"මීළඟ පාප් වහන්සේ කොන්සවටිව් ද? ලිබරල් ද?" -මහා මාධ්‍ය ඝෝෂාවක් මැද පැවැත්වෙන 'පාප් වරණ දැහැන' - 'ඉදිරියෙන් ඉන්නේ' කවුද?
(2025 මැයි 5)
මැයි 3 වන දා ඉරිදා වතිකානය පාලුවට ගොස් තිබිණ. ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමා ජීවත්ව සිටිය දී එතුමා රෝගීව රෝහලේ සිටියත් වතිකානය අවට මාවත් සහ සාන්ත පීතර චතුරශ්‍රය ඉරිදාට ජනතාවගෙන් පිරී පවතියි. වේගයෙන් පැදවෙන මෝටර රථවලට වඩා එම ප්‍රදේශයෙන් ඇසෙන්නේ එම මාවත්වල ඇවිදින ජනතාවගේ පියගැටෙන හඬ සහ ඔවුන් ශබ්දයෙන් කතා බහ කරමින් යන හඬවල එකතුවයි. විශේෂයෙන්ම රෝමයට එන කවුරුත් ඉරිදා මධ්‍යහ්නයේ ශුද්ධෝත්තම පියතුමාගේ තුන්කාල ආරාධනා මරිය දැහැනට සහභාගී වීමට සාන්ත පීතර චතුරශ්‍රයට රොක්වෙති.
එහෙත් ශුද්ධෝත්තම පියතුමාගෙන් හිස්වූ වතිකානයේ මේ සියලු මාවත් මෙන්ම වෙනදා එතුමා ගේ හඬින් සහ ජනතාවගේ කතා බහින් සජීවී වන වතිකානය මේ ඉරිදා පාළුවී තිබිණි. මාවත් වල පැදවෙන වාහන වල හඬ වෙන ඉරිදාට වඩා අද අසන්නට ලැබිණි.
"නව පාප් වහන්සේ කවුද? කොන්සවටිව් ද ලිබරල් ද ?"
"ලිබරල් කෙනෙක් ආවොත් සභාව බෙදෙයි!"
"X ද ? Y ද? Z ද?"
ගත වූ සතිය පුරා වතිකානයෙන් අසන්නට ලැබුණේ මේ ඝෝෂාවය. එම ඝෝෂා වලට ද ඉරිදා නිවාඩු ලැබී ඇති බවක් දකින්නට ලැබිණි.
ඊට අමතරව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ස්වර්ගස්ථ වූ දා සිටම අනෙක් සියලු දේටත් කලින් ලෝකය පුරා ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය ද "නව පාප් වහන්සේ කවුද?" කියන ඝෝෂාව ආරම්භ කළේය. පැමිණ සිටින ප්‍රැන්සිස් විරෝධී කාදිනල් හිමිවරු කිහිප දෙනෙක් එම ඇවිලෙන ගින්නට පිදුරු දමන ප්‍රකාශ කළහ.
"කවුරු අලුත් පාප් වහන්සේ වේවිද? තග්ලේ හිමි? නැති නම් රාජ්‍ය ලේකම් පැරෝලින් හිමි? ප්‍රැන්සිස් පාප් වහන්සේ ගේ මාර්ගයෙන් අයින් වෙන කෙනක් අලුත් පාප් වහන්සේ වෙයිද?"
ප්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වූ දිනයේ සිටම වතිකාන සුලඟ කතුවරයා ගෙනුත් කිහිප දෙනෙක් ඇසූහ.
"තාම ප්‍රැන්සිස් පාප් වහන්සේ ඉන්නවනේ. එතුමා ගේ දේහය තවමත් තියෙනවනේ. මේ ඒ ගැන කතා කරන වෙලාව නොවෙයි..." මගේ පිළිතුර විය. ඒ දවස්වල කතෝලිකයන් පවා ඒ ගැන කතා කලේ හරියට තාත්තා මියගොස් ඔහු ගේ දේහය මිහිදන් කරන්නටත් පෙර දූ දරුවන් ඔහු ගේ දේපල බෙදා ගන්නට වාද කරන්නා සේය. අපේ මිනිස්සු කොච්චර කුහකද? දේහයේ රස්නය යන්නට පෙර දේපල සහ අනුප්‍රාප්තිකයා ගැන කතා කරන්නට?
ටිකක් ගැඹුරෙන් හිතන කිතුනුවකුට මම මෙසේ පිළිතුරු දුන්නෙමි.
"අපි නෙමෙයිනේ පාප් වහන්සේ ගැන තීරණය ගන්නෙ. උන්වහන්සෙට ටිකක් හිතන්න කල් දෙමු."
Conclave - සුදොතුම් පිය වරණ දැහැන
නව පාප් වහන්සේ ගැන තීරණය කෙරෙන Conclave යනුවෙන් හැඳින්වෙන යැදුම් කේන්ද්‍රීය වරණ ක්‍රියාවලිය මැයි 7 වැනි බදාදා ආරම්භ වේ.
මේ නිසා ඒ ගැන කතා කිරීමට දැන් කාලය පැමිණ තිබේ. අපි ඒ ගැන කතා කරමු.
Conclave යන්නේ අරුත "ඇතුළට දමා දොරගුළු ලෑම" යන්නයි. ඒ ක්‍රියාවලියට අතීතයේ මේ නම දැම්මේ ඊට සහභාගී වන කාදිනල් හිමිවරුන් නව පාප් වහන්සේ තෝරාගන්නා තෙක් සිස්ටයින් දෙව්මැදුරට දමා "ලොක් " කරනවාය යන අරුත ඇතිවයි. එසේ දොරගුළු ලෑමට හේතුව වූයේ දේශපාලන නායකයන්, රජුන්, ජනමාධ්‍ය වැනි ලෝකයේ ලෞකික බලවේග පාප් වහන්සේ තෝරාගැනීමේ දේව අභිමතය කේන්ද්‍ර වූ ක්‍රියාවලියට බලපෑම් කිරීම වැලැක්වීමයි.
ඒ අරුත කුමක් වූවත් මෙය යාච්ඥා කේන්ද්‍රීය වරණ ක්‍රියාවලියකි. මේ නිසා Conclave යන්නට නිසි සිංහල පාරිභාෂික යෙදුම "සුදොතුම් පිය වරණ දැහැන" යන්නයි. 1978 අගෝස්තු මාසයේ එවකට සිටි සවැනි පාවුළු පාප් වහන්සේ ගේ අභාවයෙන් පසු පවත්වන ලද Conclave ක්‍රියාවලියේදී මේ යෙදුම හඳුන්වා දුන්නේ එවකට ඥානාර්ථ ප්‍රදීපය කර්තෘ, භාෂාව සහ පුවත්පත් කලාවේ නිපුනයකු වූ හෙක්ටර් වෙල්ගම්පල මහතායි. සුදොතුම් පිය වරණ දැහැනට ඇතුළුවීමට වයස අවුරුදු 80ට අඩු කාදිනල් හිමිවරු සුදුසුකම් ලබති. මෙවර එම සංඛ්‍යාව 135කි. එහෙත් හිමිවරුන් දෙනමක් තමන්ගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය නිසා ඊට සහභාගී නොවන බව දන්වා තිබේ.
'අපේක්ෂයන්' සහ 'නාම යෝජනා'
පාප් වරණ දැහැනට "අසවල් අසවල්" අපේක්ෂයන් වී සිටින බව සෑහෙන කාලයක සිට මාධ්‍ය ප්‍රකාශ කර තිබිණි. එහෙත් එම හර මාධ්‍ය කියන අන්දමේ "අපේක්ෂයන්" පාප් වරණ දැහැනට නැත. කිසිදු කාදිනල් හිමිනමක් දේශපාලන මැතිවරණයකට මෙන් අපේක්ෂයන් ලෙස ඉදිරිපත් වන්නේ නැත. නාම යෝජනා නැත. සුදුසුකම් ලබන කාදිනල් හිමිවරු එම කාලයට සහ සභාවේ අවශ්‍යතා අනුව සුදුස්සකු වෙනුවෙන් සිය රහස් ඡන්දය භාවිත කරති. ප්‍රථම ඡන්දයෙන් පසුව නම් යම් යම් සංවාද ඇති වේ. ඒ කිසියම් ඉලක්කයකට යාම සඳහාය.
කෙසේ නමුත් පාප් වහන්සේ ලෙස තේරී පත්වනු ඇතැයි අනුමාන කෙරෙන කාදිනල් හිමිවරුන් ගැන බොහෝ කාලයක සිට කතා බහ ඇතිවේ. මාධ්‍ය කතා කරයි. 2013දී ඒ ගැන ඔට්ටු පොලවල ඔට්ටු දැමීම් ද සිදුවිය. එලෙස අනුමාන කෙරෙන කාදිනල් හිමිවරුන් හැඳින්වෙන්නේ Papabile "පපාබිලි" නමිනි. වතිකානය ප්‍රමුඛ යුරෝපය, ඇමෙරිකාව පමණක් නොව ලංකාවේ ද ඉකුත් කාලය පුරා කතා බහ ඇතිවූයේ මේ පපාබිලි ලා ගැන මිස "අපේක්ෂයන්" ගැන නොවේ.
මාධ්‍ය සහ කතෝලික නායක ස්ථරය තුළ ඇවිලී ඇති ඝෝෂාව
මෙහි මුල් කොටසේ සඳහන් කල ප්‍රශ්න නගමින් ඉකුත් සතිය පුරා ඉදිරි සුදොතුම් පිය වරණ දැහැන සහ පපාබිලි කාදිනල් හිමිවරුන් කේන්ද්‍ර කර ගනිමින් ඝෝෂාකාරී විවාදයක් දක්නට ලැබිණි. ඉතිහාසයේ ප්‍රථම වරට එම විවාදය ටෙලිවිෂන් නාලිකා පමණක් නොව වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය වේදිකාවලටත් පිවිස තිබේ. මේ විවාදය කෙරෙන්නේ සංවාදශීලි ලෙස මීළඟ පාප් වහන්සේ කවර ආකාරයේ ගුණාංග වලින් යුත් කෙනෙක් විය යුතු ද? මේ වන විට කතෝලික සභාව ආධ්‍යාත්මික වශයෙන් මුහුණ දී ඇති අභියෝග වලට මුහුණ දීම් සඳහා අපට අවශ්‍ය කෙබඳු පාප් වහන්සේ කෙනෙක් ද? ලෝක දේශපාලන සමාජ ආර්ථික වටපිටාවට, විශේෂයන් ප්‍රජාතන්ත්‍රවාදය විනාශවෙමින් ඒ වෙනුවට තක්කඩි සහ මැර ජාත්‍යන්තර දේශපාලනයක් උද්ගත වෙමින් ඇති වටපිටාවකට මුහුණ දිය හැක්කේ කවර ආකාරයේ පාප් වහන්සේ කෙනෙකුටද? මේ ලෝක වටපිටාව තුළ දුප්පතුන්, ආර්ථික සමාජයීය සහ යුද්ධ කෝලහාල නිසා පීඩා විදින්නන් සහ සමාජයෙන් බැහැර කරනු ලබන ජනතාව වෙනුවෙන් සහ යුක්තිය සහ සාමය වෙනුවෙන් තවදුරත් ප්‍රබල හඬක් වීම පාප් වහන්සේ ගේ කාර්යභාරය විය යුතුද? ...වැනි ප්‍රශ්න කේන්ද්‍ර කරගමිනින් නොවේ.
ඒ වෙනුවට කාදිනල් පපාබිලි නාමාවලියක් ගැන විවාද වෙමින් තිබේ.
. මේ වසරේ ලෞකික මාධ්‍ය මෙන්ම කතෝලික මාධ්‍ය නිකුත් කර ඇති මෙම පපාබිලි ලේඛන අතර පවා වෙනස්කම් පමණක් නොව පරස්පරතා ද පවතියි. ඒවා වෙනස් වන්නේ අදාළ කාදිනල් තුමන් "කොන්සර්වටිව්" ද, (සම්ප්‍රදයමත වාදී) නැතිනම් "ලිබරල්" ද? (නිදහස් මතධාරී) යන පදනම මතය. කොන්සර්වටිව් ඇසින් බලන කතෝලික මාධ්‍ය සහ සමාජ මාධ්‍ය කරුවන් ඒ මත දරන කාදිනල් හිමිවරුන් ගේ ද , ලිබරල් ඇසින් බලන කතෝලික (සහ ලෞකික) ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය කරුවන් ඒ මත දරන්නන්ද "මීළඟ පාප් වහන්සේ වීමට සුදුස්සන්" ලෙස ඉස්මතු කරන්නට උත්සහ ගනිමින් සිටියි. ඉකුත් සතියේ මාධ්‍ය වල තිබුනේ මේ ඝෝෂාවයි.
මේ අනුව එක් එක් පාර්ශ්වවලට අනුව මීලඟ පාප් වහන්සේ වීමට සුදුසුකම් ඇත්තන් අතර මේ කාදිනල් හිමිවරු සිටිති:
කාදිනල් පීටර් එර්දෝ හිමි - බුඩාපෙස්ට් හි අගරදගුරු; නිවුණු පුද්ගලයකු වන එතුමා සභා නීති විශාරදයෙකි. දෙවැනි ජුවාම් පාවුළු පාප්තුම සේම කොමියුනිස්ට් පාලන සමයේ දැඩි පීඩා වලට මුහුණ දුන් කෙනෙකි. දැඩි කොන්සර්වටිව් මතධාරියකු වන එතුමා පාප් වහන්සේ ලෙස පත්වුණොත් ප්‍රැන්සිස් පාප් වහන්සේ සිදු කල වෙනස්කම් 16 වන බෙනඩික්ට් සහ 2 වන ජුවාම් පාවුළු පාප් සමයන් වල පැවතී ආකාරයට වෙනස් කර ගත හැකිවනු ඇතැයි එතුමාට සහය දෙන අය අපේක්ෂා කරති.
විල්ලම් ඊයක් කාදිනල් හිමි: නෙදර්ලන්තයේ යුට්‍රෙක්ට් හි අගරදගුරු. මෙම ඕලන්ද ජාතික කාදිනල් හිමි පූජකවරය සඳහා පැමිණෙන්නට පෙර වෘත්තියෙන් වෛද්‍යවරයෙකි. මේ නිසා එතුමා ජීව ශිලධර්මය (Bio Ethics) පිලිබඳ විශේෂඥයෙකි. සමරිසි (LGBTQ+) කොට්ඨාස වල ප්‍රබල ඉල්ලීම් දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින් කතෝලික සභාවේ සම්ප්‍රදායික ඉගැන්වීම් ඔස්සේ ඕලන්ද සභාවට නායකත්වය දුන්නේය. අනෙක් අතින් කෝවිඩ් සමයේ කෝවිඩ් එන්නතට විරුද්ධව කොන්සවටිව් මතධාරීන් උද්ඝෝෂණය කරද්දී විල්ලම් කාදිනල් හිමි සිය වෛද්‍ය පසුබිම තුළ ඊට සිය ප්‍රබල සහය පළකළේය. දෙවැනි ජුවාම් පාවුළු සහ සොළොස්වන බෙනඩික් පාප් වහන්සේලාගේ මග අනුගමනය කරන්නෙකි.
රොබට් සේරා කාදිනල් හිමි : ගීනියා ජාතිකයකු වන මෙතුමා දීර්ඝ කාලයක් පුරා වතිකානයේ පරිපාලන ව්‍යුහය වන කියුරියාවේ දෙපාර්තමේන්තු නායක තුමකු ලෙස ක්‍රියා කළේය. අවසන් වරට ජනවන්දනාව සහ සක්‍රමේන්තු ශික්ෂණය දෙපාර්තමේන්තුවේ නායක පදවිය දැරුවේය. තේරී පත්වුවහොත් එතුමා පස් වැනි සියවසේ ගැලේශස් පාප් වහන්සේගෙන් පසුව පත්වන පළමුවන අප්‍රිකානු ජාතිකයා වනු ඇති. දැඩි සම්ප්‍රදාය මතවාදියකු වන සේරා හිමි ප්‍රැන්සිස් පාප් වහන්සේ ගේ දික්කසාදවුවන්, සමරිසි ප්‍රජාව, විවාහ වූ පුරුෂයන්ට පූජාත්වරය ලබා දීම, පරිසරය වැනි ප්‍රතිපත්ති කිහිපයකට සිය විරෝධය ප්‍රසිද්ධියේ පලකළේය. දෙවන වතිකාන කතිකාවේ ප්‍රතිඵලයක් ලෙස ලැබුණු ස්වභාශාවෙන් දිව්‍ය පූජාව සිදු කිරීම වෙනුවට පැරණි ලතින් පූජාව වෙනුවෙන් හඬ නගයි. ගීනියාවේ මාක්ස්වාදී පාලන සමයේ එවකට නායක අහමඩ් සීකෝ ටෝවෙර් ගේ ඝාතනය කලයුතු පුද්ගලයන් ගේ ලැයිස්තුවේ මෙතුමා ගේ නමද ඇතුළත් කොට තිබිණි. මෙතුමා වරක් ලංකාවටද පැමිණියේය.
පියෙත්‍රෝ පැරොලින් කාදිනල් හිමි: ප්‍රැන්සිස් පාප් වහන්සේ ගේ අභාවය තෙක් වතිකනයේ රාජ්‍ය ලේකම්. පදවි අත්දැකීමක් නොමැති මෙතුමා සිය සේවා කාලය පුර සේවාව කළේ වතිකාන රාජ්‍යතාන්ත්‍රික සේවාවේ ය. චීනය, වැනිසියුලාව සහ මැදපෙරදිග සමග වතිකාන සඹඳතා යහපත් කිරීමට ක්‍රියා කල එතුමා ප්‍රැන්සිස් පාප්තුමන් ගේ ප්‍රතිපත්ති වලට ගැලපෙන කෙනෙකි. සභාව නව මං ගැන්වූ දෙවන වතිකාන කතිකා ධර්ම සජ්ඣායනය "විප්ලවීය" අවස්තාවක් ලෙස දකින එතුමා සභාවේ Synodality හෙවත් "එක්ව ගමන් කිරීමේ" අවශ්‍යතාව අවධාරණය කරයි. විසඳුම් සෙවීම සඳහා සභාවේ ධර්ම භාෂිතය (doctrine) වෙනුවට සංවාදය, රාජ්‍යතාන්ත්‍රික භාවය සහ සාමකාමී විසඳුම් සෙවීම කෙරෙහි අවධානය යොමු කරයි.
මතෙයෝ සුප්පි කාදිනල් හිමි: ඉතාලියේ බොලොඥඥා හි අගරදගුරු. ප්‍රසන්න, මාධ්‍ය හිතවත්, පහසුවෙන් සමීප විය හැකි කාදිනල් නමකි. දුප්පතුන්, සාංක්‍රමනිකයන් සහ සමාජයෙන් කොන් කල ජනතාවට සහය දීමට කැපවූ කෙනෙකි. කෙටියෙන් ම ප්‍රැන්සිස් පාප් වහන්සේ ගේ ගති ගුණ, ආකල්ප, දැක්ම සහ ඉගැන්වීම ඇත්තෙකි. සුප්පි කාදිනල් හිමි ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ විමර්ශන ගැන දන්නා කෙනෙකි. එතුමා ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සභා නායකයන් සමග සම්බන්ධතා පැවැත්වූ කෙනෙකි.
කාදිනල් ලුවී ඇන්ටෝනියෝ තග්ලේ හිමි : පිලිපීනයේ මැනිලා නුවර අගරගුරු ලෙස සිටි මෙතුමා ප්‍රැන්සිස් පාප් වහන්සේ විසින් වතිකානයේ සේවාවට බන්දව ගන්නා ලදී. එතුමා සතු දුප්පතුන් ශක්තිමත් කිරීම වැනි ගතිගුණ නිසා බොහෝ දෙනෙක් එතුමා හඳුන්වන්නේ "ආසියාවේ ප්‍රැන්සිස්" ලෙසය. පදවි පූජක තුමකු වූවත් එතුමා දේවධර්මය පිලිබඳ ශාස්ත්‍රවේදී සහ ශාස්ත්‍රපති උපාධි සඳහා අධ්‍යාපනය ලැබුවේ පිලිපීනයේ ප්‍රකට අතිනියෝ ඩි මැනිලා ජේසු නිකායික විශ්ව විද්‍යාලයේය. ප්‍රබල ධර්මදාන උනන්දුව සහිත කෙනෙකි. 67 වියැති වුවත් තවමත් තාරුණ්‍යයේ ප්‍රබෝධයෙන් යුත් කෙනෙකි.
මීට අමතරව ඉතාලි ජාතික ජෙරුසලෙමේ ලතින් පේත්‍රියාක් තුමන් වන පියර්බැට්ටිස්ටා පිට්සාබල්ලා හිමි, පෘතුගීසි ජාතික වතිකානයේ හිටපු සංස්කෘතික සහ අධ්‍යාපන නායක හොසේ තොලෙන්තිනෝ දි මෙන්දොන්කා හිමි , ඇමෙරිකානු ජාතික වතිකානයේ රදගුරුතුමන් පිලිබඳ ඩිකාස්ටරියේ හිටපු නායක රොබට් ප්‍රිවොස්ට් හිමි , ඇමෙරිකානු ජාතික රේමන්ඩ් බර්ක් හිමි නම් කියවෙන පපාබිලි ලැයිස්තුවේ සිටිති.
මේ අතරින් කවුරුන් නව පාප් වහන්සේ ලෙස තේරී පත්වේවිද?
පපාබිලි හිමිවරුන් අතරින් කෙනෙකු පත්වීමට හැකියාවක් තිබේ. එහෙත් ඒ අතරින් කෙනෙකු පත් නොවී වෙනත් කෙනෙකු පත්වීමට ඇති සම්භාවිතාව ද වැඩිය. 1978න් පසුව පපාබිලි කාදිනල් තුමකු පාප් වහන්සේ ලෙස තේරී පත්වූයේ 2005 දී පමණි. ඒ 16 වන බෙනඩික් පාප් වහන්සේ ය. දෙවන ජුවාම් පාවුළු පාප් වහන්සේ ගේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාම සඳහා එතුමන් පත්වනු ඇතැයි අනුමාන කෙරින. එහෙත් 1958 දී පැවති පාප් වරණ දැහැනේ දී සියල්ලන් මවිතයට පත් කරමින් සුදොතුම් පියතුමන් ලෙස තේරී පත්වූයේ ඇන්ජෙලෝ රොන්කල්ලි කාදිනල් හිමි (23 වැනි ජුවාම් පාප් තුමා). 1978 දී අල්බිනෝ කාදිනල් ලුචියානි හිමි (පළමුවන ජුවාම් පාවුළු පාප්තුමා) ගේ සහ එම වසරේ දී ම පෝලන්තයේ කැරොල් කාදිනල් වොයිටිවා හිමි (දෙවන ජුවාම් පාවුළු පාප්තුමා) ගේ පත්වීම් ද එසේම අනපේක්ෂිත ඒවා විය.
මේ නිසා මෙවර තේරීම ගැන අනුමාන කිරීම මිස කල්තබා ප්‍රකාශ කිරීම නිශ්ඵල දෙයකි. අනුමානය පවා වැරදිය හැකිය.
පාප් වහන්සේ ලෙස තේරී පත්වීමට සුදුසුකම කුමක්ද?
කතෝලික සභාවේ ප්‍රථම නායකයා ලෙස ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ විසින් පත් කරන ලද එතුමන් ගේ අග්‍ර ශ්‍රාවක පේදුරු තුමන් ගේ ස්ථානය ගන්නා තැනැත්තාට තිබිය යුතු එකම සුදුසුකම කුමක්දැයි කැනඩාවේ එඩ්මන්ටන් නුවර නියුමන් දේවධර්ම විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය ඇන්ඩෘ සබ්ලෙව්ස්කි පියතුමා මෙසේ පැහැදිලි කළේය.
"ජේසු සමිඳුන් තමන්ගේ ස්වර්ගාරෝහනයෙන් පසුව සිය ජනතාවට , එනම් ජේසු සමිඳුන් හැඳින්වූ ලෙස සිය "බැටළු රැල"ට නායකත්වය දීමට පේදුරු තුමන් තෝරාගැනීමට පැවැත්වූ 'සම්මුඛ පරීක්ෂණය" ගැන විස්තරය තමයි මේ ඉරිදා (මැයි 3) දිව්‍ය පූජාවේ සුබ අස්නේ කියවනු ලැබුවේ. හරියට මේ කාලයට ම ලියා තියපු දේව පණිවිඩයක් වගේ.
මේ කොටස අනුව තිබේරියස් මුහුදු වෙරළේ දී ජේසු සමිඳුන් එකම ප්‍රශ්නය තුන් වරක් පේදුරු තුමන්ගෙන් විමසනවා.(ශුද්ධ බයිබලය , නව ගිවිසුම, ජොහාන් සුවිශේෂය 5:11-14)
'ජොහාන් ගේ පුත්‍ර වූ සීමොන්, මොවුන්ට වඩා ඔබ මට ප්‍රේම කරන්නේ ද?' මේ ප්‍රශ්නය තුන් වරක් අසනවා. සීමොන් පේදුරු ගේ පිළිතුර:
"එසේය සමිඳුනි. මා ඔබට ප්‍රේම කරන බව ඔබ දන්නා සේක."
මේ ප්‍රශ්නය තුන්වන වරත් විමසූ විට පේදුරු තුමන්ට දැඩි ශෝකයක් ඇති වෙනවා. මා ගැන දන්නා සමිඳුන් ඇයි මේ ප්‍රශ්නය යලිත් අහන්නේ? ඒ නිසා ඔහු මෙසේ පිළිතුරු දෙනවා.
'ස්වාමීනි, ඔබ සියල්ල දන්නවා. මා ඔබට ප්‍රේම කරන බව ඔබ දන්නවා'
එහෙම නම්, පාප් වහන්සේ වන තැනැත්තාට , ඒ කිව්වේ පේදුරු තුමන් ගේ තැනට පත්වන තැනැත්තාට තිබිය යුත්තේ ආචාර්ය උපාධියක් හෝ වෙනත් කවරක්වත් නොවෙයි. ඒ තැනැත්තා "වෙන කිසිවෙකුටත් වඩා කිසිවකටත් වඩා ජේසු සමිඳුන්ට ප්‍රේම කල යුතුයි. එයයි සුදුසුකම. ජේසු සමිඳුන්ට ප්‍රේම කිරීම" ඇන්ඩෘ පියතුමා කීවේය.
ප්‍රැන්සිස් පාප් වහන්සේ තුළ තිබූ මහා මානුෂික ගුණාංග, ප්‍රේමය, ගලා ආවේ ඒ නිසාය. එතුමා සිය සමිඳුන්ට, උන්වහසේ ගේ අසීමිත දයා කරුණාවට ප්‍රේම කළේය. එම ප්‍රේමය සමස්ත මානව ජනතාව වෙත ගලා ගියේය.
පාප් වහන්සේ ගේ කාර්යභාරය කුමක්ද ?
පාප් වහන්සේගේ කාර්යභාරය ද මෙම සුබ අස්නේම සඳහන් වෙන බව ඇන්ඩෘ සබ්ලෙව්ස්කි පියතුමා පෙන්වා දුන්නේය.
"අර කියපු ප්‍රශ්න තුනට , "එසේය ස්වාමිනි මම ඔබට ප්‍රේම කරන බව ඔබ දන්නවා' කියා පේදුරු පිළිතුරු දුන් විට ජේසු සමිඳුන් මෙසේ උපදෙස් දෙනවා:
'මගේ බැටළු පැටවුන් පෝෂණය කරන්න.'
'මගේ බැටළුවන් ගේ එඬේරා වන්න.'
'මගේ බැටළු පැටවුන් පෝෂණය කරන්න.'
පාප් වහන්සේ කරන සෑම ක්‍රියාවකටම පදනම වන්නේ මේ උපදේශයයි"
ලෞකික මාධ්‍ය සහ දේශපාලන වශයෙන් පිල් බෙදුණු කතෝලික මාධ්‍ය කවර විවාදයක් කළත් පාප් වහන්සේ ගේ සැබෑ හරය මෙයයි.
Comments
Post a Comment