"අතීතය ඉවත දමා සමිඳුන්ගේ දයාව ප්‍රකාශ කිරීමට සූදානම් ද?"- සුදොතුම් පියතුමා කතෝලික-ඇංග්ලිකාන ජනතාවට අභියෝග කරයි.

"Are we ready to leave everything from the past behind to love and proclaim the Lord?"- Pope Challenges to Catholics and Anglicans 

සුදොතුම් පියතුමා සියලු සාන්තුවරයන්ගේ ඇන්ග්ලිකාන දෙව්මැදුරේ දී 


(2017 පෙබරවාරි 27)
කිතුනු සභා අතර පූර්ණ එක්සත්භාවය සඳහා යන ගමනේ ආරම්භක ලක්ෂ්‍යය වන්නේ 'බැහැපත්කම' බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියයි.
"බැහැපත්කම යනු හුදෙක් සුන්දර ධර්මගුණයක් පමණක් නොවේ. එය අනන්‍යතාවයේ ද ප්‍රශ්නයකි. කොරින්තියේ ජනතාවට ධර්මදානය කිරීමේදී ශු. පාවුළු අපෝස්තුළුතුමා ගත් මාර්ගය බැහැපත්කමේ මාර්ගයයි. පාවුළු තුමා තමන්ව දැක්කේ සේවකයකු ලෙසයි. තමාව නොව ස්වාමීන් වන ක්‍රිස්තුන් ජේසුන් වහන්සේ ප්‍රකාශ කරන සේවකයකු ලෙසයි. එතුමා මෙම   සේවාව, මෙම දූත මෙහෙවර කරගෙන යන්නේ ස්වාමීන් වහන්සේ තමන්ට දැක්වූ දයා කරුණාව තුළයි. මෙම දූත මෙහෙවර කරගෙන යන්නේ එතුමන් ගේ ම හැකියාව හෝ ශක්තිය මත නොව දෙවියන් වහන්සේ තමන් දෙස බලා සිටින්නේ ය යන විශ්වාසය සහ උන්වහන්සේ තමන් ගේ දුර්වලතාව උන්වහන්සේ ගේ දයා කරුණාවෙන් පෝෂණය කරන්නේ ය යන විශ්වාසය මතයි" යැයි සුදොතුම් පියතුමා පෙන්වා දෙයි.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ එතුමා පෙබරවාරි 26 වන ඉරිදා සන්ධ්‍යාවේ රෝමයේ පිහිටි ඇන්ග්ලිකාන (එංගලන්ත සභා ) දෙව්මැදුර බැහැදකින්නට පැමිණි අවස්ථාවේ දී ය.

  මේ වූ කලි පාප් වහන්සේ නමක් රෝමයේ තම රදගුරු පදවියේ පිහිටි එංගලන්ත සභාවට අයත් දෙව්මැදුරක් බැහැදකින්නට ගිය ප්‍රථම වතාවයි. සභා අතර සමගිය හා ඒකත්වය වැඩි ඈතක නොවේය යන සුබවාදී සිතිවිලි වලින් සිත පිරෙන තවත් මොහොතකි.

ඒ පිලිබඳ විස්තර මෙතනින් කියවන්න:
පාප් වහන්සේ රෝමයේ එංගලන්ත සභා දෙව්මැදුරේ ඓතිහාසික සංචාරයක

ඉතිහාසය තුළ ඇංග්ලිකාන සහ කතෝලික ජනතාව එකිනෙකා දෙස බැලුවේ සැකයෙන් හා එදිරිවාදිකමින් යුතුව බව සුදොතුම් පියතුමා සිහිපත් කළේය. එහෙත් ගත වූ කාලය තුළ බොහෝ දේ වෙනස් වී තිබේ.
"අද අපි දෙවි සමිඳාණන් වහන්සේට තුති ප්‍රසංශා කරමින්, අප එකිනෙකා අතර ඇති සැබෑ බැඳීම හඳුනා ගනිමු; එනම් අපගේ පොදු ප්‍රසාද ස්නාපනය තුළින් අපි ක්‍රිස්තුන් වහන්සේ තුළ සහෝදර සහෝදරියන් ය යන සැබෑ ස්වරූපයයි" යි මෙම දෙව්මැදුරේ පැවැති ඒකාබද්ධ සැඳෑ ගීතිකා මෙහෙයේ  දේශනය කරමින් සුදොතුම් පියතුමා කීවේය.

මෙම දෙව්මැදුරේ ස්ථාපනය කිරීමට නියමිතව තිබූ දිව්‍ය ගැලවුම්කාර සමිඳුන් ගේ සිතුවමක් එහි දේවගැති තුමාගේ ආරාධනයෙන් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ආශිර්වාද කර කැපකර ස්ථාපනය කළේය. එම සිතුවමේ සිටින සමිඳුන් අප සභා දෙකේ ජනතාවට ඇරයුම් කරන්නේ අතීතය ඉවත දමා සිය ප්‍රේමය ප්‍රකාසහ කිරීමට බව එතුමා පෙන්වා දුන්නේ ය:
"ගැලවුම්කාර කිතු සමිඳුන්  ගේ මෙම  සිතුවම ආශීර්වාද කරන ලෙස ඔබ මට ඇරැයුම් කර තිබේ. ක්‍රිස්තුන් වහන්සේ අප දෙස බලා සිටියි. උන්වහන්සේ අප වෙත යොමන බැල්ම, ප්‍රේමයේ, දයානුකම්පාවේ සහ ගැළවීමේ බැල්මකි. අපෝස්තුලුවරුන් ගේ හදවත් සිදුරු කලේ එම කරුණාබර බැල්මයි. එම බැල්මෙන් සිත් සිදුරු වූ අපොස්තුලුවරු සිය අතීතය ඉවත දමා, ස්වාමීන් වහන්සේ අනුගමනය කර උන්වහන්සේ ප්‍රකාශ කිරීමේ නව ජීවන ගමනක් ආරම්භ කළහ. මෙම ශුද්ධ වූ සිතුවමේ සිට අප දෙස බලන සමිඳුන් අපට ද කතා කර අපට ද මෙබඳු ආයාචනයක් කරන බවක් පෙනෙන්නට තිබේ: "ඔබගේ අතීතයේ සෑම දෙයක් ම මා වෙනුවෙන් ඉවත දැමීමට ඔබ සූදානම් ද? මගේ ආදරය, මගේ දයා කරුණාව පතළ කිරීමට ඔබ සූදානම් ද?"  

ජේසු සමිඳුන් ගේ දේව දයාවේ බැල්ම සමස්ත කිතුනු දූත මෙහෙවරේ ම සේවාවේ ම උල්පත බව සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය.

ශුද්ධ වූ පාවුළු තුමන් දේව දයා කරුණාව සිය මෙහෙවරේ ශක්තිය හා උල්පත කරගත් අන්දම ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙම සභා එකමුතු මෙහෙයේදී පෙන්වා දුන්නේ ය. " ජගත් ක්‍රිස්තියානි සභා මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු කිතුනු ධර්මදානය විස්තර කලේ හරියට 'පාන් සොයා ගත හැක්කේ කොහෙන්දැයි සිඟන්නෙක්  තවත් සිඟන්නෙකුට කියා දෙන්නා වගෙයි' කියාය. මා සිතන්නේ මේ කතාව ශු. පාවුළු තුමා ද අනුමත කරන බවයි. තමා 'දයාවෙන් පෝෂණය වූ බව' පාවුළු තුමා තේරුම් ගත්තේය. මේ නිසා තමාගේ මූලික කටයුත්ත විය යුත්තේ මෙම 'භෝජනය' සෙසු ය සමග බෙදා ගැනීම බව එතුමා පසක් කර ගත්තේය. එනම්, ස්වාමීන් වහන්සේ විසින් ආදරය කරනු ලැබීමේ සහ උන්වහන්සේට  ආදරය කිරීමේ ආනන්දය යි" යැයි සුදොතුම් පියතුමා සඳහන් කළේය.




Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය