"වඩා හොඳ කතෝලිකයො ද? 'බයිබල්' කාරයො ද?": සුදොතුම් පියතුමා අසයි

"You can't be a Christian without living as a Christian": Pope tells a Lutheran group



(2016 ඔක්තෝබර 16)
2016 ඔක්තෝබර 16 වැනිදා වතිකානයට පැමිණි විශාල පිරිසකගෙන් සමන්විත ලුතෙරාන වන්දනාකරුවෝ කණ්ඩායමක් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා හමුවූහ. එතුමා ඔවුන් මුණගැසුනේ වතිකානයේ සවැනි පාවුළු ශාලාවේ දී ය. එහිදී ඔවුන් ඇමැතූ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියා සිටියේ ක්‍රිස්තුන් වහන්සේ ගේ ක්‍රියාකාරී අනුගාමිකයන් වන ලුතෙරානුවනට තමන් කැමැති බවයි. එහෙත් කුහක සහ උදාසීන විශ්වාසයක් සහිත සියලුම කිතුවනට තමා අකැමැති බව එතුමා අවධාරනය කළේය. සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ එම වන්දනාකරුවන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එම ප්‍රශ්නය නම්, "ලුතෙරාන කිතුනුවන් තුළ සුදොතුම් පියතුමා ප්‍රිය කරන හා ප්‍රිය නොකරන දේ මොනවාද?" යන්නයි.

"මම යහපත් ලුතෙරානුවන් සියලුම දෙනාට කැමතියි; ප්‍රිය කරනවා" ඊට පිළිතුරු දෙමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කීවේය. "යහපත් ලුතෙරාන කිතුනුවන් විශාල සංඛ්‍යාවක් සිටිනවා. ඔවුන් ක්‍රිස්තුන් වහන්සේව සැබවින් ම අනුගමනය කරනවා. එහෙත් අනිත් අතින්, උදාසීන කතෝලිකයනටත්  උදාසීන  ලුතෙරානුවන්ටත් මම කැමති නැහැ." එතුමා කීවේය.

මෙම වන්දනාකරුවන් වතිකානයට පැමිණියේ සුදොතුම් පියතුමාගේ ස්වීඩන සංචාරයට සූදානම් වීමක් ලෙසය. එතුමා ස්වීඩනයට යන්නේ එරට  පැවැත්වෙන ප්‍රොතෙස්තන්ත ප්‍රතිසංස්කරනයේ (හෙවත් රෙපරමාදු ප්‍රතිසංස්කරනයේ ) 500 වැනි සංවත්සරයට සහභාගි වීම සඳහාය. කතෝලික-රෙපරමාදු සභා අතර සංවාදය මේ වනවිට බොහෝ උණුසුම් හා සමීප තත්වයේ පවතියි.

(ලුතෙරන් සභාව නොහොත් රෙපරමාදුව යනු 16 වන සියවසේදී මාටින් ලූතර් නමැති තාපසවරයා ගේ නායකත්වය මත කතෝලික සභාවෙන් බෙදී ගොස් පිහිටුවාගන්නා ලද  ක්‍රිස්තියානි සභාවකි. කතෝලික සභාවේ ඇතැම් ඉගැන්වීම් ප්‍රතික්ෂේප කරන අතරම එකල සභා නායකත්වයේ, විශේෂයෙන් ම රෝම කියුරියාවේ තුබූ දුෂණ දෝෂ දර්ශනයට ලක් කල මාටින් ලුතර්, කරුණු 95ක වාදයක් ඉදිරිපත් කළේය. ලුතෙරාන සභාව බෙදී යාමට අමතරව එංගලන්ත සභාවේ ඉගැන්වීම් වලටත් ඕලන්දයේ කැල්වින් ගේ නායකත්වයෙන් ඕලන්ද රෙපරමාදු සභාව ඇතිවීමට ද පාදක වූයේ මෙම දර්ශනයයි.)

ලුතෙරාන වන්දනාකරුවන් ගේ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් මෙම හමුවේදී සුදොතුම් පියතුමන් කියා සිටියේ සියලු කිතුනුවන් ජේසු සමිඳුන් අනුගමනය කල යුතු බවයි. කුහක ආකල්පවලින් යුත් පුද්ගලයනට සැබෑ ක්‍රිස්තු අනුගාමිකයන් විය නොහැකි බව එතුමා කීවේය. කිතුනු ජීවිතයක් ගත නොකර කිතුනුවකු විය නොහැකි යැයි එතුමා අවධාරණය කළේය. මේ සඳහා එතුමා නිදසුනක් ලෙස ගත්තේ සරණාගතයන් පිළිගැනීම හා ඔවුනට උපකාර කිරීමේ පිලිබඳ ප්‍රශ්නයයි. මැදපෙරදිග කලාපයේ ක්‍රිස්තු ධර්මය ආරක්ෂා කිරීම ගැන කතා කරන අතර එම ප්‍රදේශයේ සරණාගතයන් හා වෙනත් ආගම්වල ජනයා  පිළිගැනීමට හා ඔවුනට උදව් උපකාර කිරීම ප්‍රතික්ෂේප කිරීම එකිනෙකට පරස්පර ක්‍රියා දෙකක් බව එතුමා පෙන්වා දුන්නේ ය. "මා කිතුණුවෙක් බව පවසාගන්නා අතර මා මේ දේවල් කරනවා නම්, මම කිතුවෙක් නොවේ; කුහකයෙක්' යැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියා සිටියේය.

අනෙක් අතින් "කිතුනු ගැලපීම"ට ("කිතුනු සංසක්තිය"ට) හොඳම නිදසුන යහපත් සමරිතානවරයා ගේ උපමාව බව එතුමා පෙන්වා දුන්නේය. "සොරුන්ගෙන් පහර කෑ මගියා මහමග වැටී වේදනාවෙන් සිටිනවා. වේද නීතිය පිලිබඳ ආචාර්යවරයකු ඒ මග ඔස්සේ යන අතර මේ තුවාල කරු දැක, ඔහු මග හැර පාරේ අනිත් පැත්තෙන් යනවා. පූජකවරයකුත් ඒ පාරේම යනවා. ඔහුත් තුවාල කරු නොදැක්කා සේ පාරේ අනෙක්  පැත්තෙන් යනවා. ඉන්පසුව ඒ මග ඔස්සේ පව්කාරයෙක් යමින් ඉන්නවා. ඔහු තුවාලකරු දැක, කරුණා උපදවා, තුවාලකරුට සමීප වී ඔහුට උදව් වෙනවා. අප අනුගමනය කලයුතු මාර්ගය මෙයයි; අප අතරේ ඇති සභා අතර සංවාදයේ හා ක්‍රියාකාරීත්වයේ මාර්ගය එයයි. අන් යට උදව් උපකාර කිරීමට, අවශ්‍යතාවෙන් සිටින යට උදව් උපකාර කිරීමට, ඕනෑකම් වලින් පෙලෙන අපගේ සහෝදර සහෝදරියනට උදව් කිරීමට අප පසුබට නොවිය යුතුයි. ඒ අය වෙනුවෙන්  යාච්ඥා කිරීමට පසුබට නොවිය යුතුයි" යයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කීවේය.

කෙසේ නමුත් අන් මතයකට හරවා ගැනීමට 'දේශනා කරන ' තැනැත්තන් ක්‍රිස්තු අනුගාමිකයන් නොවන බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියා සිටියේය. "ධර්මදානයේ එකම නිසි ක්‍රමය විශ්වාසයට  තම ජීවිතයෙන් සාක්ෂි දැරීමයි. කිතුනු ජීවිතය  ජීවත් කරවීමයි. අප කිතුනු ජීවිතය ජීවත් කරන විට එය දකින තැනැත්තන් තුළ නොසන්සුන්කමක් ඇතිවේ. මේ තැනැත්තා හෝ තැනැත්තිය මෙලෙස ජීවත් වන්නේ මන්දැයි සොයා බැලීමට ඔව්හු පෙලැඹෙති. කිතුනු කම ජීවත්වීම ඉගැන්වීමේ හොඳම මාර්ගයයි. මන්ද ඒ මගින් ශුද්ධාත්මයාණන් ගේ ක්‍රියාකාරකමට  අවකාශ සැලසේ. අවසානයේදී හදවත් සකස් කරන්නේ ශුද්ධාත්මයාණෝ ය" යි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා විස්තර කළේය.

මෙම කණ්ඩායමට ඇතුලත්ව සිටි තරුණ වන්දනාකරුවනට සුදොතුම් පියතුමා විශේෂයෙන් කතා කළේය. සභා අතර සංවාදය ශක්තිමත් කිරීම සඳහා ඔවුන් අතින් ඉටුවිය යුතු කාර්යභාරය වන්නේ "දයා කරුණාවේ ක්‍රියාකාරකම් වල නිරත වීම" බව එතුමා පෙන්වා දුන්නේ ය.

"දේවධර්ම වේදීන් ශාස්ත්‍රීය මට්ටමේ සංවාදය පවත්වාගෙන යන අතර, යොවුන් ඔබ එකිනෙක අනෙක් සභාවල යෞවනයන් මුණගැසීමට හැකි තරම් අවස්ථා ඇති කරගැනීමට උත්සාහ කරන්න. එසේ හමුවී එකිනෙකා වඩා හොඳින් දැන හඳුනා ගන්න. එකට එකිනෙකා වෙනුවෙන් යාච්ඥා කරන්න. එකිනෙකාට උදව් කරගන්න. ඒ වගේම ඔබ එකට එකතු වී අවශ්‍යතාවෙන් පෙලෙන තැනැත්තන්ට උදව් උපකාර කරන්න" යැයි එතුමා ඔවුනට උපදෙස් දුන්නේය.

ලුතෙරාන සභාව ඇතුළු සභා රැසක් ඇතිවී සභා භේදයක් ඇති වූයේ "සභා ප්‍රතිසංස්කරණය" යන අරමුණ තුළ ය. මේ නිසා සභා ප්‍රතිසංස්කරණය යන වචනය ගැන ද ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කතා කලේය.

"සභාව නිරන්තරයෙන් ප්‍රතිසංස්කරණය විය යුතුයි. සභාව වර්ධනය විය යුතුයි. මුහුකුරා ගිය යුතුයි. එහෙත් සභා ඉතිහාසයේ ඇතැම් අවස්ථාවල සිදුවූ ප්‍රතිසංස්කරණ 'වරද්දාගත්' සහ 'අතිශයෝක්තියෙන් සිදු වූ" ඒවා යි" එතුමා පෙන්වා දුන්නේ ය."සභාවේ ශ්‍රේෂ්ඨතම ප්‍රතිසංස්කරණ සිදුකලේ සාන්තුවරුන් ය. ඔවුන් දේව වචනය අනුගමනය කර එය ජීවත්කලා. සභාව ප්‍රතිසංස්කරණය කල හැක්කේ හදවත සුබ අස්නෙන් පීරී ඇති මිනිසුන්ට යැ"යි එතුමා සඳහන් කළේය.

මෙම හමුව අවසානයේ විහිළුවක් කරමින් කතාකල සුදොතුම් පියතුමා මෙසේ කීවේය.

"බොහෝ ප්‍රශ්න අහන්නේ මගෙනුයි. ඒ නිසා දැන් මටත් ඔබෙන් ප්‍රශ්නයක් අහන්නට අවසරයි" එතුමා කීවේය.

"වඩා හොඳ කවුද? ඉවන්ජලිකල්  අය ද, කතෝලිකයෝ ද?" එතුමා ඇසුවේය.
 ඊට ලැබුණු ප්‍රතිචාරය: තත්පර දෙකක නිහැඬියාවකින් පසු මුළු සභාවම දැවැන්ත සිනහවකින් පුපුරා යාමයි. පිළිතුරක් ලැබුනේ නැත.

("ඉවන්ජලිකල්" කිතුනුවන් ලෙස හඳුන්වන්නේ ශ්‍රී ලංකාවේ කිතුනුවන් අතර "බයිබල්කාරයන්" යන කටවහරින් හැඳින්වෙන කිතුනු සභා කණ්ඩායම් රාශියයි. "මූලධර්මවාදීන්" ලෙස හැඳින්වෙන්නේ ද මේ කිතුනුවන් ය. ගෙයින් ගෙට පැමිණ ධර්මය දේශනා කිරීම, ප්‍රසිද්ධ ස්ථාන වල ධර්මය දේශනා කිරීම, සුව මෙහෙයන් පැවැත්වීම වැනි දේ කලර මේ පිරිස් මුදල් හෝ වෙනත් දේ දී ආගමට හරවා ගන්නා බවට ද චෝදනා ලබා සිටිති.)

සටහන: සුදොතුම් පියතුමා ගේ ප්‍රශ්නය ගැඹුරින් හැදෑරිය යුතුය. ඊට ලැබුණු ප්‍රතිචාරය ද එලෙසින් ම විශ්ලේෂණය කල යුතු ය. වහා තීරණ වලට නොඑලඹිය යුතුය. සුදොතුම් පියතුමා කල මෙම දේශනය විශ්ලේෂණය කිරීමෙන් එහි පිළිතුරට අවශ්‍ය ඉඟි ලබා ගත හැකි ය.


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය