මරණ දඬුවම අහෝසි කරන්න; රාජ්‍ය ණය සමා කරන්න; විරැකියාවට විසඳුම් සොයන්න" - පාප්වහන්සේ සාම දින පණිවිඩයෙන් රාජ්‍ය නායකයන්ගෙන් ඉල්ලති

Holy Father appeals to global leaders: abolish death penalty, forgive debt, find solutions to unemployment 


(2015  දෙසැම්බර 16)
සමාජයේ ඉහළම අවශ්‍යතාවන්ගෙන් පෙළෙන කණ්ඩායම් කෙරෙහි සැලකිල්ල දක්වන එඩිතර තීරණ ගන්නැයි ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ ලෝක නායකයන්ගෙන් ප්‍රබල ඉල්ලීමක් කරති. විශේෂයෙන් සිරකරුවන්, සාංක්‍රමනිකයන්, රැකියා විරහිත වූවන් හා රෝගීන්ගේ අවශ්‍යතා සැලසීම සම්බන්ධයෙන්   මෙම තීරණ ගන්නැයි උන්වහන්සේ ඉල්ලා සිටිති. මරණ දඬුවම අහෝසි කිරීම සහ බදු බරින් පීඩිත ජාතීන් ජාත්‍යන්තර බදු වලින් නිදහස් කිරීම ද උන්වහන්සේ ලොව පුරා රාජ්‍ය හා ආණ්ඩු  නායකයන්ගෙන් කල ඉල්ලීම අතර වේ.

පාප් වහන්සේ මෙම ඉල්ලීම කර ඇත්තේ 2016 ජනවාරි පළමුවැනි දා සැමැරෙන ලෝක සාම දිනය වෙනුවෙන් සිය පණිවිඩය නිකුත් කරමිනි. එම වසරේ දී ලොව පුරා කතෝලිකයන් සමරන "දයාවේ ජයන්ති වසර" පාදක කර ගනිමින් පාප් වහන්සේ මෙවර සාම දින පණිවිඩය  නිකුත් කර තිබේ. එම පණිවිඩයට එතුමා අත්සන් කර ඇත්තේ ජයන්ති වසර ආරම්භ වූ දෙසැම්බර් 8 වැනිදා ය.

2016 ලෝක සාම දින පණිවිඩය එතුමන් නම් කර ඇත්තේ "උදාසීනත්වය පරාජය කොට සාමය ජය ගනිමු" යනුවෙනි. "දයාවේ ජයන්තියේ සංකේතය සාමයයි" යන උප සිරසින් යුත් පණිවිඩයේ අවසන්  කොටසේ පාප් වහන්සේ ප්‍රබල වචන භාවිත කරමින් මෙම ඉල්ලීම කර තිබේ.

බන්ධනාගාර ගතවූවන් හා පෝරකය
සුදොතුම් පියතුමා මෙම කොටසේ මුලින්ම කතා කරන්නේ සිරගතවුවන් පිළිබඳවයි. බොහෝ සිර කඳවුරු හා බන්ධනාගාරවල පවත්නා මිනිස් වාසයට නුසුදුසු අපිරිසිදු තත්ව ගැන කතා කරන උන්වහන්සේ පවසන්නේ සිරකරුවන් ද මනුෂ්‍යයන් බැවින් ඔවුනට ජීවත් විය හැකි තත්වයක් ඒවායේ තිබිය යුතු බවයි.

"බන්ධනාගාරවල හා බන්ධනාගාර ගත කරන ලද්දවුන් ජීවත් වන  තත්වය වැඩිදියුණු කිරීමෙහි ලා ප්‍රායෝගික පියවර ගැනීම ඉතා කඩිනමින් කල යුතුව තිබේ. විශේෂයෙන් ම සිය නඩු විමසන තෙක් රඳවා සිටින රක්ෂිත බන්ධනාගාර ගතවූවන් කෙරෙහි මෙහි දී විශේෂ අවධානය යොමු කල යුතු ය. නෛතික දඬුවම් පැමිණවීමේ අවසන් ඉලක්කය පුද්ලයන් පුනරුත්ථාපනය කිරීම බව නිතර සිහි තබා ගත යුතු ය. එසේම, මෙලෙස පුද්ගලයන් පුනරුත්ථාපනය කිරීමේ  අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා සිරගතකිරීමට වඩා වෙනත් ක්‍රියා මාර්ගයක් ඇත්දැයි ජාතික නීති සම්පාදකයන් සොයා බැලිය යුතුය."

මීට කලින් දෙවතාවක් (එක වතාවක් ඇමෙරිකානු කොන්ග්‍රෙස් මණ්ඩලය ඉදිරියේ දී) මරණ දඬුවමට එරෙහිව කතා කර ඇති පාප් වහන්සේ පෝරකය අහෝසි කරන්නැයි මෙම පණිවිඩයෙන් යලිත් වරක් ප්‍රබල ලෙස ඉල්ලා සිටිති. "මෙම සන්දර්භය තුළ මරණ දණ්ඩනය අහෝසි කරන්නැයි එය තවමත් ක්‍රියාත්මක කරන රටවල රාජ්‍ය බලධාරීන්ට මම යලිත් වරක් ආයාචනා කරමි."

සාංක්‍රමනිකයන් 
ප්‍රැන්සිස් පාප් වහන්සේ සිය සාම දින පණිවිඩයේ ඊළඟට කතා කරන්නේ සාංක්‍රමනිකයන් පිළිබඳවයි. සමහර සංවර්ධිත රටවලට පලාවිත් එම රටවල රහසිගතව ජීවත්වන සාංක්‍රමණිකයන් නීත්‍යනුකුල තත්වයට පත් කරන ලෙස එතුමා ලෝක නායකයන්ගෙන් ඉල්ලා සිටිති.

"සංක්‍රමණිකයන පිලිබඳ නීති සමාලෝචනය කරන ලෙස මම ඉල්ලා සිටිමි. රට  රටවල අන්‍යොන්‍ය අයිතිවාසිකම් හා වගකීම් වලට ගරු කරමින් සාංක්‍රමනිකයන් පිළිගැනීමටත් ඔවුන් අන්තර්ග්‍රහණය කරගැනීමටත් ඇති සුදානම පිළිබිඹු වන පරිදි ඒවා නවීකරණය වීම සුදුසු ය.නීත්‍යනුකුල වාසය සඳහා අවකාශ  ලැබෙන අයුරින් ඒවා සකස් වීම කෙරෙහි සැලකිල්ල යොමු වන්නේ නම් රහසිගතව එම රටවල ජීවත් වීම නිසා අපරාධ වලට පෙළඹීමට ඇති හැකියාව ද නැති කල හැකිය."

පාප් වහන්සේ මෙම ප්‍රකාශය කරන්නේ යුරෝපයේ සහ ඇමෙරිකාවේ සාංක්‍රමණික විරෝධයක් නැගෙමින් පවතින වකවානුවක වීම සැලකිල්ලට ගත යුතු ය.නිදසුනක් ලෙස  දුප්පත්කම නිසා මැක්සිකෝවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයට නීති විරෝධීව ඇතුළුවී සුළු වැටුපකට රහසිගතව එරට වැඩකරන්නන්ගේ සංඛ්‍යාව වැඩි වෙමින් තිබේ. ඔවුන් ගේ වාසය නීත්‍යනුකුල කිරීමට  බරක් ඔබාමා ආණ්ඩුව ගන්නා උත්සාහයට  එරට කොන්ග්‍රෙස් මණ්ඩලය අකුල් හෙලන අතර, රිපබ්ලිකන් පක්ෂයේ ජනප්‍රියම ජනාධිපති අපේක්ෂකයා පවසා ඇත්තේ තමන් ජනාධිපති වුවහොත් එම සාංක්‍රමනිකයන් ආපසු සිය රටවලටම නෙරපා හරින බවයි.

රැකියා, නිවාස, ඉඩකඩම් හිඟය හා රෝගීන්
"රැකියා, නිවාස හා ඉඩම් හිඟයෙන් පීඩා විඳින අපගේ සහෝදර සහෝදරියන්ට වෙනුවෙන්  ප්‍රායෝගික ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජාතික නායකයන්ට  මම ආයාචනා කරමි.බොහෝ තරුණ ජනතාවටත් පවුල්වලටත් බලපාමින්, සමාජය මත දරුණු බලපෑම් එල්ල කරන විරැකියාව නමැති සමාජ උවදුර මර්දනය කිරීම සඳහා රැකියා අවස්ථා උදා කිරීම යහපත් බව මම දකිමි. විරැකියාව සමාජයට එල්ල කරන හානිය බරපතලය. ඊට එක්  පිළිතුරක් ලෙස සමාජ සුබසාධන ක්‍රියාමාර්ග ගතහැකි නමුදු, තාවකාලික අත්‍යවශ්‍ය පියවරක් වන ඒ මගින් විරැකියාවට විසඳුම් නොලැබේ" යයි පාප් වහන්සේ  පෙවා දෙති.

රෝගීන් ගේ ජීවන තත්වය ද වැඩිදියුණු කල යුතු බව එතුමා සාම දින පණිවිඩයේ සඳහන් කර තිබේ. "ඔවුන්ට ජීවත්වීමට අවශ්‍ය කරන  වෛද්‍ය ප්‍රතිකාර සහ ඖෂධ වර්ග පහසුවෙන් ලබා ගැනීමට අවකාශ සලසා දිය යුතු" බව එතුමා අවධාරණය කරයි.

ජාතික ණය 
සාම දින පණිවිඩයේ මෙම අවසාන කොටසේ සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ සිය ඉල්ලීම් බොහොමයක් ඉදිරිපත් කර ඇත්තේ ජාතික නායකයන්ටය. එහෙත් සිය දේශ සීමා ඉක්ම යමින් ණය බරින් පෙලෙන සහ දුර්වල රටවලට සහාය දීමට මේ ජුබිලි වසරේදී ක්‍රියාමාර්ග ගන්නැයි එතුමා සංවර්ධිත රටවලටද මේ මගින් ආයාචනා කර තිබේ. එසේම යුද්ධ වැලැක්වීම හැකි සෑම පියවක ම ගැනීමේ අවශ්‍යතාව ද එතුමා අවධාරණය කරයි. පාප් වහන්සේ පෙන්වා දෙන්නේ සෑම රටක්ම ලෝක ජාතීන්ගේ  සහෝදරත්වයට සියලු රටවල් අන්තර්ග්‍රහණය කරගැනීමත්, සංවර්ධනයට සහභාගි කරගැනීමත් අවශ්‍යව පවතින බවයි.

"මෙය සිතේ තබාගෙන රාජ්‍ය නායකයනට ත්‍රිවිධ ආයාචනයක් කරන්නට මම කැමැත්තෙමි.  වෙනත් ජනතාවන් ගැටුම්වලට හෝ යුද්ධවලට ඇද ගැනීමෙන් වලකින්න.මෙවැනි ගැටුම්  හෝ යුද්ධවලින් සිදුවන්නේ ඔවුන්ගේ භෞතික, සංස්කෘතික හෝ සමාජ උරුමයන් විනාශවීම පමණක් නොවේ. දීර්ඝකාලීනව ඔවුන්ගේ සදාචාරාත්මක හා ආධ්‍යාත්මික පුර්ණත්වය ද විනාශ වෙයි.දුප්පත් රටවල ජාත්‍යන්තර ණය සමාකරන්න; නැතහොත් ධරණීය මට්ටමේ කළමනාකරණ ක්‍රමයක් ඒ සම්බන්ධයෙන් අනුගමනය කරන්න. රාජ්‍යයන් සමග සහයෝගිතාවයේ ප්‍රතිපත්ති ඇතිකරගන්න. ඒ මගින් ඇතැම් න්‍යායවාදී ආඥාදායකත්වයන්ට නතු නොවී එක් එක් ජාතීන්ට අයත් ජනතාවගේ සාරධර්මවලට ගරු කරමින්, නූපන් දරුවන් ඇතුළු සියල්ලන් ගේ ජීවිත ආරක්ෂා කරන ආකාරයේ ක්‍රියාමාර්ග ගැනීමට හැකිවනු ඇත."

ප්‍රැන්සිස් පාප් වහන්සේ මෙම සාම දින පණිවිඩයේ එන ඉල්ලීම් හා උපදෙස් "මානව පවුලේ අවශ්‍යතා වෙනුවෙන් නිතර මැදිහත්වන" අපගේ ස්වර්ගීය මෑණියන් වන මරිය තුමිය ගේ දෑතින් "සාමයේ කුමාරයාණන් වන ජේසු සමිඳානන්ට" ඔප්පු කර තිබේ.




Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය