රොමෙරෝ : එල් සැල්වදෝරයේ විශ්වසනීයම "ප්‍රවෘත්ති වාර්තාකරු" -අභීත මාධ්‍යකරුවකු වූ රදගුරුතුමකු ගේ කතාව

Archbishop Romero, El Salvador's most trusted “news channel"

-The story of the truth-loving Journalist in a Catholic Bishop




(2015 මැයි 21)
අති  උතුම් ඔස්කා රොමෙරෝ අගරදගුරු හිමිපාණන් භාග්‍යවරට එසැවීම මේ මස 23 දා සෙනසුරාදා සන් සැල්වදෝර් අගනුවර දී සිදු වේ. එල් සැල්වදෝරයේ සන් සැල්වදෝර් පදවියේ අගරදගුරුතුමන්ව සිටියදී පාලක රෙජීමයේ කුලී වෙඩික්කාරයකු ගේ ප්‍රහාරයෙන් එතුමා සවර්ගස්ථ විය. වසර ගණනාවක් තිස්සේ දිග්ගැස්සෙමින් තීබූ එතුමන් භාග්‍යවරයට එසැවීමේ ක්‍රියා මාර්ගය ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ විසින් යලි විවෘත කොට කඩිනම් කෙරිණ.

රොමෙරෝ අගරදගුරු හිමිපාණන්, මූලික වශයෙන් ම, විශ්වාසවන්ත එඬේරෙකු සහ ඇදහිල්ල වෙනුවෙන් සිය ජීවිතය පූජා කල කිතුනුවකු (එනම් ප්‍රාණපරිත්‍යාගී වරයකු) බව වතිකානය නිල වශයෙන් පිළිගෙන, තහවුරු කර තිබේ. එතුමන් භාග්‍යවරයට එසවීමට අවසර ලැබී ඇත්තේ ඒ අනුවය.

 එහෙත් ලොව බොහෝ දෙනෙකු නොදන්නා එතුමන් පිලිබඳ අප්‍රසිද්ධ කරුණක් ද වතිකානය තහවුරු කලේය. එනම් අගරදගුරු රොමෙරෝ හිමිපාණන්, එතුමන් ඝාතනයට ලක් වූ 1980 මාර්තු 24 වන දා දක්වාම , යුද්ධයෙන් හා දුෂණයෙන් පුපුරා තුවාල වී  තිබු එල් සැල්වදෝරයේ සිටි එකම විශ්වසනීය ප්‍රවෘත්ති වාර්තාකරුවාය යන සත්‍යයයි.

රොමෙරෝ අගරදගුරු තුමා ප්‍රසිද්ධියටත් ගෞරවයටත් පාත්‍රව සිටියේ දේව ධර්මවේදය පිලිබඳ වියතකු ලෙසය. කියවන්නටත් ඉගෙනගන්නටත් ඇලුම් කල එතුමන්ට ඇතමෙක් "පොත් ගුල්ලා" යයි සරදම් ද කළහ. එහෙත් එතුමා අගරදගුරුතුමන් ලෙස පත් කරනු ලබන තෙක් ජනමාධ්‍ය පිළිබඳව ඉගෙන හෝ අත්දැකීම් ලබා හෝ තිබුනේ නැත. පුජකතුමකු සහ රදගුරු තුමකු ලෙස එය එතුමන්ගෙන් බලාපොරොත්තු වූ කාර්යයක් ද නොවූයේය. එසේ වුවත් එල් සැල්වදෝර රෙජීමයේ දරදඬු පාලනයත්, යුද හමුදාවේ හා කැරලිකරුවන් ගේ ප්‍රචන්ඩකාරීත්වයත්, දුප්පත් ගොවි කම්කරු ප්‍රජාව වෙත එල්ල වී තිබු දැඩි පීඩනය හා රට පුරා හොල්මන් කල මර බියත් විසින් මාධ්‍ය කරුවකු ගේ කාර්යභාරයට තල්ලු කරන ලද එතුමා ලොව ඕනෑම මාධ්‍යවේදියකුට ආදර්ශයක් විය හැකි භූමිකාවක් ඉටු කළේය.

මේ, ඒ පිළබඳ කතාවයි.

යුද්ධයෙන් ගිනිගත් දේශයේ, මැඩ පැවැත්විය නොහැකි වූ  මිලිටරි ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා කිරීම, එරට ජනමාධ්‍ය සියල්ල ප්‍රතික්ෂේප කරද්දී, ඔස්කා රොමෙරෝ අගරදගුරු තුමා සත්‍යය සැඟවීම හා තොරතුරු වාරණය ප්‍රතික්ෂේප කළේය. එසේම එතුමා නිශ්ශබ්දවීම ප්‍රතික්ෂේප කලේය. දිනපතා මරණ තර්ජන ලැබුනත්, අගරදගුරු පදවියේ ගුවන්විදුලි මධ්‍යස්ථානයට බෝම්බ ප්‍රහාර එල්ල වුවත් එතුමා නිශ්ශබ්ද නොවීය.

රොමෙරෝ අගරදගුරු හිමිපාණන් භාවිත කළ ජන සන්නිවේන මාධ්‍ය කිහිපයක් තිබුනේ ය. අගරදගුරු පදවියේ ගුවන් විදුලි විකාශය සහ සති පතා පුවත් පත සාම්ප්‍රදායික මාධ්‍ය දෙකයි. ඊටත් වඩා ප්‍රබල මාධ්‍යය වූයේ සති පතා ඉරිදා දිව්‍ය පුජාවේ දී එතුමන් කළ දේශනයයි. සෑම සතියකම සිදු වූ වදහිංසා කිරීම්, ඝාතන සහ අතුරුදන්වීම් එතුමා නිර්භීතව වාර්තා කළේය. එතුමන් ගේ අරමුණ වූයේ, සත්‍යය යුද්ධයේ ප්‍රථම ගොදුර වීම වලක්වා ගැනීමයි.

අගරදගුරුතුමා හා එතුමන් ගේ මාධ්‍ය රටේ විශ්වසනීයම මාධ්‍ය පමණක් නොව රටේ සිදුවන දෑ සවිස්තරව ගෙන එන එකම ප්‍රවෘත්ති මුලාශ්‍රය බවට ද පත් වීමට ගත වුයේ සුළු කාලයකි. එතුමන්ගේ ඉරුදින දේශනා අගරදගුරු පදවියට අයත් YSAX ගුවන් විදුලි නාලිකාව ඔස්සේ විසුරුවා හැරිණ. එය රටේ ජනප්‍රියම වැඩසටහන බවට පත් වුයේය. ගම්බද ජනතාවගෙන් 75% ක් ද නාගරික ජනයා අතරින් 50% ක් ද ඊට සවන් දුන්හ. එල් සැල්වදෝරයේ ඇමෙරිකානු තානාපති කාර්යාලයද ඊට නොවරදවාම සවන් යොමු කළේය. (ජනාධිපති ජිමී කාටර් යටතේ එකල ඇමෙරිකානු ආණ්ඩුව එල් සැල්වදෝරයේ දක්ෂිනාංශික ආඥාදායක රෙජීමයට  සහාය දෙමින් සිටියේ ය. එපමණක් නොව ජනතාව මර්දනය කිරීම සඳහා රෙජීමයට ආයුධද සැපයුවේ ය.)

මෙහි ප්‍රතිඵලයක් ලෙස ගුවන්විදුලි මධ්‍යස්ථානය නිරන්තරයෙන් යුද  හමුදාවේ ප්‍රහාරවලට ලක්වන ස්ථානයක් බවට පත් විය. එල් සැල්වදෝර රෙජීමයේ ජන මර්දක හස්තය වන හමුදාව විසින් රේඩියෝ විකාශන සංඥා අවුල් කෙරිණි. එම මධ්‍යස්ථානයට බෝම්බ ප්‍රහාර එල්ල කෙරිණි.
  
අගරදගුරු තුමන් ලෙස පත් වීමට පෙර රොමෙරෝ හිමි එතරම් කතා නොකරන, සම්ප්‍රදාය මතවාදී පුජාප්‍රසාදී තුමෙකුව සිටියේ ය. අනතුරු වලට හෝ අභියෝග වලට මුහුණ දීමට ද එතුමා එතරම් කැමත්තෙන් නොසිටියේ ය. ප්‍රචණ්ඩ ක්‍රියා වලට එරෙහි වීමට එතුමන් ප්‍රථම වරට පෙළඹුනේ සිය සමීප මිතුරා වූ ජේසු නිකායික රුටිලියෝ ග්‍රැන්ඩේ  පියතුමන් හමුදාව විසින් මරා දැමීමෙන් පසුවය. එය ද එතරම් කැමැත්තකින් නොවේ. එහෙත් ඊට මාස කිහිපයකට පසුව එල් සැල්වදෝරයේ 'දුප්පතුන් ගේත් දුප්පතුන්' සමග එතුමන්ට ලැබුණු හද කම්පනය කරවන අත්දැකීමකින් පසුව, සිය දේශයේ සැබෑ ස්වරුපය එතුමාට අවබෝධ විය. එතුමන් හඬක් නොමැති ඔවුන් වෙනුවෙන් හඬක් වීමට තීරණය කලේ ඉන් පසුව ය.

ඔස්කා රොමෙරෝ හිමිපාණන් එල් සැල්වදෝරයේ අගරදගුරුතුමන් ලෙස පත් වූයේ 1977 දීය. ඒ වන විට රටේ සියලු පුවත් පත් එරට ඉඩම් හිමි ධනවත් වැවිලිකරුවන් ගේත් ව්‍යාපාරිකයන්ගේත් හඬ බවට පත්ව තිබීම, රදල ආණ්ඩුවේ සහ හමුදාවේ  මහත් ප්‍රසාදයට ලක් වූ බව රොමෙරෝ අගරදගුරුතුමන් ගේ චරිතාපදානය ලියූ ජේසු නිකායික ජේම්ස් බ්‍රොක්මන් පියතුමා කියයි. නිදසුනක් ලෙස, එම වසරේ නොවැම්බරයේ පැහැර  ගැනීමට කරන ලද වෑයමක දී එක්  ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරිකයකු මිය ගිය බවට එම පුවත් පත් සියල්ල වාර්තා කර තිබුණේය. එහෙත් එදිනම පැහැර  ගන්නා  ලද දහම් ගුරුවරයකු ගේ හිස සුන්, අත් පා වෙන් කරන ලද මල සිරුර, නගරයේ එක්  ස්ථානයකින් හමු වූ බව එම පුවත් පත් වාර්තා නොකළ බව බ්‍රොක්මන් පියතුමා සඳහන් කරයි.

රොමෙරෝ රදගුරුතුමන් විසින් පුරවන ලද්දේ මෙම හිස් තැන ය. එතුමා එවකට එල් සැල්වදෝරයේ ක්‍රියාත්මක වූ මාධ්‍ය සංස්කෘතිය උඩු යටිකුරු කරමින්,සත්‍යය, නිරවද්‍යතාව, සමතුලිතතාව සහ සාධාරනත්වය යන වෘත්තීය මාධ්‍ය කලාවේ පරමාදර්ශ  පසක් කරමින් කටයුතු කළේය. එතුමා සිය වාර්තාවලදී සහ දේශනා වලදී යුද්ධයේ පාර්ශව කරුවන් වූ දෙපාර්ශවයේම ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා කලේ ය. ඒවා විවේචනය කලේ ය. හෙළා දුටුවේය. 

1980 මාර්තු 20 වැනි දා සිය අවසන් ඉරිදා දේශනාවේ දී, හමුදා විසින් නිවසින්  පිටතට ඇදගෙනවිත්, පහර දී , අවයව කපා දමන ලද දුප්පත් ගොවියකු ගැන  එතුමා  කතා කලේ ය. සෙබළුන් සිව් දෙනකු විසින් දුෂ්‍ය කරන ලද තරුණියක ගැන ද එතුමා කීවේය. එසේම එක් විප්ලවවාදී කණ්ඩායමක් විසින් ආසන දෙව්මැදුර තුළ  දී  පොලිස් නිලධාරියකු අමානුෂික වද  හිංසාවට ලක් කරන ලද ආකාරයද එතුමා විස්තර කලේ ය. ප්‍රචණ්ඩ ක්‍රියාවලින් ගැලවීම සඳහා පලා එන ජනතාවට සරණ වීම සඳහා දෙව්මැදුරු විවෘතව ඇති නමුත්, ඒවා විවිධ දේශපාලන මත ඉගැන්වීමේ හෝ යුද හරඹ පුහුණු වීමේ මධ්‍යස්තාන ලෙස යොදා ගත හැකි බවක් ඉන් අදහස් නොකරන්නේ යැයි එතුමා අවධාරණය කලේ ය. 

පාලක රෙජීමය විසින් නිල මාධ්‍යය "වටලා" තිබීම ගැන ඔස්කා රොමෙරෝ අගරදගුරු හිමි අවධානය යොමු කරවුයේ ය. එසේම ආණ්ඩුවේ නිල නිවේදන මගින් ද ප්‍රධාන ධාරාවේ  ජන මාධ්‍ය මගින් ද සාවද්‍ය තොරතුරු බෙදා හැරීම  එතුමා හෙලා දුටුවේය. 

එක් පාර්ශවයකට පක්ෂපාතී බවක්?

ඔස්කා රොමෙරෝ අගරදගුරු හිමිපාණන් දේශපාලන මතයක් දැරුවේ නැත. එහෙත් එතුමන් සමබරතාවකින් තොරව හමුදාවට අවාසි සහගත ලෙස තොරතුරු ඉදිරිපත් කල බවට සත්‍ය තොරතුරු ගැන දැනුවත් නොවූ කෙනෙකුට පෙනී යා හැකිය. එහෙත් ඇත්ත වශයෙන්ම එල් සැල්වදෝරයේ පැවැති ප්‍රචණ්ඩකාරී යුගය තුළ, ප්‍රචණ්ඩ සිද්ධීන් වලින් සියයට 85 කටම වගකිව යුත්තේ හමුදාව හෝ රෙජීමයේ ප්‍රහාරක කල්ලි බව එක්සත් ජාතීන් ගේ සත්‍ය කොමිසම පසු කාලයේ හෙලිදරව් කලේ ය. රදල පාලකයන් හා ඔවුන්ගේ මාධ්‍ය විසින් අගරදගුරුතුමන් නොසලකා හරින ලද්දේ එතුමා "මාක්ස්වාදියෙක්" යයි කියමිනි.

රොමෙරෝ හිමිපාණන් තොරතුරු ඉදිරිපත් කිරීමේ දී සමබරතාව, නිරවද්‍යතාව හා සාධාරණ බව ආරක්ෂා කිරීමට පරෙස්සම් වුවත්, අදහස් දැක්වීමේ දී (විමර්ශනයේ දී) එතුමා ප්‍රචණ්ඩකාරීත්වයේ, අයුක්තියේ සහ අසාධාරණයේ ගොදුරු බවට පත්වූවන්, කවර පාර්ශවයකට අයත් වුවත්, ඔවුන් වෙනුවෙන් කතා කළේය.

එසේම එතුමා මත පල කිරීමේදී සහ "කතුවැකි"කරණයේදී රටට යහපත් යයි තමා විශ්වාසකළ ක්‍රියා මාර්ග වෙනුවෙන් පෙනීසිටියේ ය. එතුමන් පෙනී සිටි එවැනි ක්‍රියාමාර්ග කිහිපයක් මෙසේ ය:

"අතුරුදන් වුවන්ගේ මව්වරු" සහ රාජ්‍ය නොවන සිවිල් සමාජ ක්‍රියාකාරකයන් ගෙන් සැදුනු එල් සැල්වදෝර මානව හිමිකම් කොමිසම වැනි ජනතා සංවිධාන වලට එතුමා සහය පල කෙළේය. රදල ඉඩම් හිමියන් ගේ අධිකාරයක් විසින් සංකේතවත් කරන ලද වැඩවසම් ක්‍රමය වෙනස් කෙරෙන පුළුල් ඉඩම් ප්‍රතිසංස්කරණයක් අත්‍යවශ්‍ය බව අගරදගුරු තුමා  අවධාරණය කලේ ය. රටේ වගා කල හැකි ඉඩම් වලින් සියයට 60  ක් හිමිව තිබුනේ ජනගහනයෙන් 2% ක ජනගහනයකටය. ආණ්ඩුවත් කැරලිකරුවනුත් යන දෙපාර්ශවය විසින් ම ප්‍රචණ්ඩ ක්‍රියා නැවැත්විය යුතු යැයි ද එතුමා අවධාරණය කළේය. එහෙත් රෙජීමයේ ප්‍රචණ්ඩකාරීත්වය ඉහල යන වාතාවරණයක් හමුවේ ජනතාව කවර පියවරක් ගත යුතු ද යන්න 1979 දෙසැම්බර 17 වන දා පැවැති දේශනාවේ දී එතුමා විස්තර කලේ මෙසේය: " 'ජනතාවගේ හමුදාවක්' (කැරලිකරුවන්) සාදා ගැනෙමින් තිබෙන බව පෙනේන්නට තිබේ. ආණ්ඩුවට  ප්‍රතිරෝධයක් එල්ල කිරීමට ජනතාවට ඇති අයිතිවාසිකම  සභාව පිලිගනියි.එහෙත් එම එම ප්‍රතිරෝධය එල්ල කල යුත්තේ සන්නද්ධ ප්‍රචණ්ඩකාරීත්වයෙන් නොවේ."

ඒ සියල්ලට වඩා අගරදගුරු ඔස්කා රොමෙරෝ හිමිපාණන් දුප්පතුන් වෙනුවෙන් පෙනී සිටියේය. එසේ පෙනී සිටියේ එහි ආදීනව ද හොඳින් දැනගෙනය. ඒ ගැන, වරක් එතුමා කීවේ මෙසේය: "එල් සැල්වදෝරයේ දුප්පතුන් වෙනුවෙන් කැපවෙන ඕනෑම කෙනෙක් දුප්පතුන් ගේ ඉරණම අත්විඳීමට සුදානම් වෙන්න ඕනෑ . එනම්, අත්අඩංගුවට ගැනීම, වද හිංසා කිරීම, සිර ගත කිරීම සහ මල සිරුර හමුවීමයි". Oscar Romero: Memories in Mosaic නම් කෘතියේ ලේඛිකා මරියා ලෝපේස් විජිල්, එල් සැල්වදෝරයේ ප්‍රවෘත්ති කලාවේදියකු වූ අර්මන්දෝ කොන්ත්‍රේරාස් තමාට කී කරුණ මෙසේ සිහිපත් කරයි: "ඒ කාලය  තුළ අපේ රටේ තිබූ විශිෂ්ටතම ප්‍රවෘත්ති මුලාශ්‍රය රොමෙරෝ අගරදගුරුතුමායි. මම හිතන්නේ එතුමාට හොඳටම ගැළපෙන විරුදය 'දුප්පතුන් ගේ මාධ්‍යවේදියා' කියන එකයි."එතුමා බොහෝ විට සිද්ධීන් ඉදිරිපත් කලේ දුප්පතුන් ගේ මානයෙනි. ජනමාධ්‍යවලට හෝ ජනමාධ්‍යකරුවනට ලඟා වීමට නොහැකි වූ හඬක් නොමැති වුවන්ට එතුමා හඬක් වුයේ ය.

ගවේෂණශීලි මාධ්‍ය කරුවා

කිසිදු විවාදයකින් තොරව එකල රටේ සිටි එකම ගවේශනශීලි මාධ්‍ය කරුවා (Investigative reporter) රොමෙරෝ හිමිපාණෝය. එය වඩාත් නිෂ්චිතව කියන්නේ නම්, ගවේශනශීලි වාර්තාකරුවන් කණ්ඩායමේ ප්‍රධානියා එතුමා ය. තොරතුර ලැබෙන මුලාශ්‍රය කුමක් වුවත් සාම තොරතුරක්ම තරයේ යලිත් විමසා සත්‍යය තහවුරු කරගත යුතු යැයිද ලේඛන ගත කල යුතු යැයි ද  එතුමා දැඩි සේ උපදෙස් දී තිබිණි. තොරතුරු මුලාශ්‍රය පුජකවරයෙක්, කන්‍යා සොයුරියක් හෝ දෙව්සත්හල් සිසුවෙකු වේවා එහි සත්‍යතාව තහවුරු කරගැනීම අනිවාර්යය විය.ප්‍රමාණවත් තරම් සාධක නොමැති සිද්ධීන් හෝ තොරතුරු එතුමා විසින් පිහිටුවන ලද නීති ආධාර කමිටුව වෙත යොමු කෙරින.


සවිමත් කොන්දක් සහ පිරිසිදු හර්ද සාක්ෂියක් තිබුණු.........

ලජ්ජාශීලි පෞරුෂයකින් හෙබි අගරදගුරු ඔස්කා රොමෙරෝ හිමි නිතරම සිය බිය සමග සටන් කළේය. එහෙත් එතුමාව  කිසි විටෙකත් තර්ජනයෙන් බිය ගැන්වීමට හෝ "මිල දී ගැනීමට" කිසිවකුටත් නොහැකි විය. ඉතා උසස් බලතල වලින් ආරුඪ වුවන් ගෙන් එල්ල වූ පීඩනයට වුවද විරුද්ධ වීමට හැකි ශක්තියක් එතුමන් තුල වුයේය. 

1980 මුලදී හමුදා කුමන්ත්‍රණයෙන් පසු බිහි වූ ජුන්ටාවට සහාය දෙන්නැයි ඉල්ලා සිටීම සඳහා ආරක්ෂක ඇමැති   හොසේ ගිලර්මෝ ගාර්ෂියා අගරදගුරුතුමන් මුනගැසින.

එසේ පැමිණි ගාර්ෂියා ගේ මුහුණටම රොමෙරෝ අගරදගුරුතුමා මෙසේ කිවේය:"ඔබ වැන්නකු ආරක්ෂක ඇමැති හැටියට පත් කරපු ජුන්ටාවකට සහාය දෙන්න මට කොහෙත්ම බැහැ." මෙසේ කීමට හේතුවක් තිබිණි.ඇමෙරිකානු හමුදා පාසලේ පුහුණුව ලැබූ ගාර්ෂියා, සිත් පිත් නැති මිලිටරි ප්‍රධානියෙකු ලෙස කුප්‍රකටව සිටියේ ය. 1980 දී ඇමෙරිකානු පැවිදිවරියන් සිව් දෙනෙකුද ඝාතනය කරමින් එල්ලවූ  ප්‍රහාරය මෙහෙය වූයේ ඔහුය. යලිත් 1981, එල් මොසෝතේ හි දී සාමාන්‍ය වැසියන් 1000 කට අධික පිරිසක් සමූල ඝාතනය කල සිද්ධියේ දී ද හේ  හමුදා ප්‍රධානියා ලෙස කටයුතු කළේය. මිය ගිය අය අතර සිටි බහුතරයක් ළමයින් හා කාන්තාවෝය. රොමෙරෝ හිමිපාණන් ඝාතනය කරන ලද්දේ ද ඔහු නායකත්වය දැරූ මිලිටරිය විසිනි.

ජනාධිපති ජිමී කාටර් ගේ නායකත්වයෙන් යුත් ඇමෙරිකානු ආණ්ඩුව ද එල් සැල්වදෝර් ජුන්ටාවට රොමෙරෝ අගරදගුරු තුමන් ගේ සහය ලබා ගැනීමට උත්සාහ කලේ ය. ඒ සඳහා වතිකානයේ මැදිහත්කම ලබා ගැනීමට ද ඇමෙරිකාව කටයුතු කලේ ය. එහෙත් මේවායින් නමවා ගන්නට හැකි වුයේ රොමෙරෝ අගරදගුරුතුමන් ගේ කොන්ද නොවේ; මිල දී ගත හැකි වූ යේ එතුමන් ගේ හර්ද සාක්ෂිය නොවේ.

ඒ වෙනුවට එතුමා ජනාධිපති ජිමී කාටර් මහතාට ලියුමක් යැවුවේ ය. මිල්ටරිය විසින් අමු අමුවේ සිදුකරනු ලබන මානව හිමිකම් කඩ කිරීම් සවිස්තරව පෙන්වා දුන් එතුමා ජුන්ටාවට හමුදා ආධාර ලබා දීම නතර කරන්නැයි ජනාධිපති කාටර් මහතාගෙන් ඉල්ලා සිටියේ ය. ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මේ ලියුම ගැන වතිකානයට දන්වා සිටියේය. වතිකානය මේ ගැන රොමෙරෝ අගරදගුරු තුමන් ගෙන් 'නිදහට කරුණු විමසන' බව එතුමන්ට දන්වා සිටියේ ජේසු නිකායික ඉග්නාසියෝ එල්ලකුරියා පියතුමා ය. (එතුමාව ද සැල්වදෝර හමුදා ඒකකයක් විසින් ඝාතයන කරනු ලැබිණි.)

ප්‍රාණ පරිත්‍යාගය 

ජනාධිපති ජිමී කාටර් මහතාට ලියුම යැවීමෙන් පසුව අගරදගුරු පදවි ගුවන් විදුලි මධ්‍යස්ථානය බෝම්බ ප්‍රහාරයකින් විනාශ කරනු ලැබිණ. එහෙත් තාවකාලිකව සකස් කර ගත් ට්‍රාන්ස්මීටරයක් මගින් ඉරිදා දේශනා ප්‍රචාරය කිරීමට පියවර ගැනින.

1980 මාර්තු 23 වනදා ඉරිදා සිය අවසන් දේශනාව ප්‍රචාරය කරන ලද්දේ ඒ මගිනි. එහිදී රොමෙරෝ අගරදගුරු තුමා නව ප්‍රවේශයකට යොමු විය. ලේ වැගිරීම්වල අවසානයක් දැකීමේ අරමුණින් එතුමා ඍජුවම යුද හමුදාවේ සාමාන්‍ය සෙබළුන්ට  ආමන්ත්‍රණය කළේය. "ඔබගේ හර්දය සාක්ෂියට විරුද්ධව  කටයුතු කිරීමට ඉහල නිලධාරීන් ලබා දෙන කිසිදු නියෝගයක් පිළිපැදීමට ඔබ බැඳී නැත" යි එතුමා සෙබළුන් අමතමින් කීවේය. එසේම ලේ වැගිරීම්  නවත්වන්නැයි එතුමා ප්‍රබල ආයාචනයක් කලේ ය.

එය එතුමන් ගේ අවසාන දේශනාව වුයේ ය.  

ඊළඟ දවසේ හිමිදිරියේ  එතුමා පැවිදි ආරාමයක දිව්‍ය පුජාව ඔප්පු කරමින් සිටියදී කුලී වෙඩික්කරුවකු විසින් එතුමා ඝාතනය කරනු ලැබිණ. ඊට නියෝගය දෙන ලද්දේ ඇමෙරිකානු හමුදා පාසලේ පුහුණුව ලද සිත් පිත් නැති හමුදා ප්‍රධානියකු විසිනි.

මීට ඉහත කිහිප වතාවක් ම රොමෙරෝ අගරදගුරු තුමාට මරණ තර්ජන පැමිණියේය. එතුමන් ගේ "ඝාතකයන්" බවට පත්වීමට සිටි කිහිප දෙනකුටම එතුමා සමාව ද ලබා දී තිබිණ.

භාග්‍යවරය

"කෙනෙකු තම මිතුරන් වෙනුවෙන් දිවි පිදීමට වඩා වටිනා දෙයක් නැත" යි ජේසු සමිඳාණෝ වදාලාහ. "ඔබ මාගේ කුඩා සහෝදරයන් වෙනුවෙන් යමක් කලේ ද ඒ මට කළා වැනි "යැයි ද උන්වහන්සේ පැවසුහ.

ජේසු සමිඳුන් ගේ මිහිමත සාක්ෂිකරුවකු වූ අති  උතුම් ඔස්කා රොමෙරෝ අගරදගුරු හිමිපාණෝ තම ස්වාමියානන් හා දයාබරම මිතුරානන් වූ ජේසු සමිඳුන්ට ප්‍රේම කළහ. එතුමා දුක් විඳින තම සහෝදර ජනතාව තුළ ජේසු සමිඳුන් හඳුනා ගත්තේ ය. දුෂිත, කුරිරු පාලක රෙජීමයක යකඩ සපත්තුවට පෑගුණු එම ජනතාවට ආදරය කරමින් ඔවුනට නායකයකු ද , දයාබර මිතුරෙකු ද, පියෙකු ද වෙමින් , හඬක් නොමැති ඔවුන් ගේ හඬ ලොවටම ගෙන යාමට හඬක් වුයේ ය. එතුමා දයාබර පුජාප්‍රසාදී වරයකු හා කතෝලික සභාවේ සාන්තුවරයකු වන ගමන් අභීත මාධ්‍ය කරුවකු ද වුයේ එසේය.

තත්වය උණුසුම් වෙද්දී වරක්  එතුමා   මෙසේ කීවේය.

"දවසක ඔවුන් අපේ ගුවන් විදුලිය උදුරාගෙන අපේ පත්තරෙත් වසා දමා අපේ කටවල් වසා දැමුවොත්; අපේ පුජාප්‍රසාදී වරුන් සියලු දෙනා සහ රදගුරු තුමාවත් මරා දැමුවොත්, එදාට ඔබ හැම කෙනෙක් ම  දෙවියන් වහන්සේ ගේ මයික්‍රපෝනය බවට පත් විය යුතුයි."

(ලින්ඩා කූපර් සහ ජේම්ස් හොජ් විසින් "National Catholic Reporter " පුවත් පතට ලියු ලිපියක් පාදක කර ගැනිණ .)


අයුක්තියට ජනමර්ධනයට විරුද්ධ කිතු සමිඳුන්ගේ හඬ - රොමෙරෝ: මැයි 23 දා භාග්‍යවරයට


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය