"මරණ දඬුවම සුබ අස්නට පටහැනියි" ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අවධාරණය කරයි: "එය මිනිසා හා සමාජය පිලිබඳ මැවුම්කාරයාණන් ගේ සැලැස්මටත් උන්වහන්සේ ගේ දයා කරුණාබර යුක්තියටත් පටහැනියි." (Updated with new information)

"Death penalty is contrary to the Gospel" Holy Father reiterates at the 25th anniversary of the Catechism of the Catholic Church 


(2018 ජූලි 14)
මරණ දඬුවම කිසියම් වරදකරුවන් පිරිසකට අදාලව  යළි ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාවේ කැබිනට් මණ්ඩලය තීරණය කිරීමත් සමග මේ සම්බන්ධයෙන් කතෝලිකයන් ගත යුතු ස්ථාවරය කුමක්ද යන්න ගැන විවිධ මත පලවෙමින්  තිබේ. මීට අදාලව කතෝලික සභාවේ නිල ඉගැන්වීම කුමක්ද යන්න ගැන ද අවුල් සහගත තත්වයක් පැන නැගී ඇති බව දක්නට ඇත.

මෙම ලිපිය මගින් "වතිකාන සුළගේ" අරමුණ මෙම කරුණට අදාලව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ප්‍රමුඛව කතෝලික සභාවේ නිල ඉගැන්වීම  කුමක්ද යන්න ගැන ආලෝකයක් ලබා ගැනීමය.

මරණ දඬුවම සමස්ත ලෝකයෙන්ම තුරන් කළ යුතු බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඉකුත් වසර 5කට වැඩි කාලය තුළ නොකඩවා අවධාරණය කර තිබේ. පුද්ගලයකු කර ඇති අපරාධය කෙතරම් බරපතල වුවද ඊට දඬුවම් ලෙස එම පුද්ගලයාගේ ජීවිතය පැහැරගැනීම අතිශයින් අමානුෂික වූත් ශුද්ධ ලියැවිල්ලට පටහැනිවූත් ක්‍රියාවක් බව එතුමා දිගින් දිගටම පෙන්වා දෙමින් සිටියි.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මරණ දඬුවම සම්බන්ධයෙන් ඉතා මෑතකදීම  කරුණු දැක්වූයේ 2017 ඔක්තෝබර 11 වැනිදා දවස පුරා  වතිකානයේදී  පැවැත්වුණු  සම්මන්ත්‍රණයකදීය. නව ධර්මදානය පිලිබඳ ශුද්ධාසන මණ්ඩලය විසින් මෙම විශේෂ සම්මන්ත්‍රණය සංවිධාන කර තිබුනේ කතෝලික සභාවේ ධර්මෝපදේශය නිකුත් කිරීමේ 25 වැනි සංවත්සරය සැමරීම පිණිසය.

"කතෝලික සභාවේ ධර්මෝපදේශය තුළ මරණ දඬුවම නමැති මාතෘකාවට වඩා ප්‍රමාණවත් සහ වඩා පැහැදිලි ඉඩකඩක් ලබා දිය යුතු" යයි මෙම සම්මන්ත්‍රණයට ලොව සෑම ප්‍රදේශයකින්ම පැමිණ සිටි රදගුරු හිමිවරුන්, පූජකවරුන් සහ ගිහි වියතුන් අමතමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කීවේය.

"මෑත කාලීන සභා ඉගැන්වීම්  සහ පාප් වහන්සේලාගේ ඉගැන්වීම් සැලකිල්ලට නොගෙන ඉතිහාසයේ හුදු මතකයක්  පමණක් බවට මරණ දඬුවම නමැති මාතෘකාව බාල කල නොහැකිය. එසේම මානව ගරුත්වයට  බරපතල ලෙස හානිකරන මෙම දඬුවම සමග එකඟ වීම ප්‍රතික්ෂේප කරන ක්‍රිස්තියානි ජනතාවගේ අන්‍යෝන්‍ය දැනුවත්කම කෙරෙහිද සැලැකිල්ල යොමු කල යුතුව තිබේ" යි එතුමා කීවේය.

"පුද්ගලයකු මරණ දඬුවමට ලක් කිරීම, එය කවර ආකාරයෙන් සිදු කලත්, මානව ගරුත්වයට අවමන් කරන අතිශයින් අමානුෂික ක්‍රියාවක් බව දැඩි ලෙස අවධාරණය කළ යුතුය. එසේම, මානව ජීවිතයක් මර්දනය කිරීමට සිය කැමැත්තෙන්ම තීරණය කිරීමක් සිදුවන නිසා මරණ දඬුවම  එහි ස්වභාවයෙන්ම සුබ අස්නට ඉඳුරාම පටහැනියැ"යි  සුදොතුම් පියතුමා අවධාරණය කළේය. මානව ජීවිතය මැවුම්කාරයාණන් වන දෙවියන් වහන්සේගේ  නෙත් ඉදිරිපිට නිරන්තරයෙන්ම පරිශුද්ධය. එබැවින් අවසාන විශ්ලේෂණයේ දී මානව  ජීවිතය සම්බන්ධයෙන් සැබෑ විනිශ්චයකාරයා ද සැබෑ ඇපකාරයාණන්ද වන්නේ උන්වහන්සේ පමණක්ම" යැයි  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ලොව පුරා රදගුරු, පුදැදුරු සහ ගිහි වියතුනට පෙන්වා දුන්නේය.

මරණ දඬුවම සම්බන්ධයෙන් අතීතයේ කතෝලික සභාවද වැරැදි තීරණ වලට එළැඹ ඇති බව එතුමා මෙහිදී සිහිපත් කළේය.
"කනගාටුදායක ලෙස ශුද්ධාසනය ද අතීතයේ ඇතැම් අවස්ථාවල දයා කරුණාව සහ සාධාරණත්වය නොසලකා හැර  අතිශයින් අමානුෂික සහ අන්තවාදී දඬුවම්වලට යොමු වී තිබේ" යැයි එවැනි අවස්ථා සිහිපත් කරමින් එතුමා කියා සිටියේය.

 දෙවියන් වහන්සේ, සිත්හැරී පෙරළා තමා වෙත එන පුතා ගැන බලා සිටින කරුණාවන්ත පියාණෝ  බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය දේශනයෙන් යලිත් සිහිපත් කළේය:
"එබැවින් කිසිවෙකුගේ ජීවිතය පැහැරගනු  ලැබීමට ඉඩ දිය නොහැකියැ"යි එතුමා අවධාරණය කළේය. "පසුකාලීනව සමාජයේ යහපතට හේතුවිය හැකිය යන සදාචාරාත්මක හෝ සාංදෘෂ්ටික (existential) ආකල්පයෙන් හෝ කිසිවකු ගේ ජීවිතය පැහැරගනු  ලැබිය නොහැකිය," යි එතුමා කීවේය.

"අතීතය පිළිබඳව අපි වගකීම භාර ගනිමු. අතීතයේදී සභාව පවා මෙවැනි මාර්ගවලට යොමු කරන ලද්දේ  ක්‍රිස්තියානි මානසිකත්වයකට වඩා නෛතික මානසිකත්වයක් විසින් බව අපි පිළිගනිමු. එකල බලය පවත්වාගැනීම කෙරෙහි වූ සැලැකිල්ල විසින් නීතියේ අගය අධිතක්සේරුවට ලක්කොට සුබ අස්න වඩා ගැඹුරින් තේරුම් ගැනීම අවහිර කොට තිබිණි. කෙසේ නමුත්, පුද්ගල ගරුත්වය යලි තහවුරු කරන ලෙස ඉල්ලා නැගෙන ජනහඬ ඉදිරියේ අද දවසේ උදාසීනව සිටීම අපව වඩ  වඩාත් වරදකරුවන් කරනු ඇතැයි" සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේය.

"කවර තරමේ බරපතල අපරාධයක් සිදු කරන ලද්දේ වුවත් ඊට දඬුවම් ලෙස මරණ දඬුවම පිළිගත නොහැකිය. මන්ද එය  මානව පුද්ගලයාගේ ගරුත්වයටත් අනුල්ලංඝනීය බවටත් එරෙහි වන බැවිනි" එතුමා වැඩිදුරටත් කියා  සිටියේය.

කතෝලික සභාවේ ධර්මෝපදේශය

කතෝලික ධර්මොපදේශය ද කතෝලික ජනතාවට උගන්වන්නේ මරණ දඬුවම පිටුදැකිය යුතු බවයි. එහෙත් එම ධර්ම ප්‍රකාශනය නිකුත්  කිරීමේ 25 වැනි සංවත්සරයේ දී ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පැවසූ ආකාරයට ධර්මෝපදේශයේ එම ඉගැන්වීම පැහැදිලිව ලියා නැත. එසේ වුවද, මරණ දඬුවම පිටු දැකිය යුතු බව එම ලේඛනය මෙසේ ප්‍රකාශ කරයි.

"ආක්‍රමණිකයාගෙන් ජනතාව ආරක්ෂාකොට සුරක්ෂිත කිරීම සඳහා මරණීය නොවන ක්‍රමවේද සහ මාර්ග ප්‍රමාණවත් බව හැඟී යන්නේ නම්, බලධාරීන් අනුගමනය කළ යුත්තේ එම මරණීය නොවන මාර්ග පමණි. මන්ද එම මාර්ග පොදු යහපතට හේතු වන අතර ඒවා මානව පුද්ගලයා ගේ ගරුත්වය හා එකඟ වන බැවිනි," යි ධර්මොපදේශයේ සඳහන් වේ. "මරණ දඬුවම අත්‍යවශ්‍ය යයි හෝ ආචාර ධාර්මික වශයෙන් සාධාරණ යැයි කිව හැකි අවස්ථා වර්තමානයේ අතිශයින්ම විරල හෝ කිසිසේත් හමු නොවේ" යනුවෙන් ද ධර්මොපදේශය උගන්වයි.

මේ අනුව සේම ශුද්ධ ලියැවිල්ල අනුව ද කිතුනුවනට මරණ දඬුවම අනුමත  කළ නොහැකිය.

"ඇසට ඇස , දතට දත" යන මෝසස් ගේ ඉගැන්වීම ක්‍රිස්තුන් වහන්සේ ඉතා පැහැදිලිව වෙනස් කළ සේක. උන්වහන්සේ මෝසස් ගේ නීතිය වෙනස් කලේ "මෙසේ ලියා ඇත.......එහෙත් මම ඔබට කියමි........." යන අවධාරනාත්මක වචන යොදා ගනිමිනි.


මෑත කාලීන පාප් වහන්සේලා 

මෙම ඉගැන්වීම් පාදක කර ගනිමින් මෑත කාලීන සුදොතුම් පියවරු සියලු දෙනාම මරණ දඬුවම ලොවින් තුරන් කල යුතු බව ඉතා පැහැදිලිව හා දැඩිව  අවධාරණය කළහ. ඒ අතර ප්‍රමුඛත්වය ගන්නේ ශු. දෙවැනි ජුවාම් පාවුළු පාප් වහන්සේය. එතුමන් අතින් ලියැවුණු "Evangelium Vitae" නමැති විශ්ව ලේඛනය ජීවිතය පිලිබඳ සුන්දර දේව ධාර්මික ගද්‍ය කාව්‍යයක් වැන්න. මානවයකු මව් කුස පිළිසිඳ ගන්නා අවස්ථාවේ සිට ස්වාභාවික මරණය තෙක් ජීවිතයේ ඇති පාරිශුද්ධත්වය මෙම ලේඛනය මගින් අවධාරණය කර තිබේ. "ජීවිතය විනාශ නොකරව" යන දේව පනත මරණ දඬුවමට ද එක සේ වලංගු බව ශුද්ධ ලියැවිල්ල විදහා දක්වමින් මෙම දර්ශන විශාරද පාප් වහන්සේ අවධාරණය කරති. ඊට අමතරව ප්‍රැන්සිස් පාප් තුමා  සේම දෙවන ජුවාම් පාවුළු පාප් තුමා ද සිය 25 අවුරුදු පාප් ධුර  කාලය තුළ මරණ දඬුවම අහෝසි කරන්නැයි පුණ පුණා  ලෝකයෙන් ඉල්ලා සිටියේය.

1999 ජනවාරි මාසයේ ඇමෙරිකාවේ අපෝස්තලික සංචාරයක යෙදෙමින් සිටියදී මිසූරි ප්‍රාන්තයේ සාන්ත ලුවිස් නුවර පැවැති දිව්‍ය පූජාවේදී එතුමා මෙසේ කීවේය:
"කිසිවකු අතිශය දරුණු අපරාධයක් කර ඇති අවස්තාවක වුවද මානව ජීවිතයේ ගරුත්වය කිසිදාක පැහැරගත නොහැකිය යන සත්‍යතාව ලොව පුරා වඩ වඩාත් පිළිගැනීමට ලක්වෙමින් තිබීම බලාපොරොත්තුවේ සංකේතයකි. ...මා මීට කලිනුත් කර ඇති ආයාචනය යළිත් කිරීමට කැමැත්තෙමි. මරණ දඬුවම ලොවින් තුරන් කිරීම සඳහා ලොව පුරා සම්මුතියක් ඇති කර ගන්න...මරණ දඬුවම කුරිරු මෙන්ම අනවශ්‍ය දඬුවමකි..." (1999 ජනවාරි 27).

සොළොස්වන බෙනඩික් පාප්තුමා ද  සිය ධුර කාලය තුළ මරණ දඬුවම අහෝසි කරන ලෙස ලොව සියලු රටවලින් ඉතා පැහැදිලිව ඉල්ලා සිටියේය.

ලෝක කතෝලික සභාව 

සභාවේ මම ඉගැන්වීම අනුගමනය  කරමින් ලොව පුරා සියලු රටවල කතෝලික සභා නායකයෝ මරණ දඬුවම  අහෝසි කරගැනීම සඳහා දැඩි පරිශ්‍රමයක නිරත වී සිටිති. ඇමෙරිකාවේ කතෝලික සභාව මෙහි පෙරමුණ ගෙන සිටින සභාවකි.

මෙවැනි උත්සාහයන් ගැන මෑතකදීම වාර්තා වූයේ පිලිපීනයෙනි.  කතෝලික රටක් වන  පිලිපීනය ද මත්ද්‍රව්‍ය උවදුරට ඉතා තදින් ගොදුරු  වී ඇති රටකි. මෙම උවදුරින් රට ගලවා ගැනීම සඳහා ජනාධිපති රොඩ්රිගෝ දුතෙර්තේ යොදා ගත් ක්‍රමය නම් රාජ්‍ය අනුග්‍රහය ලත් රහස් ඝාතක කල්ලි යොදවා මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් ඝාතනය කිරීමයි. "මුංව හිරගෙවල්වල දාගෙන කන්ඩ දෙන්ඩ මට සල්ලි නැහැ " දුතෙර්තේ කීවේය. ඔහු ජනාධිපති වී දින කිහිපයක් ඇතුළත ඉතා වේගයෙන් දොරින් දොර ගමින් ගම මල ගෙවල් ඇතිවන්නට විය. රාත්‍රියේ ගම හා නගරය  හාත්පසින් ඇසෙන විලාප සාමාන්‍ය දෙයක් වන්නට විය. මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් දැඩි අසහනයට පත්ව සිටි කතෝලිකයෝ බහුතරයක් ද ජනාධිපති දුතෙර්තේ ගේ මම සාහසික මාර්ගය අනුමත කළහ. එහෙත්  පිලිපීන කතෝලික නායකත්වය - එනම් රදගුරු, පුදැදුරු, ගිහි නායකත්වය - මෙම ජනප්‍රිය මතයට එරෙහිව උඩුගම් බලා පිහිනූහ. ශුද්ධ ලියවිල්ල හා සුදොතුම් පිය ඉගැන්වීම්  පදනම් කරගත් ඔවුහු ජනාධිපති දුතෙර්තේ ගේ මෙම සාහසික ක්‍රියාවට එරෙහිව අභීතව හඬ නැගූහ. මේ නිසා එරට කතෝලික රදගුරු හා පුදදුරු වරුනට ජනාධිපති දුතෙර්තේ ගේ දැඩි නින්දා අපහාස වලට ගොදුරු වීමට සිදුවිය. මේ වන විට නාඳුනන තුවක්කු කරුවන් ගේ ඉලක්ක වලටද මේ අතරින් ඇතැමෙක් බිලිවෙමින් සිටිති. එහෙත් "අපරාධකරුවන් වුවද"  ජීවිතය පිලිබඳ අයිතිවාසිකම හා ජීවිතයේ පාරිශුද්ධත්වය  රැකගැනීම උදෙසා පිලිපීනයේ සභාව දැඩි උත්සාහයක නිරත වී සිටියි. පිලිපීන සභාවේ මෙම අරගලය තවමත් අවසන් වී නොමැත. පිලිපීන සභාවේ මෙම අරගලය තවමත් අවසන් වී නොමැත. එම සභාව සිය ප්‍රසාද ස්නාපනීය දිවැසිවර මෙහෙවර ජීවිතයෙන්ම ක්‍රියාත්මක කරන සභාවකි.

ශ්‍රී ලංකාව 

ශ්‍රී ලංකාවේ  කතෝලික ජනතාව මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීමේ ආණ්ඩුවේ තීරණය  දෙස බැලිය යුත්තේ හැඟීම් වලට වහල්ව  නොවේ; පක්ෂ, පාට කන්නාඩි වලින් නොවේ.

එක් අතකින් නිල කතෝලික සභාවේ ඉගැන්වීම කවරේද යන්න ගැන කතෝලිකයා දැනුවත් විය යුතුය.  මෙම  ඉගැන්වීමට පාදක වන දේව ධාර්මික පසුබිම ගැන දැනුවත් විය යුතුය. එසේම ලොව පුරා මරණ දඬුවම ක්‍රියාත්මක වන රටවල් අතලොස්සේ  කතෝලික සභා නායකත්වය එම  දඬුවමට එරෙහිව ගෙන යන අරගලය ගැන ද අවබෝධයක් ලබා ගත යුතුය.

අනෙක් අතින් කතෝලික ජනතාව තාර්කික වීමද අත්‍යවශ්‍යය. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමෙන් අපරාධ මර්දනය කිරීමේ හැකියාව  තිබේද? වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය වර්ධනය වීමට එකම හේතුව මරණ දනුවම නොමැති වීම ද? රටේ ඉහලම දේශපාලන නායකයාගේ සිට බලය සතු සෑම පුද්ගලයකුම නීතියේ ආධිපත්‍යයට හිස නොනමා තමන් නීතියට ඉහලින් තබා ගන්නට උත්සාහ කරන රටක මත්ද්‍රව්‍ය වැනි සංවිධානාත්මක අපරාධ මර්දනය කළ හැකිද? බලය සහ මුදල් විසින් අධිකරණය  දුෂ්‍ය වී ඇති රටක හුදෙක් මරණ දඬුවම පැනවීමෙන් අපරාධ මර්දනය කල හැකිද? දැවැන්ත මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් නගර සභාවල සිට පාර්ලිමේන්තුව දක්වා නියෝජන කිරීමට සිය දේශපාලන නායකයන් ගෙන් වරම් ලබා, ජනතා චන්දයෙන් පවත්වී  සිටින රටක,  මරණ දනුවම පැනවීමෙන් අපරාධ මර්දනය කල හැකිද? සභාවේ ඉගැන්වීම් මඳකට අමතක  කර මෙසේ තාර්කිකව කල්පනා කිරීමෙන් පවා මේ ප්‍රශ්නය ගැන පැහැදිලි තීරණයකට එළැඹීමට කතෝලික ජනතාව හැකියාව ලැබෙනු ඇත.

උදාසීනකම 

එසේ කල්පනා කරන කතෝලිකයාට උදාසීනව සිටිය නොහැකිය.

පූජක, නායක. දිවැසිවර යන තෙවදෑරුම් මෙහෙවර ප්‍රසාද ස්නාපනයෙන් ලබා අභිවෘද්ධි ආලේපයෙන් ශුද්ධාත්ම වරමින් සවිමත් වන කතෝලික ජනතාව ලෝකයේ ප්‍රශ්න ඉදිරියේ "උදාසීනව, උකටලීව" නොසිටිය යුතු බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා නිතර අවධාරණය කරයි. නූතන සමාජයේ පරිහානියට හේතුව බහුතර යහපත් ජනයාගේ මෙම උදාසීනත්වය බව එතුමා පෙන්වා දෙයි. උදාසීනත්වයෙන් මිදී කතෝලික ජනතාව ක්‍රියාකාරී විය යුතු බව එතුමා අවධාරණය කරයි.

මරණ දඬුවම අහෝසි කරගැනීම උදෙසා මෙන්ම එය ක්‍රියාත්මක කිරීමට හේතුව බවට ආණ්ඩුව පවසන මත්ද්‍රව්‍ය ඇතුළු සියලු අපරාධ මර්දනය කිරීමට හැකියාව ලැබෙන්නේ ඒවාට එරෙහිවත් ඒවාට උදව් දෙන දේශපාලන සහ ව්‍යාපාරික නායකයනටත් එරෙහිව  තමනට හැකි අයුරින් ක්‍රියාත්මක වීමෙනි.

සේයාරුව: කතෝලික සභා ධර්මොපදේශයේ 25 වැනි සංවත්සර සභාව අමතා සුදොතුම් පියතුමා කතා කළ අවස්ථාව

මෙම මාතෘකාවට අදාළ තවත් ලිපි කියවන්න:
"ලොව පුරා මරණ දඬුවම තහනම් කරමු. ඊට කැපවන අයට මගේ සහය!" - පාප් වහන්සේ ඇමෙරිකානු මන්ත්‍රී මන්ඩලයට පවසති

"මරණ දඬුවමෙන් යුක්තිය ඉටු නොවේ. වෛරය උතුරවයි. එය තහනම් කළ යුතුයි"



Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය