විශ්‍රාමික ශුද්ධෝත්තම පිය දේහයට අවසන් ගෞරව දැක්වීමට මහ සෙනගක් (වීඩියෝ)

Bidding farewell to the Pope Emeritus - Thousands gather to pay their respects


(2023 ජනවාරි 2)

ස්වර්ගස්ථ වූ විශ්‍රාමික බෙනඩික් පාප් වහන්සේ ගේ දේහය ජනතා ගෞරවය පුද කිරීම පිණිස දැන් වතිකානයේ සාන්ත පීතර බැසිලිකාවේ තැන්පත් කර තිබේ. එතුමන්ට ගෞරව දැක්වීම සඳහා දස දහස් සංඛ්‍යාත ජනතාවක් මේ වන විටත් එම දෙව්මැදුර අබියස පෝලිම් ගැසී සිටිති. තවත් විශාල පිරිසක් ලොව විවිධ ප්‍රදේශ වල සිට රෝමයට පැමිණෙමින්  සිටින බව වතිකාන වාර්තා ප්‍රකාශ කරයි. 

බැසිලිකාවට ගෙන එන්නට කළින් එම දේහය තැන්පත් කර තිබුනේ එතුමන් සිය විශ්‍රාමික ජීවිතය ගත කල වතිකාන උද්‍යානය  තුළ ම ඇති සභා මාතා තාපසාරාම පුංචි දෙව්මැදුරේ ය. ජනවාරි 2 වන දින උදෑසන එහි සිදු කරන ලද කුඩා පෞද්ගලික යැදුම් මෙහෙයකින් පසුව දේහය සාන්ත පීතර බැසිලිකාව වෙත රැගෙන එන ලද්දේ ය. 



සග සැපත් විශ්‍රාමික පාප් වහන්සේ ගේ දේහය සාන්ත පීතර බැසිලිකාව වෙත පැමිණියේ පෙ.ව.  7.15ටයි. එහි දී ගායනා සහිත පෙරහරකින් එම දේහය දෙව්මැදුර තුළට රැගෙන එන ලද්දේ ය. දෙව්මැදුර තුළ දී සාන්ත පීතර බැසිලිකාවේ අග පුදැදුරු මෝරෝ ගම්බෙත්ති කාදිනල් හිමි සගසැපත් පාප් වහන්සේ ගේ දේහය ආසිරි ගන්වමින්  දුම් පූජා ද සහිත යාච්ඥා මෙහෙයක් පැවැත්වී ය. 


දේහයට ජනතා ගෞරව පුද කිරීම පිණිස බැසිලිකා දෙව්මැදුර ජනතාවට විවෘත කරන ලද්දේ උදෑසන 9 ටයි. "පේදුරු ගේ මෙහෙවරට: තෝරාගන්නා ලද 265 වැන්නා වූ එතුමන් ගේ දේහය බැසිලිකාවේ පේදුරු තුමන් ගේ මහා ප්‍රකාශයේ පුදසුන (Altar of the Confession) අබියස  තැන්පත් කර තිබේ.  දේහය රක්ත වර්ණ පූජක ජනවන්දනා ඇඳුමින් සරසා ඇති අතර රදගුරු වරය සංකේතවත් කරන මකුටය හෙවත් මයිටරය හිස පලඳා ඇත. එහෙත් පාප් තුමන් සහ මෙට්‍රොපොලිටන් අගරදගුරු ධුරය සංකේතවත් කරන පැල්ලියම එම ඇඳුම් කට්ටලයට ඇතුළත් නොවේ. ඊට හේතුව ස්වර්ගස්ථ වන අවස්ථාවේ එතුමන් විශ්‍රාම ලබා සිටීමයි. ලේස් අත්වැසුම් වලින් සරසා ඇති අතේ ඇඟිලි අතර ජපමාලයකි. 

බැසිලිකාව විවෘත කළ මොහොතේ සිට ජන ගඟක් ස්වර්ගස්ථ වූ විශ්‍රාමික බෙනඩික් පාප්වහ්න්සේට ගෞරව දැක්වීම පිණිස පැමිණෙමින් සිටිති. ඉතාලි ජනාධිපති සර්ජියෝ මැත්තරෙල්ලා මහතා සහ අගමැති ජියෝර්ජියා මෙලෝනි මහත්මිය මුලින් ම එතුමන්ට ගෞරව පුද කල රෝම වැසියන් අතර වූහ. 



ස්වර්ගස්ථ වූ විශ්‍රාමික පාප් වහන්සේ ගේ දේහය ජනවාරි 4 වන බදාදා රාත්‍රි 7  දක්වා ජනතා ගෞරවය පිණිස තැන්පත් කර තැබේ. එතුමන් ගේ අවමංගල්‍ය දුක් ගායනා පූජාව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ගේ ප්‍රධානත්වයෙන්  ජනවාරි 5 වැනි බ්‍රහස්පතින්දා රෝම වේලාවෙන් පෙ.ව. 9.30 ට සාන්ත පීතර චතුරශ්‍රයේ දී සිදු කෙරේ. 

"විශ්වාසයේ තාර්කික බව නොබියව ඉගැන්වූ විද්වතා" 

ස්වර්ගස්ථ වූ විශ්‍රාමික පාප් වහන්සේ වූ කලී ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි වූ විශ්වාසය තාර්කික එකක් බව නිර්භයව සහ පැහැදිලිව ඉගැන්වූ එක ම විද්වතා බව වතිකාන ප්‍රවෘත්ති සේවාව විශේෂ කතුවැකියක් ලියමින් කියා සිටියි. 

"විශ්වාසයේ තාර්කික බව (යුක්තිසගහත බව) සිය ජීවිතය පුරා මෙනෙහි කල සහ නිර්භයව ඉගැන්වූ එක ම දේවධර්මවේදියෙක් සහ පාප් වහන්සේ නමක් වේ ද ඒ ජෝසප් රැට්සිඟර් ම වේ" යැයි එම කතුවැකිය කියයි. 

"එය එතුමන් ගේ අවසන් ආධ්‍යාත්මික සාක්ෂි දැරීමෙහි සඳහන් කිරීමත් එය එතුමන් සගසැපත් වූ දින ම ප්‍රසිද්ධියට පත් කරනු  ලැබීමත් අහඹු සිදුවීමක් නොවේ. එහි එතුමා මෙසේ කියයි. 'උපකල්පිතයන් ගේ අවුල තුළින් විශ්වාසයේ තාර්කික බව ඉලිප්පී මතු වූ  ආකාරයත් දැනටත් මතු වන ආකාරයත් මම දැක ඇත්තෙමි; දැනටත් දකින්නෙමි. ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ සැබැවින් ම මාර්ගය ද සත්‍යය ද ජීවනය ද වන සේක - එසේ ම සභාව, ඇය ගේ සියලු දුර්වලතා මැද වුව ද, සැබවින් ම උන්වහන්සේ ගේ ශ්‍රී ශරීරය  වන්නේ ය.' " 

ජෝසප් රැට්සිඟර් හෙවත් සොළොස්වන බෙනඩික් පාප් වහන්සේ ගේ මේ ප්‍රකාශය සහ ඉගැන්වීම එම කතුවැකිය මෙසේ විස්තර කරයි:

"එතුමන් ගේ මෙම පුනර් -අවධාරණයෙන් අදහස් වන්නේ - රැට්සිඟර් ගේ දැක්ම අනුව - විශ්වාසය දාර්ශනික 'සංස්ථාවක්' හෝ අදහස් වල වාස්තු විද්‍යාවක් හෝ සදාචාර ධර්ම ලේඛනයක් හෝ බවට ලඝු කිරීම නොවේ. මන්ද කිතුනු විශ්වාසය යනු පුද්ගලයකු සම්මුඛ වීම යන්න අමතක නොකළ යුතු ය." 

සබැඳි තවත් ලිපි : ස්වර්ගස්ථ වූ විශ්‍රාමික පාප් වහන්සේ ගේ අවමංගල්‍ය කටයුතු පිලිබඳ නව තොරතුරු (වීඩියෝ)



Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය