"වතිකාන තානාපති ගේ ප්‍රකාශයෙන් පසු වතිකානය තුළ කලකිරීක් සහ නොසන්සුන් බවක්; එහෙත් සුදොතුම් පියතුමා වේදනාව නොතකා ශාන්තියෙන්" - වතිකාන රාජ්‍ය ලේකම් පැරොලීනි හිමි

Pope serene despite ‘pain’ over Nuncio’s testimony;  in the Vatican there is bitter disappointment and restlessness,  Cardinal Secretary of State says


(2018 අගෝස්තු 30)
ඇමෙරිකාවේ හිටපු වතිකාන අපෝස්තලික තානාපති කාලෝ මරිය විගානි අගරදගුරු හිමි විසින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ඉලක්ක කරගනිමින් නිකුත් කරන ලද චෝදනා පත්‍රය හේතුවෙන් කතෝලික සභාව තුළ කම්පනයක් සහ නොසන්සුන්තාවක් හටගෙන තිබුනත් සුදොතුම් පියතුමා සන්සුන්ව එම තත්වයට මුහුණ දෙන බව වතිකාන රාජ්‍ය ලේකම් පියෙත්‍රෝ පැරොලීනි කාදිනල් හිමි  පවසයි.

එතුමා පවසන්නේ වර්තමාන තත්වය බඳු තත්වයක් මගින් "පැහැදිලිවම මහත් දොම්නසක්, කටුක බවක් සහ කනස්සල්ලක් ඇතිකරන නමුත් එම තත්වයට ඉතා සන්සුන්ව සහ ශාන්තිමත්ව මුහුණ දීමේ හැකියාවක් සුදොතුම් පියතුමා සතුව පවතින" බවයි.

කාදිනල් පියෙත්‍රෝ පැරොලීනි හිමි මේ බව කියා සිටියේ වතිකානයේ "Vatican Insider" වෙබ් ප්‍රකාශනය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

මෙම සම්මුඛ සාකච්ඡාවට පාදක වූයේ වොෂින්ටන් හි හිටපු අගරදගුරු තියඩෝර් මැක්කෙරික් හිමියන්ට එරෙහි ලිංගික අපයෝජන චෝදනා සම්බන්ධයෙන් පියවර ගැනීම ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් විසින් සිතා මතාම පහර හරිය බවට චෝදනා කරමින් කාලෝ විගානෝ අගරදගුරු හිමියන් විසින් ඉකුත් 25 වැනිදා නිකුත් කරන ලද චෝදනා සහිත ප්‍රකාශයයි. මේ සම්බන්ධයෙන් සොළොස්වන බෙනඩික් පාප් වහන්සේ විසින් මැක්කෙරික් හිමියනට පනවන ලද දඬුවම් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් විසින් ලිහිල් කරන ලද බවටද තානාපතිවරයා චෝදනා කර තිබිණි. මේ හේතුව මත ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඉල්ලා අස්විය යුතු බවට ද එතුමා අභියෝග කර තිබිණි.

එම වාර්තාව  මෙතනින් කියවන්න"ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා දුෂිත කාදිනල්වරයා ආරක්ෂා කිරීමට ක්‍රියා කළා" - හිටපු වතිකාන තානාපතිවරයෙක් චෝදනා කරයි

"මේ දිනවල මා එතුමා (සුදොතුම් පියතුමා) සමග සිටියා. එතුමා අයර්ලන්තයට ගිය සංචාරයේ දී සහ ඉන් පසුව මා එතුමා සමග සිටියා. මා දුටු දේ අනුව එතුමා ශාන්තියෙන් සිටිනවා," යි මේ පිළිබඳව  "Vatican Insider" වෙබ් ප්‍රකාශනය ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්  රාජ්‍ය ලේකම් පැරොලීනි හිමි කියා සිටියේය.   "පැහැදිලිවම මහත් කටුක කලකිරීමක් මෙන්ම මහත් නොසන්සුන්තාවක් ඇතිකරන මෙවැනි තත්වයක් හමුවේ  පවා  සුදොතුම් පියතුමා උතුම් වරප්‍රසාදයක්. මන්ද ඉතා ප්‍රශාන්තව එම ප්‍රශ්නවලට ප්‍රවේශ වීමට හැකියාව එතුමාට තිබෙනවා," එතුමා පැවසුවේය.

පැරොලීනි කාදිනල් හිමි විගානෝ අගරදගුරු තුමන් එතුමන් සමීපව දැන   සිටි තැනැත්තෙකි. එම තත්වය තුළ විගානෝ අගරදගුරු හිමි විසින් මතු කරන ලද මෙම අර්බුදය තමන් අත්දකින්නේ කෙසේදැයි අසන ලද ප්‍රශ්නයට පිළිතුරු දුන් පැරොලීනි  කාදිනල් හිමි කියා සිටියේ එයින් ඇතිකරනු ලැබ ඇත්තේ දැඩි වේදනාවක් බවයි. "මේ දේවල් ඉදිරියේ දැනෙන වේදනාව -දැඩි වේදනාව - හැර වෙනත් යමක් ගැන කියන්නට බැහැ," යි එතුමා කීවේය. මේ කාරණාව තුළ "සත්‍යයත් සාධාරණත්වයත් සොයායාම" සියල්ලන් විසින් ම කල යුතු දෙය බව එතුමා පෙන්වා දුන්නේය. "එහෙත් නිශ්චිත වශයෙන් ම මෙම තත්වය කිසිසේත්ම කනස්සල්ල්ලට කාරනාවක් නොවේ," යි ද එතුමා සඳහන් කළේය.

අමෙර්කාවේ හිටපු වතිකාන තානාපතිවරයා වන විගානෝ අගරදගුරු හිමි ගේ මෙම චෝදනාවල නිරවද්‍ය භාවය ගැන ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දුන් රාජ්‍ය ලේකම් පියෙත්‍රෝ පැරොලීනි කාදිනල් හිමි කියා සිටියේ ඒ සම්බන්ධයෙන් සවිස්තරව කතා නොකිරීම වඩා හොඳ බවයි. " "මේ කාරනා ගැන විස්තර වලට නොයෑම වඩා හොඳයි. සුදොතුම් පියතුමා කී දේ සමග මා එකඟ වෙනවා. 'එම ප්‍රකාශය කියවා ඔබගේම විනිශ්චයට එළඹෙන්න. එම ප්‍රකාශයම ඒ වෙනුවෙන් කතා කරනවා',"යි එතුමා සඳහන් කළේය.

සභා නායකයන් තුළ මත බෙදීමක් ?

අගරදගුරු කාලෝ විගානෝ හිටපු තානාපතිවරයා ගේ චෝදනා වලට ලැබෙන ප්‍රතිචාර අනුව පෙනී යන්නේ, ඒ චෝදනා පත්‍රය  මත සභාවේ නායකත්වය තුළ  - විශේෂයෙන් ඇමෙරිකාවේ සභා නායකත්වය තුළ - පැහැදිළි මත බෙදීමක් පවතින බවයි.

මෙම මත බෙදීමේ දී ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් පැහැදිලි ලෙසම දැඩි විවේචනයට ලක්  කරන වේදිකාව මත  සිටින්නේ ඉකුත් කාළය පුරා ප්‍රැන්සිස්-විරෝධී ස්ථාවරයක සිටි සභාවේ   ගතානුගතික මතවාදී (conservative) රදගුරු, පුදැදුරු සහ ශීලධර්මවේදී කණ්ඩායම බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. මෙතෙක් කළක් පසුබිමේ සිට ප්‍රැන්සිස් විරෝධී මතධාරීන්ට සහය දුන් එතුමා ගේ "නීතියට ඉහලින් සමිඳුන් ගේ දයා කරුණාව" යන දැක්මට විරෝධය දක්වන පිරිස් මෙම චෝදනා පත්‍රය භාවිත කරමින් දැන් එළිපිටම එතුමනට අභියෝග කිරීමට පටන්ගෙන තිබේ.

ඇමෙරිකාවේ සහ ඉතාලියේ  ගතානුගතික මතවාදී සහ  සහ අන්ත දක්ෂිනාංශික කතෝලික ජනමාධ්‍ය ද මෙම තත්වය දඩමීමා කරගනිමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමාට එරෙහි දැඩි මතවාදයක් පතුරුවා  හරිමින් සිටියි. මෙවැනි කතෝලික ප්‍රකාශන ගණනාවක් ම ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කොන්දේසි විරහිතව ආරක්ෂා කරමින් ඔහුට පක්ෂව මත ප්‍රචාරය කරන ඒවා වීම ද පැහැදිලිව පෙනෙන දෙයකි. මෙම මත ප්‍රචාරය  කෙතරම් විෂම ද  කියන්නේ නම් විනාඩියෙන් විනාඩිය මෙම පුවතට අදාළ තොරතුරු විකාර රූපී මුහුණුවරක් ගනිමින් තිබේ.

එහි  අලුත්ම තත්ත්වය නම් මෙම චෝදනා පත්‍රය නිකුත් කළ කාලෝ විගානෝ අගරදගුරු තුමා "සිය ජීවිත ආරක්ෂාව පතා සැඟවී" ඇති බව ප්‍රචාර කිරීමයි. මෙම ප්‍රචාරය ද සිදු කරන ලද්දේ විගානෝ අගරදගුරු හිමි ගේ චෝදනා ප්‍රකාශය මුලින්ම නිකුත් කළ, (එම ප්‍රකාශය එතුමන්ට ලියා දී කිහිප විටක් සංස්කරණය කරන ලද බව ද පිළිගත්) ප්‍රවීණ වතිකාන මාධ්‍යවේදී එඩ්වර්ඩ් පෙන්ටින්ය. "සිය ප්‍රකාශය නිසා සිය ජීවිත ආරක්ෂාව පිළිබඳව පැන  නැගුනු බිය හේතුවෙන් අගරදගුරු වියානෝ හිමි ප්‍රසිද්ධ නොකළ තැනක සැඟවී සිටියි" යි පෙන්ටින් වාර්තා කළේය. මෙම තොරතුර ගැන කතා කරන බොහෝ විචාරකයන් පෙන්වා දෙන්නේ මෙය මෙම ප්‍රශ්නයේ අතිශයින් විකාර සහ විෂම වර්ධනයක් බවයි.

මෙය තව තවත් කවර විකාර රූපී බවක් ගනු ඇත්ද යන්න ගැන අනාවැකි පලකල නොහැකි බව ඔව්හු පෙන්වා දෙති.

සේයාරුව: වතිකාන රාජ්‍ය ලේකම් කාදිනල් පැරොලීනි හිමි 


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය