"අඩ සඳ ළඟ කුරුස තරුව"- සුදොතුම් පිය ඊජිප්තු ගමනේ නිල ලාංඡනයේ කේන්ද්‍රය

The Crescent and the Cross at the centre of the official logo for Pope Francis' visit to Egypt 


(2017 අප්‍රේල් 17)
ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ මස 28-29 දිනවල ඊජිප්තුවේ අපෝස්තලික ගමනක නිරත වෙයි. එතුමා එහි යන්නේ ඊජිප්තුවේ කොප්ටික ඔතඩොක්ස් කිතුනු  පෙත්‍රියාක් තුමා වන දෙවැනි තවාද්‍රොස් පාප් තුමන්, ජනාධිපති අබ්දෙල් ෆාටාහ් එල්-සිසී සහ  අල්-අසාර් ඉස්ලාම් සරසවියේ සහ එම ප්‍රධාන පල්ලියේ නායක ශීක් අහ්මඩ් එල්-තයෙබ් අග්‍ර ඉමාම් තුමා ගේ ආරාධනයෙනි.

සුදොතුම් පියතුමන් ඊජිප්තුවට යන්නේ සාමයේ දූතයකු ලෙසය. කාලාන්තරයක් තිස්සේ අන්තවාදීන් ගේ හිංසනයට ලක්ව සිටින එරට කිතුනුවන් දිරිගැන්වීම හා කතෝලික-ඉස්ලාම් සංවාදයට උනන්දුවෙන් සහාය දෙන අග්‍ර ඉමාම් තුමන් හා එක්වී සමයාන්තර සංවාදය ශක්තිමත් කිරීම මෙම ගමනේ අරමුණු අතර වේ.

මෙම අරමුණු පාදක කරගනිමින් මෙම සුදොතුම් පිය අපෝස්තලික ගමනේ නිල ලාංඡනය ඊජිප්තු කතෝලික සභාව විසින් ඉකුත්දා ප්‍රකාශයට පත්කෙරින. මෙම වාර්තාවට ඉහලින් දැක්වෙන්නේ එම නිල ලාංඡනය යි.

මෙම නිල ලාංඡනය ප්‍රධාන කොටස් තුනකින් සමන්විත බව වතිකාන රේඩියෝව කියයි. එනම් ඊජිප්තුව, ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සහ සාමයයි. එම තෙකරුණ සංකේත ඔස්සේ ලාංඡනයේ දැක්වෙන්නේ මෙසේය.

"සාමයේ සුදොතුම් පියාණන් සාමයේ ඊජිප්තුවට" (“Pope of Peace in Egypt of Peace”) යන්න ලාංඡනය පදනමේ ඉංග්‍රීසි සහ ආරාබි භාෂා වලින් සඳහන් වේ.

මෙහි ඊජිප්තුව සංකේතවත් කරනු ලබන්නේ නයිල් ගඟ, පිරමිඩ සහ ස්ෆින්ක්ස් මානව-සත්ව රූපයෙනි. නයිල් ගඟ ජීවයේ සලකුණයි. පිරමිඩ සහ ස්ෆින්ක්ස් රුව මගින් නියෝජනය කෙරෙන්නේ පුරානම මානව ශිෂ්ටාචාරයට නෑකම් කියන මෙම රටේ දීර්ඝ ඉතිහාසයයි.

ලාංඡනයේ මැද  "අඩ සඳ ළඟ කුරුස ලකුණ" දක්නට ලැබේ. මේවායින් නියෝජනය වන්නේ විවිධ ජනකොටස් වලින් සමන්විත ඊජිප්තු  ජනතාව අතර ඇති සහජීවනය යි. මේ සංකේත අසලින් ඉගිලෙන පරෙවියෙකි. පරෙවියා සාමයේ සංකේතයයි. සාමය ඕනෑම ජන සමාජයක් අපේක්ෂා කරන අමිල වූ තිලිනයයි. එය සෑම මානවයකු ගේ ම  අපේක්ෂාව වන අතර සෑම දහමකම සුබ පැතුමයි.

අවසන් වශයෙන් පරෙවියා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමාට ඉදිරියෙන් පියාසර කරයි. එහි අදහස සාමයේ රටකට සුදොතුම් පියතුමන් සැපත් වන විට සාමයේ පරෙවියා ඒ පිලිබඳ පුවත සැල කිරීමට එතුමනට පෙර පැමිණෙන බවයි.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය