සුබ ගමන් බෙනඩික් සසුන් පියාණෙනි: වියත්, ධර්මධර, විනයධර සසුන් එඬේරා ගේ නික්ම යාම

Farewell Pope Emeritus  Benedict XVI: The academic and the Theologian-Shephard called to Eternal Home 



(2022 දෙසැම්බර් 31)

වසර 600කට පසුව පාප් ධුරයෙන් ඉසිඹු ලබා  සිය බැහැපත් බව පෙන්වමින් පාප් ධුරයට නව වෙනසක් එක් කල සොළොස් වන බෙනඩික් විශ්‍රාමික පාප් වහන්සේ 2022 දෙසැම්බර් 31 වන සෙනසුරාදා රෝම වේලාවෙන් 9.34ට ස්වර්ගීය ජීවිතයට නික්ම ගියහ. ස්වර්ගස්ථ වන විට එතුමා 95 වැනි වියේ පසු විය. 

ඉසිඹු ලැබීමෙන් පසුව එතුමන් ජීවත් වූ වතිකාන රාජ්‍යය තුළ පිහිටි සසුන් මාතා තාපසාරාමයේ දී (Mater Ecclesiae Monastery) එතුමන් ස්වර්ගස්ථ වූ බව වතිකාන මාධ්‍ය අංශය නිවේදනය කළේය. 

එතුමා ගේ දේහය 2023 ජනවාරි 2 වැනි  දා සිට වතිකානයේ සාන්ත පීතර බැසිලිකා දෙව්මැදුරේ දී ජනතා ගෞරවය සඳහා තැන්පත් කෙරෙනු ඇත. ස්වර්ගස්ථ වූ විශ්‍රාමික බෙනඩික් පාප් වහන්සේ ගේ  ආත්මය වෙනුවෙන් වූ ගායනා ස්තෝත්‍ර යාගික මෙහෙය ජනවාරි 6 වැනි බ්‍රහස්පතින්දා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ. ඉක්බිතිව බැසිලිකාවට  යටින්  ඇති සසුන් පිය සුසාන බිමේ දී එතුමා ගේ  දේහය මිහිදන් කිරීමට නියමිතය. 

ස්වර්ගස්ථ වූ සොළොස්වන බෙනඩික් විශ්‍රාමික පාප් වහන්සේ කතෝලික සභාවේ එක් යුගයක් ලෙස සඳහන් කල හැකිය. පූජක වරයකු කාලයේ සිටම වතිකානයට සම්බන්ධ වීම නිසා දීර්ඝතම කාලයක් සභාවේ පරිපලනයට් සහ සැලසුම් වලට් සම්බන්ධ වූවකු ලෙස ද එතුමා ඉතිහාසයට් එක් වී සිටියි. ඊටත් වඩා එතුමන් ගෞරවයට පාත්‍රව සිටින්නේ වියතකු සහ ශ්‍රේෂ්ඨ දේවධර්මවේදියකු ලෙස ය. පාප් ධුරයේ සිටිය දීම එතුමා සිය උපන් නම වූ ජෝසප්  රැට්සිඟර් ලෙස දේවධර්ම පොත් ලීවේය. වෙළුම් තුනකින් යුතුව ක්‍රිස්තු මෙහෙවර විශ්ලේෂණය කරන "Jesus of Nazareth" ඒ අතරින් එකකි. එතුමා පාප් ධරයෙන් ඉවත් වීමෙන් පසුව ද පොත් ලීවේය. එතුමා නොසිඳෙන දැනුමේ උල්පතක් සේ සඳහන් කල හැකිය. 

මතු දැක්වෙන්නේ  ස්වර්ගස්ථ වූ බෙනඩික් විශ්‍රාමික පාප් වහන්සේ ගේ ජීවිතයෙන් බිඳකි. 

දුෂ්කර යෞවනය 

බෙනඩික් විශාමික පාප් වහන්සේ ගේ උපන් නම ජෝසප් රැට්සිඟර් ය. 

 ජෝසප් රැට්සිඟර් උපත ලැබුවේ 1927 අප්‍රේල් 16 වන දා යි. ඒ එම අවුරුද්දේ ආලේලුයියා සෙනසුරාදා දවස ය. ජර්මනියේ පසෝ රදගුරු පදවියට අයත් ගමක උපත  ලැබූ ජෝසප්ට  එදින ම ප්‍රසාද ස්නාපන සක්‍රමේන්තුව දානය කෙරිණි. 

ඔහු ගේ පියා පොලිස් කොමසාරිස් වරයෙකි. ඔහු බැවේරියා ප්‍රාන්තයේ ඉතා පැරැණි ගොවි පවුලකින් පැවැතෙන්නෙක් විය. ඔහු ගේ අම්මා  හස්ත කර්මාන්ත ශිල්පී පවුලකින් පැවැතෙන්නෙකු වූ අතර විවාහයට පෙර හෝටල  කිහියක කෝකියකු ලෙස සේවය කළා ය. 

ජෝසප් ගේ යොවුන් විය පහසු එකක් වූයේ නැත. මන්ද හිට්ලර් ගේ නාසි රෙජීමයේ බියකරු සෙවනැල්ල යට ජීවත් වන්නට ඔවුනට සිදු වීම නිසා ය. නාසි රෙජීමය කතෝලිකයන් කෙරෙහි දැක්වූයේ සතුරු ආකල්පයකි. මේ නිසා කතෝලික ජනයාට බොහෝ කරදර වලට මුහුණ පෑමට සිදු විය. 

ජෝසප් යෞවනයා දිනක් උදාසන දිව්‍ය පූජාවට සහභාගී වීමට සිය ගමේ පල්ලියට ගියේ ය. පූජාව  පටන් ගන්නට පෙර ඔහු ඇතුළු ගමේ අය යාච්ඥා කරමින් සිටියදී නාසි සෙබළ මුලක් හදිසියේ ම පල්ලියට කඩා වැදුනාහ. ඔවුන් තමා සහ අනෙකුත් විශ්වාසිකයන් ඉදිරියේ සිය මීසමේ පියතුමාට කුරිරු ලෙස පහර දෙන ආකාරය ජෝසප් වේදනාවෙන්බ ලා සිටියේ ය. 

ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි වන විශ්වාසයේ සෞන්දර්යය සහ සත්‍යය ගැන ඔහු පළමුවරට සිතන්නට  පටන් ගත්තේ, එම සිතිවිලි වර්ධනය වන්නට පටන් ගත්තේ මේ දුෂ්කර කාලයේ ය. 

පුදැදුරු තුමා  



1946 සිට 1951 දක්වා ඔහු ජර්මනියේ මියුනික් විශ්ව විද්‍යාලයේ දී දර්ශනය සහ දේවධර්ම ශාස්ත්‍රය හැදෑරුවේ ය. අධ්‍යාපනයෙන් පසුව 1951 ජුනි 29 දා ඔහු පුදැදුරුවරය ලැබුවේ ය. ජෝසප් රැට්සිඟර් පියතුමා අධ්‍යාපනයේ දක්ෂතා පෙන්වූ බැවින් මුල සිට ම එතුමා විද්‍යාල සහ ආයතනවල සේවා පත්වීම් ලැබුවේ ය. ඔහු ගේ මුල්ම සේවා පත්වීම ෆ්රීසිං උසස් අධ්‍යාපන විද්‍යාලයේ ආචාර්යවරයකු ලෙස ය. 

1953 දී එතුමා දේවධර්ම ශාස්ත්‍රයෙන් ආචාර්ය උපාධිය දිනා ගත්තේ ය. ඒ සඳහා එතුමා ඉදිරිපත් කල නිබන්ධනයේ මාතෘකාව වූයේ "සාන්ත අගුස්තීනු තුමන් ගේ සභාව පිලිබඳ ඉගැන්වීමේ එන ජනතාව සහ දෙවියන් වහන්සේ ගේ නිවස" යන්නයි. 1957 දී එතුමන් ලියු "සාන්ත බොනවැන්චර් තුමන් ගේ ඉතිහාසය  පිලිබඳ දේවධර්මය" යන නිබන්ධනය නිසා එතුමන්ට විශ්ව විද්‍යාල කථිකාචාර්ය වරයකු  වීමේ සුදුසු කම් ලැබුණේ ය. එතුමා මුලින්ම දේවධර්ම කථිකාචාර්ය වරයකු ලෙස සේවාව කළේ  ෆ්රීසිං විශ්ව විද්‍යාලයේ දර්ශන සහ දේවධර්ම ශාස්ත්‍ර පීඨයේ ය. ඉන් පසුව බොන්, මන්ස්ටර්, ඇතුළු සරසවි කිහිපයක ආචාර්ය මණ්ඩලයේ සේවය කල එතුමා පසුව  රිගෙන්ස්බර්ග් සරසවියේ උප කුලපති ලෙස ද සේවය කළේ ය. 

දෙවන වතිකාන කතිකාවේ දූත මෙහෙවර  

කතෝලික  සභාව නූතන ලෝකයේ අභියෝග වලටත් ධර්මදානීය සහ අපෝස්තලික අවශ්‍යතා වලටත්  සරිලන  අයුරින් නවෝදාවකට සූදානම් කිරීමේ අරමුණින්  23 වන ජුවාම් පාප් වහන්සේ විසින් දෙවන වතිකාන කතිකාව ආරම්භ කරන ලද්දේ මේ සමයේ ය. මන්ත්‍රණ සභාව කැඳවන ලද්දේ නමුදු එතුමා ස්වර්ගස්ථ  වීම නිසා එම මන්ත්‍රණ සභාව පවත්වාගෙන යමින් සම්පූර්ණ කිරීමට සිදු වූයේ එතුමන් ගේ අනුප්‍රාප්තිකයා වූ  සවැනි පාවුළු පාප් වහන්සේට ය. 

ඊට සහභගී  වීමට ලොව පුරා සිටින සියලුම රදගුරු හිමිවරු ආරාධනා ලබා සිටියහ. එවකට ජර්මනියේ කොලොන් පදවියේ අගරදගරු ජෝසප් ප්‍රින්ග්ස්  කාදිනල් හිමි ද ඊට සහභාගී වීමට රෝමයට පැමිණියේ ය.  එතුමන් එහි පැමිණියේ ඒ වන විට ජර්මනියේ සිටි දක්ෂතම දේවධර්මවේදියකු ද කැටුව ය. එනම් ආචාර්ය ජෝසප් රැට්සිඟර් පියතුමා ය.  

රැට්සිඟර් පියතුමා සමස්ත මන්ත්‍රණ සභාව පුරා ප්‍රින්ග්ස් කාදිනල් හිමියන් ගේ දේවධර්ම  ශාස්ත්‍ර උපදේශකයා ලෙස ක්‍රියා කළා පමණක් නොවේ. එතුමා එම කතිකාව පුරා විවිධ දේවධාර්මික කරුණු පැහැදිලි කරගැනීමේ සක්‍රීය දායකත්වයක් ලබා දෙමින් එම ඓතිහාසික මන්ත්‍රණ සභාව ආලෝකවත් කළේ ය.  මන්ත්‍රණ සභාවේ කටයුතු අතර පෝලන්තයේ සිට පැමිණි තරුණ සහයක රදගුරු හිමි නමක් ද රැට්සිඟර් පියතුමා සමග එක්ව කරට කර වැඩ කළේය. දාර්ශනිකයකු වූ එම සහයක රදගුරු තුමා ගේ නම කැරොල් වොයිටිවා ය. තමන් කැරොල් වොයිටිවා යටතේ වතිකානයේ සේවය කරනු ඇති බවක් හෝ වොයිටිවාට පසුව තමන් පේදුරු ගේ අසුනට පත් වනු ඇති බව හෝ රැට්සිඟර් පියතුමාට එදා සිහිනෙන් හෝ  සිතුනේ නැත. 

රදගුරු-කාදිනල් හිමි 

පෙරලා ජර්මනියට යාමෙන්  පසුව එතුමා ජර්මානු රදගුරු සම්මේලනයේ විවිධ උපදේශක සේවා වල කටයතු කළේය. 1972 දී එතමා තවත් ප්‍රකට දේවධර්ම වේදීන් දෙදෙනෙකු හා එක්ව Communio නමැති දේවධර්ම ශාස්ත්‍රීය සඟරාව ආරම්භ කළේය. 

1977 දී සවැනි පාවුළු පාප් වහන්සේ විසින් ජෝසප්  රැට්සිඟර් පියතුමා මියුනික් සහ ප්‍රීසින් හි අගරදගුරු තුමන් ලෙස පත් කරන ලදී. එවකට වසර  80ක දීර්ඝ ඉතිහාසයක් තිබූ එම පදවියේ රදගුරු ධුරයට පත් කෙරුණු ප්‍රථම පදවි පූජක තුමා එතුමා ය. 

1977 ජුනි 27 වැනි දා පවත්වන ලද කාදිනල් හමුවේ දී සවැනි පාවුළු පාප් තුමන් විසින් රැට්සිඟර් අගරදගුරු හිමිපාණන් කාදිනල්වර ගන්වනු ලැබිණි. 1978 දී පළමුවැනි ජුවාම් පාවුළු පාප් වහන්සේ ස්වර්ගත්ට වීමෙන් පසුව පැවැත්වුණු සුදොතුම් පිය වරණ දැහැනට කාදිනල් තුමකු ලෙස සහභාගී වීමට එතුමාට අවස්ථාව ලැබිණි. දෙවන වතිකාන මන්ත්‍රණ සභාවේ දී එතුමන්ට මුණගැසුණු කැරොල් වොයිටිවා කාදිනල්-අගරදගුරු තුමන් සභාවේ 264 වැනි පාප් වහන්සේ ලෙස තෝරා පත්කරගන්නා  ලද්දේ එම සුදොතුම් පිය වරණ දැහැනේ දී ය. කාදිනල් කැරොල් වොයිටිවා හිමි දෙවන ජුවාම් පාවුළු නමින් පේදුරු තුමන් ගේ මෙහෙවර භාර ගත්තේ ය. 

වතිකානයේ දූත සේවා 

දෙවැනි ජුවාම් පාවුළු සුදොතුම් පියතුමන් විසින් 1981 නොවැම්බර 28 වැනිදා කාදිනල් රැට්සිඟර් හිමි වතිකානයේ ප්‍රබල ම ආයතයක් වන විශ්වාස ධර්මය පිලිබඳ සසුන් නියෝජනයේ ප්‍රධානියා ලෙස පත් කෙරිණි. එම පත්වීම දෙන ලද්දේ  එතුමා මියුනික් සහ ප්‍රීසින් හි අගරදගුරු හිමියන් ලෙස සේවය කරන අතර මය.  1982 පෙබරවාරි 15 වැනිදා එතුමා එම අගරගුරු  පදවිය පරිපාලනයෙන් ඉවත් විය. ඊට සමගාමීව සසුන් පිය බයිබල් කොමිෂන් සභාවේ ප්‍රධානියා ලෙස ද එතුමන් පත් කරනු ලැබිණි. 

දෙවැනි ජුවාම් පාවුළු පාප්වහන්සේ විසින් 1986 දී අතිශය වැදගත් කාර්ය භාරයක් කාදිනල් රැට්සිඟර් හිමියන්ට පවරන ලදී. එනම් කතෝලික සභාවේ ධර්මෝපදේශ සංග්‍රහය සම්පාදනය කිරීමේ කාර්යයයි. ඒ සඳහා ෆිටුවන ලද කොමිෂන් සභාවේ සභාපති ලෙස එතුමන් පත් කරනු ලැබීනි. අවුරුදු 6ක දීර්ඝ වෙහෙසකින් පසුව නව  කතෝලික සභා ධර්මෝපදේශ සංග්‍රහය පාප් වහන්සේ වෙත භාරදෙනු ලැබිණි. සියලු ධාර්මික සහ ශීල ධාර්මික කාරනා වලදී කතෝලික සභාව උගන්වනු ලබන කාරනා පැහැදිලිව සහ සාරාංශ ගතව අන්තර්ගත ධර්ම ඉගැන්වීම්  සංග්‍රහය මෙයයි. මේ නයින් බැලූ කල අද භාවිත කෙරෙන කතෝලික  සභාවේ ධර්මෝපදේශ සංග්‍රහය රැට්සිඟර් හිමියන් ගේ මාහැඟි දායකත්වයක් ලෙස සඳහන් කල හැකි ය.  

2002 දී එතුමා කාදිනල් සංසදයේ නායක හිමියන් ලෙස තෝරා පත්කරගන්නා  ලදී. 

265 වැනි පාප්තුමා 

දෙවැනි ජුවාම් පාවුළු පාප් වහන්සේ ස්වර්ගස්ථ වීමෙන් පසුව පවත්වන ලද සසුන් පිය වරණ දැහැනේ දී කාදිනල් ජෝසප් රැට්සිඟර් හිමිපාණෝ කතෝලික සභාවේ 265 වැනි පාප් වහන්සේ ලෙස තෝරා පත්කරගන්නා ලදහ. එතුමා සිය පාප් ධුර නාමය ලෙස බෙනඩික් යන නම තෝරා ගත්තේ ය. 

ක්‍රි. ව. 1730න් පසුව තේරී පත් වූ වයස වැඩි ම පාප් වහන්සේ සොළොස් වන බෙනඩික් පාප් වහන්සේ ය. එසේ ම 1724න් පසුව දීර්ඝත ම කාලයක් කාදිනල් වරයකු ලෙස සිටි තැනැත්තා ලෙස ද එතුමා ඉතිහාසයට එක්විය. 

පාප් ධුරය වෙනස් වෙයි 



ලෝකය පුරා කතෝලික ජනතාව පමණක් නොව සමස්ත ලෝකයම  මවිත කරමින් තමන් සසුන් පිය ධුරයෙන් විශ්‍රාම ගැනීමට (Renounce the ministry of Bishop of Rome, Successor of Saint Peter) තීරණය කල බව 2013 පෙබරවාරි 11 වැනි දා පැවැත්වුණු සාමාන්‍ය කාදිනල් හමුවක දී සොළොස්වන බෙනඩික් පාප් වහන්සේ ප්‍රකාශ කළහ. සියවස් 6කින් පසුව ධුරයේ සිටි පාප් වහන්සේ නමක් ඉල්ලා අස්වූ ප්‍රථම අවස්ථාව මෙයයි. කතෝලික සභාවේ පිළිගත් සම්ප්‍රදාය වූයේ පාප් වහන්සේ නමක් මිය යන තෙක් එම ධුරය දැරීමය. මේ නිසා පාප් වහන්සේ නමක් මිය යාමෙන් පසුව සිදු කල යුතු පිළිවෙත් ඇතුළත් සභා සම්ප්‍රදායක් ද ගොඩ නැගී තිබුනේ ය. 

මේ හේතුවෙන්  තමන් විශ්‍රාම ගැනීමන් පසුව අනුගමනය කල යුතු ක්‍රියා දාමය ගැන නව ව්‍යවස්ථාවක් විශ්‍රාම ලැබීමට පෙර  නියම කර තැබීමට සොළොස්වන බෙනඩික් පාප් වහන්සේට සිදු විය. 

බොහෝ විචාරකයන් පවසන්නේ ඉසිඹු ලැබීමට එතුමන් ගත් එම තීරණයෙන් පාප් ධුරය සදහට ම වෙනස් වූ බවයි. "අලුත් දොරටුවක් දැන් විවෘත වී තිබෙනවා" යි එතුමා ගේ අනුප්‍රාප්තික ප්‍රැන්සිස් පාප් වහන්සේ පත් වූ මුල් කාලයේ ම ප්‍රකාශ කලේ මේ නිසා ය. මේ නයින් බැලූ විට පාප් වහන්සේ නමක් මිය යාමට පෙර ධුරයෙන් ඉවත් වීම සොළොස්වන බෙනඩික් පාප් වහන්සේ වෙතින් සභාවට ලැබුණු උරුමයක්, නව සම්ප්‍රදායක් ලෙස ඉතිහාසයට එක වනු ඇත. 

එසේ ම ධුරය හැර යාමට සොළොස්වන බෙනඩික් පාප් වහන්සේ ගත තීරණය මේ වියත් ධර්මධර පුදැදුරු තුමන් තුළ ඇති මහා නිහතමානි බවේ සංකේතයක් වැන්න.  

සබැඳි පුවත් : ස්වර්ගස්ථ පාප්තුමා "කරුණාවන්ත, මහාත්ම ගුණයෙන් යුතු මිනිසෙක්" - ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය පූර්ව ගාමියා ගේ ගුණ සමරයි (වීඩියෝ )

ස්වර්ගස්ථ වූ විශ්‍රාමික පාප් වහන්සේ ගේ අවමංගල්‍ය කටයුතු පිලිබඳ නව තොරතුරු (වීඩියෝ)


 



Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය