සභාව වටා තවදුරටත් පවතින " ආරක්ෂක පවුරු" බිඳ හෙලීමට ඇරැයුම් කෙරෙන දයාවේ ජුබිලි වසර

The Holy Year: A time to tear down Church’s  “fortresses” hindering people to embrace God’s Mercy


(2015 අප්‍රේල් 20)

ප්‍රැන්සිස් සුදොතුම් පියාණන් විසින් ප්‍රකාශයට පත් කර ඇති දයාවේ ජයන්ති වසරේ තේමාව ලෙස සඳහන් කල හැක්කේ "දෙවිඳුන් ගෙන් සමාව ලබා ගන්න - අසල්වැසියාට සමාව දෙන්න" යන්නයි. දයාවේ වසර ප්‍රකාශයට පත් කරමින් නිකුත් නිකුත් කරන ලද Misericordiae Vultus ("The Face of Mercy") හෙවත් "දයාවේ වත මඬල " නමැති ප්‍රකාශ පත්‍රය පුරා රන් හුයක් සේ විහිද යන අදහස එයයි. එසේම කතෝලික නායකයන්, විද්වතුන් හා ශීල ධර්මය පිලිබඳ දැඩි මතයක සිටින සියල්ලන්ට ද ඒ මගින් පණිවිඩයක් ලබා දෙයි එනම්, "ජනතාව විනිශ්චය නොකර, දහසක් නීති තුළ ඔවුන් සිර කොට, දෙවිඳුන් වෙතට එන මාර්ගය ඔවුන්ට නොඅසුරා , දයාවෙන් ඔවුන් සභාව වෙත පිළිගන්න " යන්නයි.

තම සහෝදරයාට කී වරක් සමාව දිය යුතු දැ  යි  යන ප්‍රශ්නයට ජේසු සමිඳුන් දුන් පිළිතුර, " සත් වරක් යැයි මම නොකියමි. සැත්තෑ වර සැත්තෑ වාරයකි" යන්නයි. මතෙව් සුවිශේෂයේ එන මෙම විස්තරය  පැහැදිලි කරන පාප්වහන්සේ  එම ප්‍රකාශ පත්‍රයේ මෙසේ පවසති: "මෙම උපමාව අප සියල්ලනට ගැඹුරු දහමක්  උගන්වයි. දයාව පියාණන් වහන්සේ ගේ ක්‍රියාවක් පමණක් නොව එය උන්වහන්සේ ගේ සැබෑ දරුවන් කවුරුන්දැයි නිශ්චය කරගැනීමේ නිර්නායකයක් ද බව ජේසුන් වහන්සේ මේ මගින් තහවුරු කරති.....කෙටියෙන් පවසතොත්, (දෙවියන්වහන්සේ ) ප්‍රථමයෙන් අපට දයාව පෙන්වා ඇති බැවින් අපිදු දයාව දැක්වීමට කැඳවනු ලැබ සිටිමු.....වැරදිවලට සමාව දීම කරුණාබර ප්‍රේමයේ පැහැදිලිම ප්‍රකාශනයයි. එය, කිතුනුවන් වන අපට,  වගකීමෙන් නිදහස් විය නොහැකි අනිවාර්ය ක්‍රියාවකි. "

කතෝලිකයන් කිසියම් වන්දනා  ස්ථානයකට වන්දනා ගමනක් යාම සෑම  ශුද්ධවූ ජයන්ති වසරකටම ඇතුළත් අංගයක් බව "දයාවේ වත මඬල " ප්‍රකාශ පත්‍රයේ ප්‍රැන්සිස් පාප්වහන්සේ සඳහන් කරති. දයාවේ වසරේ මෙවැනි වන්දනා ගමනක දී අනුගමනය කල යුතු ක්‍රියා පිළිවෙත් ලූක් සුබ අස්න උපුටා දක්වමින් උන්වහන්සේ පෙන්වා දෙති: "විනිශ්චය නොකරන ලෙසත් දෝශාරෝපනය නොකරන ලෙසත් සමිඳාණෝ අපෙන් ඉල්ලා සිටිති.  දෙවියන්වහන්සේ ගේ විනිශ්චයෙන් මිදීමට කිසියම් කෙනෙකුට අවශ්‍ය නම් ඔහු සිය සොයුරා හෝ සොයුරිය විනිශ්චය කිරීමෙන් වැළකිය යුතුය. මානවයන් විනිශ්චය කරන විට ඔවුන් බලන්නේ මතුපිට දෙස පමණකි. එහෙත් පියාණන් වහන්සේ ආත්මයේ පත්ලටම එබිකම් කරන සේකැ " යි පාප්වහන්සේ සඳහන් කරති.

දයාවේ ද්වාරය

ජුබිලි වර්ෂයක් ආරම්භ වන්නේ වතිකානයේ සාන්ත පීතර  බැසිලිකාවේ ඇති" ශුද්ධ ද්වාරය" පාප්වහන්සේ විසින් විවෘත කරනු ලැබීමෙනි. මෙම වසරේදී එම දොරටුව විවෘත කිරීමෙන් පසු එය "දයාවේ ද්වාරය" බවට පත්වනු ඇතැයි ප්‍රකාශ පත්‍රයේ සඳහන් වෙයි. "එම ද්වාරයෙන් ඇතුළුවන සෑම කෙනෙකුම, අප සනසා, සමාව දී, අප තුළ බලාපොරෝත්තුව ජනිත කරන දෙවියන් වහන්සේ ගේ සෙනෙහස අත්දකිනු ඇතැ" යි පාප්වහන්සේ ප්‍රකාශ කරති. මෙවැනි දයාවේ ද්වාරයක් සෑම රදගුරු පදවියකම ආසන දෙව්මැඳුරේ හෝ වෙනත් දේවස්ථානයක විවෘත කරන ලෙස සියලුම සහෝදර රදගුරු හිමිවරුන්ගෙන් ඉලා සිටින බව උන්වහන්සේ සඳහන් කර තිබේ.

ආරක්ෂක පවුරු බිඳලන්න

දයාවේ ශුද්ධ වසර ආරම්භ වන්නේ 2015 දෙසැම්බර 8 වැනිදායි. දෙවමාතාවහන්සේ ගේ නිර්මල පිළිසිදීමේ මංගල්‍ය වන මෙදින සභා ඉතිහාසයේ ද අතිශය වැදගත් දිනයකි. දෙවන වතිකාන කතිකාව පරිසමාප්තියට පත්වීමේ 50 වැනි සංවත්සරය යෙදෙන්නේ ද එදිනයි. මෙම ඓතිහාසික සංසිද්ධිය දයාවේ වසර හා සම්බන්ධ වන ආකාරය  පාප්වහන්සේ මෙසේ පැහැදිලි කරති:

"දෙවන වතිකාන කතිකාවත් සමග සභාව සිය ඉතිහාසයේ නව අවධියකට ඇතුළු විය. දෙවියන් වහන්සේ පිළිබඳව ඔවුන් ගේ යුගයේ විසු මිනිසුන්ට හා කාන්තාවන්ට කතාකල යුත්තේ  ඔවුන්ට වඩාත් ප්‍රවේශ වියහැකි, සමීප වියහැකි මාර්ගයකින්ය යන්න ශුද්ධාත්මයාණන්ගේ පණිවිඩය බව කතිකාවේ පියවරු තරයේ විශ්වාස කළහ. සුබ අස්න  නව මඟකින් ප්‍රකාශ කිරීමට කාලය එළඹ තිබිණ. ඒ සඳහා එතෙක් සභාව වටා ආරක්ෂක පවුරු බඳුව ඉදිව තිබු බිත්ති  බිඳ හෙලනු ලැබිණ. එහෙත් එය වූ කලී ආරම්භයේ සිටම පැවතුනා වූ ධර්මදානයේ නව අවධියක් පමණක් බව කතිකා පියවරු  ශුද්ධාත්ම වරමින් අවබෝධ කරගෙන සිටියහ."

මේ අනුව සභාවට අමතක කල නොහැකි දෙවන වතිකාන කතිකාවේ නැවුම් වා රැලි වලින් ප්‍රබෝධමත්ව දයාවේ වසරින් තවත් අවධියකට සභාව ගෙන යාම මේ යුගයේ ශුද්ධාත්ම පණිවිඩය ය යන්න ප්‍රැන්සිස් පාප්වහන්සේ ගේ අදහස් කරති.

දයාවේ ධර්ම දූතයෝ

දයාවේ වසරේ තවත් විශේෂ දුත සේවාවක් වන්නේ පාප්වහන්සේ විසින් පත් කිරීමට නියමිත "දයාවේ ධර්ම දූත" කණ්ඩායමයි. 2016 චතාරික සමයේ දී තමන් විසින් පුජාප්‍රසාදී වරුන් කණ්ඩයක් තෝරාගෙන ඔවුන් විශේෂ " දයාවේ ධර්මදුතයන් " ලෙස නම් කරන බව ප්‍රැන්සිස් පාප්වහන්සේ "දයාවේ වත මඬල" ප්‍රකාශ පත්‍රයේ සඳහන් කරති. ඔවුන්ගේ මෙහෙවර වන්නේ ලොව වටා ගොස් සමගි සන්ධානයේ (පාපොච්චාරණය) දේව ප්‍රසාද නිධානය දානය කිරීමයි. ශුද්ධාසනයට පමණක් කමා කල හැකි පාප වලට පවා සමාව දීමේ බලය එම පියතුමන්ලාට දානය කරන බව පාප්වහන්සේ පවසති. "මේ අනුව, ඔවුන්,  සමාව සොයා පැමිණෙන්නන් ආදරයෙන් පිළිගැනීමට සුදානම්ව සිටින පියාණන් වහන්සේ ගේ ජීවමාන සලකුණක් වනු ඇතැයි " පාප්වහන්සේ වැඩිදුරටත් සඳහන් කරති.

සේයාරුව: ජයන්ති වසර ආරම්භ කරමින් විවෘත කෙරෙන ශුද්ධ ද්වාරය

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය