"භාග්‍යවන්ත රොමෙරෝ අගරදගුරු තුමා මරණයෙන් පසුවත් සිය සහෝදර පියතුමන්ලා අතින් ප්‍රාණ පරිත්‍යාගී වූවා" සුදොතුම් පියතුමා කියයි

Blessed Romero's martyrdom continued even after his death 


(2015 නොවැම්බර  1)
භාග්‍යවන්ත ඔස්කා රොමෙරෝ අගරදගුරු තුමන් ගේ ප්‍රාණ පරිත්‍යාගී වීම එතුමන් ගේ මරණයෙන් පසුවත් දිගටම සිදු වූ බව සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ පවසති. එතුමන් ගේ සහෝදර පියතුමන් හා රදගුරු හිමිවරුන් විසින් එතුමන්ට අපහාස කරමින්, අවලාද නගමින් එතුමනට විරුද්ධව ගතු කීම මගින් මෙලෙස එතුමන් යලි යලිත් ප්‍රාණ පරිතාගී වූ බව උන්වහන්සේ පෙන්වා දති.

ඉකුත් ඔක්තෝබර 30 වැනිදා වතිකානයට පැමිණි එල් සැල්වදෝර වන්දනා කරුවන් පිරිසක් අමතමින් සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ ය. එල් සැල්වදෝරයේ සන් සැල්වදෝර පදවියේ අගරදගුරු තුමා වූහ. රොමෙරෝ තුමා එරට දුප්පත් හා පීඩිත ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් ගෙන ගිය අරගලයේ ප්‍රතිඵලයක් වශයෙන්, එරට එවකට පැවැති ජනඝාතක ජනපීඩක රෙජීමය විසින් 1980 දී එතුමා ඝාතනය කරනු ලැබිණ. ප්‍රැන්සිස් පාප් වහන්සේ ඉකුත් මැයි මාසයේ රොමෙරෝ අගරදගුරු තුමා භාග්‍යවරයකු ලෙස ප්‍රකාශයට පත් කළහ.

කියවන්න :"රොමෙරෝ:ප්‍රචණ්ඩත්වයට එරෙහිව සටන් කිරීමේ ආදර්ශය" - ප්‍රැන්සිස් පාප් වහන්සේ

කියවන්න :රොමෙරෝ : එල් සැල්වදෝරයේ විශ්වසනීයම "ප්‍රවෘත්ති වාර්තාකරු" -අභීත මාධ්‍යකරුවකු වූ රදගුරුතුමකු ගේ කතාව

කියවන්න :අයුක්තියට ජනමර්ධනයට විරුද්ධ කිතු සමිඳුන්ගේ හඬ - රොමෙරෝ: මැයි 23 දා භාග්‍යවරයට

රොමෙරෝ අගරදගුරු තුමන් ගේ චරිතය කේලාම් හා වැරදි වැටහීම් නිසා ඝාතනයට ලක්වූ අයුරු තමන් ද දුටු බව සුදොතුම් පියතුමා කීවේ ය.

"මෙය මට කවුරුත් කී දෙයක් නොවේ. මටම  ඇසුණු දේවල් " එතුමා කීවේය. "තරුණ පියතුමකු ලෙස මේවා මා දුටුවා. රොමෙරෝ අගරදගුරු තුමාට නිග්‍රහ කෙරුනා. අපහාස කළා. එතුමාගේ මතකය මකා දමන්නට උත්සාහ කෙරුනා. මෙලෙස  එතුමා මිය ගිය පසුත් එතුමාගේ  ප්‍රාණ පරිත්‍යාගය ඉදිරියට ඇදුනා. මෙසේ කල අය අතර  එතුමා ගේ සහෝදර රදගුරු තුමන්ලාත් පියතුමන්ලාත් සිටියා" යි සුදොතුම් පියතුමා සඳහන් කලේ ය.

භාග්‍යවන්ත රොමෙරෝ අගරදගුරු තුමන් අදත් නොකඩවා ප්‍රාණ පරිත්‍යාගී වරයට ලක් වෙද්දීත් එතුමාගේ ජීවිතාදර්ශය තවමත් මහත් අනුප්‍රාණයක් වෙමින් ඇතැයි සුදොතුම් පියතුමා පැවසුවේය. "තම ජීවිත පරිත්‍යාග කල, නැසී ගිය, එහෙත් ලොව පවතින රළු පරුශම ගල වන දිවෙන්, දිගටම පහර කෑමට ලක් වන ජනතාව ගේ ඉතිහාසය දන්නේ දෙවියන් වහන්සේ පමණයි. මෙය මා ශක්තිමත් කරනවා."

එල් සැල්වදෝර වන්දනා නඩය රෝමයට පැමිණ සිටියේ රොමෙරෝ අගරදගුරු තුමන් භාග්‍යවරයට එසැවීම සම්බන්ධයෙන් දෙවියන් වහන්සේට තුති පිදීමේ වන්දනා ගමනක් සඳහා ය.

"ප්‍රාණ පරිත්‍යාගි වරයකු  යනු අපේ දෙව්මැදුරු සරසන සුන්දර පිළිමයක් නොවේ. අප ආදරයෙන් සිහිපත් කරන අතීත ස්මරණයකුත් නොවේ" ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කිවේය. "ප්‍රාණ පරිත්‍යාගී වරයකු යනු දිගටම අප කැටුව යමින්, මිහිමත වන්දනාකරුවකු ලෙස අපගේ ජීවිතයේ දුක් දොම්නස් ද  සමග ගමන් කිරීමේ අර්ථය අපට පහදා දෙන කෙනෙක්."

එල් සැල්වදෝර පීඩිත ජනතාවගේ මානව හිමිකම් සිය යකඩ සපත්තුවට පාගා දැමු එරට රෙජීමය, රොමෙරෝ අගරදගුරුතුමන්ට පෙර ජේසු නිකායික රුටිලියෝ ග්‍රන්ඩේ පියතුමන් ඇතුළු පුද්ගලයන් රැසක් ඝාතනය කළේය. ග්‍රන්ඩේ පියතුමන් සාන්තුවරයට එසවීමේ ක්‍රියා මාර්ගය ආරම්භ කල බව වතිකානය ඉකුත් පෙබරවාරි මාසයේ නිවේදනය කළේය. "එල්සැල්වදෝර ජනතාව තමන් වෙනුවෙන් දෙවිඳුන් ඉදිරියේ මැදිහත් වීම සඳහා සාන්තුවරුන් රැසක් හිමි කරගෙන ඇතැයි' ද පාප් වහන්සේ සඳහන් කළහ.

 පසු සටහන 

රොමෙරෝ අගරදගුරු තුමන් භාග්‍යවරයට එසැවීමත්, එතුමාගේ ලබැඳි මිතුරකු වූත්, එතුමා සේ ම දුප්පතුන් හා පීඩිතයන් ගේ අයිතිවාසිකම් වෙනුවෙන් වෙනුවෙන් ක්‍රියාකිරීම නිසා එතුමාට පෙර සාහසික රෙජීමයක් විසින් ඝාතනය කරන ලද රුටිලියෝ ග්‍රන්ඩේ (ජේ.නි) පියතුමා සාන්තුවරයට එසවීමේ සභා ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමත් නිසා, කතෝලික සභාව සිය ඉගැන්වීම්වලට විශ්වාස පක්ෂව තවත් ඉදිරි පියවරක් ගෙන තිබේ. එනම්, මෙතෙක් සභාවේ කතා නොකළ හෝ අඩුවෙන් කතා කලහෝ සැක මුසුව බැලූ  අංශයක් වූ  කතෝලික සමාජ ධර්මය වෙනත් ඉගැන්වීම් හා සම තත්වයට පැමිණීමයි; කතා කරන, කතා කල යුතු, මුල්ලකට දමා නොතැබිය යුතු ඉගැන්වීමක් බවට එය පත් වීමයි. 

මීට පෙර දුප්පතුන් පීඩිතයන් සමග වැඩ කරන හෝ ඔවුන් ගේ මානව ගරුත්වය ගැන කතා කරන හෝ ක්‍රියාත්මක වන පුජාප්‍ර්සාදී වරුන් හෝ රදගුරු හිමිවරුන් මත "රතු සායමක්" තවරන ලද්දේය. ඔවුන් හඳුන්වන ලද්දේ 'කොමියුනිස්ට්' කාරයන් ලෙසය. ග්‍රන්ඩේ පියතුමන් හා භාග්‍යවන්ත රොමෙරෝ අගරදගුරුතුමන් ඝාතනය කරනු ලැබීමෙන් පසුවත් ඔවුනට එම 'හංවඩුව' වැදී තිබුනේ ය. භා. රොමෙරෝ හිමියන් 'කොමියුනිස්ට්' ගොඩට දමා එතුමනට චෝදනා කල ලිපි දස දහස් ගණනක් වතිකානයට ලැබී තිබුන බව වාර්තා වේ. එතුමන් සාන්තුවරයට එසැවීමේ ක්‍රියාමාර්ගය පමා වූයේත්, කලක් නතර වී තිබුනේත් මේ හේතුව නිසාය. (සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ එම ධුරයට පත් වීමෙන් පසුව එම ක්‍රියා මාර්ගය යලි ආරම්භ කර වගකීමෙන් යුත් වේගයකින් රොමෙරෝ හිමිපාණෝ භාග්‍යවරයට ඔසවනු ලැබුහ.)

මේ අනුව දුප්පතුන්, පීඩිතයන්, කම්කරුවන්, ගොවීන් වැනි විවිධ ක්ෂේත්‍ර වල තැලෙන පෙලෙන ජනතා සමග හෝ ඔවුන් වෙනුවෙන් සේවය කරන පුජක වරුන් හෝ රදගරු තුමන් විවේචනය කිරීමට හෝ ඔවුන් දෙස සැක මුසුව බැලීමට කතෝලික සභාවට තව දුරටත් නොහැකිය. ඔවුන් දුෂ්කර මීසම් හෝ සේවා වලට මාරු කර යැවිය නොහැකිය. මන්ද ඔවුන් සභාවේ සමාජ ධර්මය ජීවත් කරන්නන් බැවිනි. එය ප්‍රැන්සිස් පාප් වහන්සේ විසින් සභාව තුළ කරන ලද සුවිශේෂි පරිවර්තනයකි.

ශ්‍රී ලංකාවේ ද මෙවැනි ආදර්ශවත් කතෝලිකයෝ දිවි ගෙවුහ. බදුල්ලේ හිටපු රදගුරු සගසැපත් ලියෝ නානායක්කාර රදගුරු තුමා එවැන්නෙකි. බුත්තල දුෂ්කර ජීවිතයක් ගත කරමින් එම ප්‍රදේශවාසී ජනතාවට සේවා කල මයිකල් රුද්‍රිගු නි.ම.නි. පියතුමා තවත් එවැන්නෙකි. 1988-89 භීෂණ සමයේ එතුමන් ඝාතනය කරන ලද්දේ ද භා. රොමෙරෝ හිමියන් ඝාතනය කරන ලද ආකාරයට දිව්‍ය පුජාව පවත්වමින් සිටිය දීය. එම සමයේ දීම මානව හිමිකම් වෙනුවෙන් කතා කරමින් සිටි දිව්‍ය  ගැලවුම් කාරයානන්ගේ නිකායේ ශ්‍රී ලාල් අමරතුංග පියතුමා සිය මීසම් ගෘහයේ අබිරහස් ලෙස මියගොස් සිටියේ ය.

රොමෙරෝ හිමියන් ගේ සන්දර්භය හා සසඳන කල, මේ අයත් ප්‍රාණ පරිත්‍යාගී වරයට සුදුසුකම් ඇත්තෝ නොවෙත් ද? එසේ නම් අප තවත් බලා  සිටින්නේ ඇයි? කුහක කම් අත් හැරදා මේ ශුද්ධවන්ත මිනිසුන් ගේ ජීවිත දෙස සැබෑ කතෝලික දෘෂ්ටි කෝණයෙන් අපට දැන් වත් බැලිය නොහැකි ද?



Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය