"නිශ්ශබ්දතාව: අවාදර්ශය පමණක්‌ සොයා මොර දෙන ජනයාට දිය හැකි හොඳම ප්‍රතිචාරය" - සාන්තා මාර්තා ධර්ම දේශනය

Silence best response to 'people who seek only scandal' - Reflection at Santa Martha chapel 


(2018 සැප්තැම්බර් 3)
අවාදර්ශයට සහ භේදය වැපිරීමට  දිය හැකි හොඳම පිළිතුර නිශ්ශබ්දතාව බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දෙයි.

"හොඳ හිත නොමැති ජනතාව සමග කටයුතු කිරීමේ දී , අවාදර්ශය පමණක් සොයන ජනයා සමග වැඩකරද්දී, භේදය පමණක් සොයන ජනතාව සමග කටයතු කරද්දී, හොඳම ප්‍රතිචාරය නිශ්ශබ්දතාව සහ යාච්ඥාව යි," යි එතුමා කියයි.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා  මේ බව කියා සිටියේ සාන්ත මාර්තා තානායමේ පුංචි පල්ලියේ පැවැත්වෙන උදාසන දිව්‍ය පූජාවේ සුපුවත් භාවනාව කරමිනි.
ග්‍රීෂ්ම කාලය නිසා නවත්වා තිබූ එම දෙව්මැදුරේ දිව්‍ය පූජාව පැවැත්වීම සැප්තැම්බර් 3 වන සඳුදා සිට එතුමා යළි ආරම්භ කලේය.

මෙදින දිව්‍ය පූජාවේ සුපුවතින් කියැවුණේ ජේසු සමිඳුන් නාසරෙතයේ   ධර්මශාලාවේදී මුහුණ දුන් ජනතා විරෝධයයි. එම ධර්ම ශාලාවේදී ඉසයියස් දිවස්ප්‍රසාදී තුමා ගේ පොතින් කොටසක් කියවා එය විස්තර කිරීමෙන් පසුව උන්වහන්සේට එල්ල වූ මෙම විරෝධයත්, උන්වහන්සේ කන්දෙන් පහලට පෙරළා මරා දමන්නට ජනතාව උත්සාහ කරද්දී ඔවුන් මැදින් නිශ්ශබ්දව ගමන් කර උන්වහන්සේ  ඉවත්ව යාමත් ලූක් තුමා ගේ මෙම සුපුවත් පාඨයට ඇතුලත් විය. (ලූක් 4:16-30)

ජේසු සමිඳුන් ධර්ම ශාලාවට පැමිණෙන විට සියල්ලන් තුළ කුතුහලයක් තිබූ බව එම සුපුවත පිලිබඳ මෙනෙහි කරමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කීවේය. වෙනත් නගරවල ප්‍රාතිහාර්ය කරන බව කියන පුද්ගලයා දැකීමට සෑම කෙනෙකුටම අවශ්‍ය විය. "එහෙත් ඔවුන් ගේ කුතුහලයට පිළිතුරු දෙනවා වෙනුවට ස්වර්ගීය පියාණන් ගේ පුතනුවන් කළේ 'දේව වචනය' භාවිත කිරීමයි. යක්ෂයාට මුහුණ දෙන සෑම අවස්ථාවකම උන්වහන්සේ ක්‍රියා කළ ආකල්පය මෙයයි. පාලමක් ඉදිකිරීමේ අදහසින් උන්වහන්සේ බැහැපත් කමින් භාවිත කළ ප්‍රථම වචන, ඒ වෙනුවට සැකය ජනිත කළා. සැනෙකින්ම එහි තිබූ වාතාවරණය 'සාමයෙන් යුද්ධයටත්' 'පුදුමයෙන් කෝපයටත්' හැරුණා" යි සුදොතුම් පියතුමා විස්තර කළේය.

ඉන් අනතුරුව ඇති වූ තත්වය එම සුපුවත් පාඨයේ විස්තර වන්නේ මෙසේයි: "ධර්ම ශාලාවේ සිටි මුළු සමූහයා ඒ අසා කෝපාවිෂ්ට වූහ. ඔව්හු වහා නැගිට උන්වහන්සේ නුවරින් පිටතට නෙරපා, ප්‍රපාතයට හෙළනු වස් ඔවුන් ගේ නුවර ගොඩ නගා තිබූ කන්ද අද්දරට ගෙන ගියහ. එහෙත් උන්වහන්සේ ජනකාය මැදින් ගමන් කර නික්ම ගියහ."

"අපගේ එදිනෙදා ජීවිතයේ අනවබෝධයන් ඇති වූ විට අප ක්‍රියා කළ යුතු ආකාරය ගැන තේරුම් ගැනීමට මෙම සුපුවත් කියවීම අපට උදව් වෙනවා," යි සුදොතුම් පියතුමා කීවේය. එපමණක් නොවේ. බොරුවේ පියා, චෝදනා කරන්නා, යක්ෂයා, පවුලක හෝ ජනතාවක එක්සත් කම විනාශ කරන්නට උත්සාහ කරන ආකාරය ද මෙම පාඨය අපට පෙන්වා දෙනවා." 

"තමන්  නගරයෙන් පිටතට නෙරපන්නට ගෙන ගිය පුද්ගලයන්ට සමිඳුන් ගේ ප්‍රතිචාරය වූයේ නිශ්ශබ්දතාවයි. ඔවුන් සිතන්නට උත්සාහ කලේ නැහැ. ඔවුන් කලේ  කෑ ගැසීමයි. එහෙත් ජේසු සමිඳුන් නිශ්ශබ්දව සිටියා. එම පාඨය අවසන් වන්නේ, 'එහෙත් උන්වහන්සේ ජනකාය මැදින් ගමන් කර නික්ම ගිය සේක,' කියමින්," යි එතුමා පෙන්වා දුන්නේය. 

මෙහිදී නිශ්ශබ්දව සිටීම මගින් ජේසු සමිඳුන් ජනතාව තුළ බොරුව වපුරා තිබූ යක්ෂයා පරාජය කළ බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේය."ජේසු  සමිඳුන් ගේ ගෞරවනීය බව එයයි. උන්වහන්සේ ගේ පැය තවමත් පැමිණ නොතිබූ නිසා උන්වහන්සේ සිය නිශ්ශබ්දතාව  මගින් එම අයහපත් පිරිස පරාජය කළා.මේ ආකාරයේ ක්‍රියා දකින විට, සත්‍යය නොදකින විට, නිශ්ශබ්දතාව ඉතුරු වන බව මෙය අපට උගන්වනවා."

"පවුලක පවා ඇතැම් විට දේශපාලනය, ක්‍රීඩා හෝ මුදල් වැනි ඕනෑම සාකච්ඡාවක් විනාශකාරී විවාදයක් බවට දරුණු වන අවස්ථා තිබෙනවා. මෙවැනි සාකච්ඡාවල යක්ෂයා සිටින බවත් විනාශ කිරීම ඔහුට අවශ්‍ය බවත් වටහා ගන්න. එවිට නිශ්ශබ්ද වන්න. ඔබගේ අදහස කියා නිශ්ශබ්ද වන්න."

"මන්ද සත්‍යය සෞම්‍යයි; නිහතමානියි. සත්‍යය නිශ්ශබ්දයි. සත්‍යය ඝෝෂාකාරී නොවේ," යි එතුමා අවධාරණය කළේය. 

කුරුසිය මත ජේසු ගේ උදාර බව 

ජේසු සමිඳුන් ගේ ගෞරවනීයත්වය සහ උදාර බව කුරුසිය මතදීත් මොනවට ප්‍රදර්ශනය වූ බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පැහැදිලි කළේය.

ගොබ් ඉරිදා "දාවිත් ගේ පුත්‍රයාට හොසන්නා" යැයි ජය හඬ නැගූ ජනතාව මහ සිකුරාදා "ඔහු කුරුසියේ ඇණ ගසනු" යි හඬ නගද්දී පවා උන්වහන්සේ නිහඬ වූ බව එතුමා පෙන්වා දුන්නේය. කුරුසිය මත ද විවිධ නින්දා අපහාස  ඇසෙද්දී උන්වහන්සේ නිශ්ශබ්ද වූ සේක.

"ක්‍රිස්තුන් වහන්සේ කළ දේ කිරීම පහසු නොවේ. එහෙත් කිතුනුවකු ගේ උදාරත්වය හා ගෞරවනීය බව නැංගුරම් ලා ඇත්තේ දෙවියන් වහන්සේ ගේ බලය මතය," යි එතුමා කීවේය.

 "හොඳ හිත නොමැති ජනතාව සමග කටයුතු කිරීමේ දී , අවාදර්ශය පමණක් සොයන ජනයා සමග වැඩකරද්දී, භේදය පමණක් සොයන ජනතාව සමග කටයතු කරද්දී, නිශ්ශබ්ද වන්න. යාච්ඥා කරන්න."

කෙටි යාච්ඥාවකින් එතුමා මෙම මෙනෙහි කිරීම නිම කළේය:
"අප කතා කළ යුතු අවස්ථාව මෙන්ම අප නිශ්ශබ්දව සිටිය යුතු අවස්ථාව ද නිශ්චය කිරීම සඳහා ජේසු සමිඳාණෝ අපට වරම් දෙන සේක්වා! එය අපගේ ජීවිතයේ සෑම අවස්ථාවකටම..එනම් වැඩ රාජකාරි, ගෙදර, සහ සමාජය යන සියලු අංශවලට ආදාලය... මේ අනුව ජේසු ගේ සැබෑ අනුගාමිකයන් වීමට අපට හැකි වනු ඇත."

අදාළ වෙනත් පුවත්
"වතිකාන තානාපති ගේ ප්‍රකාශයෙන් පසු වතිකානය තුළ කලකිරීක් සහ නොසන්සුන් බවක්; එහෙත් සුදොතුම් පියතුමා වේදනාව නොතකා ශාන්තියෙන්" - වතිකාන රාජ්‍ය ලේකම් පැරොලීනි හිමි





Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය