ස්වර්ගස්ථ වූ විශ්‍රාමික පාප් වහන්සේ ගේ අවමංගල්‍ය කටයුතු පිලිබඳ නව තොරතුරු (වීඩියෝ)

Plans for Pope Emeritus Benedict XVI's funeral- updates 



(2023 ජනවාරි 1)

ස්වර්ගස්ථ වූ සොළොස්වන බෙනඩික් විශ්‍රාමික පාප් වහන්සේට සමුදීමේ අවමංගල්‍ය කටයුතු සම්බන්ධයෙන් වතිකානය මේ වන විට තොරතුරු නිකුත් කර තිබේ. 

ඒ අනුව මේ වන විට මතු කියවෙන තොරතුරු වතිකාන මාධ්‍ය අංශය විසින් ප්‍රකාශයට පත් කර ඇත:

  • ස්වර්ගස්ථ වූ විශ්‍රාමික පාප් වහන්සේ ගේ දේහය මේ වන විට එතුමන් සිය විශ්‍රාමික සමය ගත කල සභා මාතා තපාසාරාමයේ පුංචි දෙව්මැදුරේ (Mater Ecclesiae monastery ) තැන්පත් කර තිබේ. 
  • එතුමා ගේ අසනීප තත්වය වැඩි වූ බව දැනුනු විට 2022 දෙසැම්බර 28 වැනි දා එම තාපසාරාමයේ දී එතුමන්ට රෝගීන් ගේ ආලේපය හෙවත් 'මාර්ගෝපකරණ දේවප්‍රසාද නිධානය" දානය කළ බව ද වතිකානය දැන් ප්‍රකාශයට පත් කර තිබේ. එතුමන්ට විශේෂ රෝගී තත්වයක් නොතිබුණු බව එතුමාට ප්‍රතිකාර කර වෛද්‍ය මණ්ඩලය ප්‍රකාශ කරයි. වියපත් වීම නිසා ස්වාභාවිකව සිරුරේ ඇතිවන වෙනස් කම්  විසින් එතුමා දුර්වල කරනු ලැබ ඇතැයි ඔව්හු කියා සිටියහ. 
  • විශ්‍රාමික පාප්වහන්සේ ගේ රෝගී තත්වය වාර්තා වූ වහාම ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සුපුරුදු ලෙස සභා මාතා තාපසාරාමයට ගොස් එතුමන් ගේ සුව දුක් සොයා බැලුවේය. "බෙනඩික් විශ්‍රාමික පාප් වහන්සේ බොහෝ රෝගීව  සිටිනවා. එතුමන් වෙනුවෙන් දෙවිඳුන් යදින්නැ"යි 28 වැනි දා දහවල් තුන් කාල ආරාධනාවෙන් පසුව එතුමා ලොව පුරා ජනතාවට ආරාධනා කලේ ඉන් පසුව ය. සිය පූර්වගාමියා ගේ නික්මයාම දැනගත් වහාම ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා එහි ගොස් එතුමන් වෙනුවෙන් සිය යැදුම් ඔප්පු කල අතර මේ වන තෙක් එතුමන් රැකබලාගත් කාර්යමණ්ඩලයට සිය සංවේගය ප්‍රකාශ කළේ ය. 
  • ස්වර්ගස්ථ වූ පාප් වහන්සේ ජීවත්ව සිටියදී කල  ඉල්ලීම අනුව අවමංගල්‍ය වත් පිළිවෙත් "චාම්ව සහ සරලව" සිදු කෙරෙන බව ද මාධ්‍ය අංශය කියයි. 
  • මේ වන විට සභා මාතා තාපසාරාම පුංචි දෙව්මැදුරේ තැන්පත් කර ඇති දේහය 2023 ජනවාරි 2 වැනි දින සඳුදා වතිකානයේ සාන්ත පීතර බැසිලිකාව වෙත රැගෙන එනු ලැබේ. එදින සිට ජනවාරි 4 වැනි දින බදාදා දක්වා ජනතා ගෞරවය පිණිස එම දේහය බැසිලිකා දෙව්මැදුර තුළ තැන්පත් කර තැබේ. එහිදී දේහයට ගෞරවය දැක්විය හැකි වේලාවන් මෙසේය (රෝමයේ වෙලාවෙන් ):   2 වන ද සඳුදා : පෙ.ව. 9 සිට ප.ව. 7 දක්වා. ජනවාරි 3 සහ 4 දිනවල : පෙ.ව. 7 සිට ප.ව. 7 දක්වා. 
  • ස්වර්ගස්ථ වූ විශ්‍රාමික පාප් වහන්සේ වෙනුවෙන් දෙවිඳුන්ට ස්තුති කිරීමේ සහ එතුමන් ගේ ආත්මය වෙනුවෙන් යාච්ඥා කිරීමේ ස්තෝත්‍ර යාගික මෙහෙය ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ගේ ප්‍රධානත්වයෙන් ජනවාරි 5 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව. 9.30ට සාන්ත පීතර චතුරශ්‍රයේ දී සිදුකෙරේ. ලොව පුරා සිටින කාදිනල් හිමිවරු, රදගුරු සමුළු නියෝජිතයෝ  විශාල සංඛ්‍යාවක් ඊට එක්වන පිණිස මේ වන විටත් රෝමයට පැමිණෙමින් සිටිති. රාජ්‍ය නායකයන් හෝ නියෝජිතයන් ගේ පැමිණීම ගැන වතිකානය මෙතෙක් කිසිවක් ප්‍රකාශයට පත් කර නොමැත. සොළොස්වන බෙනඩික් විශ්‍රාමික පාප් වහන්සේ ගේ මව්රට වන ජර්මනියෙන් මේ වන විටත් විශාල ජනතාවක් රෝමයට පැමිණෙමින් සිටිති. 


මේ අතර අද, ජනවාරි 1 වැනිදා දහවල් පැවැති තුන්කාල ආරාධනා මරිය දැහැනින් පසුව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා යළිත් සිය පූර්ව ගාමියා සිහිපත් කරමින් කතා කළේ ය. අද පැවැත්වෙන  පරිශුද්ධ දේව මාතාවන් වන මරිය වහන්සේ ගේ මංගල්‍යය සිහිපත් කල එතුමා ස්වර්ගස්ථ වූ විශ්‍රාමික පාප් වහන්සේ වෙනුවෙන්එ තුමිය ගේ මැදිහත් කමින්කා යදින ලෙස ජනතාව ගෙන් ඉල්ලා සිටියේ ය. 

එසේ ම සොළොස්වන බෙනඩික් පාප් වහන්සේ නමැති තිළිණය වෙනුවෙන් දෙවි මහෝත්තමයාණන් වහන්සේට ස්තුති කරන ලෙස ද එතුමා ඒ වන විට සාන්ත පීතර චතුරශ්‍රයට රැස්වී සිටි වන්දනාකරුවන් ගේ ඉල්ලා සිටියේ ය. 

"සුබ අස්නේ සහ සභාවේ මේ විශ්වාසවන්ත සේවකයා අපට තිළිණයක් ලෙස දානය කිරීම සම්බන්ධයෙන් අපි එක ම හදවතකින් එක ම ආත්මයෙන් බැඳී එක්සත් වී දෙවි මහෝත්තමයාණන්ට ස්තුති කියමු" යි එතුමා ආරාධනා කළේය. 

ඊට කලින් දෙසැම්බර 31 වැනිදා සාන්ත පීතර බැසිලිකාවේ පැවැත්වුණු වර්ෂ අවසාන ස්තෝත්‍ර සන්ධ්‍යා මෙහෙයේ දී ද ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය පූර්වගාමියා සිහිපත් කරමින් කතා කළේය. 

එම තොරතරු මේ සබැඳියාවෙන් : ස්වර්ගස්ථ පාප්තුමා "කරුණාවන්ත, මහාත්ම ගුණයෙන් යුතු මිනිසෙක්" - ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය පූර්ව ගාමියා ගේ ගුණ සමරයි (වීඩියෝ )

සබැඳි තවත් පුවතක් :සුබ ගමන් බෙනඩික් සසුන් පියාණෙනි: වියත්, ධර්මධර, විනයධර සසුන් එඬේරා ගේ නික්ම යාම

විශ්‍රාමික ශුද්ධෝත්තම පිය දේහයට අවසන් ගෞරව දැක්වීමට මහ සෙනගක් (වීඩියෝ)

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය