දයාවේ වසරට "සෑම හදක් දේව දයාවෙන් පහන් කරන" පුළුල් වැඩසටහනක් වතිකානය ප්‍රකාශයට පත් කරයි

An "Every-Soul-Touching", far reaching Spiritual Programme planned for the Holy Year of Mercy 

දයාවේ වසරේ නිල ලාංඡනය 
(2015 මැයි 10)

මේ වසරේ දෙසැම්බර 8 වැනී දායින් ආරම්භවන දයාවේ ජයන්ති වසර තුළ සියලු ජනතාව ගේ හද පත්ල දෙවි සමිඳුන් ගේ දයා කරුණාවෙන් ස්පර්ශ කරමින්, එම වසර ප්‍රකාශයට පත් කිරීමේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ශුද්ධාසනය විසින් පුළුල් වැඩ පිළිවෙලක් සකස් කොට තිබේ. සාම්ප්‍රදායිකව ජුබිලි වසරක රෝමයට පමණක් සීමා වී තිබූ ඇතැම් වත් පිළිවෙත් ලොව පුරා ලොකු-කුඩා සෑම රදගුරු පදවියක් වෙතම ගෙන යමින්, ඇති හැකි - නැති බැරි සෑම පුද්ගලයකු ගේ ම හදවත දයාවෙන් දල්වාලීම මේ මගින් අපේක්ෂා කෙරේ.

මේ බව හෙළිදරව් වුයේ නව ධර්මදාන ප්‍රවර්ධනය පිලිබඳ වතිකාන මන්ත්‍රණ සභාවේ සභාපති අති උතුම් රයිනෝ ෆිසිෂෙල්ලා අගරදගුරු හිමිපාණන් විසින් ඉකුත් සතියේ පවත්වන ලද මාධ්‍ය හමුවක දී ය. ජයන්ති වසරේ නිල ලාංඡනය සහ වැඩපිළිවෙල ප්‍රකාශයට පවත් කිරීම සඳහා මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව කැඳවා තිබුනේ ය.

වසර පුරා දිග හැරෙන ජයන්ති වසරේ  වැඩසටහන් පෙලට, සභා ජයන්ති වසර ඉතිහාසයේ  මෙතෙක් සිදු නොකළ, "ප්‍රථම" වරට සිදු වන, සුවීශේෂ සංකේත කිහිපයක් ද තිබෙන බව අගරදගුරු හිමි කියා සිටියේය. රදගුරු පදවි මට්ටමින් විවර වන "ශුද්ධ ද්වාර"   සහ "දයාවේ ධර්මදුත" පියවරු , එම සුවිශේෂ සංකේත දෙකයි. ජේසු සමිඳුන් ගේ දයා කරුණාව හද පුරා අත්දකිමින් එය බෙදා ගැනීම සඳහා  "පා ගමනින් " වන්දනා ගමනක යෙදෙන ලෙස ද මේ වසරේ දී දේව ජනතාවට ඇරියුම් කෙරේ. 

 මේ හැරුණු කොට එක් එක් කණ්ඩායම් හෝ ප්‍රජාවන් ඉලක්ක කර ගනිමින් වසර  පුරා සුවිශේෂී ජුබිලි දින වෙන් කිරීමක් සිදුවන බව ද ෆිසිෂෙල්ලා අගරදගුරු හිමි හෙළිදරව් කලේ ය. රෝම ක්‍යුරියාව, ධර්මෝපදේශකයන්, යෞවන යෞවනියන් සහ සිරකරුවන් වැනි සුවිශේෂී කොටස් සඳහා මෙම දින වෙන් කෙරේ. මෙහිදී බන්ධනාගාරයක් තුළ රැඳවියන් හා කතා කරනු වෙනුවට, ඔවුන් සාන්ත පීතර බැසිලිකාවට කැඳවාගෙනවිත් ,  එහිදී ඔවුන් සමග අර්ථාන්විත ජුබිලි ධර්මවිවේකයක් කිරීමේ හැකියාව ගැන ප්‍රැන්සිස් පාප් වහන්සේගේ අවධානය යොමු වී තිබේ. ඒ පිළිබඳව බන්ධනාගාර බලධාරීන්  සමග සාකච්ඡා කිරීමට එතුමා  බලාපොරොත්තු වෙයි. රෝමයේ එම දින සැමරෙන දිනවල, ඊට සමාන්තර වැඩසටහන් පවත්වන ලෙස ලොව පුරා සෑම රදගුරු පදවියකටම ආරාධනා කෙරේ.

දයාවේ ශුද්ධ වසරේ ආදර්ශ පාඨය " Quemadmodum Pater misericors" හෙවත් “Merciful Like the Father”, එනම් "පියාණන් සේ කරුණාබරව" යන්නයි. මෙම පාඨය, "විනිශ්චය කිරීම හෝ දඬුවම් කිරීම වෙනුවට සමාව දීමටත්, කිරා මැන බැලීමකින් තොරව ආදරය කිරීමට හා සමාව දීමටත් අපට උගන්වන පියාණන් ගේ කරුණාවන්ත ආදර්ශය අනුගමනය කරන ලෙස දේව ජනතාවට කෙරෙන ආරාධනයක්" යයි රයිනෝ ෆිසිෂෙල්ලා අගරදගුරු හිමි පැවසීය.

මෙම මාධ්‍ය හමුවේ දී දයාවේ ශුද්ධ වසරේ නිල ලාංඡනය ෆිසිෂෙල්ලා අගරදගුරු හිමිපාණන් විසින් හඳුන්වා දෙනු ලැබිණි. මෙහි දැක්වෙන්නේ "නැති වූ ආත්මය සොයා සිය කරේ තබාගෙන එන ක්‍රිස්තු එඬේරා ගේ රුපයයි" යයි අගරදගුරු තුමා එය පැහැදිලි කරමින් කියා සිටියේ ය. "ක්‍රිස්තුන් වහන්සේ ස්වකීය ප්‍රේමයෙන් සිය මාංශගතවීමේ අබිරහස සම්පුර්ණ කර, ගැලැවීම කුඨප්‍රාප්තියට පත් කරන බව" මෙයින් පෙන්නුම් කෙරේ.

මෙම රුපය නිර්මාණය කරන ලද්දේ ජේසු නිකායික මාර්කෝ රුප්නික් පියතුමාය. එම රුපයේ ජේසු සමිඳුන් ගේ එක් ඇසක් මිනිසාගේ ඇසක් හා බද්ධව පවතියි. මෙහි අදහස "ක්‍රිස්තුන් වහන්සේ ආදම් ගේ ඇසින් බලන අයුරුත්, ආදම් ක්‍රිස්තුන් වහන්සේ ගේ ඇසින් බලන අයුරුත් " පෙන්නුම් කිරීම යැයි අගරදගුරු හිමි වැඩි දුරටත් සඳහන් කලේ ය.

ශුද්ධ වසර සාර්ථක කර ගැනීම සඳහා නූතන මාධ්‍ය තාක්ෂනය හා මාධ්‍ය මෙවලම් සියල්ල ද යොදා ගැනේ. වෙබ් අඩවියක් හැරුණු කොට, මුහුණු පොත, ට්විටර්, ගුගල් ප්ලස්, ඉන්ස්ටර්ග්‍රෑම් සහ ෆ්ලිකර් සමාජ මාධ්‍ය ඔස්සේ ද ජනතාව ඊට සම්බන්ධ කර ගැනේ.
(CNS and CNA)



Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය