"සභාව යක්ෂයාගෙන් ආරක්ෂා කරන ලෙස ඉල්ලා ජපමාල මාසය පුරා ජපමාලය යදින්න" සුදොතුම් පියතුමා ලොව පුරා කතෝලික ජනතාවට ඇරැයුම් කරයි

Holy father invites Catholics worldwide to pray rosary daily in October for Church's protection from Satan 

සුදොතුම් පියතුමා පෘතුගාලයේ පාතිමා සිද්ධස්ථානයේදී සියලු වන්දනාකරුවන් සමග ජපමාලය යාච්ඥා කල අවස්ථාව 

(2018 සැප්තැම්බර් 29)
"සභාව යක්ෂයාගෙන් ආරක්ෂා කරන ලෙස ඉල්ලා" මෙම ඔක්තෝබර මාසය පුරා දිනපතා ජපමාලය යදින්නැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ලොව පුරා වෙසෙන බිලියන 1.3ක් වන කතෝලික ජනතාවට ආරාධනා කරයි. ජපමාලය මගින් මරිය මෑණියන්ටත් එය අවසානයේ ශු.මිඛායෙල් අග්‍රදූතතුමන්ටත් යාච්ඥා කරමින් "මහා චෝදනා කරුවා වන සාතන්ගෙන් සභාව ආරක්ෂාකරන මෙන්"  යදින්නැයි එතුමා  කතෝලිකයන් ගෙන් ඉල්ලාසිටියි.

"ආධ්‍යාත්මික කුණාටු" සහිත අවස්ථාවලදී දේව මාතාවන් වන මරිය මෑණියන් සභාවේ ආරක්ෂාව සඳහා වැඩිය  ආකාරය සුදොතුම් පියතුමා සිහිපත් කරන බව එතුමන් ගේ මෙම ඉල්ලීම නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරමින් වතිකානය ප්‍රකාශ කරයි.

"ආධ්‍යාත්මික කුණාටු සහිත අවස්ථාවලදී ශුද්ධවූ දේවමාතා වහන්සේ ගේ ශ්‍රී සළුව සෙවනේ ආරක්ෂාව ලබන්නැයි රුසියානු භාවයෝගීන් මෙන්ම සෑම සම්ප්‍රදායක ම සාන්තුවරුන් අනුශාසනා කර තිබේ ...චෝදනා කරමින් ලොව පුරා දුව ඇවිදින මහා චෝදකයා වන සාතන්ට එරෙහි එකම ආයුධය යාච්ඥාවයි  ඔහු පරාජය කල හැක්කේ යාච්ඥාවෙන් පමණකි" යයි ද සුදොතුම් පියතුමා පෙන්වා දෙයි.

එසේම ජපමාලය විශේෂ යාච්ඥා දෙකකින් අවසන් කරන ලෙස ද එතුමා ඉල්ලා සිටියි එනම් අග්‍රදූත ශු. මිඛායෙල් තුමාට යාච්ඥාව සහ "මරිය සරණ යැදුම" (Sub Tuum Praesidium) යි. 

ඔක්තෝබරය ජපමාල මාසයයි. මේ මාසය  පුරා ජපමාලය යදිමින්  සභාව ආරක්ෂා කරන ලෙස මරිය මෑණියන්ගෙන් ඉල්ලන්නැයි සුදොතුම් පියතුමා කතෝලික ජනතාවගෙන් කරන ඉල්ලීම සඳහන් එම වතිකාන නිවේදනය මෙසේය.

මරිය මාසය වන ඔක්තෝබර මාසය පුරා සෑම දිනෙකම ජපමාලය යදින ලෙස ලෝකය පුරා වෙසෙන සියලුම විශ්වාසකයිනට ආරාධනා කිරීමට ශුද්ධෝත්තම පියතුමා තීරණය කර තිබේ. එසේ යාච්ඥා කරමින් දෙවියන් වහන්සේ ගෙනුත් එකිනෙකාගෙනුත් අප වෙන් කිරීමට නිරන්තර උත්සාහයක යෙදී සිටින යක්ෂයාගෙන් සභාව ආරක්ෂා කරන ලෙස දේව මෑණියන්ගෙනුත් ශු. මිඛායෙල් අග්‍රදූත තුමාගෙනුත් ඉල්ලන ලෙස එතුමා ඇරැයුම් කරයි. 

බෝල්ටික් රටවල කල සිය අපෝස්තලික චාරිකාවට පෙර "පාප්වහන්සේ ගේ ලෝක යැදුම් ජාලයේ" (World Network of Prayer for the Pope)අධ්‍යක්ෂ ෆ්‍රෙඩ්‍රික් ෆොර්නොස් ජේ. නි. පියතුමන් හමුවූ ශුද්ධෝත්තම පියතුමා මෙමෙ ආයාචනය  ලොව පුරා වෙසෙන සියලු විශ්වාසිකයන් අතර ප්‍රචාරය කරන්නැයි එතුමාගෙන් ඉල්ලා සිටියේය. එසේම   "මරිය සරණ යැදුම" (“Sub Tuum Praesidium) නමැති සුන්දර ඉපැරණි යැදුමෙන් හා ශු. මිඛායෙල් අග්‍රදූත තුමාට යාච්ඥාවෙන් ජපමාල යැදුම අවසන් කරන ලෙස සියලු විශ්වාසිකයන්ගෙන් ඉල්ලන්යිනැ ද එතුමා ෆොර්නොස් පියතුමා ගෙන් ඉල්ලා සිටියේය.

'ලෝකය පුරා දුව යමින් චෝදනා කරන්නට තැත් කරන මහා චෝදකයාට  එරෙහි ව භාවිත කල හැකි එකම ආයුධය යාච්ඥාව බව ඉකුත් සැප්තැම්බර්  11 වනදා සාන්ත මාර්තා තානායමේ පැවැත්වුණු දිව්‍ය පූජාවේ දී ජෝබ්  ගේ පොත උපුටා දක්වමින් ශුද්ධෝත්තම පියතුමා පෙන්වා දුන්නේය. ඌ පරාජය කළ හැක්කේ යාච්ඥාවට පමණි. ආධ්‍යාත්මික කුණාටු සහිත අවස්ථාවලදී "මරිය සරණ යැදුම" කියමින්  ශුද්ධවූ දේවමාතා වහන්සේ ගේ ශ්‍රී සළුව සෙවනේ ආරක්ෂාව ලබන්නැයි රුසියානු භාවයෝගීන් මෙන්ම සෑම සම්ප්‍රදායක ම සාන්තුවරුන් ද  අනුශාසනා කර තිබේ.

මරිය සරණ යැදුම (Sub Tuum Praesidium - We fly to Thy protection)

'ජේසුතුමන් ගේ සුවිශුද්ධ වූ මෑණියනි, අපි ඔබගේ සරණය කරා දිව එමු. අහෝ මහිමෝත්තම වූ ද භාග්‍යවන්ත වූ ද කන්‍යාවෙනි අපගේ උවමනාවලදී අප කරන යාච්ඥා ප්‍රතික්ෂේප නොකොට සියලු අන්තර වලින් අප ගලවා වදාළ මැනව.'

(මෙම යැදුම මෝසැසි පෙරේරා පියතුමන් විසින් සොඳුරු ගීතිකාවකට රචනා කර තිබේ. ඒ මෙසේය.
'ඔබ ලඟ සරණ සොයා - ඔබ වෙතැ දිවැ ගෙනැ  ආ 
සුරිඳුන් හේළි මවේ 
අප නඟනා කන් කෙඳිරි අසා ඉවසා 
හැම විපතින් අප නිති ගලවා ලනු
මහිමාසිරි කුමරී ')

මෙම යැදුම යදිමින් සමස්ත සභාවම එතුමිය ගේ ආරක්ෂා සහිත ශ්‍රී සළුවේ ආවරණය යට‍තේ තබාගන්නැයි ශුද්ධවූ  දේව මාතා වහන්සේගෙන් ඉල්ලා සිටින ලෙස ශුද්ධෝත්තම පියතුමා ලොව පුරා සියලු විශ්වාසිකයන් ගෙන් ඉල්ලා සිටියි. එසේම, මහා චෝදකයා වන යක්ෂයාගේ ප්‍රහාර වලින් සභාව ආරක්ෂා කරන ලෙස ද ඒ අතරම වර්තමානයේ මෙන්ම අතීතයේ ද සභාව සිදුකල සියලු පාප, සියලු වැරැදි, සහ සියලු අපයෝජනයන්  ගැන වඩ වඩා අවබෝධ කරගැනීමට ඇයට හැකියාව ලැබෙන ලෙසද, තව දුරටත් නපුර සහ අයහපත  නොපැවතීම සඳහා එඩිතරව නපුරට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය කැපවීම ලැබෙන ලෙසද මෙම යැදුම යදිමින්  එතුමියගෙන් ඉල්ලන ලෙස ද එතුමා විශ්වාසකයන් ගෙන් ඉල්ලා සිටියි.

ශු. මිඛායෙල් අග්‍රදූත තුමාට යැදුම 

13 වන ලියෝ පාප් වහන්සේ විසින් ලියන ලදුව සභාව නිරන්තරයෙන් භාවිත කරන ශු. මිඛායෙල් අග්‍රදූත තුමාට කරන  යැදුමෙන් ඔක්තෝබර මාසයේ ජපමාල යැදුම අවසන් කරන්නයි ශුද්ධෝත්තම පියතුමා සියලු විශ්වාසිකයන් ගෙන් ඉල්ලා සිටියි.   "  

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය