"කිතුනු සභා අතර පූර්ණ එක්සත්කම කරා වේගයෙන් දුව යමු": ආමේනියා ඕතඩොක්ස් නායකයන් ගෙන් කල ඉල්ලීම

"Let's race towards full communion:" Pope tells Armenian Church leaders  

සුදොතුම් පියතුමා සහ කතෝලිකොස් තුමා මේ ගමනේ සිහිවටනයක් ලෙස පැළයක් සිටුවති 

(2016 ජුනි 29)
ඉතිහාසයේ දී විවිධ ලෞකික හේතු මත වෙන්වූ සභා යළි එකමුතු වීම කඩිනම් කිරීම සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේගේ අංක එකේ ප්‍රමුඛතාවකි. එතුමා ඉකුත් සති අන්තයේ (2016 ජුනි 24-26) ආමේනියාවේ තෙදින අපෝස්තලික සංචාරයක නිරත වූයේ එම ප්‍රමුඛ අරමුණ ඇතිවය. එහිදී එතුමා ඉඟියෙන්, කතාවෙන්  හා ක්‍රියාවෙන් ද මෙම ඒකත්වය වෙනුවෙන් කටයුතු කළේය.

තුන් මිලියනයක් පමණ වන ආමේනියාවේ ජනගහනයෙන් සියයට 95ක් ම ක්‍රිස්තු භක්තිකයෝ ය. මෙම සමස්ත කිතුනු ජනගහනයෙනුත් සියයට 92 ක් ම අයත් වන්නේ ආමේනියාන අපෝස්තලික සභාවටයි. ඕතඩොක්ස් සභාවක්  වන ආමේනියාන අපෝස්තලික සභාව සෙසු පෙරදිග ඕතඩොක්ස් සභා සමග සම්බන්ධ වී සිටියි.එම සභා සහ කතෝලික සභාව අතර සංවාදය දැන් ක්‍රියාත්මක වෙමින් තිබේ. මෙම සංවාදවල අවසන් අරමුණ වී තිබෙන්නේ සියලු සභා එක් පවුලක් බවට පත්වීමයි.

මෙම සංචාරයේ දී ආමේනියා අපෝස්තලික සභාවේ ශ්‍රේෂ්ඨ පේත්‍රියාක්  දෙවැනි කැරෙකින් කතෝලිකොස් තුමා සහ සුදොතුම් පියතුමා එක්ව යාච්ඥා කළහ. ඔවුන් දෙදෙනාම ආමේනියාවේ සහ ලෝකයේ සාමය හා සංහිඳියාව පිළිබඳව එක්ව කතා කළහ.(ආමේනියා සභාවේ නායක රදගුරු හිමියන්  හැඳින්වෙන්නේ 'කතෝලිකොස්'තුමන් ලෙසයි.  මෙය අතීතයේ සිට පෙරදිග සභා විසින් එම ධුරයට යොදා ඇති නාමයයි.  "කතෝලිකොස්' යන්න "කතෝලික" යන පදයට සමාන අරුතක් ඇත්තකි. "සියැලි", "සාමාන්‍ය"  යන තේරුම සහිතයි.)

ජුනි 25 වැනිදා එරට යෙරවන් අගනුවර දී ආමෙනියා අපෝස්තලික සභා නායකයන් හා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අතර හමුවක් පැවැත්විණි.

"පූර්ණ ඒකත්වයකට  පත්වීම යන්න ප්‍රේමයේ, බැහැපත්කමේ සහ සාමයේ ව්‍යාපෘතියක්" යයි සුදොතුම් පියතුමා  මෙම හමුවේදී කියා සිටියේ ය. "අපව දැනටමත් මෙතරම් දුරක් ගෙනැවිත් ඇති මෙම ගමනේ, අපි ඉතා ප්‍රීතියෙන් පා නගමින් සිටිමු. දෙවියන් වහන්සේ ගේ ආධාරයෙන් දිව්‍ය සත්ප්‍රසාදිය සහභාගිත්වය තුළ ක්‍රිස්තුන් වහන්සේ ගේ යාගයේ පුදසුන වටා අප එක්සත් වන දිනය පැමිණෙන තෙක් අපි මහත් විශ්වාසයෙන් බලා සිටිමු," යැයි එතුමා බලාපොරොත්තු පල කළේය.

අතීතයේ දී කිතුනු ඇදහිල්ලට සාක්ෂි දරා ඒ වෙනුවෙන් ජීවිතය පූජා කළ කතෝලික සහ ඕතඩොක්ස් සභාවල ප්‍රාණපරිත්‍යාගී සාන්තුවරුන් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිහිපත් කළේය. එතුමා පෙන්වා දුන්නේ මේ අතරින් ප්‍රාණපරිත්‍යාගීන් කිහිප දෙනෙකුම සභා එකමුතුව වෙනුවෙන් පෙනී සිටි බවයි.

"මේ ගමනේ දී අපි අපට පෙරත් අප සමගත් විශ්වාසයට සාක්ෂි දැරූවන් සමග ගමන් කරමින් සිටිමු. විශේෂයෙන්  ම මේ අතරින් සාක්ෂිකරුවන්  බොහෝ දෙනෙක් ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි වන අපගේ විශ්වාසය සිය රුධිරයෙන් සනිටුහන් කල ප්‍රාණපරිත්‍යාගීන් ය. ස්වර්ගයෙහි  දිදුලන අපගේ තාරකා වන ඔවුහු, මිහිමත සිටින අප මත බබලමින් පූර්ණ සභා ඒකත්වය කරා යන මාර්ගය අපට පෙන්වති. "

"විශේෂයෙන් ම 12 වන සියවසේ ආමේනියා අපෝස්තලික සභාවේ නායකයකු වූ ද පසුව සාන්තුවරයකු වූ ද නර්සෙස් ෂ්නොර්හාලි කතෝලිකොස් තුමා අපට මෙහි දී සිහිපත් වෙයි. එතුමා හුදෙක් තමාගේ සභාවේ සාමාජිකයනට පමණක් නොව සියලු කිතුනු සභාවල විශ්වාසිකයනට ප්‍රේම කලේ ය.ක්‍රිස්තුන් වහන්සේ සියලු සභාවල එක්සත්කම අපේක්ෂා කරන බව නර්සෙස් තුමා තේරුම් ගත්තේ ය. මේ නිසා එම ඉලක්කය ජය ගැනීමට එතුමා වෙහෙස නොබලා ක්‍රියා කලේ ය. අතීත තුවාල සුවපත් කිරීම සඳහා අන්‍යොන්‍ය ප්‍රේමයෙන් වර්ධනය වීමේ අවශ්‍යතාව ද එතුමා ආබෝධ කරගෙන සිටියේ" යැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියා සිටියේ ය.

"'අපගේ දුර්වලතා හා වැරදි වලට, සමගිය, සුසංවාදය සහ දයාව තුළ අපි සමාව භජනය  කරමු' යැයි නර්සෙස් කතෝලිකෝස් තුමා කීවා. එතුමා මෙම යෝජනාව කලේ කිතුනුවන් ගේ දැඩි හදවත් මුගු මොලොක් කල හැකි සුවිශේෂී සුමුදු ප්‍රේමයකින්. මන්ද, කිතුනුවනුත් බොහෝ විට සැලකිල්ල දක්වන්නේ තමන් ගැන පමණයි; ඔවූන් සිතන්නේ තමන් ගේ වාසිය ගැන පමණයි. "

ප්‍රේමයේ සහ බැහැපත්කමේ ආධ්‍යාත්මික ගුණය තුළ එකට යාච්ඥා කිරීම මගින් දෙවියන් වහන්සේ ගේ එක්සත්කමේ තිළිණය ලබා ගැනීමට සභා දෙකටම සූදානම් විය හැකි බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය.

"අපි අධිෂ්ඨාන පූර්වකව අපගේ ගමනේ නිරත වෙමු. ඇත්තවශයෙන් ම පූර්ණ එක්සත්කම කරා අපි වේගයෙන් දිව යමු" යයි එතුමා වදිදුරටැහැ කියා සිටියේ ය.


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය