2016 ශුද්ධ ජයන්ති වසරට එක් වන මෙතෙක් නොවූ විරූ නව වත් පිළිවෙත් : රදගුරු පදවි මට්ටමින් වැඩසටහන් රැසක්

The unprecedented "Firsts" of the Holy Year - More diocesan involvement 


ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ සැලකෙන්නේ බොහෝ දේවල ප්‍රථමයෙකු හැටියට ය. ප්‍රථම ජේසු නිකායික, ප්‍රථම ලතින් ඇමෙරිකානු පාප් වහන්සේ.... ආදී වශයෙනි. උන්වහන්සේ පාප් ධුරයට පත් වීමෙන් පසු සිදුකරන - සිදුවන ඇතැම් දේ ද "ප්‍රථම" දේ ලෙස පෙනෙන්නට තිබේ.

මේ අයුරින් ම 2016 දයාවේ අතිවිශේෂ ජයන්ති වසර සඳහා උන්වහන්සේ විසින් ක්‍රියාත්මක කිරීමට යන වත් පිළිවෙත් කිහිපයක් ද මීට කලින් කිසිදු ජයන්ති වසරක සිදු නොවූ, සභා ඉතිහාසයේ ප්‍රථම වරට සිදු වන වත් පිළිවෙත් ලෙස ඉතිහාසයට එක්  වනු ඇත.

දයාව තේමාව කොටගත් වසරකට අතිශයින් අර්ථාන්විත එම නව වත් පිළිවෙත්, ඉකුත් සතියේ පැවැති ජන මාධ්‍ය හමුවේ දී  හෙළිදරව් කරන ලද්දේ ජයන්ති වසර සංවිධාන කරන නව ධර්මදාන ප්‍රවර්ධනය පිලිබඳ වතිකාන මන්ත්‍රණ සභාවේ සභාපති, අති උතුම් රයිනෝ ෆිසිෂෙල්ලා අගරදගුරු හිමිපාණන් විසිනි. එතුමන් විසින් විස්තර කරන ලද ආකාරයට ජයන්ති වසරේ සිදුවන නව වත් පිළිවෙත් මෙසේ ය:

"ශුද්ධ ද්වාරය"

රෝමයේ ඇති ප්‍රධාන බැසිලිකා දේවස්ථාන හතරේම එක් ශුද්ධ ද්වාරය බැගින් තිබේ. ඒවා පවතින්නේ කිසිවකුටත් විවෘත කිරීමට නොහැකි ලෙස ඇතුලතින් දොරගුළු දමාය. ඒවා විවෘත වන්නේ ජුබිලි වසරක පමණි. ඒ අනුව මේ කාලය තුළ දේව ජනතාවට මෙම දොරටු තුලින් ඇතුළු වී ජයන්තිය හා සම්බන්ධ පරිපුර්ණ ඵල ලබා ගත හැකි ය. මෙම ශුද්ධ ද්වාර පිළිවෙත කතෝලික සභාවේ විවිධ සංකේත අතරින් ගැඹුරු පණිවිඩයක් ගෙන එන සංකේතයකි. ජයන්ති වසර තුල දී එම ද්වාරය තුළින් ගමන් කිරීම,ජනතාවට විවර වන  අති විශේෂ ගැලවීමේ මාර්ගයක් ලෙස  සැලකේ. මෙම ද්වාරය සාම්ප්‍රදායිකව සීමා වී තුබුණේ රෝමයට පමණි.

"මෙම ජයන්තියේ දී සභා සම්ප්‍රදායේ ප්‍රථම වරට තම පදවියේ දේවස්ථානයක ශුද්ධ ද්වාරයක්  විවෘත කිරීමේ අවස්ථාව ලෝකයේ සෑම රදගුරු පදවියකටම හිමිවනු ඇත. එම ද්වාරය 'දයාවේ ද්වාරයයි.'  එම ද්වාරය ආසන දෙව්මැදුරේ හෝ වන්දනා ගමන් සඳහා විශ්වාසකයන් අතර  ප්‍රචලිත සිද්ධස්ථානයක හෝ වෙනත් ගෞරවයට ලක් වූ  වැදගත් දෙව්මැදුරක විවෘත කල හැකියි " යැයි  ෆිසිෂෙල්ලා අගරදගුරු හිමි කියා සිටියේ ය.

මෙලෙස රදගුරු පදවි වල විවෘත වන "දයාවේ ද්වාරය" වූ කලී, 'ජුබිලිය රෝමයට පමණක් සීමා නොවී ලොව පුරා සෑම දේශීය සභාවකටම පැතිර යන වරප්‍රසාදයේ අවස්ථාවක්' යන්නට සලකුණකි.එසේම, එය, කතෝලික සභාවේ විශ්වීය ඒකත්වයේ ද සලකුණකි. මෙය සෑම කතෝලිකයකුටම ජයන්තිය තුළ සිදුකරන්නට ආරාධනා කෙරෙන වන්දනා ගමන ඉටු කිරීමේ ද සලකුණකි. රෝමයට පැමිනීමට නොහැකි කතෝලිකයනට තම ආසන්න සිද්ධස්ථානයේ ශුද්ධ ද්වාරය තුළින් ගමන් කර ගැලවීමේ ඵල ලබාගැනීමට  මේ මගින් හැකියාව ලැබෙන බව අගරදගුරු තුමා සඳහන් කළේය.

මේ හැරුණු කොට සාන්ත පීතර බැසිලිකාව ඇතුළු රෝමයේ ප්‍රධාන බැසිලිකා දෙව්මැදුරු හතරේ ශුද්ධ ද්වාර සතර ද ජයන්ති වසර පුරා විවෘත කෙරේ.

"දයාවේ ධර්මදුතයෝ"

2016 අති විශේෂ ශුද්ධ ජයන්ති වසර සඳහා ප්‍රැන්සිස් පාප්වහන්සේ විසින් හඳුන්වා දී ඇති තවත් නව අංගයකි මේ.

ලොව පුරා රදගුරු පදවි වලින් තෝරා ගන්නා "දයාවේ ධර්මදුත" පියවරු  සිය සේවා සඳහා නික්ම යාමට පෙර, 2016 අළු බදාදා දේව මෙහෙයේ දී ප්‍රැන්සිස් පාප්වහන්සේ විසින් ආසිරි ගන්වනු ලබති. ඔවුන් ලෝකයට යන්නේ දයාවේ තානාපතිවරුන් ලෙසය. දයාවේ පණිවිඩය ජනතාව වෙත රැගෙන යන ඔවුන් සමගි සන්ධානයේ දේව ප්‍රසාද නිධානයේ විශේෂ සලකුණු ලෙස ක්‍රියා කරනු ඇත. දෙවිඳුන් ගේ දයාවෙන් මානව හදවත් පහන් කිරීම මෙම වැඩසටනේ අරමුනයි.

පදවිවල රදගුරු හිමිවරුන්ගේ හා වතිකාන කියුරියාවේ නිර්දේශ අනුව මෙම පියවරුන් තෝරා ගන්නා බව රයිනෝ ෆිසිෂෙල්ලා අගරදගුරු හිමි පැවසුවේය. පියතුමන්ලාට ද පෞගලිකව මේ සඳහා අයදුම් කල හැකිය. පියවරුන් මෙම ධර්මදුත මෙහෙවරට තෝරාගනු ලැබීමට පෙර දයාව පිලිබඳ දේශනා කිරීම හා සමගි සන්ධාන දෙවප්‍රසාද නිධානය දානය කිරීම සම්බන්ධයෙන් එතුමන් ගේ හැකියා ගැන සොයා බැලේ.

මේ සම්බන්ධයෙන් ඇති දීර්ඝ කාලීන අත්දැකීම් සලකා  දයාවේ ධර්මදුතයන් ලෙස විශ්‍රාමික රදගුරු හිමිවරුන් ගේ සේවය ලබා ගැනීමේ ඇති හැකියාව ගැන ද වතිකානය සලකා බලමින් සිටියි.

"පා ගමනින් වන්දනා ගමනක්"

මේ ජයන්ති වසර තුළ පා ගමනින් වන්දනා ගමනක යෙදෙන ලෙස ද ජනතාවට ආරාධනා කෙරේ. මෙය ද ජුබිලි වසරකට ප්‍රැන්සිස් පාප්වහන්සේ එක කර ඇති නව අංගයකි. සමස්ත ජයන්ති වසරම යාච්ඥාවෙන්, උපවාසයෙන් හා පරිත්‍යාගයෙන් යුත් වන්දනා ගමනක් කර ගන්නා අතර මෙලෙස විශේෂ වන්දනා ගමනක යෙදෙන ලෙස ද ජනතාව දිරිමත් කරන බව අගරදගුරුතුමා සඳහන් කලේ ය. විශ්වාසයෙන්, භක්තියෙන් හා පශ්චාත්තාපයෙන් ශුද්ධ ද්වාරයෙන් ඇතුළු වීමට, පුර්ව  සුදානමක් ලෙස, පා ගමනින් මෙම  වන්දනා ගමනෙහි යෙදෙන ලෙස ඉල්ලා සිටින බව ද එතුමා සඳහන් කලේ ය.

සම්බන්ධ වෙනත් ලිපි:
දයාවේ වසරට "සෑම හදක් දේව දයාවෙන් පහන් කරන" පුළුල් වැඩසටහනක් වතිකානය ප්‍රකාශයට පත් කරයි

"දෙවියන් වහන්සේ ගේ යුක්තිය උන්වහන්සේ ගේ දයාව ම ය" - දයාවේ වසර ප්‍රකාශ පත්‍රය

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය