ප්‍රැන්සිස් පාප් වහන්සේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ පාප් වහන්සේ හමුවෙයි

"Our Churches are bonded by the blood of our Martyrs" - Pope tells the Coptic Pope

ප්‍රැන්සිස් පාප් වහන්සේ සහ පාප් වහන්සේ 


(2017 අප්‍රේල් 28)
ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඊජිප්තුවේ ගත කරන ප්‍රථම දිනයේ අවසන් කාර්යය වූයේ එරට කොප්ටික ඕතඩොක්ස් සභාවේ පේත්‍රියාක් තුමන් වන දෙවන තවාද්‍රෝස් පාප් වහන්සේ මුණ ගැසීමයි. ප්‍රැන්සිස් පාප් වහන්සේ තවාද්‍රෝස් පාප් වහන්සේ මුණගැසුනේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ ශාන්ත මාර්ක්  ආසන දෙව්මැදුරේ දීය. මෙම හමුවීම වූ කලී  1973 දී එවකට සුදොතුම් පියතුමන් වූ සවැනි පාවුළු පාප් වහන්සේ සහ තුන්වන ෂෙනෝදා පේත්‍රියාක් තුමන් අතර ඇති වූ සහෝදරාත්මක හමුව සහ එහිදී අත්සන් තැබුණු සම්මුතියට පසුව සභා දෙකේ නායකයන් අතර ඇති වූ අතිශය සමීප හා උණුසුම්ම හමුව බව විචාරකයෝ පෙන්වා දෙති.

තවාද්‍රෝස් පේත්‍රියාක් තුමන් හමුවූ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් කියා සිටියේ සභා දෙකෙහි ප්‍රාණපරිත්‍යාගීන් ගේ රුධිරය සභා දෙකෙහි බන්ධනය වන බවයි. එම බන්ධනය දයාවේ ක්‍රියා මගින් තවත් ශක්තිමත් කිරීමට ප්‍රාණපරිත්‍යාගීන් විශ්වාසිකයන් කැඳවන බව එතුමා පෙන්වා දුන්නේ ය.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ගේ මෙම අදහස් දැක්වීමට පදනම් වුයේ ගත වූ කාලය තුළ අන්තවාදී ප්‍රචණ්ඩකාරීන් විසින් ඝාතනය කරන ලද නිරායුධ අහිංසක කොප්ටික් කිතුනුවන් පිරිසයි.

ක්‍රිස්තුන් වහන්සේ පැමිණියේ "ජලය සහ රුධිරය සමග" යැයි සුවිශේෂක ජුවාම් තුමා ගේ පාඨය  සුදොතුම් පියතුමා සිහිපත් කළේය. "කෙනෙකු ගේ ජීවිතය පවා පරිත්‍යාග කිරීමට සූදානම්ව සිටින තරම් සෑම විටම සියල්ලන් උදෙසා ප්‍රේමයේ ජීවිතයක් ගත කිරීම මගින්,  අපගේ පොදු ප්‍රසාද ස්නාපනය තුළ නව ජීවිතයක් ගත කල හැකිය යන්නට මෙය විශිෂ්ට සංකේතයකි. ක්‍රිස්තු ධර්මයේ ප්‍රථම ශත වර්ෂවල  සිටම මේ දේශයේ ප්‍රාණපරිත්‍යාගීන් කී දෙනෙක්, සමිඳුන් පාවා දීමට හෝ නපුරේ පෙළඹවීම් වලට ඉඩ දෙනවාට වඩා,එසේම අයහපතට අයහපතින් ම ප්‍රතිචාර දක්වනවා වෙනුවට,  අවසානය තෙක් යහපතටම කැපවෙමින් සිය ජීවිතය වික්‍රමාන්විතව ගත කොට ඇත්ද! .....මෑත කාලය තුළ පවා ඒ තත්වය එසේමය. අනාරක්ෂිත කිතුනුවන් ගේ අහිංසක රුධිරය කුරිරු ලෙස ගලා යන්නට සලස්වනු ලැබ ඇත."

"ප්‍රාණපරිත්‍යාගීන් ගේ මෙම අහිංසක රුධිරය අප එකමුතු කරයි. ස්වර්ගීය ජෙරුසලෙම ඒකත්වයක් වන සේ අපගේ ප්‍රාණපරිත්‍යාගී බවද ඒකත්වයක් ම වන්නේ ය. ඔබගේ දුක්වේදනා අපගේ ද දුක්වේදනා මයැ"යි   ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා තවාද්‍රෝස් පේත්‍රියාක් තුමාට කීවේය.



තවාද්‍රෝස් පාප් වහන්සේ?

ඇලෙක්සැන්ඩ්‍රියාවේ රදගුරු තුමන් වන තවාද්‍රෝස් පෙත්රියාක් තුමා ඊජිප්තුවේ කොප්ටික් ඕතඩොක්ස් සභාවේ නායකයාය. මුල් සියවස් වල එකම සභාවක සාමාජිකයන් වූවත්, පසු කලෙක ඇලෙක්සැන්ඩ්‍රියාවේ සභාව රෝම කතෝලික සභාවෙන් වෙන් විය. ඊට හේතුව  වූයේ 451 වැනි චැල්සිදෝන කතිකාවේ දී ක්‍රිස්තුන් වහන්සේ ගේ ද්විත්ව ස්වභාවය පිළිගැනීම එම සභාව ප්‍රතික්ෂේප  කිරීමයි.  එහෙත් පසු කාලීනව ඔව්හු එම මතය වෙනස් කළහ. මෙම දීර්ඝ කාලීන දේව මග පෙන්වීමේ  ප්‍රතිඵලයක් ලෙස 1973 සවැනි පාවුළු පාප් වහන්සේගේ ඊජිප්තු සංචාරයේදී එවකට කොප්ටික පේත්‍රියාක් තුමා සහ කතෝලික සභාව අතර සම්මුතියක් අත්සන් තැබිණි. මේ අනුව "ක්‍රිස්තුන් වහන්සේ සිය දිව්‍ය ස්වභාව නිසා පූර්ණ  දෙවියන් වහන්සේ ද, සිය මනුෂ්‍ය ස්වභාව නිසා පූර්ණ මනුෂ්‍යයා ද වන බව දෙවියන් වහන්සේ ගේ උපකාරයෙන් අපි දෙපාර්ශවයම පිළිගනිමු" යයි එම ගිවිසුමේ සඳහන් විය.

රෝමයේ රදගුරු තුමා "පාප් වහන්සේ" ලෙස හැඳින්වෙන සේ ම කොප්ටික් කිතුනුවන් ඇලෙක්සැන්ඩ්‍රියාවේ රදගුරු තුමන් හඳුන්වන්නේ ද "පාප් වහන්සේ " (Pope ) යනුවෙනි. මෙහි අදහස "පියා" නොහොත් "පිතෘ තුමා" යන්නයි.

ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ ක්‍රිස්තු සුපුවත ප්‍රකාශ කර එහි ක්‍රිස්තු සභාව පිහිටුවන ලද්දේ සුවිශේෂක මාර්ක් තුමන් විසිනි. ශු. මාර්ක් තුමා ජේසු සමිඳුන් ගේ අග්‍රශ්‍රාවක (රෝමයේ ප්‍රථම රදගුරු) ශු. පේදුරු තුමන් ගේ සහායකයකු සේ ම ලේකම් වරයා ලෙසද කටයුතු කලේය.

මුල් සමයේ ඊජිප්තුවේ කිතුණුවෝ රෝම අධිරාජ්‍ය හා විවධ බල අධිකාරීන් යටතේ වදහිංසා වලටත් මරණයටත් ගොදුරු වුහ. මෑත කාලයේදී ඔව්හු ආගමික අන්තවාදීන් ගේ වදහිංසා හා ප්‍රහාර වලට ලක්වී ජීවිතය පූජා කරමින් සිටිති.

ඉකුත් අප්‍රේල් 25 වැනිදා, සුවිශ්ෂක මාර්ක් තුමන් ගේ මංගල්‍ය දින ප්‍රැන්සිස් පාප් වහන්සේ සිය දිව්‍ය පූජාව ඔප්පු කලේ තවාද්‍රෝස් පාප් වහන්සේ සහ කොප්ටික් කිතුණුවන් වෙනුවෙනි.

සබැඳි පුවත්: පහත සම්බන්ධතා 'ක්ලික්' කිරීමෙන් කියවන්න
" ප්‍රචණ්ඩත්වයේ සහ වෛරයේ ආගමික වෙස්මුහුණු ගැලවීම ආගමික නායකයන් ගේ 
වගකීමක්" - සුදොතුම් පියතුමා ඊජිප්තුවේ දී

"අඩ සඳ ළඟ කුරුස තරුව"- සුදොතුම් පිය ඊජිප්තු ගමනේ නිල ලාංඡනයේ කේන්ද්‍රය


" මට 'බුලට් පෘෆ්' වාහනයක් එපා!" සුදොතුම් පියතුමා කියයි


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය