"රොමෙරෝ:ප්‍රචණ්ඩත්වයට එරෙහිව සටන් කිරීමේ ආදර්ශය" - ප්‍රැන්සිස් පාප් වහන්සේ

“Blessed Romero fought violence with love" : Pope Francis  

රොමෙරෝ හිමි භාග්‍යවරයට එසැවීමේ දිව්‍ය පුජාව කුරුළු ඇසින්. Credit :NCS


(2015 මැයි 26)
එල් සැල්වදෝරය ප්‍රචණ්ඩත්වයෙන් හා භීෂණයෙන් ඇලලී ගිය සමයක, භාග්‍යවන්ත ඔස්කා රොමෙරෝ අගරදගුරු තුමන් ධෛර්යය සම්පන්නව රටේ දුප්පතුනට හා සමාජයෙන් ඉවත් කරන ලද්දවුනට කල සේවාව ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ ගේ ප්‍රශංසාවට ලක්වෙයි. "සැල්වදෝර දේශයටත් සමස්ත ලතින් ඇමෙරිකා ජනතාවටත් මහත් ප්‍රීති දායක දිනයක් වන මෙදින,  ස්වකීය ජනතාව ගේ දුක් වේදනා අසන, දකින රදගුරු - භාග්‍යවන්තයකු  දෙවියන් වහන්සේ විසින් අප සැමට දානය කිරීම ගැන අපි උන්වහන්ස්ට ස්තුති ප්‍රශංසා කරමු" යැයි  ද උන්වහන්සේ පවසති.

සන් සැල්වදෝර් හි හිටපු අගරදගුරුතුමකු වූ  අති උතුම් ඔස්කා රොමෙරෝ හිමිපාණන් භාග්‍යවරයට එසවූ ඉකුත් සෙනසුරාදා (මැයි 23), එම පදවියේ වත්මන් අගරදගුරු අති උතුම් හොසේ ලුවිස් එස්කොබාර් හිමිපාණන් වෙත ලියුමක් යවමින් පාප් වහන්සේ මේ බව පවසා තිබේ.

භාග්‍යවරයට එසැවීමේ දිව්‍ය පුජාව සුවිශාල ජනකායක ගේ සහභාගීත්වයෙන් සන් සැල්වදෝර් අගනුවර දිව්‍ය ගැලවුම්කාරයානන් ගේ චතුරශ්‍රයේ දී පවත්වන ලද්දේ, පාප් වහන්සේ ගේ විශේෂ නියෝජිත, සාන්තුවර ක්‍රියාමාර්ග පිලිබඳ කොමිසමේ ප්‍රධානී අති උතුම් ඇන්ජෙලෝ අමාතෝ කාදිනල් හිමිපාණන් ගේ ප්‍රධානත්වයෙනි. ලතින් ඇමෙරිකානු රටවල කාදිනල් හිමිවරු පස් නමක් ද ඊට එක්ව සිටියහ.

පාප් වහන්සේ සන් සැල්වදෝර් අගරදගුරු හිමිපාණන්ට යැවූ ලිපිය දිව්‍ය පුජාව අවසානයේ කියවන ලදී.

"රොමෙරෝ අගරදගුරු හිමිපාණන් ප්‍රේමයේ බලයෙන් සාමය ගොඩනැගූ අතර, අවසානයේ දී සිය ජීවිතය ද පුද දෙමින් විශ්වාසයට සාක්ෂි දැරුවේ යැ"යි  පාප් වහන්සේ සිය ලිපියේ පෙන්වා දෙති.

එම ලියුමේ මෙසේ ද සඳහන් වෙයි:

"දෙවි සමිඳානෝ සිය ජනතාවගේ දුෂ්කරතා වලදී කිසි දා ඔවුන් අත්හැර නොදමති;ඔවුන් ගේ අවශ්‍යතාවලදී සිය සුදානම පෙන්වති. සිය දරුවන් පෙලන බලවත් පීඩාව දකින සමිඳාණෝ ඔවුන් ගේ හැඬුම් විලාප අසා ඔවුන් මුදා ගැනීමට වඩින සේක. උන්වහන්සේ තමන් වෙනුවෙන් තම  ජනතාවට නායකත්වය දීම සඳහා මෝසස් තෝරා ගත්තා සේ, තම ජනතාව දැනුමෙන් හා ප්‍රඥාවෙන් පොහෝණි කිරීම සඳහා, තම හදවත සම හදවත් ඇති පූජක පුතුන් බිහිකරන සේක."

දෙවියන් වහන්සේ රොමෙරෝ  අගරදගුරු තුමන් තුළ "උද්යෝගිමත් රදගුරු තුමකු" ලොවට දානය කර ඇතැයි පාප් වහන්සේ පවසති. දෙවියන් වහන්සේට ප්‍රේම කිරීමෙන් සහ සිය සහෝදරයන්ට සේවාව කිරීම මගින් එතුමා යහපත් එඬේරා වන ක්‍රිස්තුන් වහන්සේ ගේ ප්‍රතිරූපයක් බවට පත් විය. සහජීවනය අපහසු වූ යුගයක් තුළ රොමෙරෝ රදගුරු තුමා සිය බැටළු රැලට නායකත්වය දීමට, මඟ පෙන්වීමට, රැක බලා ගැනීමට හා ආරක්ෂා කිරීමට දැනගෙන සිටියේ ය. එතුමා මෙම සේවාවේ නියැලුනේ දේව වචනයට විශ්වාස පක්ෂ වෙමින් සහ සමස්ත සභාව සමගම ඒකාබද්ධ වෙමින් යැ" යි ද පාප් වහන්සේ අවධාරණය කරති.

රොමෙරෝ අගරදගුරු හිමිපාණන් ගේ සේවාවේ, අති සුවිශේෂී ලක්ෂණය වූයේ එතුමන් අන්ත දුප්පතුන් හා කොන්  කරන ලද්දවුන් කෙරෙහි දැක්වූ විශේෂ අවධානය බව පාප් වහන්සේ පෙන්වා දෙති.  එතුමන් ගේ ජීවිත පුජාව සිදුවූයේ දිව්‍ය  පූජාව ඔප්පු කරමින් සිටින අවස්ථාවේ බව සිහිපත් කරන උන්වහන්සේ මෙසේ පවසති: "ප්‍රේමයේ හා සමගි සන්ධානයේ අති ශුද්ධ යාගය සිද්ධ කරමින් සිටියදී උදා වූ රොමෙරෝ රදගුරු තුමන් ගේ මරණ මොහොතේ දී, එතුමා 'සිය බැටළුවන් වෙනුවෙන් පන පිදූ තැනැන්වහන්සේ' හා අනන්‍ය වුයේ ය."



රොමෙරෝ හිමි අභීත මාධ්‍යකරුවකු වූ බවත් ඔබ දන්නවා ද? මෙතනින් කියවන්න

ලෝකයේ සමස්ත කිතුවන් කැඳවනු ලැබ සිටින්නේ "සමාජයේ සමගි සන්ධානයේ මුහුන් වන්නට" යැයි ප්‍රැන්සිස් පාප් වහන්සේ පෙන්වා දෙති. "ක්‍රිස්තුන්වහන්සේ  කෙරෙහි විශ්වාසය හොඳින් තේරුම් ගත කළ, එසේම එහි සම්පුර්ණ ආදීනව විඳින තෙක් එම විශ්වාසයෙන් ජීවිතය පුරවා ගත් කල බිහිවන්නේ, සාමය හා සහයෝගිතාවය ගොඩනගන්නන් ගේ සමාජයකි.  සැල්වදෝරයත්, අමෙරිකාවත් සමස්ත ලෝකයත් අද කැඳවනු ලැබ තිබෙන්නේ මේ සඳහාය. එනම් දයා කරුණාවෙන් පොහොසත් වීම සඳහා ය; සමාජය තුළ සමගි සන්ධානයේ  මුහුන් බවට පත් වීම සඳහාය."

වෛරයේ සහ අවියේ ප්‍රචණ්ඩත්වය ප්‍රතික්ෂේප කර, ක්‍රිස්තුන් වහන්සේව කුරුසියකතබා ඇණ ගැසූ ප්‍රේමයේ ජීවිතය වැළඳ ගත යුතු බව ප්‍රැන්සිස් පාප්වහන්සේ එල් සැල්වදෝර අගරදගුරු තුමන් වෙත යවන ලද ලියුමේ සඳහන් කරයි. "තම මමංකාරය දුරලා , මෙවන් විෂමතා ඇති නොවීමට වගබලා ගත හැක්කේ ප්‍රේමයේ ජීවිතය තුළින් පමණකි. මමංකාරයෙන් ඉවත්ව වෙනත් අය වෙත සමීප වන්නැයි, එසේ කිරීම ප්‍රතික්ෂේප කලවුන්ගෙන් රොමෙරෝ අගරදගුරු තුමා ඉල්ලා සිටියේ ය. එසේම එතුමා දයාබර පියකු ලෙස දුප්පතුන් රැක බලා ගනිමින්, වැඩ කිරීම සඳහා සිය ආයුධවලින් දෑකැති සාදන්නැයි  බලය ඇති අයට ආරාධනා කළේය."

රොමෙරෝ අගරදගුරු තුමන් භාග්‍යවරයට එසවෙන මොහොත, රටට උචිත වඩා යහපත් සමගි සන්ධානයක් උදා කර ගැනීමේ මොහොතක් යැයි ද ප්‍රැන්සිස් පාප් වහන්සේ වැඩි දුරටත් පෙන්වා දෙති. එතුමනට ගරු බුහුමන් කරන හා එතුමන් ගේ මැදිහත්කම පතන ජනතාවට, වඩා සමානාත්මතාවයෙන් පිරුණු ලොවක් ගොඩනගමින් දේව රාජ්‍යය ගොඩනැගීමේ ධෛර්යය නව භාග්‍යවන්තයා  වෙතින් ලැබේවායි  උන්වහන්සේ ප්‍රාර්ථනා කරති.

(CNA)

ආශ්‍රිත තවත් ලිපි
රොමෙරෝ හිමි අභීත මාධ්‍යකරුවකු වූ බව ඔබ දන්නවා ද? මෙතනින් කියවන්න

අයුක්තියට ජනමර්ධනයට විරුද්ධ කිතු සමිඳුන්ගේ හඬ - රොමෙරෝ: මැයි 23 දා භාග්‍යවරයට

රොමෙරෝ හිමි භාග්‍යවරයට එසැවීමේ දිව්‍ය පුජාව කුරුළු ඇසින් දුටු තවත් කෝණයක් . Credit :NCS

 

 

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය