ළමා ලිංගික අපචාර චෝදනා ලැබූ ඇමෙරිකානු කාදිනල්හිමි ගේ ඉල්ලා අස්වීම සුදොතුම් පියතුමා පිළිගනියි; යාච්ඥාවේ සහ පශ්චාත්තාපයේ ජීවිතයකට නියෝග

Pope accepts resignation of McCarrick from the College of Cardinals

තියඩෝර් මැක්කෙරික් කාදිනල් හිමි

(2018 ජූලි 28)
ගත වූ මාසයක පමණ කාලය තුළ ළමා අපචාර චෝදනා වලට ලක්ව සිටින ඇමෙරිකාවේ වොෂින්ටන්හි විශ්‍රාමික  අගරදගුරු තියඩෝර් මැක්කෙරික් කාදිනල් හිමි කාදිනල්ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. කාදිනල් පර්ෂදයෙන් ඉවත් වන බව දන්වමින් මැක්කෙරික් හිමි විසින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් වෙත යොමු කරන ලද ලිපිය එතුමා විසින් පිළිගන්නා ලදැයි වතිකාන මාධ්‍ය කාර්යාලය අද නිල වශයෙන් නිවේදනය කළේය.

කාදිනල් ධුරයෙන් ඉල්ලා අස්වීම පිළීගත් සුදොතුම් පියතුමා, මෙම චෝදනා සම්බන්ධයෙන් ශාසනික පරීක්ෂණය අවසන් වනතෙක්  ප්‍රසිද්ධ ජීවිතයෙන් ඉවත්වී හුදෙකලාව යාච්ඥාවෙන් සහ පශ්චාත්තාපික ක්‍රියාවලින් යුතු  ජීවිතයක් ගත කරන ලෙස ද හිටපු අගරදගුරු හිමිට නියෝග කර තිබේ.
"කාදිනල් පර්ෂදයේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන බව දන්වමින් වොෂිංටන්හි විශ්‍රාමික අගරදගුරු කාදිනල් තියඩෝර් මැක්කෙරික් හිමියන් විසින් එවන ලද ලිපිය සුදොතුම් පියතුමා  විසින් ඊයේ සන්ධ්‍යාවේ පිළිගන්නා ලදී" යි එම නිවේදනයේ සඳහන් වේ. "එම ඉල්ලා අස්වීම පිළිගත් සුදොතුම් පියතුමා මැක්කෙරික් හිමියනට  කිසිදු ප්‍රසිද්ධ දූත සේවාවක නියැලීම තහනම් කර ඇති අතර එතුමනට එරෙහිව පවතින චෝදනා සම්බන්ධයෙන් සාමාන්‍ය ශාසනික පරීක්ෂණය අවසන් වනතෙක් ඉදිරියේදී පෙන්වා දෙනු ලබන නිවෙසක හුදෙකලාව යාච්ඥාවෙන් හා පශ්චාත්තාපිකා ක්‍රියාවලින් යුත් ජීවිතයක් ගත කරන ලෙසද නියෝග කර තිබේ" යයි එහි වැඩිදුරටත් සඳහන් වේ.

මේ වන විට 88 වැනි වියේ පසුවන මැක්කෙරික් අගදරගුරු හිමි සම්බන්ධයෙන් ලිංගික අපචාර චෝදනා හෙළිදරව් වීමට පටන් ගත්තේ මීට මාසයකට පමණ පෙර සිටය. එතුමාට එරෙහිව එල්ල වී ඇති ළමා අපචාර චෝදනා "විශ්වසනීය සහ පදනමක් සහිත" බව ඒ සම්බන්ධයෙන් සිදු කල මූලික විමර්ශනයෙන් පෙනී ගොස් ඇතැයි ඇමෙරිකාවේ නිව්යෝක් අගරදගුරු  පදවිය ගිය මාසයේ නිවේදනය කළේය. මේ අනුව එම චෝදනාව සම්බන්ධයෙන් පදවි මට්ටමින් පරීක්ෂණයක් ආරම්භ වී ඇති බව පදවිය නිකුත් කල මාධ්‍ය නිවේදනයේ සඳහන් විය.   එතුමා එම පදවියේ මීසම් සේවක පියතුමෙකු ලෙස සේවය කරන සමයේ 16 හැවිරිදි පූජාවට උදව්වන දරුවකුට අපචාර සිදු  කරන ලද්දේය යන්න එම චෝදනාවයි. මෙය හෙළිදරව් වීමත් සමග ප්‍රසිද්ධ දූත මෙහෙවරින් ඉවත්වී සිටින්නැයි වතිකාන රාජ්‍ය ලේකම් පියෙත්‍රෝ  පැරොලින් කාදිනල් හිමි  මැක්කෙරික් හිමිට නියෝග කළේය.

මෙමෙ සිද්ධිය හෙළිවීමෙන් පසුව  මැක්කෙරික් හිමි නිව් ජර්සි පදවියේ අගරදගුරුතුමන් ලෙස සිටින සමයේ එල්ල වී තිබූ අපචාර චෝදනා කිහිපයක් ගැනද තොරතුරු හෙළිදරව් වන්නට විය. අදාළ අපචාර වලට ගොදුරු වූවනට වන්දි දී චෝදනා බේරුම කරගෙන තිබූ අතර මේ සම්බන්ධයෙන් රහස්‍ය භාවය රකින බවට පොරොන්දු වූ ලියුමකට ද ඔවුන්ගෙන් අත්සන් ගෙන තිබිණ. එහෙත් එම පොරොන්දුවෙන් ඊට ගොදුරු වුවන් නිදහස් කරන ලද බව  නෙවාක් හි රදගුරු ජෝසප් තෝබින් කාදිනල් හිමි  ප්‍රකාශ කළේය. මෙම හෙළිදරව් කරනු ලැබීමෙන් පසුව මැක්කෙරික් හිමියනට එරෙහිව තවත් අපචාර චෝදනා කිහිපයක් ඉදිරියට පැමිණියේය.

මේ තත්වය තුළ මැක්කෙරික් හිමියන් ගේ  කාදිනල්ධුරය අහෝසි කරන්නැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් වෙත විවිධ අංශවලින් බලපෑම් එල්ල වන්නට පටන් ගත්තේය.  මැක්කෙරික් හිමි සිය ඉල්ලා අස්වීම සුදොතුම් පියතුමන් වෙත යොමු කලේ ඒ අනුවයි.

කම්පනය 

මැක්කෙරික් විශ්‍රාමික අදරදගුරුතුමන් සම්බන්ධයෙන් සිදුවෙමින් පවතින මෙම හෙළිදරව් වීම් ගැන ඇමරිකානු කතෝලික සභාව කම්පනයට පත්වී  තිබේ. ඊට එක් හේතුවක්  එතුමා ඇමෙරිකාවේ අගනුවර වන වොෂිංටන්හි අගරදගුරුතුමන් හා කාදිනල් තුමෙකු ලෙස සභාව තුළත්   සහ එරට සමාජය සහ දේශපාලනය  තුළත් මහත් බලපෑමක් කළ හැකි  පුද්ගලයකු වී සිටීම නිසාය. විශ්රාමිකව් සිටියදී ද එතුමා රට තුළත් ලෝකය තුළත් ගමන් කරමින් විවිධ දුතමෙහෙවර වල නියැලෙමින් සිටියේය.

වසර 2000 ගණන්වල  ඇමෙරිකාවේ පූජක ළමා අපචාර පිලිබඳ තොරතුරු මුල්වරට හෙළිදරව් වෙද්දී ප්‍රතිසංස්කරණ ඉල්ලා හඬ නැගූ නායකයන් අතර මැක්කෙරික් හිමි ඉදිරියෙන් ම සිටි අයෙකු විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස ළමයින් සහ යෞවනයන් අපචාරවලින් ආරක්ෂා කිරීම සඳහා ඇමෙරිකානු සභාව විසින් සම්මත කරගන්න ලද "ඩල්ලාස් ප්‍රඥප්තියේ" නිර්මාපකයා වූයේ ද එතුමා ය. ගබ්සා විරෝධී "ජීවිතය  වෙනුවෙන්" (Pro Life) ව්‍යාපාරයේ පෙරමුණ ගෙන සිටි එතුමා එහි සෑම පෙළපාලියකම සහ රැළියකම  පෙරමුණ ගත්තේය. සාංක්‍රමණිකයන්, විදේශ ආධාර, ආගමික නිදහස වැනි කරුණුවලදී එතුමා සභාවේ ස්ථාවරය වෙනුවෙන් පෙනී සිටියේය. මැක්කෙරික් අගරදගුරු තුමා ශු. දෙවන ජුවාම් පාවුළු, සොළොස්වන බෙනඩික් යන හිටපු පාප් වහන්සේලාගේ සේ ම ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ ද සමීතමයකු බව සභා විශ්ලේෂකයෝ පවසති. වසර 2005 දී එතුමන් කාදිනල්වරයකු ලෙස පිහිටුවන ලද්දේ ශු. දෙවන ජුවාම් පාවුළු පාප් වහන්සේ විසිනි. 2005 දී බෙනඩික් සුදොතුම් පියතුමන් තෝරා ගන්නා ලද සුදොතුම් පිය වරණ දැහැනට එතුමා සහභාගී වූවත් වයස් සීමාව නිසා 2013 සුදොතුම් පිය වරණ දැහැනට එතුමා සහභාගී වූයේ නැත.
 
බොහෝ වාර්තා පවසන්නේ එතුමනට එරෙහිව පවතින මෙම චෝදනා ගැන සභාවේ වගකිව යුතු ඇතැම් අංශ දැනගෙන  සිටි බවයි. එතුමනට ඉහලින් සිටි රදගුරු හිමිවරුන්, වොෂිංටනයේ සිටි වතිකාන තානාපතිතුමා සේම වතිකානයේ රදගුරු හිමිවරුන් පිලිබඳ පර්ෂදයට  ද එතුමාට එරෙහි ළමා අපචාර චෝදනා ගැන වාර්තා වී තිබූ බව එම වාර්තා සඳහන් කරයි. එවැනි චෝදනා තිබියදීත් මැක්කෙරික් හිමි සභා ධුරාවලියේ මෙතෙක් ඉහළට ගමන් කලේ කෙසේද යන්න ගැන ඇමෙරිකාවේ බොහෝ කතෝලික ප්‍රකාශන  ප්‍රශ්න කරයි. 



ඉතිහාසය 

කාදිනල් තුමෙකු ගේ මෙවැනි ඉල්ලා අස්වීමක් ගැන ඉතිහාසයේ පූර්වාදර්ශ සොයාගත නොහැකිය.

මීට කලින් කාදිනල් තුමකු කාදිනල් පර්ෂදයෙන් ඉල්ලා අස්වීමක් ගැන වාර්තා වන්නේ 1927 දී 11 වන පියුස් පාප් වහන්සේ ගේ සමයේ ය. එසේ ඉල්ලා අස්වූයේ  එවකට ප්‍රකට දේවධර්මවේදියකු වූ ලුවිස් බිලට් පියතුමා ය. එහෙත් බිලට් පියතුමා කාදිනල් ධුරයෙන් ඉල්ලා අස්වූයේ පාප් වහන්සේ සමග ඇතිවූ දේශපාලන මතභේදයක් මත  මිස මෙවැනි චෝදනාවක් නිසා නොවේ. (කාදිනල් ධුරයක් ලැබීමට රදගුරු තුමකු වීම අනිවාර්ය නොවේ. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් විසින් ද පියතුමෙකු කාදිනල් ධුරයට පත්කර තිබේ.)

ස්කොට්ලන්තයේ සාන්ත අන්ද්‍රේ සහ එඩින්බරෝ පදවියේ හිටපු අගරදගුරු කීත් ඕබ්‍රයන් කාදිනල් හිමියනට විරුද්ධව ද ලිංගික අපචාර පිළිබඳව ප්‍රසිද්ධියේ චෝදනා නැගිණ. මේ තත්වය  තුළ, සුදොතුම් පියතුමකු තෝරා පත්කරගැනීම ඇතුළු  කාදිනල් තුමකු ලෙස තමා සතු අයිතිවාසිකම් සහ යුතුකම් භාවිත කිරීමෙන් වැළකී සිටින බව වසර 2015 දී එතුමා ප්‍රකාශ කළේය. එහෙත් එතුමා මියයන තෙක්ම කාදිනල් පර්ෂදයේ සාමාජිකයෙකුව සිටියේය. 


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය