"දයාව: සෑම යහපත් පුද්ගලයකු ගේ ම හද ගැබ තුළ ක්‍රියාත්මක විය යුතු මුලික නීතිය"

Mercy: the fundamental law that dwells in the heart of every just person

(2015 අප්‍රේල් 19)

දයාවේ අතිවිශේෂ ශුද්ධ වසර " ප්‍රකාශයට පත් කරමින් ඉකුත් දේව දයාවේ මංගල්‍ය දිනට පෙරදින සන්ධ්‍යාවේ සුදොතුම් ප්‍රැන්සිස් පාප්වහන්සේ  විසින් නිකුත් කරන ලද "ප්‍රකාශයට පත්කිරීමේ ආඥා පත්‍රය" ( Bull of Indiction) ලොව පුරා කිතුනු-නොකිතුනු ජනතාවගේ අවධානයටත් සාකච්චාවටත්  ලක්වී තිබේ. 


අප්‍රේල් 11 වන සෙනසුරාදා නිකුත් කෙරුණු මෙම ප්‍රකාශ පත්‍රය Misericordiae Vultus ("The Face of Mercy") හෙවත් "දයාවේ වත මඬල " ලෙස නම් කර තිබේ.

"කතෝලික සභාව විනිශ්චයේ සහ දෝෂාරෝපනයේ ස්ථානයක් නොව සමාව දීමේ සහ කරුණාබර ප්‍රේමයේ ගෙදරක් බවට පත්කරගන්නැ" යි මෙම ප්‍රකාශ පත්‍රය  මගින් පාප්වහන්සේ සමස්ත කතෝලික සභාවට ආරාධනා කරති. ලොව සියලු රදගුරු හිමිවරුන් වෙත බෙදා හරින ලද මෙම හසුන සමස්ත කතෝලික සභාව වෙතම එල්ල කරන ලද අභියෝගයක් ද වන්නේය යන්න  සසුන් කටයුතු ව්ශලේෂකයන් ගේ මතයයි.

ප්‍රැන්සිස් පාප්වහන්සේ මෙම ලිපියෙහි සඳහන්  කර ඇත්තේ සභාව ගත යුතු "නව මගක්" ගැන නොවේ. නුතන පවුල සහ ලෝකය මුහුණ දෙන ගැටළු , අර්බුද සහ අභියෝග  සැලකිල්ලට ගත්  කල උන්වගහන්සේ ආරාධනා කරන්නේ ක්‍රිස්තු දෘෂ්ටි කෝණයෙන් හෙවත් "ජේසු ගේ දෑසින් හා ජේසු ගේ හදවතින්" ලෝකය දෙස බලන ලෙසයි. එය නව මානයකට වඩා මෙතෙක් ශීල ධර්මය විග්‍රහ කිරීමේ දී සභා ආචාර්යවරුන්  ගේ  නෙත නොගැටුණු මුලික කරුණක් දෙස අවධානය යොමු කිරීමක් ලෙස විශ්ලේෂකයෝ හඳුන්වති.

මේ නිසා වචන 9,500 කින් පමණ සමන්විත දීර්ඝ ලේඛනයක් වන මෙම ප්‍රකාශ පත්‍රයේ අදහස්,  කොටස්  වශයෙන් හෝ වතිකාන සුළඟට මුසු කරන්නේ එහි කැටි වී  ඇති දේව වචනයේ බීජ ලක් කිතුනු දන හද පොළොවේ ද වැටී, ඵල දරත්වා යන යාච්ඥාවත් සමගිනි.

"සභාවේ ව්ශ්වසනීයත්වය ප්‍රකාශිත වන්නේ ඇය දයාව සහ දයාබරිත, කරුණාබර සහ අනුකම්පා සහිත ප්‍රේමය ජීවත් කරන තරමට යයි " එම හසුන් පත පවසයි. "ඇතැම් විට, දයාවේ මාර්ගයේ ජීවත්වීමට සහ දයාව පෙන්වීමට, ටික කලක සිට අපට අමතක වී තිබෙනවා විය හැකිය. යුක්තිය කෙරෙහි පමණක් අවධානය යොමු කිරීමේ දුර්පරීක්ෂාව නිසා මෙම මුලික, අත්‍යවශ්‍ය සහ අනිවාර්ය පියවර අපට අමතක  වී ගියා විය හැකිය. එබැවින් සභාවට, දයාවේ ප්‍රීතිමත් කැඳවීම, යලිත් සිය මෙහෙවරට එක්කර ගැනීමට කාලය පැමිණ තිබේ," යැයි  ප්‍රැන්සිස් පාප්වහන්සේ පවසති.

"මුලිකතාවලට යලි හැරී අපගේ සොහොයුරන්ගේ දුර්වලතා සහ ජීවිත සටන් අප විසින් දරා  ගැනීමට කාලය පැමිණ තිබේ. අපව නව ජීවිතයකට යලි පුබුදුවන්නාවූ ද අනාගතය දෙස බලාපොරොත්තු සහගතව බැලිය ගැකි ධෛර්යය අප තුළ ජනිත කරන්නා වුද බලවේගය, දයාවයි."

දයාවේ ජුබිලි වසරේ අරමුණ 

දයාවේ ජුබිලි වසර ප්‍රකාශයට පත් කිරීමේ අරමුණු පැහැදිලි කරන පාප්වහන්සේ පවසන්නේ දයාව දේව පුත්‍රයාණන් වන ජේසු සමිඳුන් ගේ මිහි මත ජීවිතයේ මෙහෙවර වූ බවයි. එබැවින් එය සභාවේ දූත මෙහෙවර ද වන බව උන්වහන්සේ අවධාරණය කරති.

:ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ පියාණන් වහන්සේ ගේ දයාවේ වත මඬලයි. මේ වචන වලින් කිතුනු ඇදහිල්ලේ අබිරහස සාරාංශ කල හැකිය. නාසරෙත් හි ජේසුන්  වහන්සේ තුළ දයාව ජීවමාන විය; දෘශ්‍යමාන විය. උන්වහන්සේ තුළ දයාව මස්තකප්‍රාප්තියට පත් විය."

"අපි නිරන්තරයෙන් ම  දයාවේ අබිරහස ගැන මෙනෙහි කල  යුත්තෙමු. දයාව  වූ කලී ආනන්දයේ, ශාන්තියේ සහ සාමයේ නොසිඳෙන දිය උල්පතකි.......දයාව යනු  දෙවිඳානන් අප හමු වීමට එන අත්‍යන්තවූ ද අති උත්තරීතර වූ ද ක්‍රියාවයි. දයාව යනු ජීවිත මාර්ගයේ තමන්ට මුණගැසෙන සොයුරන් සොයුරියන් ගේ දෙනෙත් දෙස අවංකව නෙත් යොමන සෑම  පුද්ගලයකු ගේ ම හද ගැබ තුළ ක්‍රියාත්මක වන  මුලික නීතියයි. දයාව යනු අපගේ පව්කාර බව නොතකා දෙවිඳානන් සදහටම අපට ප්‍රේම කරන බව දැනීමෙන්, අප හදවත් බලාපොරොත්තුවෙන් විවෘත කොට දෙවිඳුන් හා මිනිසා යා කරන පාලමයි.

අප තුළ ක්‍රියාත්මක වන පියාණන් වහන්සේගේ ක්‍රියාකාරිත්වයේ ජීවමාන සාක්ෂිකාරයන් බවට අප පත්වනු පිණිස, ඉඳ හිට මෙම දයාවේ අබිරහස කරෙහි අපි වඩාත් අවධානයෙන් යුතුව නෙත් යොමු කල යුත්තෙමු.

මේ  අරමුණින්  දයාවේ අති විශේෂ ශුද්ධ වසර ප්‍රකාශයට පත් කරමි " යි පාප් වහන්සේ සඳහන් කරති.

ශුද්ධ ලියවිල්ලෙන් සහ සිය පුර්වගාමී පාප්වහන්සේලාගෙන් ගත  උපුටනයන් රැසකින් "දයාවේ වත මඬල " ප්‍රකාශ පත්‍රය විචිත්‍ර වී තිබේ.

ඇරයුම් 

" මෙම ශුද්ධ වසර දේව වරප්‍රසාදයේ සහ ආධ්‍යාත්මික ප්‍රබෝධයේ අති විශේෂ මොහොතක් කර ගැනීම සඳහා සෑම රදගුරු පදවියක්ම ඍජුව සම්බන්ධ විය යුතු" යැයි පාප්වහන්සේ එම ප්‍රකාශයේ සඳහන් කරති.

පාප්වහන්සේ ගේ ප්‍රකාශ පත්‍රය මෙතැනින් සම්පුර්ණයෙන් ඉංගිරිසි බසින් කියවන්න:

http://www.scribd.com/doc/261566773/Papa-francesco-Bolla-20150411-Misericordiae-Vultus


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය