"දූෂිත ඇමෙරිකානු අගරදගුරුවරයා සම්බන්ධයෙන් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමාට එල්ල කරන චෝදනා සත්‍යයෙන් තොරයි" - වතිකානයේ ඉහලම කාදිනල් වරයෙකුගෙන් අගදරදගුරු විගානෝට ප්‍රබල පිළිතුරක්

"ප්‍රැන්සිස් සුදොතුම් පියතුමාට එරෙහි චෝදනා 'දේශපාලන රාමුවේ වැඩක්"

Vatican cardinal rebukes Vigano: accusations against Pope Francis 'political frame job'

රදගුරුවරුන් පිලිබඳ ශුද්ධාසන පර්ෂදයේ නායක මාක් ඖලේ කාදිනල් හිමි 

(2018 අගෝස්තු 8)
ළමා ලිංගික අපචාර චෝදනා ලද ඇමෙරිකානු අගරදගුරු වරයකු ආරක්ෂා කිරීමට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ක්‍රියා කල බවට ඇමෙරිකාවේ හිටපු වතිකාන තානාපති කාලෝ මරිය විගානෝ අගරදගුරු වරයා එල්ල කල බරපතල චෝදනා පදනම් විරහිත ඒවා බව වතිකානයේ රදගුරු හිමිවරුන් පිලිබඳ පර්ෂදයේ අධිපති මාක් ඖලේ කාදිනල් හිමි පවසයි. ඖලේ කාදිනල් හිමියන් ගේ නම ද සම්බන්ධ කරගනිමින්  අගරදගුරු විගානෝ විසින් මීට සති දෙකකට කලින් නිකුත් කරන ලද විවෘත ලිපියට  පිළිතුරු ලෙස විවෘත ලියුමක් ලියමින් එතුමා මේ බව පවසා තිබේ.

එම ලියුමෙන් කාදිනල් ඖලේ හිමි පවසන්නේ අගරදගුරු විගානෝ ගේ ක්‍රියා කලාපය "අතිශයින් දුශ්ශීල" බවයි. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ගේ සදාචාරාත්මක අධිකාරී බලය ප්‍රශ්න කරමින්  හිටපු වතිකාන තානාපති අගරදගුරු විගානෝ "මීට කලින් නොඇසූ විරූ සහ අයෝග්‍ය ප්‍රහාරයක්" එල්ල කර ඇති අතර එය "දේශපාලන රාමුවක කුලී වැඩක්" මිස වෙනත්  කිසිවක් නොවන බවද කාදිනල් ඖලේ හිමි සඳහන් කරයි. 

කැනේඩියානු ජාතික මාක් ඖලේ කාදිනල් හිමි ලොව පුරා සිටින රදගුරු හිමිවරුන් සම්බන්ධයෙන් කටයුතු කරන වතිකාන අධිකාරිය වන රදගුරු හිමිවරුන් පිලිබඳ පර්ෂදයේ අධිපති හිමිපාණෝය. සොළොස්වන බෙනඩික් පාප් වහන්සේ විසින් එම තනතුරට පත් කරන්නට  පෙර එතුමා කැනඩාවේ ක්විබෙක් පළාතේ මොන්ට්‍රියල් පදවියේ කාදිනල්-අගරදගුරු තුමන් ලෙස කටයුතු කරමින් සිටියේය.

එතුමා මෙම විවෘත ලියුම නිකුත් කලේ ඇමෙරිකාවේ වොෂින්ටන් හි හිටපු අගරදගුරු තියඩෝර් මැක්කෙරික්ට එරෙහිව එල්ල වූ ළමා ලිංගික අපචාර චෝදනා වලින් ඔහු ආරක්ෂා කිරීමට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ක්‍රියා කල බවට චෝදනා කරමින් වොෂින්ටන් හි හිටපු වතිකාන තානාපති අගරදගුරු කාලෝ මරිය විගානෝ හිමියන් නිකුත් කල විවෘත ලියුම් දෙකට පිළිතුරු දෙමිනි. අගරදගුරු මැක්කෙරික් හිමියන්ට එල්ල වී තිබූ මෙම චෝදනා නිසා සොළොස්වන බෙනඩික් පාප් තුමා ඔහුට පනවා තිබූ දැඩි "ශාසනික තහංචි" ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා විසින් ඉවත් කරණ ලද බවට අගරදගුරු විගානෝ චෝදනා කර තිබිණි  මේ නිසා ප්‍රැන්සිස් පාප් තුමා එම තනතුරින් ඉල්ලා අස්විය යුතු බවට ද ඔහු  බල කර තිබුනේය. 

එම වාර්තාව මෙතනින්: "ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා දුෂිත කාදිනල්වරයා ආරක්ෂා කිරීමට ක්‍රියා කළා" - හිටපු වතිකාන තානාපතිවරයෙක් චෝදනා කරයි; ප්‍රැන්සිස්-විරෝධී කුමන්ත්‍රණ කරුවන් අලුත් වෑයමක?

කාලෝ විගානෝ අගරදගුරු හිමි 

අගරදගුරු විගානෝ සිය දෙවැනි ලියුම නිකුත් කර තිබුණේ කාදිනල් ඖලේ හිමියන් ගේ නමද සම්බන්ධ කර ගනිමිනි. රදගුරුවරුන් සම්බන්ධ පර්ෂදයේ ප්‍රධානියා ලෙස ඖලේ කාදිනල් හිමියන් අගරදගුරු මැක්කෙරික්  පිලිබඳවත්, එතුමාට පනවා තිබූ තහංචි ඉවත් කිරීමට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා  මැදිහත් වූ අකාරය පිළිබඳවත්  තොරතුරු දන්නා බව විගානෝ එම ලිපියෙන් කියා සිටියේය. මේ නිසා "මෙම චෝදනා වසා සැඟවීමට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා  ක්‍රියා කල ආකාරය හෙලිදරව් කිරීමට තමාට සහය වන්නැයි" විගානෝ හිමි, කාදිනල් ඖලේ හිමියන්ගෙන් ඉල්ලා සිටියේය. කාදිනල් ඖලේ හිමි පිටු තුනකින් හා ප්‍රබල වචන වලින් යුත් මෙම ලියුම නිකුත් කලේ ඊට ප්‍රතිචාර ලෙසය.

'සොළොස්වන බෙනඩික් පාප්තුමා මැක්කෙරික් අගරදගුරු හිමිට එරෙහිව ශාසනික තහනමක් පනවා තිබුනේ නැත' 

කාදිනල් මාක් ඖලේ හිමිපාණන් සිය ලියුම ආරම්භ කර ඇත්තේ "ප්‍රිය සම සහෝදර කාලෝ මරිය විගානෝ" ලෙසය. "ප්‍රැන්සිස් පාප් වහන්සේ සහ අගරදගුරු තියඩෝර් මැක්කෙරික් අතර පවතින බවට අනුමාන කරනු ලැබ ඇති සම්බන්ධය පිළිබඳව සත්‍යය හෙළි කරන්නැයි  ඔබ කර ඇති ඉල්ලීම අනුව .... ශුද්ධෝත්තම පිය නිසි අවසරය  සහිතව මෙම ලියුම  ලියමි" යි   එය ආරම්භයේ එතුමා කියයි. මෙම ලිපිය තමන් ලියන්නේ රදගුරුවරුන් පිලිබඳ පර්ෂදයේ ප්‍රධානියා ලෙස වතිකාන ලේඛනාගාරයේ මැක්කෙරික් හිමියන් පිළිබඳව පවතින ලිපි ලේඛන පරීක්ෂා  කිරීමෙන් අනතුරුව සත්‍යය පදනම් කරගනිමින් බව එතුමා අවධාරණය කරයි. ඒ සියලු සාධක හා දත්ත අනුව පාප්තුමන්ට එරෙහිව විගානෝ නගන චෝදනා මුළුමනින්ම පදනම් විරහිත බව එතුමා පෙන්වා දෙයි. "ඔබ වතිකාන  තානාපතිව සිටි සමයේ අප අතර පැවැති යහපත් සහයෝගී සමබන්ධතාවයේ  සද්ගුණයෙන්, පූර්ණ අවංකභාවයෙන් යුතුව ඔබට මේ දෙය කීමට මට ඉඩ දෙන්න: ඔබගේ වර්තමාන තත්වය මට තේරුම් ගත නොහැකි අතර එය අතිශයින් ඛේදජනකය" යි එතුමා ප්‍රකාශ  කරයි.

2013 ජුනි 23 වනදා තමන් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් මුණගැසුණු අවස්ථාවේ අගරදගුරු මැක්කෙරික් හිමි ගේ ළමා අපයෝජන චෝදනා ලිපිගොනුව ගැන කතා කල බව හිටපු වතිකාන තානාපති කාලෝ විගානෝ සිය චෝදනා ලිපියේ ප්‍රකාශ කර තිබිණි. එහෙත් සුදොතුම් පියතුමා එය නොසලකා හැරියේය යන්න ඔහුගේ චෝදනාව වී තිබිණි. කාදිනල් ඖලේ හිමි ඊට මෙසේ පිළිතුරු දෙයි.

"2013 ජුනි 23 වනදා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ප්‍රථම වරට පෞද්ගලිකව මුණගැසුණු සෙසු වතිකාන තානාපතිවරුන් සේ ම එතුමන් හමුවීමට අවස්ථාව ඔබට ලැබිණි. ඒ අවස්ථාවේ මැක්කෙරික් සිද්ධිය ගැන එතුමන්ට දැනුම් දුන් බව ඔබ කියා සිටියි. එම දිනය තුළ  විවිධ පුද්ගලයන් සහ තත්ත්වයන සම්බන්ධයෙන්  සුදොතුම් පියතුමන්ට ලිඛිතව සහ වාචිකව දැනගන්නට ලැබුණු අති විශාල තොරතුරු සමුදාය ගැන මට සිතා ගන්නටවත්  හැකිය. එහෙත් එම සිද්ධිය එදින ඔබගේ උනන්දුවට හේතු වූ තරමට එතුමන් ගේ උනන්දුවට හේතු වුයේය යන්න මම බොහෝ සේ සැක  කරමි. මන්ද ඒ වන විට 82 වැනි වියේ පසු වූ අගරදගුරු මැක්කෙරික් හිමි එසමයේ වොෂින්ටන්හි අගරදගුරු ධුරයෙන් විශ්‍රාම ගෙන සිටි අතර  වසර 7 ක් කිසිදු පත්වීමක් නැතිව සිටි පුද්ගලයකුව  සිටි නිසාය. ඇරත් ඔබ 2011 ඇමෙරිකාවේ වතිකාන තානාපති ලෙස පත්වීම් ලබන විට රදගුරුවරුන් පිලිබඳ පර්ෂදය විසින් ඔබට දෙන ලද රාජකාරි සාරාංශයේ මැක්කෙරික් හිමියන් ගැන කිසිවක් සඳහන් වූයේ නැත. එක් දෙයක් පමණක් මම පෞද්ගලිකව වාචිකව ඔබට දැනුම් දුන්නෙමි. එනම් (කාදිනල්)  මැක්කෙරික් හිමියන් ගේ අතීතය පිළිබඳව පවතින කටකතා නිසා ඔහු කොන්දේසි සහ සීමා කිහිපයකට කීකරු වීම අත්‍යවශ්‍යය යන්නයි."

තමා  2010 ජුනි 30 වනදා මෙම පර්ෂදයේ ප්‍රධානියා වීමෙන් පසුව මැක්කෙරික් හිමි පිළිබඳව කිසිවක් සොලොවන බෙනඩික් පාප් තුමන් සමග හෝ ප්‍රැන්සිස් පාප්තුමන් සමග සාකච්ඡා කර නැති බව ඖලේ හිමි පෙන්වා දෙයි. එය සිය සාකච්ඡා වලට පදනම් වුයේ මැක්කෙරික් හිමි කාදිනල් තනතුරින් ඉවත්කොට ශාසනික සම්බාධක පැනවීමට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා  තීරණය කිරීමෙන් පසුව බව කාදිනල් හිමි පෙන්වා දෙයි.
"මැක්කෙරික් හිමි 2006 විශ්‍රාම ගත් අවස්ථාවේ සංචාර වල නිරත  වීමෙන් සහ ප්‍රසිද්ධියේ පෙනී සිටීමෙන් වලකින ලෙස එතුමනට තදබල ලෙස අවවාද කරන්නට යෙදින. එහි අරමුණ වූයේ එතුමන් පිළිබඳව අලුතින් කට කතා පැතිර යාම වලක්වීමයි. මේ නිසා එකී පියවර සොළොස්වන බෙනඩික් පාප් වහන්සේ විසින් ශාසනික  තහංචි පැනවීමක් ලෙසත් ප්‍රැන්සිස් පාප් වහන්සේ විසින් එය ඉවත් කරනු ලැබූ බවත් හුවා දැක්වීම  මුළුමනින්ම සත්‍යයෙන්  තොරය. මෙම පාප් තුමන්ලා දෙනම අතරින් එක් කෙනෙකු විසින් හෝ මේ සම්බන්ධයෙන් අත්සන් කරන ලද කිසිදු ලේඛනයක් නොමැති බව මට නිශ්චිත ලෙස ප්‍රකාශ කල හැකිය. මට පෙර මේ තනතුර දැරූ ජියොවන්නි බැට්ටීස්ටා රේ කාදිනල් හිමිපාණන් විසින් හෝ මැක්කෙරික් හිමි විෂයෙහි  එවැනි අනිවාර්ය දඬුවමක් පනවා නොමැත" යැයි මාක් ඖලේ කාදිනල් හිමි අවධාරණයෙන් කියා සිටියි.

මෙතරම් අසංගතතාවක් පෙන්නුම් කල පූජකවරයකු සභාවේ ඉහළටම ගමන් කලේ කෙසේද යන්න ගැන තමන් ද විමතියට පත්ව සිටින බව එතුමා පවසයි. එහෙත්  පාප් වහන්සේලා තීන්දු ගන්නේ අදාළ මොහොතේ දී තමන්ට ලැබෙන තොරතුරු මත විනිශ්චය කිරීමන්  බව පෙන්වා දෙන එතුමා ඒවා  නිවැරදි නොවීමේ ඉඩ තිබෙන බවද සිහිපත් කරයි. 

අගරදගුරු විගානෝ ගේ "දුෂ්ට චෝදනාව"

හිටපු වතිකාන තානාපති කාලෝ විගානෝ පදනමක් නොමැති  මෙම "අති දුෂ්ට චෝදනාව" එල්ල කිරීමට හිත හදා ගත්තේ කෙසේදැයි තමාට අවබෝධ කරගත නොහැකි බව මාක් ඖලේ කාදිනල් හිමි සිය ලිපියේ සඳහන් කරයි. "නිව් යෝර්ක්, 
මෙටුචෙන්, නෙවාර්ක් යන පදවි හරහා වොෂින්ටන් දක්වා වූ මැක්කෙරික් හිමිගේ උසස්වීම් සිදු කරන ලද්දේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් විසින් නොවේ. ඇත්ත වශයෙන් ම මැක්කෙරික් හිමිට එරෙහිව විශ්වාස කල හැකි අපයෝජන චෝදනාවක් පිලිබඳ වාර්තා ලැබුණු විගසම ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා එතුමන් කාදිනල්  ධුරයෙන් ඉවත්කොට ශාසනික තහංචි පැනවීමට පියවර ගත්තේය. ඇමෙරිකාවේ රදගුරු වරුන් පත්කිරීමේදී සුදොතුම් පියතුමා එම අගරදගුරු වරයාගේ උපදෙස් ලබාගන්නා බවක් ද මට දැනගන්නට ලැබී නැත" යැයි විගානෝ ගේ චෝදනා එකින් එක ප්‍රතික්ෂේප කරමින් රදගුවරුන් පිලිබඳ පර්ෂදයේ අධිපතිවරයා අවධාරණය කරයි.

රදගුරු විෂය භාර කාදිනල් වරයා ලෙස තමා නිරතුරු ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මුණ ගැසෙන බව කාදිනල් ඖලේ හිමි කියයි. "එතුමා පුද්ගලයන් සහ ප්‍රශ්න කළමනාකරණය කරන  අයුරු මම හොඳින් දනිමි. ඉතා දයාබරිතව, කරුණාබරිතව, සාවධානව සහ වගකීමෙන් යුතුව එතුමා කටයුතු කරයි" මේ නිසා පාප් වහන්සේ ගැන විගානෝ පවසා ඇති කරුණු "දෙවියන් වහන්සේ ගේ ආත්මයෙන් පැමිනෙන්නක් නොවන බව" ඖලේ හිමි අවධාරණය කරයි.

'පසුතැවිලි වී රැළට යළි එන්න'  

අගරදගුරු විගානෝ සිය ප්‍රැන්සිස් විරෝධී චෝදනා සහිත  ලියුම් "ප්‍රැන්සිස් විරෝධී" ඇමෙරිකානු සහ ඉතාලි  මාධ්‍ය වලට නිකුත් කරන්නේ සැඟවී සිටය. ඔහු සිටින තැනක් කවුරුත් නොදනියි. මේ නිසා "කතෝලිකයන් ගේ එක්සත් බවේ තහවුරු කරුවා වන" පාප් වහන්සේ සමග යළි ඒකාබද්ධ වීමට විගානොට උදව් කල හැකි බව කාදිනල් ඖලේ හිමි මෙම විවෘත ලියුමෙන් ඔහුට  දැනුම් දෙයි.
"ඔබ සැඟවී සිටින තැනින් පිටතට පැමිණෙන්න. ඔබගේ කැරැල්ලට පසුතැවිලි වන්න. සුදොතුම් පියතුමන් කෙරෙහි එදිරිවාදීකමක් වෙනුවට එතුමන් ගැන යහ සිතිවිලි ඇති කරගන්නැ"යි  එතුමා අගරදගුරු විගානෝ ගෙන් ඉල්ලා සිටියි.

"මෙම අයුක්තිය ඉක්මනින් පිළිසකර කර ප්‍රැන්සිස් පාප්තුමා එතුමන් ගේ සැබෑ ස්වභාවය තුළ පිළිගැනීම දෙවියන් වහන්සේ ගේ සතුටට හේතු වනු නිසැකය. එනම්, එතුමා උතුම් පුදැදුරු නමකි, දයාවන්ත එමෙන්ම ස්ථිරසාර පියෙකි, සභාවට සහ ලෝකයට දිවැසිවර ක්‍රියාධරයෙකි.  දේව ජනතාව ගේ යැදුම්වලින් සැනසිල්ල ලබමින්ද, සමස්ත සභාවේ නැවුම් වූ සහයෝගීතාවෙන් ද මරිය මාතාවන් ගේ ආශීර්වාදයෙන් ද යුතුව එතුමාණෝ  සිය ධර්මදානීය ප්‍රතිසංස්කරණය අඛණ්ඩව කරගෙන යත්වා!" යයි පතමින් කාදිනල් මාක් ඖලේ හිමි සිය ලියුම අවසන් කර තිබේ.






Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය