කිතුනු සභා අතර එකමුතුව තහවුරු කිරීමට - සුදොතුම් පියතුමා ජිනීවා නුවරට

Pope to visit Geneva for World Council of Churches anniversary

WCC මහ ලේකම් ෆයික්සේ ට්වෙයිට් දේවගැතිතුමා වතිකානයෙදී ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා හමු වූ මොහොතක් 

(2018 මාර්තු 2)

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ලබන ජුනි 21 වැනිදා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරට යන බව වතිකානයේ දී අද ප්‍රකාශයට පත් කෙරිණි. එතුමන් එහි යන්නේ ජගත් කිතුනු සභා සම්මේලනයේ 70 වන සංවත්සරයට එක්වීම සඳහායි. වතිකානයේ දී මේ බව නිල වශයෙන් නිවේදනය කරණ ලද්දේ එම සම්මේලනයේ මහලේකම් ෆයික්ස ට්වෙයිට් දේවගැතිතුමා සහ කිතුනු සභා අතර එක්සත් කම ප්‍රවර්ධනය කිරීම පිලිබඳ සුදොතුම් පිය මන්ත්‍රණ සභාවේ ප්‍රධානි කර්ට් කෝච් කාදිනල් හිමිපාණන් විසින් පවත්වන ලද ඒකාබද්ධ  මාධ්‍ය හමුවකදී ය.

කිතුනු සභා 147ක එකමුතුවෙන් ජගත්  කිතුනු සභා සම්මේලනය (World Council of Churches - WCC ) පිහිටුවා ගන්නා ලද්දේ 1948 දීය. යුරෝපයේ සහ උතුරු ඇමෙරිකාවේ කිතුනු සභා ඊට එක්වී තිබිණි. මේ වන විට ලොව පුරා කිතුනු සභා 348ක් දක්වා එහි සාමාජිකත්වය පුළුල් වී තිබේ. ඕතොඩොක්ස්, ඇන්ග්ලිකාන, බැප්ටිස්ට්, ලුතෙරාන, මොතෝදිස්ත සහ රෙපරමාදු යන ප්‍රධාන කිතුනු සභා සියල්ල ද එක්සත් සහ ස්වාධීන සභා ද එහි සාමාජිකත්වය ලබා සිටියි.

1965 සිට කතෝලික සභාව ජගත් කිතුනු සභා සම්මේලනය සමග ඉතා සමීපව ක්‍රියා කිරීමට පටන් ගත්තේය. දෙවන වතිකාන කතිකාවතෙන් පසුව විශේෂයෙන් භා. සවැනි පාවුළු පාප්වහන්සේ ගේ නායකත්වය හා මගපෙන්වීම යටතේ කතෝලික සභාව හා කිතුනු සභා අතර සංවාදය සමීපව, තේරුම් ගැනීමෙන් යුතුව සහ ස්ථාවරව ඉදිරියට ගමන් කරන්නට පටන් ගත්තේය. ඒකාබද්ධ කෘත්‍යාධිකාරී කමිටුවක් මගින් විශේෂ කොමිෂන් සභා සහ ප්‍රායෝගික සේවාවල දී සම්බන්ධ වෙමින් කතෝලික සභාව සහ ජගත් කිතුනු සභා අතර සංවාදය ප්‍රවර්ධනය වෙමින් තිබිණි.

WCC හි 70 වන සංවත්සර සමුළුවේ තේමාව "එක්ව ගමන් කිරීම, එක්ව යැදීම, එක්ව වැඩකිරීම" ( ‘Walking, Praying, Working Together’) යන්නයි.

මෙම සංවත්සරයට සුදොතුම් පියතුමා සහභාගී වීමට  තීරණය කිරීම ප්‍රබල පණිවිඩයක් ලබා දෙන කරුණක් වන බව සම්මේලනයේ මහ ලේකම් ෆයික්සේ ට්වෙයිට් දේවගැතිතුමා වාර්තා කරුවන් හමුවේ කියා සිටියේය.
"70 වසරක් පුරා සභා සමගිය වෙනුවෙන් අප කළ එක්ව යැදීම සහ එක්ව ක්‍රියා කිරීම සුදොතුම් පියතුමා ගේ සහභාගිත්වය මගින් විශේෂාකාරයෙන් තහවුරු කෙරෙනවා; ස්ථිර කෙරෙනවා. එමෙන්ම විශේෂයෙන් ලෝක සාමය, යුක්තිය  සහ සාධාරනත්වය වෙනුවෙන් පොදුවේ  කිතුනුවන්  ලෙස  සාක්ෂි දැරීමේ මාර්ග සොයා බැලීමට එය මහත් පිටිවහලක් වෙනවා" එතුමා පෙන්වා දුන්නේය.

සභා අතර සංවාදයට ප්‍රැන්සිස් සුදොතුම් පිය දායකත්වය 

ජිනීවා නුවර දී ප්‍රැන්සිස්  සුදොතුම් පියතුමා 70 වන සංවත්සර සභාව අමතා කතා කිරීමට නියමිත බව දේවගැතිතුමා  හෙළිදරව් කළේය. එසේම සුදොතුම් පියතුමා ජිනීවා නුවර  සභා එකමුතු කේන්ද්‍රයේදී  ඊට සහභාගිවන සියලු සභා සමග එක්ව යාච්ඥා කිරීමට ද නියමිතයි. සුදොතුම් පියතුමා ගේ මෙම සංචාරය ජගත් කිතුනු සභා  සම්මේලනයට කෙතරම් වැදගත් ද, එය කෙතරම් අරුත්බර ද යන්න ලෝකයට දැනගැනීම සඳහා පුළුල් මාධ්‍ය ආවරණයක් ලබා දෙන බව ද  මහ ලේකම්වරයා ප්‍රකාශ කළේය.

එතුමා පෙන්වා දුන්නේ සුදොතුම් පියතුමා ගේ මෙම සංචාරය හා අත්වැල් බැඳගත් සංවත්සර  තේමාවේ ද ගැඹුරු අරුතක් ඇති බවයි.
"සුදොතුම් පියතුමා ගේ මෙම සංචාරය ඇත්ත වශයෙන් ම අප එක්ව වැඩකරන බව ප්‍රබල ලෙස තහවුරු කරන්නක්. එහෙත් එක්ව වැඩ කිරීම පමණක් නොවේ; එක්ව යාච්ඥා කරමින් එක්ව ගමන් කරන බවද  මෙයින් ප්‍රබලව තහවුරු වෙනවා. ඒ නිසයි මේ ආදර්ශ පාඨය තෝරාගත්තේ. පසුගිය කාලය පුරා අප පොදු න්‍යාය පත්‍රයක් තුළ ක්‍රියා  කරමින් සිටියා. විශේෂයෙන් ම ලෝකයේ  සාමය, යුක්තිය හා සමගි සන්ධානය වෙනුවෙන් වූ මුලිකත්වයන් වලදී අප එක්ව ක්‍රියා කළා" ට්වෙයිට් දේවගැතිතුමා කීවේය.
එතුමා අවධාරණය කලේ මෙම ගමනේ දී ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන්ගෙන් ලැබුණු ධෛර්යය ඉතා ප්‍රබල බවයි: "ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සේවාව සහ ධර්ම දූතමෙහෙවර කෙරෙහි දැඩිව අවධාරණය කරනවා. එමගින්  එතුමා මේ ගමනට නව ප්‍රගාමක ශක්තියක් හා නව ආරම්භක ශක්තියක්  රැගෙනැවිත් තිබෙනවා. මේ අනුව එතුමා ජිනීවා නුවරට පැමිණීම අප දකින්නේ එක්ව ගමන් කිරීමේ මාර්ග සොයා යාම පිළිබඳ එතුමා ගේ න්‍යාය පත්‍රයේ තවත් සලකුණක් හැටියටයි"  යයි මහ ලේකම් දේවගැතිතුමා වැඩිදුරටත් කියා සිටියේ ය.

ශ්‍රී ලංකාවේ සභා අතර සංවාදය 

කිතුනු සභා අතර එකමුතුව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ සේවාවේ හා දූත මෙහෙවරේ ඉහල ප්‍රමුඛතාවක් බවට පත්ව තිබේ. ක්‍රිස්තියානි සභා අතර භේදය හා අසමගිය දැඩි "අපචාරයක්, අවාදර්ශයක් හා අපකීර්තියක්" බව එතුමා කිහිප වතාවක් විවෘතව ප්‍රකාශ කර තිබේ. රෝමයේ පැවැත්වුණු ලෝක කිතුනු සභා යාච්ඥා රැලි වලට සුදොතුම් පියතුමා ඉතා කැමැත්තෙන් සහභාගී වෙයි.එපමණක් නොව 2017 ශුද්ධාත්ම මංගල්‍ය වෙනුවෙන් කිතු දන පුබුදුව විසින්  රෝමයේ පවත්වන ලද ජුබිලි ශුද්ධාත්ම රැලියට ශුද්ධෝත්තම පියතුමා පෙන්තකොස්ත සහ ඉවන්ජලිකල් කිතුනු නියෝජිතයනටද ආරාධනා කළේය. එතුමා එම නියෝජිතයන්  සමග එකම වේදිකාවේ සිට යාච්ඥා වලට සහභාගී විය.

සභා අතර සමගිය පිළිබඳව ශු. පේදුරු තුමන් ගේ අනුප්‍රාප්තිකයා වන සුදොතුම් පියතුමන් විසින් මෙවැනි ප්‍රබල ආදර්ශයක් ලබා දුන්නත් ශ්‍රී ලංකාවේ කතෝලික සභාව කිතුනු සභා අතර සමගියට ලබා දී ඇති නායකත්වය හා දායකත්වය කුමක්ද යන්න ප්‍රශ්නයකි. ජේසු ගේ බැටළු රළට අයත්වන්නේ කතෝලිකයන් පමණක් ය යන්න ශ්‍රී ලංකාවේ කතෝලික සභාව තුළ තවමත් පවතින ආකල්පය බව පෙනේ. 2 වන වතිකාන කතිකාවෙන් පසු වසර 50ක් ඉක්ම ගියත්, ශ්‍රී ලංකාවේ සභා අතර සමගිය තවමත් පවතින්නේ සීතල තත්ත්වයකය.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා දෙන උපදේශය වන්නේ එක්ව යාච්ඥා කල හැකි, එක්ව ක්‍රියා කල හැකි සහ එක්ව ගමන් කල හැකි ක්‍රියාමාර්ග වලින් සමගියේ ගමන ආරම්භ කරන ලෙසයි. යුක්තිය හා සාමය, සමගි සන්ධානය, දයාවේ දූත සේවා, ජන සන්නිවේදනය, වැනි ක්ෂේත්‍ර වලින් මෙම පොදු ගමන ආරම්භ කල හැකිය. යුක්තිය හා සාමය මෙන්ම ජාතීන් අතර සමගි සන්ධානය යන ක්ෂේත්‍රවල දී වෙනත් කිතුනු සභා කතෝලික නායකත්වයට වඩා ප්‍රබලව සිය දිවැසිවර මෙහෙවර ඉටුකරන නිසා කතෝලිකයනටද ඉතා පහසුවෙන් ඔවුන් හා එක්විය හැකිය. පසුව මේ ගමන  ශුද්ධාත්ම රැලි වැනි යාච්ඥා ක්ෂේත්‍ර දක්වා පුළුල් කල හැකි වේ.

ලංකාවේ කතෝලික සභාව ඉවන්ජලිකල් දේශකයන් සලකන්නේ  තමන්ගේ  සතුරන් සහ තමන් ගේ රැල පැහැර ගැනීමට පැමිණෙන පිරිසක් ලෙසයි. එහෙත් ශු. පේදුරු තුමන් ගේ අනුප්‍රාප්තිකයන් ඔවුන් වෙත දක්වන්නේ සහෝදර ප්‍රේමයකි. ඊට ඉතා හොඳ නිදසුනක් තිබේ.  පසුගියදා සගසැපත් වූ ඉවන්ජලිකල් කිතුනු දේශක බිලී ග්‍රැහැම් දෙවන ජුවාම් පාවුළු පාප් වහන්සේ මුණගැසීමට ප්‍රථම වතාවට වතිකානයට ගියේය. එවිට සිය කාර්යාලයෙන් පිටතට පැමිණි මේ ශුද්ධවන්ත පාප් තුමා බිලී ග්‍රැහැම් ගේ දෑත සිය දෑතින් දැඩිව ග්‍රහණය කරගනිමින් මෙසේ කීවේය: "බිලී, අපි සහෝදරයෝ."

මෙම මාතෘකාවට සම්බන්ධ තවත් පුවත්: මෙම ලින්කුවලින් කියවන්න:









Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය