" ප්‍රචණ්ඩත්වයේ සහ වෛරයේ ආගමික වෙස්මුහුණු ගැලවීම ආගමික නායකයන් ගේ වගකීමක්" - සුදොතුම් පියතුමා ඊජිප්තුවේ දී

"To kill in the name of God is blasphemy" - Pope in Egypt 

සුදොතුම් පියතුමා අල්-අසර් මුස්ලිම් සරසවියේ සම්මන්ත්‍රණය අමතයි 
(අප්‍රේල් 28)
සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ සියලු ආකාරයේ ප්‍රචණ්ඩ ක්‍රියා සහ වෛරය දැඩි සේ හෙලා දකිති. ඒවා ප්‍රතික්ෂේප කල යුතු බව පවසන  උන්වහන්සේ පෙන්වා දෙන්නේ,  "දෙවියන් වහන්සේ ගේ නාමයෙන් හෝ ආගමේ මුවාවෙන් කෙරෙන " ප්‍රචණ්ඩ ක්‍රියා හෝ වෛරී ක්‍රියා "දේව අපහාස' බවයි.

"එබැවින් ශුද්ධවන්ත වන්නේ, දෙවියන් වහන්සේගෙන් පැමිණෙන දේ වන්නේ, සාමය ම පමණකි. දෙවියන් වහන්සේ ගේ නාමයෙන් කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක යෙදිය නොහැකිය. මන්ද එමගින් උන්වහන්සේ ගේ නාමය දුෂ්‍ය වන නිසාය. මේ නිසා, පොළොව සහ ස්වර්ගය එකට මුණගැසෙන මෙම දේශයේ සිට, ජනතාව සහ විශ්වාසිකයන් අතර ගිවිසුම් ඇති වූ මේ දේශයේ සිට, අප සියලු දෙනා එක්ව, යළිත් වරක් දැඩිව, පැහැදිලිව මෙසේ අවධාරණයෙන් කියමු: 'ආගමේ හෝ දෙවියන් වහන්සේ ගේ හෝ නාමයෙන් ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදෙනු එපා! වෛරී ක්‍රියා වල යෙදෙනු එපා! පලිගැනීම්වල යෙදෙනු එපා!" යි එතුමා අවධාරණය කළේය.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ සිය දෙදින ඊජිප්තු අපෝස්තලික සංචාරය ආරම්භ කරමිනි. එම ගමනේ ප්‍රධාන අංගයක් වූ කයිරෝ නුවර අල්-අසර් විශ්ව විද්‍යාලයේ පැවැති අන්තර්ජාතික සම්මන්ත්‍රණය අමතමින් සුදොතුම් පියතුමා මෙම ප්‍රකාශය කළේය. මෙම සම්මන්ත්‍රණය ඇමැතීම එතුමන් ගේ සංචාරයේ පළමු  දින වූ අප්‍රේල්  28 වැනිදා සිදුවිය.

අල්-අසර් සරසවියේ සහ ඊට ඒකාබද්ධ මහා පල්ලියේ ප්‍රධාන ඉමාම් තුමා වන ශීක් අහ්මඩ් මොහමඩ් එල් -තයෙබ් ඉමාම් තුමා ද මෙම සම්මන්ත්‍රණය ඇමැතීය. බිලියන 1.5කගෙන් පමණ  සමන්විත ලොව සුන්නි  මුස්ලිම් ජනතාවගේ  ඉගැන්වීම් පිලිබඳ ඉහලම බලධාරියා එල්-තයෙබ් ඉමාම් තුමා බව බොහෝ දෙනෙකුගේ පිළිගැනීමයි. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා එම ධුරයට පත්වීමෙන් පසුව මෙම ඉස්ලාම් නායකත්වය හා වතිකානය අතර සම්බන්ධතා වඩාත් සුහද තත්වයට පත්වී තිබේ. සුදොතුම් පියතුමා ගේ මෙම ගමන සේ ම කයිරෝ මහ පල්ලියේ පැවැත්වෙන සාම සම්මන්ත්‍රණය ඇමතීම ද එම උණුසුම් සබඳතාවල ප්‍රතිඵලයකි.

ප්‍රචණ්ඩ ක්‍රියා අවසන් කොට සාමය උදාකරලීමෙහි ලා ආගමික නායකයන් සතු වගකීම හා භූමිකාව සුදොතුම් පියතුමා මෙහි දී අවධාරණය කළේය. එතුමා මෙහිදී කතා කලේ  "රාජ්‍ය තාන්ත්‍රික" භාෂාවකට වඩා "දිවැසිවර" භාෂාව භාවිත කරමින්, විවෘතව හා පැහැදිලිව ය.

"ආගමික නායකයන් කැඳවනු ලැබ සිටින්නේ  ප්‍රචණ්ඩ ක්‍රියා ශුද්ධවන්තකම හා ආගම උදෙසා සිදුකරනු ලබන්නේ යයි කියන කෝලම් නාට්‍යයේ වෙස්මුහුණු ගැලවීමටයි. මෙවැනි ක්‍රියා පදනම් වී ඇත්තේ  දෙවියන් වෙත වූ අව්‍යාජ විවෘත භාවය මත  නොව  හුදු ආත්මාර්ථකාමය මතය. මානව  ගරුත්වයකෙලෙසීම් හා මානව හිමිකම් කඩකිරීම් ප්‍රතික්ෂේප කිරීමටත්, ආගමේ නාමයෙන් කෙරෙන ප්‍රචණ්ඩ ක්‍රියා යුක්තිසහගත කිරීමට ගන්නා සියලු වෑයම් ප්‍රතික්ෂේප කොට හෙලා දැකීමටත් අප සතුව වගකීමක් තිබේ. අප මේවා හෙලා දැකිය යුත්තේ ඒවා දෙවිඳුන් විකට රූපයක් බවට පත්කරන බව පෙන්වා දෙමිනි," යි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියා සිටියේ ය.

"ප්‍රචණ්ඩ ක්‍රියා සහ (ආගමික) විශ්වාසය එකිනෙකට නොගැලපේ (පරස්පර විරෝධී ය). එසේ ම වෛරය සහ ආගමික ඇදහිල්ල ද එකිනෙකට විරුද්ධය. ('මෙය  මා සමග යළිත් පුනරුච්චාරණය කරන්න.....). ශාරීරික හෝ, සමාජයීය හෝ අධ්‍යාපනික හෝ මනෝවිද්‍යාත්මක හෝ වේවා,  සකල ආකාරයේ හිංසනයන්ට හා ප්‍රචණ්ඩත්වයට එරෙහිව අපි එකාවන්ව සෑම  මානව ජීවිතයකම ඇති පාරිශුද්ධත්වය ප්‍රකාශ කරමු.

මෙලෙස ප්‍රචණ්ඩත්වය හා හිංසනය අවසන් කිරීමේ ප්‍රයත්නයේ දී ආගමික නායකයන් සිය අවධානය යොමේ කළ යුත්තේ යොවුන් පරපුර වෙත බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය.

"වෛරයට  හා ප්‍රචණ්ඩත්වයට පොළඹවන්නන් ගේ ම්ලේච්ඡත්වය සාධනීය ලෙස මර්දනය කිරීමට නම් අප (ආගමික නායකයන්) යොවුන් පරපුර හා එක්ව ගමන් කල යුතුය. පරිණත බවේ මාර්ගයේ ගමන් කිරීමට යොවුන් පරපුරට උදව් වෙමින්ද, සමාජය ගිණි තබන නපුරේ සටන් පාඨ වලට, යහපත්කම වර්ධනය කරන ඉවසීමේ හා යහපතේ ක්‍රියා මගින් පිළිතුරු දීමට ඔවුනට උගන්වමින්ද, අප ඔවුන් කැටුව යා යුතු ය."

සුදොතුම් පියතුමා ප්‍රධාන ඉමාම් තුමා විසින් පිළිගනු ලැබිණ 

මුල්ම මානව ශිෂ්ටාචාරය බිහි වූ නයිල් ගංගාව සේ ම සීනායි කන්ද ද ඊජිප්තුවේ දැවැන්ත ඓතිහාසික සංකේත වේ. එරට බහුතරය වන මුස්ලිම් ජනතාවට ද කිතුනු හා ජුදෙව් ජනයාට ද මේ කන්ද දැවැන්ත ආගමික සංකේතයකි. දෙවියන් වහන්සේ මානව ජනයාට සිය නීති පද්ධතිය වූ "දස පනත" දෙමින් ඔවුන් හා "ගිවිසුමකට" එළඹුණේ මේ කන්ද මතදී ය. සුදොතුම් පියතුමා මෙම සංකේතය ද සිය පණිවිඩයට පාදක කර ග්ත්තේ ය.

" සීනායි කන්ද 'ගිවිසුම් කන්ද' ලෙස ද හැඳින්වේ. මෙය අපට මතක්කර දෙන්නේ පොළොවේ අව්‍යාජ ගිවිසුම් වලදී ස්වර්ගය නොසලකා හැරිය නොහැකි බවයි. එනම්, දෙවියන් වහන්සේ සිය සිතිජයෙන් ඉවත්කරමින් මිනිසාට සිය සහෝදර මිනිසුන් සමග සාමය ඇතිකර ගැනීමට  උත්සාහ දැරිය නොහැකි බවයි."

එසේම කිතුනු මුස්ලිම් විශ්වාස දෙකටම පොදු වන "දස පනත" ගෙන හැර පාමින් සුදොතුම් පියතුමා මෙසේ කීවේය:

"සෑම පුද්ගලයකුම සහ සියලු යුගවල ජීවත්වන ජනතාව අමතමින් දෙවියන් වහන්සේ මෙම නියෝගය දුන් සේක: 'ජීවිතය විනාශ නොකරව". සියල්ලටම වඩා,  වීශේෂයෙන් ම  අපගේ යුගයේ දී, මෙම විධානයට ගරු කිරීමට සියලු ආගම් කැඳවනු ලැබ සිටියි.  හිංසනය යුක්තිසහගත කරන සියලු ආකාරයේ නිරපේක්ෂතා අප ප්‍රතික්ෂේප කල යුතු ය.  මන්ද හිංසනය හා ප්‍රචණ්ඩ ක්‍රියා යනු සියලුම ආගමික මුලධර්ම නිශේධනය කිරීමකි."

සබැඳි පුවත් - මේ සම්බන්ධතා 'ක්ලික්' කිරීමෙන් කියවන්න

" මට 'බුලට් පෘෆ්' වාහනයක් එපා!" සුදොතුම් පියතුමා කියයි

"අඩ සඳ ළඟ කුරුස තරුව"- සුදොතුම් පිය ඊජිප්තු ගමනේ නිල ලාංඡනයේ කේන්ද්‍රය


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය