"ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා දුෂිත කාදිනල්වරයා ආරක්ෂා කිරීමට ක්‍රියා කළා" - හිටපු වතිකාන තානාපතිවරයෙක් චෝදනා කරයි; ප්‍රැන්සිස්-විරෝධී කුමන්ත්‍රණ කරුවන් අලුත් වෑයමක?

Former ambassador Archbishop Vigano accuses Vatican - and Pope Francis-  of covering up McCarrick scandal for years


(2018 අගෝස්තු 27)

ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර හිටපු අගරදගුරු තියඩෝර් මැක්කෙරික් හිමියන්ට එරෙහි ළමා සහ යොවුන් අපයෝජන චෝදනා සඟවා තැබීමට වතිකානයේත් කතෝලික සභාවේත් ඉහළම තනතුරු දැරූ පුද්ගලයන් ගණනනාවක් ක්‍රියා කල බවට වොෂින්ටන් නුවර හිටපු වතිකාන තානාපති කාලෝ විගානෝ අගරදගුරු හිමි චෝදනා කරයි. එම චෝදනාව තවත් බරපතල තත්වයට ගෙන එන හිටපු තානාපතිවරයා  ප්‍රකාශ කරන්නේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ද එම චෝදනා දැන  සිටි නමුත් මැක්කෙරික් (හිටපු) කාදිනල් හිමිට  එරෙහිව පියවර නොගත් බවයි. ඒ වෙනුවට සුදොතුම් පියතුමා මක්කෙරික් හිමියන්  ආරක්ෂා කලාට අමතරව සභාවේ විවිධ අවස්ථා සඳහා එතුමා ගෙන් උපදෙස් ද පැතූ බවට හිටපු තානාපතිවරයා චෝදනා කරයි. එබැවින් සෙසු රදගුරු හිමිවරුනට ආදර්ශයක් වන පරිදි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව ඔහු අවධාරණය කරයි.  

මෙම චෝදනාවලිය ඇතුලත් පිටු 11ක ලේඛනය අගරදගුරු කාලෝ විගානෝ විසින් නිකුත් කරන ලද්දේ 26 වැනිදා උදෑසනය. ඒ වන විට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අයර්ලන්තයේ ශුද්ධාසනය විසින් සංවිධානය කෙරෙන ලෝක පවුල් මංගල්‍යයට සහභාගී වෙමින් සිටියේය. අයර්ලන්තයේ සිදුවූ පූජක ළමා අපයෝජන සහ බලය යුතු ලෙස භාවිත කිරීම ඇතුළු සියලු අවක්‍රියා වලට මේ වන විට එතුමා සමාව ඉල්ලා තිබිණ. ඉරිදා උදාසන එතුමන් ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පවුල් මංගල්‍යයේ අවසන් මහා දිව්‍ය පූජාවත් ඉන් අනතුරුව එතුමන් ආපසු වතිකානය බලා පැමිණෙන අතර ගුවනේදී පැවැත්වෙන මාධ්‍ය හමුවත් ඉලක්ක කර ගනිමින් මෙම චෝදනා ලේඛනය නිකුත් කර තිබිණි.

අගරදගුරු විගානෝ හිමි මෙම චෝදනා පත්‍රය  නිකුත්  කර තිබුනේ පැහැදිලිවම ප්‍රැන්සිස්-විරෝධිව ක්‍රියා කරන ඉතාලි සහ ඇමෙරිකානු ප්‍රකාශන කිහිපයකටය. ඒ අතරින් National Catholic Register සහ  LifeSiteNews ඇමෙරිකානු ප්‍රකාශන කල් වේලා බලා එම චෝදනා පත්‍රය වාර්තා කළේය.

චෝදනා පත්‍රය 

මැක්කෙරික් අගරදගුරු හිමියන්ට එරෙහිව තිබූ ලිංගික අපයෝජන චෝදනා සම්බන්ධයෙන් පැවැත්වෙන ශාසනික විභාගය  අවසන් වන තෙක් එතුමන් ප්‍රසිද්ධ ජීවිතයෙන් හා සියලු සභා කටයුතු වලින් ඉවත් වී යාච්ඥාවෙන්  සහ පශ්චාත්තාපයෙන් යුත් ජීවිතයක් ගත  කල යුතු බවට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඉකුත් 15 වනදා නියෝග කළේය. එතුමනට සංචාරය කිරීමේ තනමක්ද පනවන ලදී.  තමන් කාදිනල් පර්ෂදයෙන් ඉවත් කරන ලෙස ඊට කළින් එතුමන්  විසින් කරන ලද ඉල්ලීම සුදොතුම් පියතුමා පිළිගත්තේය.

ඇමෙරිකාවේ හිටපු වතිකාන තානාපති අගරදගුරු කාලෝ විගානෝ  සිය චෝදනා පත්‍රයේ පවසන්නේ, ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් මැක්කෙරික් අගරදගුරු තුමන්ට පැනැවූ මෙම තහංචි වලට සමාන තහංචි සොළොස්වන බෙනඩික් පාප් වහන්සේ විසින් ඊට බොහෝ කලකට ජ කලින් පනවා තිබු බවයි. මැක්කෙරික් හිමිට එරෙහිව තිබූ චෝදනා ඒ කාලයේ හෙළිදරව් වීම නිසා බෙනඩික් පාප් වහන්සේ මෙම තහංචි පැනවූ බව හිටපු තානාපතිවරයා කියා සිටියි. ඒ තහංචිවල දින වකවානු තමන්ට මතක නැති නමුත් 2009 - 2010 කාලයේ දී එය සිදු වූ බව සිතිය හැකි යයි මෙම චෝදනා මාලාවේ සඳහන් වේ.

එහෙත් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් තේරී පත්වීමෙන් පසුව එම තහංචි ඉවත් කරන ලද බවට තානාපතිවරයා චෝදනා කරයි. 

තමා 2013 දිනෙක සාන්තා මාර්තා තානායමේ දී ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් මුණගැසුණු  අවස්ථාවේදී මැක්කෙරික් හිමියන් පිලිබඳ චෝදනා ගැන එතුමනට වාචිකව කරුණු දැක්වූ බව ද   අගරදගුරු විගානෝ හිමි කියයි. "එසේ වුවද ඒවා නොතකා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් මැක්කෙරික් හිමියන් ආරක්ෂා කළේය. එතුමන් ආරක්ෂා කිරීමෙන් නොනැවතී සුදොතුම් පියතුමන් මැක්කෙරික්  හිමියන් සිය 'විශ්වාසවන්ත උපදේශකයා' කරගත්තේ"යයි එතුමා සඳහන් කරයි. එපමණක් නොව ඇමෙරිකාවේ පදවි කිහිපයක රදගුරු හිමිවරුන් සහ කාදිනල් හිමිවරුන් කිහිපදෙනෙකු සුදොතුම් පියතුමන් විසින් නම් කරණ ලද්දේ මැක්කෙරික් හිමියන් ගේ උපදෙස් අනුව බවට ද එතුමා චෝදනා කරයි.

කාලෝ විගානෝ අගරදගුරු තුමා වසර 2011 සිට 2016 දක්වා වොෂින්ටන් හි වතිකාන අපෝස්තලික තානාපතිවරයා ලෙස කටයුතු කළේය.

තියඩෝර් මක්කෙරික් අගරදගුරු හිමිපාණන්ට එරෙහිව එල්ල වූ චෝදනා සඟවා එතුමන් ආරක්ෂා කල බවට මෙම තානාපතිවරයා වතිකානයේ ඉහලම නායකත්වයේ සිටි තවත් කාදිනල් හ්මිවරුන් කිහිප දෙනෙකුටම චෝදනා එල්ල කරයි. ශු. දෙවැනි ජුවාම් පාවුළු පාප් වහන්සේ ගේ සහ සොළොස්වන බෙනඩික් පාප් වහන්සේ ගේ සමයේ දී රාජ්‍ය ලේකම් ධුරය දැරූ කාදිනල් හිමිවරුන් දෙදෙනෙක් ද ඒ අතර වෙති. වොෂින්ටනයේ වත්මන් අගරදගුරු ඩොනල්ඩ් වර්ල් කාදිනල් හිමියනටද රෝමය විසින් මේ බව දන්වන ලද නමුත් එතුමන් ද ඒ ගැන නොසලකා හැර තිබු බවට මෙම හිටපු තානාපතිවරයා චෝදනා කරයි. තමන් විසින් එම නායක හිමිවරුනට ලියන ලද මෙමොරැන්ඩම්  කිහිපයක් ඔවුන් විසින් සඟවන ලද බවට ද එතුමා චෝදනා කරයි. තමා මෙම තොරතුරු හෙළිදරව් කරන්නේ තම හර්දය සාක්ෂියට අවනත වීම සඳහා බව එතුමා කියා සිටියි.

තානාපතිවරයා එම චෝදනා පත්‍රයේ මෙසේ  සඳහන් කරයි:
"මැක්කෙරික් අගදරගුරු තුමා ලිංගික අපයෝජන රැසකට වගකිව යුතු බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා  දැනගෙන  සිටියේය. ...එබැවින් එතුමා මෙම වැරැද්ද  භාරගෙන  එම අපයෝජන  සැඟවූ සෙසු කාදිනල් වරුන් සහ රදගුරු වරුනට ද ආදර්ශයක් වෙමින් ඔවුන් ද සමග සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතුය."

කාලෝ විගානෝ අගරදගුරු හිමි කවුද?

ඉතාලි ජාතික කාලෝ මරිය  විගානෝ අගරදගුරු හ්මියන් ගේ මෙම චෝදනා විශ්වාස කල හැකි බව ඇතැම් පිරිස් සිතති. ඊට ප්‍රධානම හේතුව එතුමන් පාප් වහන්සේලා දෙනමක් යටතේ වොෂින්ටන් නුවර සිටි තානාපතිවරයා වීම නිසයි. මේ නිසා එතුමන් ඇමෙරිකා සභාවේ  ඇතුලාන්තය හොඳින් දැන සිටියේ යයි විශ්වාස කල හැකිය. එසේම එම සභාවේ ගැටළු  ගැන රෝමයේ පරිපාලන සමග නිරන්තර සංවාදයෙන් සිටින්නට ඇති බවද සැලකිය හැකිය. ඇතැම් විට එතුමන් එම සංවාද ගැන සටහන් තබා ගන්නට ඇති බව ද  ඇතැම් විචාරකයෝ විශ්වාස කරති.

එහෙත් එතුමන් කරන ප්‍රකාශ තරයේ අවිශ්වාස  කිරීමට ඊටත් වඩා සාක්ෂි තිබේ.

කාලෝ විගානෝ හිමි, සොළොස්වන බෙනඩික් සුදොතුම් පියතුමාට විශ්‍රාම ගැනීමට එක් ප්‍රධාන හේතුවක් වූ කුප්‍රකට “Vatileaks” හෙවත් "වතිකාන්දුව" නමැති අපචාර නාට්‍යයේ   එක ප්‍රධාන චරිතයකි. වතිකාන්දුවට හවුල් වූ පාප් වහන්සේගේ සහයකයා විසින් සොරා ගන්න ලද ලියුම් වලින් දෙකක් විගානෝ අගරදගුරු තුමා විසින් පාප් වහන්සේටත් එවකට එතුමාගේ රාජ්‍ය ලේකම් තාර්සීෂියෝ බර්තෝනේ කාදිනල් හිමිපාණන් වෙතත්  යවන ලද රහස්‍ය ලිපි දෙකක් විය. එවකට විගානෝ අගරදගුරු තුමා වතිකාන කියුරියාවේ උසස් නිලයක් දරමින් සිටියේය. එතමා එයින් ඉවත් කොට වොෂින්ටන් හි තානාපති ලෙස පත් කිරීමට පාප් වහන්සේ සහ රාජ්‍ය ලේකම් කාදිනල් තුමා තීරණය කර තිබිණ.තමා වතිකාන පාලනයෙන් ඉවත් කොට වොෂින්ටනයට යැවීමට ගෙන තිබූ මෙම තීරණයට දැඩි විරෝධය පළකරමින් විගානෝ අගරදගුරු තුමා මෙම ලියුම් දෙක ලියා තිබිණි. පාප් වහන්සේගේ සහායකයා විසින් 'සොරාගෙන' ඉතාලි මාධ්‍යවේදියකු වෙත "කාන්දු" කර තිබූ දේ අතර එම ලියුම් ප්‍රධාන තැනක් ගත්තේය. මෙම "විරෝධතා" ලියුම් වලද සත්‍යය සහ බොරුව තේරුම් ගත නොහැකි අන්දමින් මිශ්‍ර කොට තිබිණි.

ලිංගික අපයෝජන චෝදනා ගැන විගානෝ හිමියන් වෙනත් අය  වෙත ඇඟිල්ලක් දික් කරන විට එතුමා වෙත ඇඟිලි තුනක් දිගු වී තිබෙන බව අමතක වී තිබේ.

එතුමා වොෂින්ටන් හි වතිකාන අපෝස්තලික තානාපති ලෙස කටයුතු කරන සමයේ සාන්ත පෝල්- මිනසෝටා පදවියේ ජෝන් නීන්ස්ටෙඩ් අගරදගුරු  හිමියනට එරෙහිව අපයෝජන චෝදනා එල්ල වී තිබිණි. ඒ සම්බන්ධයෙන් පවත්වන ලද විමර්ශන යටගසන ලෙස පමණක් නොව ඒ පිලිබඳ ලිපි ලේඛන පවා විනාශ කරන ලෙස  වතිකාන තානාපති වරයා ලෙස එතුමා, එනම් විගානෝ අගරදගුරු තුමා, උපදෙස් දුන් බව හෙළිදරව් විය. 2014 දී ලියන ලද මේ පිලිබඳ මෙමොරැන්ඩමය 2016 දී හෙළිදරව් විය.

මෙම චෝදනා පත්‍රය තුළම පරස්පරතා රැසක් තිබේ. 2009-2010 කාලයේ දී සොළොස්වන බෙනඩික් පාප් වහන්සේ විසින් තියඩෝර් මක්කෙරික් හිමියනට එරෙහිව තහංචි පනවන ලද බව විගානි හිමි පවසන නමුදු එම කාල සීමාවට  පසුව නොකඩවා මැක්කෙරික් හිමියන් පාප් වහන්සේ සමගත් විවිධ කාදිනල් හිමිවරුන් සමගත් එක්ව ප්‍රසිද්ධ දිව්‍ය  පුජා රැසකට හවුල් වූ අතර විවධ රාජ්‍ය තාන්ත්‍රික කාරනා වලදී සභාව වෙනුවෙන් පෙනී සිටියේය. එබැවින් මේ කරුණු කෙතරම් සත්‍යද යන්න ගැන  තතු දන්නා ඕනෑම කෙනෙකු තුළ සැකයක් මතු වෙයි.

එසේම විගානෝ හිමිගේ වොෂින්ටන් තානාපති ධුරය නිසි කලට ස්වාභාවිකව අවසන් වුවක්  නොවේ. එතුමා එම තනතුරින් ඉවත් කරන ලද්දේය. ඊට හේතුව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ගේ ඇමෙරිකානු සංචාරයේ දී සිදු වූ සිද්ධියකි. සමරිසි විවාහයක් ලියාපදිංචි කිරීමට විරෝධය පෑම නිසා රැකියාව අහිමි වීමෙන් ප්‍රසිද්ධියට පත්වූ ලිපිකරුවෙක් සුදොතුම් පියතුමා වොෂින්ටනයේ සිටින විට එතුමා ගේ හමුවකට ආරාධනා ලබා සිටියේය. මේ තැනැත්තා මෙහි ආරාධනා කරන ලද්දේ කවරකු විසින් දැයි ඒ ගැන අවධානයෙන් සිටි බොහෝ විචාරකයෝ ප්‍රශ්න කළහ. එය මහත් ආන්දෝලනාත්මක ප්‍රශ්නයක් වූ අතර එය සුදොතුම් පියතුමාගේ රාජ්‍ය තාන්ත්‍රික භාවයට මහත් අපකීර්තියක් බවට පත්විය. කිසිවකුට නොදන්වා එම ලිපිකරුවාට එහි ඇරයුම් කරන ලද්දේ විගානෝ තානාපති තුමන් විසින් බවට පසුව දැනගන්නට ලැබිණි. එතුමා සිය සේවයෙන් හදිසියේම විශ්‍රාම ලැබුවේ ඉන්  අනතුරුවයි. මෙවන්නකු තුළ සභාව සහ එහි නායකත්වය කෙරෙහි පවතින්නේ වෛරයකි.

මෙම චෝදනා පත්‍රය නිකුත් කළ වෙලාව සහ ඒ සඳහා යොදා ගත මාධ්‍ය ද සැක ජනිත කරන තවත් හේතු දෙකකි. අයර්ලන්තයේ පවුල් මංගල්‍ය අවස්ථාවේ සභාවේ මෙම අපරාධ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සමාව යැදීමට සුදොතුම් පියතුමන් සුදානම් ව සිටි බව රහසක් නොවීය. එම අවස්ථාව අඳුරු කොට සමාව ඉල්ලන පුද්ගලගේ අවංක භාවය ගැන ලෝක ප්‍රජාව තුළ සක ජනිත කිරීම මේ මොහොතේ එය ප්‍රකාශයට පත් කිරීමේ අරමුණ වී තිබුනේය. කතෝලික මාධ්‍ය රැසක් අමෙරිකාවේ සහ ඉතාලියේ තිබුනත් මෙම චෝදනා පත්‍රය ලබා දී තිබුණේ තනිකරම ප්‍රැන්සිස්-විරෝධී වේදිකාවක් සිට මාධ්‍ය මෙහෙයවන ප්‍රකාශන දෙකකටය. ඉන් පසුව එය පාදක කරගෙන සුදොතුම් පියතුමාට මඩ  ගැසීමේ මෙහෙවර මේ වන විට අමෙරිකාවේ ට්‍රම්ප්වාදී කතෝලික මාධ්‍ය විසින් මේ වන විට භාරගෙන තිබේ.

කාලෝ මරිය විගානෝ අගරදගුරු හිමිගේ චෝදනා කෙරෙහි දැඩි සැලකිල්ල යොමු කල යුතු නමුදු එය  වඩාත් විමර්ශනාත්මකව විශ්ලේෂණය කල යුත්තේ මේ කරුණු නිසාය.





Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය