"අපි එක්ව ගමන් කරමු; එක්ව දුප්පතුනට සරණ වෙමු...."සුදොතුම් පියතුමා ඉවැන්ජලිකල් සභා නායකයිනට ආරාධනා කරයි.

"Let us walk and serve together...." Pope tells Evangelical leaders 

සුදොතුම් පියතුමා ඉවැන්ජලිකල් නායකයන් හමුවූ අවස්ථාව

(2017 ජුනි 3)
ශ්‍රී ලංකාවේත් ආසියාවේත් ලතින් ඇමෙරිකා රටවලත්  කිතුනු නොවන ජනතාව මෙන්ම කතෝලිකයන් පවා ඉවැන්ජලිකල් කිතුනු නිකායන් දෙස බලන්නේ වපරැසිනි. වපරැසින් පමණක් නොව ඇතැම් විට වෛරයෙනි. "සල්ලි දීලා ආගමට හරවා ගන්නවා" යන්න ඔවුනට එරෙහිව ඇති චෝදනාවයි. මෙවැනි කිතුනු නිකාය සහ සභා වලට  එරෙහිව නීත්‍යානුකුලව ක්‍රියා මාර්ග ගැනීම සඳහා නව නීති සකස් කිරීමට ද මීට වසර කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ කතෝලික සභාව එවකට පැවැති ආණ්ඩුව සමග කටයුතු කරමින් සිටියේ ය.

ඉවැන්ජලිකල් නිකාය වල දේශනාවාදීන් සහ පාස්ටර්වරු අමෙරිකාවෙත් යුරෝපයේ සහ ලතින් ඇමෙරිකා රටවලත් ප්‍රසිද්ධියේ ආගම දේශනා කරති. ඇතැම් විට රුපවාහිනි නාලිකා වලට මුදල් ගෙවා කාලය වෙන්කරවාගෙන දේශනා කරති. ඔවුන්ගේ දේශනා බොහෝ විට කතෝලික පියවරුන් ගේ දේශනා වලට වඩා හරබරය. සිත් ගන්නා සුළුය. දෙවියන් වහන්සේ සහ ක්‍රිස්තු ධර්මයේ අබිරහස් ජනතාවට තේරුම් ගත හැකි අයුරින් හා දෙවිඳුන් වෙත ජන සිත් බැඳෙන අයුරින් කතා කිරීමට ඔව්හු රුසියෝය. එපමණක් නොව ඔවුන්ගේ දයා සේවා ද ශක්තිමත් ය. සමාජයේ දුප්පත්, දුබල, රැකියා හෝ නිවාස රහිත ජනයාට ඔව්හු මහත් සේ සරණ වෙති.

තවත් විශේෂත්වයක් තිබේ. ඔව්හු ශුද්ධාත්මයාණන් වහන්සේ තුළ ප්‍රසාද ස්නාපනය පිළිගනිති.

හැමෝම මොකක් හෝ ඇදයක් අල්ලාගෙන බෙදෙන්නට බලන නූතන ලෝකය තුළ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා උත්සාහ කරන්නේ "කුඩාම පොදු සාධකයක්" සොයාගෙන සමගි වීමටයි. එක්සත් වීමටයි. එකට ගමන් කිරීමටයි.

ඉවන්ජලිකල් නිකායන් සමග ද එක්ව ගමන් කිරීමට එතුමා "කුඩාම පොදු සාධක" කිහිපයක් සොයාගෙන තිබේ. ශුද්ධාත්මයාණන් තුළ ප්‍රසාද ස්නාපනය, ක්‍රිස්තු සුබාරංචිය දේශනා කිරීම සහ දයා සේවා එම පොදු සාධක අතර තිබේ.

මේ "ඒකත්වය" පදනම් කරගනිමින් පෙන්තකෝස්ත දිනයේ  එකටඑක්ව ශුද්ධාත්මයාණන් නමදින්නට වතිකානයට එන්නැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ලෝකය පුරා සිටින ඉවැන්ජලිකල් නිකාය නායකයන් 500 දෙනෙකුට පමණ ආරාධනා කළේය. ශුද්ධාත්මයාණන් කේන්ද්‍ර කරගත් දැවැන්තම කතෝලික ව්‍යාපාරය වන ලෝක කිතු දන පුබුදු ව්‍යාපාරයට වසර 50ක් පිරීම ද මේ වසරේ සැමරීම එතුමාගේ  ඇරියුමට තවත් දැඩි පිටුබලයක් විය.

මේ අනුව මැයි 31 වනදා ඇරඹි කිතු දන ව්‍යාපාරයේ ස්වර්ණ ජයන්තියට සහභාගී  වීම සඳහා මෙම ඉවැන්ජලිකල් නිකාය නායකයෝ වතිකානයට පැමිණ සිටියහ. එම පිරිස වතිකානයේ අපෝස්තලික මාළිගයේදී ජුනි 2 වැනිදා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මුණගැසුණහ.

"කිතුනුවන් එක්සත් කිරීම සඳහා ඔබ කරන වැඩ කොටසට ඔබට බොහොම ස්තුතියි! ස්වාමීන් වහන්සේට අවශ්‍ය වන්නේ එයයි. " ඔවුන් පිළිගනිමින් සුදොතුම් පියතුමා කීවේය.

"අපි එකට එක්ව ගමන් කරමු. අපි එකට එක්ව දුප්පතුනට සරණ වෙමු. අපි එකට එක්ව දයාවේ ක්‍රියා වල නිරත වෙමු. අපි එක්ව අධ්‍යාපන සේවා වල නිරත වෙමු" යැයි එතුමා ඔවුනට ආරාධනා කලේය. "ඒ අතර දේවධර්ම වේදීන් ඔවුන් ගේ කොටස කරමින් කිතුනු සමගියට අවශ්‍ය දෑ සපයා ඒ සඳහා මහන්සි වෙනු ඇති. ඒත් අපි හැමදාමත් ගමනේ ඉඳිමු. කවදාවත් නොනවතිමු....කවදාවත් නොනවතිමු.....එක්ව ගමන් කරමු..." එතුමා අවධාරණය කළේය.

 මෙම කෙටි ඇරයුම අවසානයේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා  "අපි එකම සහෝදර කැලක් සේ , අප එකිනෙකා ගේ භාෂාවෙන් 'ස්වර්ගයේ වැඩසිටින' කියමින් අපේ පියාණන්ට යාච්ඥා කරමු" යි ඔවුනට ආරාධනා කළේය.

මෙවැනි මොහොතක අපගේ සිතට එන්නේ සොඳුරු ඉංග්‍රීසි ගීතිකාවක පද පෙළයි. ඒ මෙසේය:

"We are one in the Spirit, we are one in the Lord
We are one in the Spirit, we are one in the Lord
And we pray that our unity will one day be restored
And they'll know we are Christians by our love, by our love
Yeah they'll know we are Christians by our love"

"ඒකීයයි අපි ආත්මයාණන් තුළ - ඒකීයයි අපි සමිඳාණන් තුළ
ඒකීයයි අපි ආත්මයාණන් තුළ - ඒකීයයි අපි සමිඳාණන් තුළ
අපගේ සමගිය දිනෙක යළි  පිළිසකර කරන ලෙස  - යදිනෙමු අපි සමිඳුන් හට
අපගේ ප්‍රේමය නිසා අප කිතුනුවන් යයි සෙසු අය දැන  ගනු ඇත
 අපගේ ප්‍රේමය නිසා අප කිතුනුවන් යයි සෙසු අය දැන  ගනු ඇත"




Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය