උදව් වන්නා වූද' කෙනෙක් විය යුතුය."

2013 පාප් වරණ දැහැනේ අභ්‍යන්තරය දැන සිටි බොහෝ දෙනෙකු පවසන්නේ හොර්හේ බෙර්ගොලියෝ කාදිනල් හිමියන් පාප් වහන්සේ  ලෙස තෝරාගැනීමට හේතු වූ තීරණාත්මක කතාව එය බවයි. එය එසේ නම්, එතුමා දුන් අදහස, එනම් සභාව තමන් වෙත යොමු වීම (අන්තර්වර්තික වීම) අත්හැර  තමන්ගෙන්  පිටතට  යා යුතුය (බහිර්ගතික විය යුතුය) යන්න මෙන්ම සභාව සිය පරිධිය වෙත ගොස් එය සභාවේ ප්‍රවර්ධනයට සහභාගී කරගත් යුතුය යන්න පාප් වරණ දැහැනට එක්වූ බහුතරයක් කාදිනල් හිමිවරු පිළිගත්හ. එනම්, එම අදහසට "සභා වරමක්" (Church mandate) ලැබිණි.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ගේ මෙම දැක්ම වූ කලී වෙනත් කිසිවක් නොව දෙවන වතිකාන කතිකාව ඔස්සේ එළිබට 23 වන ජුවාම්  පාප් තුමන් ගේත් සවැනි පාවුළු පාප් තුමන්ගේත් දැක්මය: නූතන ලෝකයටත් එයින් එල්ලවන අභියෝගවලටත් මුහුණ දිය හැකි, සභාව ශුද්ධවන්ත කල හැකි, එහි ස්වාමියා වන ජේසු සමිඳුන් ම පෙන්වා දුන් "බහිර්ගතික" ප්‍රවේශය ය.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් සිය ප්‍රථම දිනයේ සිටම කළේ සභාවට  අත්‍යවශ්‍යව තිබූ එම නවීකරණය ක්‍රියාත්මක කිරීමයි. එතුමන්ට එරෙහි බලවත් සතුරු හමුදාවක් ගොඩනැගුනේ ද එහි ප්‍රතිඵලයක් ලෙසයි.

පරිපාලන ප්‍රතිසංස්කරණ

බොහෝ දෙනෙකු ගේ ඉල්ලීම පරිදි  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් සභාවේ පරිපාලන ව්‍යුහය ප්‍රතිසංස්කරණය වහාම ආරම්භ කළේය. ඒ සඳහා මුලින් ලොව සියලු ප්‍රදේශ නියෝජනය වන අයුරින් කාදිනල් හිමිවරුන් 8 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පත් කළේය. පසුව  එම සංඛ්‍යාව 9 දෙනෙකු දක්වා වැඩි කෙරිණි.  මෙහි ප්‍රමුඛ  අරමුණ වූයේ ඒ වන විට නිලධාරිවාදය, බල පොරය සහ උන්නතිකාමය හෙවත් 'ඉහළ නැගීමේ තන්හාව' වැනි රෝග වලින් ගිලන්ව තිබූ දෘඩ ආයතනයක් ලෙස ප්‍රසිද්ධව තිබූ වතිකානයේ ඉහලම පරිපාලන ව්‍යුහය - එනම් කියුරියාව ප්‍රතිසංස්කරණය කිරීමයි. කාදිනල් වරුන් 9 කණ්ඩායමේ උපදෙස් අනුව එම වෙනස්කම් ඇරඹෙද්දී  වෙනස්කම් අසාත්මිකතාවයෙන් පෙළුණු එම පරිපාලනය ඊට දැඩි ප්‍රතිරෝධයක් පෙන්වූහ. මේ නිසා  එහි නායකත්වය දරන කාදිනල් හිමිවරුන් සහ අගරදගුරු හිමිවරුනට ඇතැම් විට තරමක් තද වචනවලින් ඔවුන් වෙනස් විය යුතු ආකාරය ගැන පහදා දෙන්නට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමාට සිදු විය. ඉකුත් වසර පහේ නත්තල් කතා කිරීම සඳහා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් හමුවීමට ගිය  කියුරියා නායකත්වයට එතුමා මෙම නව දැක්ම නොවලහා පැහැදිලි කළේය. එතුමන් ගේ අරමුණ යහපත් වූවත් "වෙනස්කම් විරෝධී" පරිපාලන තන්ත්‍රය  පෙරලා පහර දීම සඳහා අවස්ථාවක් ලැබෙන තෙක් බලා සිටියේය.

සභාවට වෙනස් විය නොහැකි හේතු දෙකක් ඇති බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා රදගුරු, පුදැදුරු  සහ ගිහි නායකයන් හමුවන විශේෂ අවස්ථා වලදී නිතර පෙන්වා දුන්නේය.

පළමුවැන්න  "පුදැදුරු අධිපතිවාදය" (clericalism) යි. මෙය මුලින් කී අන්තරාවර්තිත බවේ සහ ප්‍රැන්සිස් සුදොතුම්  පියතුමා පෙන්වා දෙන පරිදි සභා නායකත්වය තුළ පවතින ආත්ම-යොමුවේ ප්‍රතිඵලයකි. තමන් වෙත පවරන ලද  අධිකාරීත්වය ස්වකීය කීර්තිය, ලාබ ප්‍රයෝජන, සුඛ විහරණ පමණක් නොව අපයෝජනය සඳහා යොදවා ගැනීම පුදැදුරු අධිපතිවාදයේ ලක්ෂණයයි. පුදැදුරු අධිපතිවාදීන් සිතන්නේ ග්‍රහයන් සූර්යයා වටා භ්‍රමණය වන්න සේ  විශ්වාසකයන් තමා වටා භ්‍රමණය වන බවයි. මෙය දූෂණයට සහ අපයෝජනයට මඟ පාදයි.

දෙවැන්න වෘත්තීය උන්නතිකාමයයි (careerism). මෙම රෝගයෙන් පෙළෙන්නන් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් හඳුන්වන්නේ "කඳු නගින්නන්' (climbers) ලෙසයි. ලෞකික ආයතනවල සේ සභාව තුළ ද අනෙකා කපා ගෙන ඉහල යන්නට වෑයම් කරන්නේ වෘත්තීය උන්නතිකාමයෙන් පෙළෙන්නෝය. කේලම් කීම, ඕපාදුප කීම සහ පන්දම් අල්ලා ඉහලට යන්නට උත්සාහ කරන මෙම ලක්ෂණ ඇත්තන් සභාවට පිළිලයක් බව එතුමා කිහිප විටක් ප්‍රකාශ කළේය.

ගතානුගතික අදහස් ඇති, සභාව අන්තරවර්තිත  විය යුතු යැයි විශ්වාස කරන    බොහෝ දෙනෙක් මෙම දෙලක්ෂණ ඇත්තෝය.  මේ නිසා මෙම ප්‍රතිසංස්කරණ  වලට විරෝධය දැක්වූ   ඔව්හු රහසේ කල්ලි ගැසෙන්නට පටන් ගත්හ.

දුප්පත් සභාවක් - දුප්පතුන්, සරණාගතයන්, පීඩිතයන් කෙරෙහි අවධානය දක්වන ලෝකයක් 

අල්පේච්ඡ බව මුල පටන්ම - කාදිනල් කාලයේ ගමන බිමන කෝච්චියේ 

"අල්පේච්ඡ සභාවක්- දුප්පතුන් වෙනුවෙන් වූ සභාවක්" යන්න ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ තවත් තේමා පාඨයක් වී තිබේ. සභාව දුප්පත් හෙවත් අල්පේච්ඡ විය යුතු බව එතුමා අවධාරණය  කළේය. "පූජක සහෝදර වරුනි, ඔබ ඔබේ අම්මාට ආදරය කරන්නේ යම් සේද එසේම දුප්පත්කමට ප්‍රේම කරන්න" යි සිය පළමු ලතින් අමෙරිකා සංචාරයේ දී එතුමා ලොව පුරා පුදැදුරු වරුනට පණිවිඩයක්  දෙමින් කියා සිටියේය.

අනෙක් අතින් එතුමා දුප්පතුන්, යුද්ධ සහ ආණ්ඩු වල පීඩා නිසා උන් හිටි තැන්  නැතිවී අවතැන් වන සරණාගතයන්, සිරගත වූවන්, මානව අයිතිවාසිකම් අහිමිවූවන්  වෙත සභාවේත් ලෝකයේත් අවධානය යොමු කරමින් සිටියි. මෙතෙක් කාලයක් පුරා සභා නායකයන් විසින් හමස් පෙට්ටියේ  දමා තිබූ  කතෝලික සමාජ දර්ශනය සිය ජීවිතයෙන්  ජීවත් කරන  පාප් තුමා එතුමාය.

දුප්පතුන් අන්ත දුප්පතුන් බවට පත් කරමින් අතලොස්සක් ප්‍රකෝටිපතියන් කරන, මනුෂ්‍යයා නොව ලාබය කේන්ද්‍ර කරගත්  නූතන ලෝක ආර්ථික ක්‍රමය සිය ප්‍රථම අපෝස්තලික සංදේශයෙන් එතුමා දැඩි ලෙස විවේචනය කළේය. ඒ වෙනුවට මානව සම්පත සහ දුප්පත් කම තුරන් කරන, ජනතාව කුසගින්නෙන් මුදන ආර්ථික ක්‍රමයක් වෙත යොමුවන ලෙස එතුමා ලෝකයෙන් ඉල්ලා සිටියේය.

කතෝලික සමාජ දර්ශනය තුළ පදනම් වූ එතුමා ගේ මෙම ඉගැන්වීමෙන් එතුමා සමග විරසක වූයේ එය නොරිස්සූ, ධනය සිය බලය හා ආභරණය කරගත්, සුඛ විහරණ විඳින කතෝලික සභා නායකයන් පමණක් නොවේ. අන්ත දක්ෂිනාංශික දේශපාලන නායකයන්  හා ඔවුන් ගේ උපදේශකයෝ ද එතුමන් හා උරණ වූහ.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ හිටපු ප්‍රධාන උපදේශක ස්ටීව් බැනන්  එවැන්නෙකි. කතෝලිකයකු  වූ ඔහු කියා සිටියේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා "නොමග ගිය" කතෝලිකයකු බවය. මේ නිසා එතුමන් එම ධුරයෙන් ඉවත් කළ යුතුය යන්න ඔහුගේ මතය විය. මේ නිසා ඔහු ද ඒ සඳහා අවස්තාවක් එළඹෙන තෙක් බලා සිටියේය.

 ඔහු ඒ සඳහා සිය කතෝලික සභා සම්බන්ධතා ජාලය ශක්තිමත් කරගැනීමට පටන් ගත්තේය. මේ සඳහා ඔහුගේ  නෙත යොමු වූයේ "ප්‍රැන්සිස් විරෝධී" ගතානුගතික මත වාදීන් වෙතය.

පවුල පිලිබඳ සිනොඩ් කතිකාව 

සභාව නවෝදයක් වෙත ගෙනයමින් සිටින ප්‍රැන්සිස් සුදොතුම් පියතුමාට එරෙහිව සීතල යුද්ධයක නිරත වෙමින් සිටි ප්‍රතිගාමීන් සිය යුද අවි ප්‍රසිද්ධියේම අතට ගත්තේ පවුල පිලිබඳ සිනොඩ් කතිකාවෙන් පසුවය. එම නිසා  එම 'යුද්ධයේ' කතාව සැකෙවින් හෝ විස්තර කල යුතුය.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් එම ධුරයට පත් වූයේ කුඩාම සභා ඒකකය වන පවුල අභියෝග සහ අර්බුද  රැසකට මුහුණ දී සිටින වකවානුවකය. ලෞකික වූ ලෝකය  තුළ පවුල සඳහා විවිධ නිර්වචන ලැබෙමින් තිබේ. යුරෝපයේ සහ ඇමෙරිකාවේ කතෝලික පවුල්වල පවා දික්කසාදය සහ වෙන්වීම සාමාන්‍යයක් බවට පත්වෙමින් ඇත.කතෝලික පවුල්වල  දරුවන්  තමන් තුළ සමරිසි නැමියාවක් ඇති බව කී විට ඔවුන්ට ප්‍රතිචාර දක්වන්නේ කෙසේදැයි යන ගැටලුවට ද  දෙමාපියෝ  මුහුණ දෙමින් සිටියහ. මේ නිසා මෙබඳු සියලු ගැටළු ගැන සාකච්ඡා කොට ඒවාට  "එඬේරික" හෙවත් ධර්ම සේවාමය (Pastoral) විසඳුමක් සෙවීම සඳහා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා 2014 සහ 2015 වසරවලදී අතිවිශේෂ රදගුරු සිනොඩ් කතිකාවක් සහ සාමාන්‍ය රදගුරු සිනොඩ් කතිකාවක් කැඳවීය.

මෙහිදී මෙතෙක් කිසිදු පාප් තුමකු නොකළ දෙයක් එතුමා කළේය. එනම්, කතිකාවට පෙර පවුල මුහුණ දෙන අර්බුද හා ඊට විසඳුම් ගැන ගැන ලොව පුරා කතෝලික පවුල්වලින් අදහස් විමසීමයි. එපමණක් නොව කතිකාවේ  සාමාජිකයන් ලෙස ද පවුල් කිහිපයක් සම්බන්ධ කරගැනීමයි. මෙය අන් කවරක්වත් නොව එතුමා ම සඳහන් කළ පරිදි "පරිධිය"  සම්බන්ධ කරගැනීමය.


2015 රදගුරු සිනොඩ් සභාවේ අවස්ථාවක්

මෙවැනි පෙර නොවූ  විරූ සූදානමකින් පසුව 2015 ඔක්තෝබර 4 වැනිදා කතිකාව ආරම්භ කරමින් පැවැති දිව්‍ය පූජාවේදී ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා එහි අරමුණ හා දැක්ම විග්‍රහ කළේය.


විවාහය හෝ පවුල පිලිබඳ කිසිදු සභා ඉගැන්වීමක් වෙනස් නොවන බව එතුමා අවධාරණය කළේය. මන්ද "පිරිමියා සහ ගැහැණියගේ ප්‍රේමයෙන් එක්වන පවුල දෙවියන් වහන්සේ ගේ සිහිනය නිසා" යයි එතුමා කීවේය. එහෙත් වර්තමාන අර්බුද හා අභියෝග හමුවේ පවුල් ජීවිතය තුළ යන ගමනේදී ඇදවැටෙන, තුවාල වන, අසරණ වන පවුල් අතහැර යාමට සභාවට නොහැකි බව 1998 දී ශු. දෙවැනි ජුවාම් පාවුළු පාප්තුමන් කියු ප්‍රකාශයක් ද උපුටා දක්වමින් එතුමා පෙන්වා දුන්නේය: "නපුර සහ වැරැද්ද නිරන්තරයෙන් හෙලා දැක ඊට විරුද්ධ විය යුතුය. එහෙත් වැරැද්දට වැටෙන පුද්ගලයා තේරුම් ගෙන ඔහුට ප්‍රේම කල යුතුය...එසේම සභාව විවාහයේ දී ඇද වැටෙන පුද්ගලයන් සොයා ගොස් ඔවුන් පිළිගෙන ඔවුන් සමග ගමන් කල යුතු ය. මන්ද ඔවුනට දොරවල් වසා ඇති සභාවක් සිය දූත මෙහෙවරත් තමාවත් පාවා දී ඇති සභාවක් බැවිනි. එවැනි සභාවක් පාලමක් වනවා වෙනුවට මාර්ග බාධකයක් බවට පත්වෙයි." මෙහිදී එතුමන් ගේ දැක්ම වූයේ සමිඳුන් වදාළ "නැති වුනු එක් බැටළුවකු සොයා යන එඬේරා ගේ" භූමිකාව පවුල් සම්බන්ධයෙන්  සභාව ක්‍රියාත්මක කරනු දැකීමය.


එහෙත් අතලොස්සක් වූ අන්ත ගතානුගතික මතවාදීහු ආරම්භයේ  සිටම මෙම කතිකාවට අකුල් හෙලීමට උත්සාහ කළහ. ප්‍රමුඛ පෙළේ කාදිනල් හිමිවරුන් කණ්ඩායමක් එතුමන්ට එරෙහිව පෙත්සමක් ලියා දුන් බවටත්, එතුමාට තරමක් දරුණු රෝගයක් වැළඳී ඇති බවටත්  ඔව්හු කටකතා පැතිර වූහ. අවසන් ප්‍රකාශනය සම්මත කර ගැනීමද දිග්ගැස්සෙන්නට සැලැස්වූහ. එහෙත් අවසානයේ දී බලාපොරොත්තු වූ තරමින් නොවුවද තරමක් දුරට හෝ "එඬේරාගේ" භූමිකාවට සභාව යොමුකෙරෙන ප්‍රකාශනයක් සම්මත කර ගැනීමට සිනොඩ් පියවරු සමත් වුහ.

අන්තවාදී ගතානුගතික මත වාදීන් තමන් ම ආරම්භ කළ මෙම යුද්ධයෙන් පරාජයට පත්වූවත්  ඔව්හු යලිත් අවස්තාවක් එනතෙක් බලා සිටියහ. ඔවුනට එම අවස්ථා උදා  වූයේ මෙම කතිකාවේ නිගමන පාදක කරගනිමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් විසින් ලියන ලද අපෝස්තලික හසුන, "ප්‍රේමයේ ආනන්දය"  ප්‍රකාශයට පත් වූ අවස්ථාවේදීය.

ප්‍රේමයේ ආනන්දය" ("Amoris Laetitia")

"ප්‍රේමයේ ආනන්දය" අපේ යුගයේ පවුල මුහුණ දෙන අභියෝග සහ තර්ජන ඉතා සීරුවෙන් විමර්ශනයට  ලක්කර කතෝලික දහම් සේවාව තුළ ('එඬේරික' සේවාව තුළ) ඒවාට ප්‍රතිචාර දැක්විය හැක්කේ කෙසේද යන්න සාකච්ඡා කෙරෙන මාහැඟි උපදේශ සංග්‍රහයකි. ව්‍යාපාරික අර්ථකතනයක් දෙන්නේ නම් එය නූතන ලෝකය තුළ පවුලේ "ශක්තීන්, දුර්වලතා, (දහම් සේවා) අවස්ථා සහ තර්ජන" (SWAT) කතෝලික පදනම මත විමර්ශනය කෙරෙන ග්‍රන්ථයකි.

චීලි ගුවන් යානයේ විකසිත වූ ප්‍රේමයේ මල් 

2014-2015 වසර වල පැවැති පවුල පිලිබඳ සිනොඩ් කතිකා දෙකේදී ඊට සහභාගී වූ රදගුරු හිමිවරුන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා හා එහි නිගමන මත පදනම්ව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා විසින් මෙය සම්පාදනය  කෙරිණි. එය  සමස්තයක් ලෙස ගත් කල මීසම් සේවාවේ යෙදෙන සෑම පියතුමකු විසින්මත් පවුල් සේවාවේ නියැලෙන සෑම  පැවිදි, පූජක, ගිහි පුද්ගලයකු විසින්මත් කියවා පරිහරණය කල යුත්තකි.


එහෙත් ප්‍රැන්සිස් පාප්තුමනට පහර දීමට මගක් සොයමින් සිටි විරුද්ධවාදීහු මෙහි සමස්ත පණිවිඩය අතහැර මෙහි එන එක් යටි සටහනක්  පමණක් එතුමාට විරුද්ධ ආයුධය ලෙස උපයෝගී කරගනිමින් සිටිති.

එනම් දික්කසාද වී යලි සිවිල් විවාහයක් කර ගත් තැනැත්තන්ට, සිද්ධි හෝ අවස්ථාවලට උචිතව, පදවියේ රදගුරු තුමා ගේ ද මාර්ගෝපදේශ වලට  අනුකුලව, නිසි නිර්ණය කිරීමේ ක්‍රියා මාර්ගයකින් පසුව (discernment)  දිව්‍ය  සත්ප්‍රසාද වහන්සේ දානය කිරීමට හැකි බව ප්‍රැන්සිස් පාප්තුමන්  මෙම කෙටි සටහන  මගින් පූජක වරුනට කියයි.  "දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ පරිපුර්ණ වුවන් සඳහා ප්‍රදානය කෙරෙන ත්‍යාගයක් නොවේ; එය දුර්වල වූවන් වෙනුවෙන් වන ප්‍රබල ඖෂධයක් සහ පෝෂණයකි" යි එතුමා පෙන්වා දෙයි. 

දික්කසාද වී  කතෝලික සභාවේ අවසරයකින් තොරව යලි විවාහ වීම (සිවිල් විවාහ කරගැනීම) හා එම විවාහය තුළ අඹු-සැමි සම්බන්ධය පැවැත්වීම සභා නීතිය අනුව සැලකෙන්නේ මරණීය පාපයක් ලෙසය. එවැනි පාපයක් සහිතව දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබා ගැනීම හෝ ලබා දීම වරදක් ලෙස සභාව සාම්ප්‍රදායිකව කළ ඉගැන්වීමයි. දෙවන ජුවාම් පාවුළු පාප්වහන්සේ විසින්  සම්පාදනය කරන ලද "කතෝලික සභාවේ ධර්මෝපදේශය" නමැති නිල ධර්ම ග්‍රන්ථයේ මෙය පැහැදිලිව සඳහන් කර තිබේ.

මේ අනුව එම  ඉගැන්වීමට 'විරුද්ධව' කෙරෙන ඉගැන්වීමක් සභාවේ ඉගැන්වීමට පටහැනි ප්‍රකාශයක් නොහොත් "දුර්ලබ්ධියක්" (Heresy)  ලෙස අර්ථ දැක්විය හැකිය. එලෙස  "දුර්ලබ්ධියක්"  පතුරුවන  තැනැත්තෙකු (heretic) සභාවෙන් නෙරපා හැරීමේ දැඩි දඬුවමට පවා ලක්විය හැකිය. ඒ අනුව මෙම ඉගැන්වීම මගින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් දුර්ලබ්ධියක් ප්‍රකාශ කරන බව සම්ප්‍රදාය මතවාදී ,  කාදිනල් වරුන් සහ පූජකවරු  චෝදනා කළහ. ඔවුන් එසේ  කලේ එය එතුමාට එරෙහිව පහර දිය හැකි ප්‍රබල ආයුධයක් කරගත හැකි නිසාය. 

මෙම ප්‍රකාශය පාදක කර ගනිමින් ප්‍රැන්සිස් පාප් වහන්සේට එරෙහි මුල්ම ප්‍රහාරය දියත් කිරීමේ නායක්තවය ගත්තේ  සිනොඩ් කතිකාව සමයේ සිටම  එතුමන් විවේචනය කරමින් සිටි  ඇමෙරිකානු ජාතික රේමන්ඩ් බර්ක් කාදිනල් හිමිය. එතුමා තවත් කාදිනල් හිමිවරුන් තුන් දෙනෙකු ද සමග එක්ව " ප්‍රේමයේ ආනන්දයේ" අටවැනි පරිච්ඡේදයට අදාළ ප්‍රශ්න පහක් ඇතුලත් ලිපියක් පාප් තුමාට යොමු කළේය. (මේ අතරින් කාදිනල් හිමිවරුන් දෙදෙනෙක් මේ වන විට ජීවතුන් අතර නැත). ඔවුන් කියා තිබුණේ  පාප් වහන්සේගේ මෙම ඉගැන්වීම් අපැහැදිලි අතර ඒවායේ සභා ඉගැන්වීම් පිලිබඳ සැක මතුවන බවයි. එබැවින් කාදිනල් වරුන් ගේ මෙම ලිපිය හැඳින්වුණේ "ඩුබියා" (Dubia ) ලෙසය.

මෙම ප්‍රශ්න මාලාව ඇත්තෙන් ම "උගුලක්" විය. මන්ද ඒ සඳහා පිළිතුරු සැපයිය හැකිව තිබුනේ "ඔව්" හෝ "නැත" යනුවෙන් පමණක් නිසාය. ඒ කවර  පිළිතුර දුන්නත් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අර්බුදයට ඇද  දැමීමට ඔවුනට හැකියාව තිබිණි.

අල්පේච්ඡ බව ? - රේමන්ඩ් බර්ක් කාදිනල් හිමි 

එහෙත් තමන් ගේ අපෝස්තලික උපදේශ සංග්‍රහයේ ගැඹුර දැන සිටි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා එම ප්‍රශ්නවලට පිළිතුරු නොදී සිටියේය. මෙයින් අසහනයට පත් රේමන්ඩ් බර්ක් කාදිනල් හිමි සහ පිරිස එම රහස්‍ය ලිපිය ප්‍රසිද්ධ කළහ. ඊට පිළිතුරු නොදෙන්නේ නම් පාප්තුමන් ගේ ඉගැන්වීම් "දුර්ලබ්ධියක්" ලෙස ප්‍රකාශයට පත්කිරීමට සිදුවන බවට ද ඔව්හු තර්ජනය කළහ. 

එහෙත් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ දක්වා එම  ප්‍රශ්නවලට ඍජුව පිළිතුරු දීමට ගියේ නැත. එහෙත් සිය කොලම්බියා සංචාරයේ දී ජේසු නිකායික පියවරුන් සමග පැවති සාකච්ඡාවක දී එතුමා කියා සිටියේ " ප්‍රේමයේ ආනන්දයේ" පණිවිඩය වටහා ගැනීමට එහි එක් වගන්තියක හෝ පරිච්ඡේදයක එල්බ නොගෙන සම්පුර්ණයෙන් එය කියවිය යුතු බවයි. එසේම මෙය සාන්ත තෝමස් අක්වයිනස් තුමාගේ ම දැක්ම, දර්ශනය හා දෙවධාර්මික ඉගැන්වීම් පාදක කරගනිමින් ලියන ලද්දක් බව ද එතුමා සඳහන් කළේය. 

මේ අතර පසුගිය ඔක්තෝබර මාසයේ 62 දෙනෙකුගෙන් යුත් කතෝලිකයන් පිරිසක් ප්‍රැන්සිස් පාප් වහන්සේ "දුර්ලබ්ධික" (Heretical)  ඉගැන්වීම් උගන්වන බවට චෝදනා කරමින් එතුමනට විවෘත ලිපියක් ලියූහ. ඔවුන් එතුමනට එරෙහිව චෝදනා හතරක්   ඉදිරිපත් කර තිබිණ. ඊට අත්සන් තැබූ 'කතෝලිකයන්' අතර දූෂණ චෝදනා එල්ල වී තිබූ වතිකාන බැංකුවේ හිටපු සභාපති වරයා ද ජුවාම් පාවුළු පාප් වහන්සේ විසින් සභාවෙන් නෙරපා හරින ලද දසවැනි පියුස් නිකායේ විශ්‍රාමික රදගුරු තුමෙක්ද වෙති.

ඉගැන්වීම සහ 'කෙරුවාව'  - මෙම චෝදනාවේ ප්‍රයෝගික  බව

ඇත්තෙන්ම සභාවේ මෙම විවාහ පිලිබඳ නීතිය  අකුරටම ක්‍රියාත්මක වනවාද?

විවාහය සම්බන්ධයෙන් ශුද්ධ ලියැවිල්ල හා ක්‍රිස්තුන් වහන්සේ ගේ ඉගැන්වීම මත පදනම් වූ  සභාවේ නොවෙනස් ඉගැන්වීම වන්නේ අශීර්වාදකාර බන්ධනය නොහොත් විවාහයේ බැම්ම "මරණය තෙක්"  වෙන්කළ නොහැකි බවයි. කතෝලික සභාව දික්කසාදය පිළිනොගනියි. සුවිශේෂ හේතු කිහිපයක් මත පමණක් විවාහය සිදු නොවූ ලෙස "කටු ගා දැමිය" හැකිය. ඒ සඳහා පදවියේ රදගුරුතුමන් ගේ නිර්දේශය මත වතිකානයේ අවසරය අවශ්‍ය ය. දික්කසාද වූ කෙනෙකු එසේ අවසරයකින් තොරව සිවිල් විවාහයක් කරගතහොත් ඔවුනට සභාවේ දේව ප්‍රසාද නිධාන ලබා ගැනීමේ සුදුසුකම  අහිමිවේ.

එහෙත් වර්තමානයේ ලොව පුරා පවුල් වලට එල්ල වී ඇති අභියෝගය ක්‍රිස්තියානි පවුල් වලට ද එල්ල වී තිබේ. මේ නිසා "ධර්මය" හෙවත් "න්‍යාය" එය වුව ද "ප්‍රායෝගික හැබෑව" එයට ඉඳුරා වෙනස් ය.

මේ වන විට බිලියනයකට අධික ලෝක කතෝලික ජනතාවගෙන් තුනෙන් එකකට වැඩි පිරිසක් දික්කසාද වී සිටිති. බටහිර ලෝකයේ මෙම තත්වය මීට වඩා වැඩි අගයක් ගනියි. බොහෝ විට මෙලෙස දික්කසාද වී සිවිල් විවාහ කරගත්  යුවල් සෙසු අය  සමග දෙව්මදුරට පැමිණ දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ද ලබා ගනිති. ඔවුන් එසේ කරන්නේ  ඔවුන් ගේ පුදදුරුවරුන්  ද දැන දැනම ය.

දුප්පත් කතෝලිකයනට කෙසේ වෙතත් විශේෂයෙන් ම බලවත් සහ ධනවත් කතෝලිකයෝ  සිය පූජකවරුන් ගේ මෙම 'නිල නොවන බුරුලෙන්" ප්‍රයෝජන ගනිති. බොහෝ විට  සභා  නීතියේ හිල් වලින් රිංගා ගොස් විවාහ ඉක්මනින් කටු  ගා දැමීම ද කජු කෑමක් වී තිබේ. මේ නිසා කිහිපවරක් දික්කසාද වූවත් සභාවේ නීතිය බල නොපෑ  ධනවත් සහ බලවත් කතෝලිකයන් ගණනාවක් ගැන උදාහරණ තිබේ.

එක් ප්‍රමුඛ උදාහරණයක් වන්නේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ හිටපු උපායමාර්ගික උපදේශක ස්ටීව් බැනන් ය. කතෝලිකයකු වන ඔහු සිය බිරියන් තිදෙනාම  දික්කසාද කළේය. මෙවැනි චරිතයක් ඇති  ස්ටීව් බැනන් "ප්‍රේමයේ ආනන්දය " ලේඛනය දැඩි සේ විවේචනය කරන කාදිනල් රේමන්ඩ් බර්ක් හිමියන් ගේ සමීපතම මිතුරාය. කාදිනල් බර්ක් හිමි පාප් වහන්සේව දැඩි සේ විවේචනය කලත් කිහිප විටක්  දික්කසාද වූ බැනන් ගේ අවාදර්ශවත් ජීවිතය කිසිදා විවේචනය කලේ නැත. මේ අතර මෙතෙක් පාප් වහන්සේට පහර දීමට අවස්ථාවක් එන තෙක් බලා සිටි බැනන් කාදිනල් බර්ක් සහ සුදොතුම් පියතුමන්ට විරෝධය දක්වන රෝමයේ පූජකවරුන් පිරිසක් ද සමග එක්ව එතුමන්  අස්ථාවර කිරීමේ ව්‍යායාමයක් ආරම්භ කර තිබුනේය.

තවත් අවාදර්ශවත් කතෝලික ධනවතකු සහ බලවතකු වන්නේ රිපබ්ලිකන් පාක්ෂික කොන්ග්‍රෙස් මන්ත්‍රීවරයකු වන නිවට් ගින්රිච් ය. ඔහු සිය ප්‍රථම බිරිඳගෙන් වෙන් වූයේ ඇය  පිළිකා රෝගයට ප්‍රතිකාර ගනිමින් සිටියදී ය. ඊළඟට ඔහු සිය දෙවන බිරිඳ සමග විවාහ වී සිටියදීම කැලිස්ටා බීසෙක් නම් කාන්තාව සමග අට අවුරුදු ප්‍රේම සම්බන්ධතාවක් ඇති කරගත්තේය. පසුව  ඈ දේවස්ථානයේ දී විවාහ කරගත්තේය. දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් වතිකානයේ තානාපති ලෙස පත් කර සිටින්නේ මේ කැලිස්ටා බීසෙක් ය.

විවාහයේ ශීල ධර්මය ගැන ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් සමග වාදකරන කාදිනල් බර්ක් ඇතුළු නායක පූජකවරුන්  මේවා ගැන සද්ද කරන්නේ නැත. කතෝලික විවාහය පිලිබඳ මෙවැනි අවාදර්ශවත් යුවලක් වතිකානයේ සිය නියෝජිතයන් ලෙස පත් කිරීම ගැන ඇමෙරිකාවේ ධනවත් සහ බලවත් කතෝලික නායකයෝ නිහඬ වූහ.

කතෝලික විවාහයේ ශීල ධර්මය ගැන තර්ක ගෙනහැර දක්වමින් "ප්‍රේමයේ ආනන්දය" අපෝස්තලික ලිපිය ගැන ප්‍රශ්න කරන ඇමෙරිකානු කතෝලික නායකත්වයේ කෙරුවාව එහෙමය. 

මහා ඝෝෂාවක් නැගුනත් මෙම යුද්ධය පවා අවසානයක් දක්වා ගෙනයන්නට කාදිනල් බර්ක් ප්‍රමුඛ 'ප්‍රැන්සිස් විරෝධී හමුදාවට' හැකි වූයේ නැත. මන්ද ජනතාව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් සමග සිටි නිසාය. එතුමන් ගේ ප්‍රතිසංස්කරණ අවසනය දක්වා ගෙන යනතෙක් බලා සිටින නිසාය.

"මරණීය දණ්ඩනය සභාවට නොපිළිගත හැකියි" - ගතානුගතික  මතවාදීන් ගේ ප්‍රතිචාරය 

මරණ දඬුවම කතෝලික සභාවට 'නොපිළිගත හැකි' බව පැහැදිලිව ප්‍රකාශ කරමින් ප්‍රැන්සිස්  සුදොතුම් පියතුමා ඉකුත් දා කතෝලික සභාවේ ධර්මෝපදේශය ප්‍රතිශෝධනය කළේය. මෙතෙක් කලක් ශු. දෙවැනි ජුවාම් පාවුළු පාප් තුමන් මෙන්ම සොළොස්වන බෙනඩික් පාප් තුමන් ද මරණ දඬුවම අහෝසි කල යුතු බව අවධාරණය කර තිබුනත් ධර්මොපදේශයේ එය පැහැදිලිව සඳහන්ව තිබුණේ නැත. ඒ වෙනුවට එහි සඳහන් වූයේ 'කිසියම් වරදකරුවකු  මරණ දඬුවමෙන් තොරව මර්දනය කළ හැකි අවස්ථාවල නිතරම එම මාර්ග යොදා ගත යුතුය' යන අදහස එන වාක්‍යයකි.

එහෙත් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා නිතර කියා සිටියේ මරණ දඬුවම මනුෂ්‍ය ගරුත්වයට  හානි කරන බැවින් එය සභාවට පිළිගත නොහැකි බවයි. මිනිස් ජීවිතය පිලිබඳ පරම විනිශ්චයකාර වරයා දෙවියන් වහන්සේ පමණක් බව එතුමා පෙන්වා දුන්නේය.

 මේ අනුව ධර්මොපදේශයට 25 වසරක් සපිරෙන මේ වසරේ මරණ දඬුවම  පිලිබඳ ධර්මෝපදේශය ප්‍රතිශෝධනය කෙරිණි.

මේ හේතුවෙන්  ගතානුගතික මතවාදීහු යළිත් සුදොතුම් පියතුමාට පහර දෙන්නට පටන් ගත්හ. ඔවුන් අවධාරණය කලේ ඉතිහාසයේ සිට සභාව මරණ දඬුවම අනුමත කළ බවයි. මේ නිසා එය වෙනස් කිරීම සභා ඉගැන්වීම කණපිට හැරවීමක් බව පෙන්වා දුන් ඔව්හු මෙය ද සුදොතුම් පියතුමා ගේ දුර්මත ප්‍රචාරයක් යයි කියා සිටියහ. මේ නිසා එතුමා  යළිත් දුර්මතධාරීයකු  හෙවත් දුර්ලබ්ධිකයකු  ලෙස හඳුන්වා දීමට ඔව්හු උත්සාහ කළහ. මේ අනුව මරණ දඬුවම සභාවට "නොපිළිගත හැකිය" යන ඉගැන්වීම වහාම වෙනස් කරන ලෙස බලකරමින්  පුදැදුරු, රදගුරු, ගිහි දේව ධර්ම පණ්ඩිතවරුන් 100 කට අධික සංඛ්‍යාවක අත්සනින් යුත් පෙත්සමක් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් වෙත යොමු කෙරිණි.

මරණීය දණ්ඩනය පිළිබඳව කතෝලික ධර්මෝපදේශය අතීතයේ දී කවරක් ප්‍රකාශ කළත් එය ශුද්ධ ලියැවිල්ලට විරුද්ධය. තාර්කිකව විශ්ලේෂණය කල විට "පිළිසිඳ ගැනීමේ සිට ස්වාභාවික අවසානය තෙක්" මිනිස් ජීවිතය ආරක්ෂා කළ යුතුය යන ධර්මෝපදේශ ඉගැන්වීමට ද එය පටහැනි බව පැහැදිලිය. මෝසස් ගේ නීතිය අනුව "වරදේ යෙදී සිටියදී අල්ලා ගත් ස්ත්‍රීන්" ගල් ගසා මරා දැමිය යුතුය. එවැනි ස්ත්‍රියක් එම නීතිය ගැන කෙළ පැමිණි නීති වේදීන් සහ වැඩිහිටියන් විසින්   ජේසු සමිඳුන් ඉදිරියට පමුණුවනු ලැබුවාය. එහෙත් මෝසස් ගේ නීතිය අනුව යමින් ඇයට එරෙහිව පළමු ගල අතට ගන්නවා වෙනුවට උන්වහන්සේ කළ දේ සුබ අස්නේ සඳහන් වෙයි. මෙම පෙත්සමට අත්සන් කල පණ්ඩිතවරුන් නිවැරදි නම් ජේසු සමිඳුන් දුර්ලබ්ධිකයෙකි.

කෙසේවුවද, ලොව පුරා මානුෂවාදීහු ආගම් භේද  නොතකා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ මෙම පියවර අනුමත කළහ.  අකතෝලික කිතුනුවන් මෙන්ම අන්‍යාගමික සහ ආගමක් නොඅදහන අදේවවාදී මානුෂවාදීහු ද මරණ දඬුවම ඉවත් කිරීමේ ප්‍රයත්නයේ දී එතුමන් සමග එක පෙළට සිට ගත්හ. මේ නිසා ප්‍රැන්සිස් විරෝධී එම යුද්ධය ද පරාජය වූයේය.

මැක්කෙරික් සාධකය සහ විගානෝ (ස්වයංඝාතක?) බෝම්බය

සම්ප්‍රදාය කඩා දමමින් සොළොස්වන බෙනඩික් පාප්තුමාට ඉසුඹු ලැබීමට යොමු කරන ලද එක් හේතුවක් වූයේ පූජකවරුන් ගේ ළමා අපයෝජන සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට එතුමන් අසමත් වූයේය යන චෝදනාවයි.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා තුළ ඒ ගැන අවබෝධයක් තිබුණේය. මේ නිසා එතුමා පත්වූ විගසම ළමා අපයෝජන සම්බන්ධයෙන් උපදෙස් දීමටත් ක්‍රියා කිරීමටත් විශේෂ කොමිෂන් සභාවක් පත් කළේය. එවැනි චෝදනා පිළිබඳව දැඩි ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් ගෞරවයට පත්ව සිටි ඇමෙරිකාවේ බොස්ටන් හි අගරදගුරු ෂෝන් ඕ'මැලි  කාදිනල් හිමියන්ගේ නායකත්වයෙන් යුතු මෙම කොමිසමේ සාමාජිකයන් ලෙස පූජක අතවරවලට ලක්වූ ගිහි පිරිමින් සහ කාන්තාවෝ ද පත්කරන ලදහ.

එහෙත් මෙම කොමිසමේ යෝජනා ක්‍රියාත්මක කිරීමට  ද රෝම  කියුරියාවේ ඇතැම් ඉහල නිලධාරීන් විසින් අකුල් හෙලන ලද්දේය. මේ නිසා එවැනි එක ගිහි කාන්තාවක් එහි සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වූවාය.

කෙසේ නමුදු ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පූජක ළමා අපයෝජන සම්බන්ධයෙන් අධිෂ්ඨාන පූර්වකව කටයුතු කරමින් සිටියේය. ඇතැම් විට තමන් අතින් මේ සම්බන්ධයෙන් වරදක් වූ විට ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලු එතුමා වහාම  නිවැරදි පියවර ගත්තේය. චීලියේ සිද්ධිය ඊට කදිම නිදසුනකි. (ඒ ගැන මෙතැනින් කියවන්න: පාප්වහන්සේට වරදින්න පුළුවන් ද? ඔව්. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා තම වරද පිළිගනියි; සමාව ඉල්ලයි)

වොෂින්ටන්හි  විශ්‍රාමික අගරදගුරු (හිටපු කාදිනල්) තියඩෝර් මැක්කෙරික් හිමියන් පූජකවරයකු ලෙස  සිටි සමයේ සිට කරන ලද  ළමා හා යෞවන  අපයෝජන පිලිබඳ චෝදනා ගැන කරුණු හෙළිදරව් වීමට පටන් ගත්තේ මේ අතරය. මේ චෝදනා ඉදිරියේ ඉල්ලා අස්වූ මැක්කෙරික් හිමිට එරෙහිව  සුදොතුම්  පියතුමා වහාම තහංචි කිහිපයක් පැනවීය. ඒ අතර,ප්‍රසිද්ධ ආගමික හෝ සිවිල් කටයුතු වලට සහභාගී වීම හා  විදේශ සංචාරවල නිරත වීම එතුමාට තහනම් කෙරින. සභාව විසින් නියම කෙරෙන නිවසක පශ්චාත්තාපික ක්‍රියාවල නිරත වෙමින් කල් ගෙවීමටද නියෝග කෙරිණි.

(ඒ ගැන මෙතැනින් කියවන්න: ළමා ලිංගික අපචාර චෝදනා ලැබූ ඇමෙරිකානු කාදිනල්හිමි ගේ ඉල්ලා අස්වීම සුදොතුම් පියතුමා පිළිගනියි; යාච්ඥාවේ සහ පශ්චාත්තාපයේ ජීවිතයකට නියෝග)

මේ අනුව ළමා අපයෝජන සම්බන්ධයෙන් ක්‍රියා කිරීම සම්බන්ධයෙන් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමාට චෝදනාවක් එල්ල කිරීමට හැකියාවක් තිබුනේ නැත.

එහෙත් ඇමෙරිකාවේ හිටපු වතිකාන තානාපති කාලෝ මරිය විගානෝ අගරදගුරු හිමි විසින් ඉකුත් අගෝස්තු 25 වැනිදා නිකුත් කෙරුණු විශේෂ ප්‍රවෘත්ති නිවේදනයක් නිසා සමස්ත කතෝලික සභාවම බෝම්බ ප්‍රහාරයකින් සේ දැඩි කම්පනයට පත් වූයේය.

අගරදගුරු මැක්කෙරික් හිමිගේ අපයෝජන චෝදනා වසා සඟවා  තැබීමට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ක්‍රියා කල බවට එම ලිපිය මගින් විගානෝ හිමි දැඩි ලෙස චෝදනා කර තිබිණි. සොළොස්වන බෙනඩික් පාප්තුමන් විසින් මැක්කෙරික් හිමිට එරෙහිව තහංචි පනවා තිබූ බවටත් ප්‍රැන්සිස් පාප්තුමන් එම තහංචි ඉවත් කල බවටත් විගානෝ හිමි චෝදනා කළේය. මේ නිසා පූජක ළමා ලිංගික  අපචාර සැඟවීමේ චෝදනා මත ප්‍රැන්සිස් පාප්තුමන් ඉල්ලා අස්විය යුතු බව අගරදගුරු විගානෝ සිය නිවේදනය මගින් අවධාරණය කළේය.

(ඒ ගැන මෙතැනින් කියවන්න: "ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා දුෂිත කාදිනල්වරයා ආරක්ෂා කිරීමට ක්‍රියා කළා" - හිටපු වතිකාන තානාපතිවරයෙක් චෝදනා කරයි; ප්‍රැන්සිස්-විරෝධී කුමන්ත්‍රණ කරුවන් අලුත් වෑයමක?

කාලෝ විගානෝ අගරදගුරු හිමි (වමේ) සහ අගරදගුරු තියඩෝර් මැක්කෙරික් (හිටපු කාදිනල්) හිමි (දකුණේ) එකම දිව්‍ය පූජාවක 

මහා හඬ නගන අතලොස්සක් වන සභාවේ ප්‍රැන්සිස් විරෝධීන් ගේ චෝදනා හා ප්‍රහාර එල්ලවන විට ප්‍රැන්සිස් පාප්තුම ගේ ආරක්ෂාවට පැමිණි කතෝලික, අකතෝලික, කිතුනු, නොකිතුනු, මානුෂවාදී ආදී සියලු කණ්ඩායම් මේ සිද්ධියේ දී කම්පනයට පත් වී  සිටිති. මන්ද ඇත්ත වශයෙන් ම ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙම දූෂිත කාදිනල්වරයා ආරක්ෂා කර ඇත්නම් එය වැරද්දක් වන බැවිනි. අපයෝජකයකු සේ ම අපයෝජකයන් ආරක්ෂා කරන්නෙකු ආරක්ෂා කිරීම හා එවැන්නකු  වෙනුවෙන් කතා කිරීමද වැරද්දක් බැවිනි. දැවැන්ත බෝම්බ ප්‍රහාරයකින් සේ සියල්ලන් කම්පනයටත් අන්ද මන්ද භාවයටත් පත් වුයේ එබැවිනි.

එහෙත් සත්‍යය එය ද? ප්‍රැන්සිස් පාප්තුමන් ඊට වහාම පෙරළා ප්‍රතිචාර දක්වන්නට ගියේ නැත. ඒ වෙනුවට, මේ ගැන එතුමා ගෙන් දැඩිව ප්‍රශ්න කළ මාධ්‍යවේදීනට එතුමා මෙසේ කීවේය:
"මම අද උදාසන එතුමන් ගේ ප්‍රකාශය කියෙව්වා....ඒ වගේම මම ඉතා අවංකව ඔබට කියනවා ..(ප්‍රශ්නය ඇසු වාර්තාකරුවා දෙස බලමින්), සහ මේ ගැන උනන්දුවක් දක්වන ඔබ හැම දෙනාටම කියනවා. මේ ප්‍රකාශය ඉතා සාවධානව කියවන්න. එසේ කියවා ඔබගේම විනිශ්චයට පැමිණෙන්න. මේ ගැන මා වචනයක් වත් කතා කරන්නේ නැහැ....
මා විශ්වාස කරනවා මේ ප්‍රකාශයම තමන් වෙනුවෙන් කතා කරනවා කියා (the statement speaks for itself). ඒ නිසා ඒ ගැන නිගමනයකට පැමිණෙන්නට ඔබගේ පත්‍රකලාවේදී හැකියාව හොඳටම ප්‍රමාණවත් කියාත් මා විශ්වාස කරනවා."

(ඒ ගැන මෙතැනින් කියවන්න: " චෝදනා පත්‍රය කියවා ඔබම විනිශ්චයකට එන්න. මා ඒ ගැන වචනයක් වත් කතා කරන්නෙ නැහැ" - හිටපු වතිකාන තානාපතිවරයා ගේ ප්‍රකාශය ගැන සුදොතුම් පියතුමා වාර්තාකරුවනට කියයි. )

ඉන් අනතුරුව ගත වූ මාසයකට වැඩි කාලය සභාව තුළ දැඩි අවුල් සහගත තත්වයක් ඇති වූ වකවානුවකි. මන්ද සභාවේ 'බලය අල්ලාගන්නට' බලා සිටි අන්තරාවර්තිත පිරිසට මෙම 'බෝම්බය' කදිම ආයුධයක් වූ නිසාය. මෙම කණ්ඩායමේ විචාරකයන් කියා සිටියේ අගරදගුරු විගානෝ හිමි 'විශ්වාස කළහැකි' තැනැත්තෙකු බැවින් සුදොතුම් පියතුමා හෝ වතිකානය එම චෝදනා වලට අප්‍රමාදව පිළිතුරු දිය යුතු බවයි. මේ සම්බන්ධයෙන් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් සැකයට හා චෝදනාවට ලක්කරන ආකාරයේ දැවැන්ත 'විචාර' ප්‍රැන්සිස් විරෝධී මෙන්ම 'මධ්‍යස්ථ' බව කියමින් අන්ත දක්ෂිනාංශික ලෙස කටයුතු කරන මාධ්‍ය කිහිපයකම පල වෙමින් තිබේ.

මේ අතර අගරදගුරු විගානෝ හිමි වතිකානයේ රදගුරුවරුන් පිලිබඳ පර්ෂදයේ නායක මාක් ඖලේ කාදිනල් හිමියන් ද  සම්බන්ධ කර ගනිමින් පාප් වහන්සේට පහර දෙමින් දෙවැනි ලියුමක් නිකුත් කළේය.

ඉන් දින කිහිපයකට පසුව කාදිනල් ඖලේ හිමි  ඊට සවිස්තර  පිළිතුරු ලියුමක් ලියුවේය.  හිටපු  කාදිනල් මැක්කෙරික් හිමියන්  මත බෙනඩික් පාප්තුමන් ශාසනික නිල තහංචි පනවන ලද බවට විගානෝ කල ප්‍රකාශය අසත්‍යයක් බව එම ලියුම මගින් ඖලේ හිමි අවධාරණය කළේය. එය නිල නොවන රහස්‍ය වාචික උපදේශයක් පමණක් බව එතුමා පෙන්වා දී තිබුනේය. එම උපදෙස් ගැන හෝ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් දැන සිටියේය යන්න පදනම් විරහිත ප්‍රකාශයක් බව එතුමා කියා සිටියේය. කාදිනල් ඖලේ හිමි අවධාරණය කලේ විගානෝ හිමි ගේ ලියුම "දේශපාලන ව්‍යාපෘතියක්" බවයි.
(ඒ ගැන මෙතැනින් කියවන්න:  "දූෂිත ඇමෙරිකානු අගරදගුරුවරයා සම්බන්ධයෙන් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමාට එල්ල කරන චෝදනා සත්‍යයෙන් තොරයි" - වතිකානයේ ඉහලම කාදිනල් වරයෙකුගෙන් අගදරදගුරු විගානෝට ප්‍රබල පිළිතුරක් )

ප්‍රැන්සිස් විරෝධී ජන මාධ්‍ය යුද්ධය 

ඇමෙරිකාවේ අන්ත දක්ෂිනාංශික කොන්සර්වටිව් (සම්ප්‍රදාය මතවාදී) ධාරාවේ මාධ්‍ය කිහිපයක් ම දැඩි ප්‍රැන්සිස් විරෝධී වේදිකාවක සිට තොරතුරු  වාර්තාකරණයේ නියැලී සිටියි. වෙනෙකක් තබා එතුමන් ගේ ආධ්‍යාත්මික ධර්ම දේශනා පවා විකෘති ලෙස වාර්තා කිරීමට තරම් ඔවුහු කටයුතු කරමින් සිටිති. ප්‍රැන්සිස් විරෝධයේ අතීත මාවත දිගේ පා නගන විට පෙනෙන්නේ එම විරෝධයේ 'එන්ජිම' මෙම අන්ත දක්ෂිනාංශික මාධ්‍ය කිහිපය බවයි.

Life site news වෙබ් අඩවිය එහි ප්‍රමුඛයා වී  සිටියි. අගරදගුරු විගානෝ ගේ ලියුම මුලින්ම ප්‍රකාශයට පත් කරන  ලද්දේ එම වෙබ් අඩවිය විසිනි.එය නියෝජනය කරන්නේ ඇමෙරිකාවේ අන්ත දක්ෂිනාංශික ධාරාවයි. ප්‍රැන්සිස් පාප්තුමන්ගේ සියලු ක්‍රියාකාරකම් වැරදි ලෙස දකින මෙම වෙබ් අඩවිය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ සියලු මැර ක්‍රියා සහ ක්‍රිස්තියානි ප්‍රේමයට විරුද්ධ ක්‍රියා සියල්ල අනුමත කරයි. ඔවුන් ගේ දේවධාර්මික දර්ශනයට අනුව ක්‍රිස්තු ධර්මයේ පවතින්නේ පාප දෙකක් පමණි. එනම් ගබ්සාව සහ සමරිසි නැඹුරුවයි.සිය නායකයන් ගේ අවි ජාවාරම්, පරිසර විනාශය, මැර නායකත්වය, අසීමිත ආත්මාර්ථයෙන් හා කෑදරකමින් පිරුණු ධනවාදය, බෝවන දුප්පත්කම, යුද්ධය පාප නොවේ.

ඇමෙරිකාවේ National Catholic Register පුවත් පත, Catholic News Service වෙබ් අඩවිය සහ EWTN රුපවාහිනිය ඇතුළත් මාධ්‍ය ජාලය ප්‍රැන්සිස් විරෝධී මාධ්‍ය යුද්ධයේ ජනරාල් වරුන් ලෙස කටයුතු කරන කණ්ඩායමකි. EWTN හි The World Over නමැති  සාකච්චා වැඩසටහන මෙහෙයවන රේමන්ඩ් ඇරෝයෝට අනුව ප්‍රැන්සිස් පාප්තුමන් මේ වසර පහ තුළ කරන ලද සියලු ක්‍රියා, ගන්නා ලද සියලු තීරණ ක්‍රිස්තු ධර්මයට පටහැනිය. ඔහු එම වැඩසටහනට කැඳවනු ලබන්නේ අන්ත දක්ෂිණාංශික දෘෂ්ටි කෝණයේ සිට සුදොතුම් පියතුමන්ට පහර දෙන එකම සම්පත් දායකයන් පිරිසකි.

අගරදගුරු කාලෝ විගානෝ විසින් මෙතෙක් මාධ්‍ය වලට නිකුත් කරන ලද "සාක්ෂිය" නමැති ලියුම් තුනම සම්පාදනය කිරීමට ඔහුට හවුල් වූයේ ප්‍රකට අන්ත දක්ෂිනාංශික අන්ත කොන්සවටිව් පදනමේ සිටින මාධ්‍ය කරුවෝය.අගරදගුරු  විගානෝ ගේ ප්‍රථම  "සාක්ෂිය" ලියුම ලියා ප්‍රසිද්ධ කරන ලෙස ඔහුට පෙරැත්ත කලේ තමා බව ඉතාලියේ  ප්‍රකට වාර්තාකරුවකු වන මාකෝ ටෝසෙට්ටි එක්සත් ප්‍රවෘත්ති සේවාවට පවසා තිබිණි. අගරදගුරු විගානෝ මුලින් මේ සම්බන්ධයෙන් ලියා තුබූ ලියුම 'බලවත්' නොවූ බැවින් සිය නිවසේදී එතුමන් සමග එක්ව එම ලියුම යළි යලිත් සංස්කරණය කරමින් මෙම අවසන් ලියුම සම්පාදනය කළ බව ඔහු හෙළිකර තිබිණි. ටෝසෙට්ටි කලින් ඉතාලියේ "ලා ස්ටම්පා' නමැති ප්‍රකාශනයේ ලියුම්කරුවකු වූ නමුත් දැන් අන්ත දක්ෂිනාංශික බ්ලොග් කිහිපයකට ලිපි සම්පාදනය කරයි. ඔහු පසුගිය වසර පහ පුරාම ප්‍රැන්සිස් විරෝධී මතයක සිට ලිපි ලියන්නෙකි.

අවසානය නොවේ

මීට කලින් එල්ල කරන ලද ප්‍රහාර වලට වඩා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන්  ගේ නවෝදයේ ගමනට සැලකිය යුතු බාධාවක් කිරීමට "විගානෝ බෝම්බය" සමත් වී ඇති බව සත්‍යයකි. මන්ද එතුමන් ගේ සහ සභාවේ  අවධානය වෙනතක හැරවීම මේ මගින් සිදු වී ඇති බැවිනි. එසේම මෙතෙක් එතුමන් රඳවා පවත්වා ගත්  විශ්වසනීයත්වයට ද  එයින් යම් තරමක බලපෑමක් ඇති වී තිබේ.

එහෙත් විගානෝ අගරදගුරු ගේ අතීතය දන්නා කතෝලික බුද්ධිමතුන් ද අකතෝලිකයෝ ද කිතුනු නොවනසේ ම ආගමක් විශ්වාස නොකරන ජනතාව ද තවමත් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් කෙරෙහි විශ්වාසය දල්වා ගෙන සිටිති. නෙත් දල්වා ගෙන සිටිති. මන්ද ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සභා නවෝදයට දරන මේ ප්‍රයත්නය අවංක එකක් බව ඔවුනට වැටහී ඇති නිසාය. එම නවෝදය අනාගතයට අත්‍යවශ්‍ය බව ඔවුන් පිළිගන්නා නිසාය. කිසිවකු නොසිතූ විරූ ලෙස එම ධුරයට තේරී පත්වුණු ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන්ගේ කැඳවීම වූයේ "ප්‍රැන්සිස්, මගේ පල්ලිය/සභාව පිළිසකර කරන්න!" ("Francis, rebuild my Church!) යන්න බව ඔවුන් විශ්වාස කරන  නිසාය.

එසේම වෙනස හෝ නවෝදය නුරුස්නා කණ්ඩායමෙන් එතුමාට එල්ලවන සාහසික ප්‍රතිරෝධය ද අලුත් දෙයක් නොවන බව අතීතය දෙස බලන විට පසක් වෙයි.

කොන්ස්තන්තීනු අධිරාජ සමයෙන් පසු වසර දහස් ගණනක් තිස්සේ රාජකීයත්වය භුක්ති විඳිමින් සිටි පිරිසක් යළිත් නාසරෙතයේ ජේසු තරුණයා සේ සේවකයන්  පිරිසක් කිරීම සිතන තරම් පහසු, එක රැයින් හෝ පස් වසරකින් හෝ කල නොහැකි දෙයක් බව පැහැදිලිය. සඳලු තල වලින්, රාජාසන හා මාලිගා වලින්, සුව පහසු වාහන වලින්, මහජන වැඳුම් පිදුම් වලින් පහතට බැසිය නොහැකි ඔවුන් ගේ ප්‍රතිරෝධය මෙතරම් සාහසික සහ පහත් වී ඇත්තේ මේ නිසා ය.

ලොව පුරා ජනතාව මෙය තේරුම් ගෙන තිබේ. 

මේ නිසා විගානෝ බෝම්බයෙන් පවා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන්ට තමන් සිතූ තරමේ තුවාලයක් කිරීමට මෙම අන්ත දක්ෂිනාංශික හමුදාව අපොහොසත් වී තිබේ.

මේ නිසා මෙය  ප්‍රැන්සිස් විරෝධී යුද්ධයේ අවසානය ලෙස සැලකිය නොහැකිය.

එහෙත් මෙම පිරිසට නොවැටහෙන කාරණයක් තිබේ. එනම්, මෙම ප්‍රහාර 'මරාගෙන මැරෙන' හෙවත් ස්වයං ඝාතක වර්ගයේ ඒවා බවය. එනම් මේවායින් සමස්ත සභාව ම අර්බුදයක් වෙත තල්ලු කෙරෙන ඒවාය. 


ප්‍රතිචාරය 

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙම අර්බුදයේ 'නාඩි අල්ලාගෙන' ඇති බව පැහැදිලිය. එය වඩාත් පැහැදිලි වූයේ  ඔක්තෝබර මාසයේ සිය යැදුම් අදහස එතුමා ඉදිරිපත් කල විටය.

මෙම 'හමුදාව' සහ එම හමුදාව පසුපස සිටින බලවේගයත් සභා නවෝදයක් ඇති කිරීමට යද්දී - විශේෂයෙන් ජේසු සමිඳුන් ගේ ම දැක්ම හා ජීවිත ශෛලිය වෙත සභාව යළිත් දිශාගත කිරීමට උත්සාහ කරද්දී - ලොව සෑම ප්‍රදේශයකින්ම සභාව වෙත එල්ලවන්නට පටන් ගෙන ඇති චෝදනා පසුපස ඇති බලවේගය සමග සටන් කිරීමට මිහිමත ඇති ශක්තිය හා බුද්ධිය ප්‍රමාණවත් නොවේ. එය  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා වටහාගෙන ඇත.

මේ නිසා මේ යුද්ධයට මුහුණ දීම සඳහා ප්‍රබල ආයුධයකුත් නිර්භීත සේනාධිපතිවරයෙකුත්  වෙත යොමු වන්නැයි මෙම ඔක්තෝබර මාසයේ එතුමා කතෝලික ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ආයුධය ජපමාලයයි. සෙන්පතිවරයා අග්‍රදූත මිඛායෙල් තුමායි.

සභාව ආරක්ෂා කරන ලෙස කන්නලව් කරමින් සෑම දිනකම ජපමාල ධ්‍යානය ඔප්පු කරන්නැයි  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ලොව පුරා කතෝලිකයන්ට ආරාධනා කළේය. ජපමාල ධ්‍යානය අවසානයේ "මරිය සරණ යැදුම" (Sub Tuum Praesidium) සහ ශු. මිඛායෙල් අග්‍රදූත තුමන්ට යැදුම් ඔප්පු කරන ලෙස එතුමා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

(එය මෙතැනින් කියවන්න: "සභාව යක්ෂයාගෙන් ආරක්ෂා කරන ලෙස ඉල්ලා ජපමාල මාසය පුරා ජපමාලය යදින්න" සුදොතුම් පියතුමා ලොව පුරා කතෝලික ජනතාවට ඇරැයුම් කරයි )

කාලයක සිට සභාවට අත්‍යවශ්‍යව තිබූ නවෝදය සහ ප්‍රතිසංස්කරණ වලට බාධා කරන ඇමෙරිකාව ප්‍රමුඛ කොටගත් බලවේගය පසුපස සිටින 'අන්ධකාරයේ බලවේගය' හඳුනාගැනීමට ගැඹුරු ආධ්‍යාත්මිකතාවයකින්  යුත් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් සමත් වී ඇති බව  එතුමන් ගේ මෙම ආරාධනයෙන් පැහැදිලි වේ.

එබැවින් ඔක්තෝබර මාසයෙන් නොනැවතී මෙම 'යුද්ධයට' මුහුණ දීමට සඳහා එම ආයුධයේත්  සෙන්පතිවරයාගේත් සහාය පැතීම සෑම කතෝලිකයකුගේම යුතුකමකි.















Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය