"මනාලයා ගේ විශ්වාසවන්ත මිතුරු බෙනඩික්, ඔබ ගේ ප්‍රීතිය සම්පූර්ණ වේවා !" ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා බෙනඩික් පාප් වහන්සේ ගේ එඬේරික ගුණ පසසයි - ගායනා පූජාවේ දේශනය සහ අවමංගල්‍ය උත්සවයේ තොරතුරු

Pope Francis pictures Emeritus Benedict XVI as pastor without mentioning his name in historic funeral

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සොයුරකු ලෙස ප්‍රේම කල සිය පූර්ව ගාමියාට සංවේදීව සමුදුන් මොහොත 


(2023 ජනවාරි 5) 

ඉතිහාසයේ ප්‍රථම වරට පාප් වහන්සේ නමක් ස්වර්ගස්ථ වූ පාප්  වහන්සේ නමක ගේ අවමංගල්‍ය දිව්‍ය පූජාවක් ඔප්පු කිරීමේ  කතෝලික සභා ඉතිහාසයේ තවත් නව වාර්තාවක් සටහන් කරමින් ලොව පුරා  කතෝලික ජනතාව සොළොස්වන  බෙනඩික් විශ්‍රාමික ශුද්ධෝත්තම පියතුමාට අද සදහටම සමුදුන්නේ ය.  

වසර 600ක ඉතිහාසය තුළ අභාවයට කළින් සිය  ධුරයෙන් විශ්‍රාම ගෙන වසර 10කට ආසන්න විශ්‍රාමික ජීවිතයක් ගත කරමින් සිටි සොළොස්වන බෙනඩික් පාප්වහන්සේ ඉකුත් ජනවාරි 31 වැනි දා ස්වර්ගස්ථ  වූහ. අනූපස් වැනි වියෙහි සි එතුමා මිය ගියේ වියපත් වීම නිසා ඇති වූ සංකුලතා හේතුවෙනි. (වැඩිදුර තොරතුරු මේ  සබැඳියෙන් :  සුබ ගමන් බෙනඩික් සසුන් පියාණෙනි: වියත්, ධර්මධර, විනයධර සසුන් එඬේරා ගේ නික්ම යාම

ස්වර්ගස්ථ වූ විශ්‍රාමික  සසුන් පිය දේහය ජනතා ගෞරවය පිණිස ජනවාරි 2 සිට 4 දක්වා වතිකානයේ සාන්ත පීතර බැසිලිකා දෙව්මැදුරේ තැන්පත් කර තිබිණි. එම දින තුන තුළ 2000,000කට අධික ජනතාවක් එතුමන්ට ගරු බුහුමන් දැක්වූ බව වතිකාන පුවත් වාර්තා කරයි. 

සගසැපත් විශ්‍රාමික සසුන් පිය දේහය පිලිබඳ අවමංගල්‍ය කටයුතු පවත්වන ලද්දේ අදයි. එතුමන් ගේ  ආත්මය වෙනුවෙන් හවුල් මහා  ස්තෝත්‍ර යාගික මෙහෙය පවත්වනු ලැබුවේ (presided  over by )  ප්‍රැන්සිස් පාප් වහන්සේ ගේ ප්‍රධානත්වයෙනි. දිව්‍ය පූජාවේ ප්‍රධාන පුදැදුරු තුමා (main celebrant) ලෙස කාදිනල් සංසදයේ නායක ජොවන්නි බැතිස්තා රේ කාදිනල් හිමි ක්‍රියා කලේ ය.  

ශිශිර ඍතුවේ තුනී මීදුම සහිත සීතල දිනක් වූ ජනවාරි 5 වැනිදා එම තත්ත්වය නොතකා 60,000ක පමණ ජනතාවක් දිව්‍ය පූජාව සඳහා චතුරශ්‍රයට රැස්වී සිටියහ. කළින් දින රාත්‍රියේ සිට චතුරශ්‍රයට පිටතින් රැස්ව සිටි ඔව්හු ආරක්ෂංක පරීක්ෂාවෙන් පසුව යුහු යුහුව අසුන් සොයා යන දක්නා ලදහ. 



විශ්‍රාමික පාප් වහන්සේ ගේ ආත්මය වෙනුවෙන් පැවැත්වුණු  දුක් ගායනා හවුල් ස්තෝත්‍ර යාගික මෙහෙයේ දී ප්‍රකාශ කරන ලද සුබ අස්න ජුවාම් සුවිශේෂයේ එන ජේසු සමිඳුන් ගේ කුරුසියේ අවසන් හෝරාව කියවෙන කොටසයි. 

සසුන් පිය බෙනඩික් එඬේරික සලකුණ 

එම සුබ අස්න සිය ධර්ම දේශනයට පාදක කරගත්   ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ක්‍රිස්තුන් වහන්සේ ගේ ජීවිතයෙන් ගලා එන එඬේරිකභාවය සහ සිය පූර්වගාමියා වූ බෙනඩික් පාප් වහන්සේ ගේ එඬේරික ආදර්ශය අතර සමානතා විදහා දැක්වුයේ ය. මෙනයින් සොළොස්වන බෙනඩික් සසුන් පියාණන් සිය ජීවිතය පුරා සුබ අස්නට සාක්ෂි දරමින් එය පැතිර වූ  එඬේරකු (pastor ) ලෙස ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ පැසසුමට ලක්විය. එහෙත් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා එසේ කළේ සොළොස්වන බෙනඩික් යන නම කිසිසේත් භාවිත නොකර එතුමනට සුපුරුදු ව්‍යංග්‍යාර්ථයෙන් වීම මෙම දේශනයේ විශේෂ ලක්ෂණයකි.  (එහි  අරමුණ "යහපත් එඬේරකු" ගේ අභියෝගය ගැන එම දිව්‍ය පූජාවට එක් වූ සියලු පුදැදුරුවරුනට ද ලබා දීම යැයි විචාරකයෝ පෙන්වා දෙති.) 

සමාව දීමේ  සහ අනුකම්පාවේ දෑත් 

"පියාණනි, ඔබගේ හස්ත වලට මාගේ ආත්මය  භාර කරමි" යන  ක්‍රිස්තුන් වහන්සේ ගේ අවසන් වචන වූ කලී උන්වහන්සේ ගේ මුළු ජීවිතය ම සාරාංශ ගත කළ උන්වහන්සේ ගේ අවසන් හුස්ම පොද ලෙස විස්තර කල හැකි බව ප්‍රන්සිස්  සුදොතුම් පියතුමා දේශනය ආරම්භ කරමින් කීවේය. "මන්ද, උන්වහන්සේ ගේ මුලු  ජීවිතයම තමන්ව අඛණ්ඩව  පියාණන් ගේ හස්ත වලට භාර  දුන්නාවූ ජීවිතයකි. උන්වහන්සේ ගේ දෑත් සමාව දීමේ  සහ අනුකම්පාවේ ද, සුවපත් කිරීමේ සහ දයා කරුණාවේ ද, ආලේප කිරීමේ සහ ආශීර්වාද කිරීමේ ද ඒවා වූ අතර, ඒ නිසා ම උන්වහසේට තමන් සිය සහෝදර සහෝදරියන් ගේ දෑත් වලට භාර දෙන්නට ද සිදු විය. සමිඳාණෝ තමන්ට එදිනෙදා  මුණගැසෙන පුද්ගලයන්ටත් ඔවුන් ගේ කතා වලටත් විවෘත වූ අතර, සුබ අස්න විසින් ඉල්ලා සිටින ප්‍රතිවිපාක සහ දුක් පීඩා සිය කරින් දරා ගත් සේක. ඒ කෙතරම් ද යත් "මේ මගේ දෑත් බලන්නැ"යි ප්‍රේමයෙන් සිදුරු වූ සිය දෑත් පෙන්වා තෝමස්ට පැවසූ සේකැ " යි ක්‍රිස්තු අනුගාමී පුදැදුරුතුමකු මුහුණ දෙන දුක් පීඩා විස්තර කරමින් සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය. 

ක්‍රිස්තු හදවත සමග සුසර වන තෙක් ...

"පියාණනි, ඔබ ගේ ශ්‍රී හස්ත වලට මාගේ ආත්මය භාර කරමි" යි සමිඳුන් කී  අවසන් වචන වූ කලී  උන්වහන්සේ අප තුළ නිහඬව අනුප්‍රාණයක් ඇති කරන ආරාධනයක් සහ ජීවිත වැඩපිළිවෙළක් යැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කීවේය.  "උන්වහන්සේ  කුඹල් කරුවකු සේ සෑම එඬේරික පුදැදුරුතුමකු ගේ ම හදවත ක්‍රිස්තුස් ජේසුන් වහන්සේ ගේ  හදවත සමග සුසර වන තෙක් හැඩගැස්වීමට අභිමත වන සේක.  එම හදවත්   සමිඳුන්  කෙරෙහි හා උන්වහන්සේ ගේ ජනතාවට කෘතවේදී බැතියෙන් ද, සමිඳුන්ට හා උන්වහන්සේ ගේ ජනතාවට ස්වාවෙන් ද සුසර කරනු ලැබිය යුත්තේ ය. 'ඔබ මා  හට අයිති වන්නේ ය ... ඔබ ඔවුනට අයත් වන්නේ ය' යි සමිඳාණෝ කොඳුරන සේක. 'ඔබ මගේ හස්ත වල ආරක්ෂාව යටතේ සිටිති. ඔබ මගේ හදවතේ ආරක්ෂාව යටතේ ය.මගේ හස්ත මත පවතින්න, ඔබ ගේ දෑත් මට දෙන්න.' යි උන්වහන්සේ කොඳුරන සේක," යි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය අනන්‍ය භාවනා ශෛලියෙන් පහදා  දුන්නේ ය. 

එඬේරික අභියෝග, දුක් පීඩා , ප්‍රතිරෝධ 

මෙහිදී බෙනඩික් පාප් වහන්සේ නමින් සඳහන් නොකළ සුදොතුම් පියතුමා එතුමා ගේ ජීවිතය තුළ, විශේෂයෙන් සසුන් පිය ධුරය දැරූ සමය තුළ මුහුණ දුන් අභියෝග සහ කම්කටොළු  මේ සුබාරංචි කොටස ඇසුරින් ව්‍යංගයෙන් විස්තර කළේය:

"පුදැදුරු තුමකු ගේ හදවත සෑම පුදැදුරු තුමකුම මුහුණ දිය යුතු අභියෝග සහ ප්‍රතිරෝධය  සිය බැටළුවන් පෝෂණය කරන්න යන සමිඳුන් ගේ උපදේශය කෙරෙහි විශ්වාසය තබා ඊට කීකරු වන්නාවූ බැතියකින්, යැදුම් ශීලී  බැතියකින් සුසර කොට හැඩගස්වනු ලබන්නේ ය.  ස්වාමීන් වහන්සේ මෙන් එඬේරෙකු සිය ජනතාව වෙනුවෙන් යැදුමෙන් මැදිහත් වීමේ බර සහ සිය ජනතාව ආලේප කිරීමේ වෙහෙස සහ පීඩාව  දරාගන්නේ ය. විශේෂයන් ම යහපතම ජයග්‍රහණය කරවන්නට අරගල කරන අවස්ථාවල සහ  අපගේ සහෝදර සහෝදරියන් ගේ ගරුත්වය තර්ජනයට ලක්වූ අවස්ථා වල එඬේරෙකු එම පීඩාව දරා ගන්නේ ය.  මේ මැදිහත් වීමේ යැදුමේ දී කවර වූ හෝ අනවබෝධයන් නොතකා තේරුම් ගැනීමටත්, පිළිගැනීමටත්, බලාපොරොත්තුවීමට සහ අවදානමක් ගැනීමටත් අවශ්‍ය වන නිහතමානි කම සමිඳාණෝ දානය කරන සේක. එය තමන් විශ්වාසකරන තැනැන්වහන්සේ දැනගැනීම තුළ හටගන්නා අදෘශ්‍යමාන සහ දුරවබෝධ ඵලදායීබවකි. ...'පෝෂණය කිරීම යනු ප්‍රේම කිරීමය, ප්‍රේම කිරීම යනු දුක් විඳීමට සූදානම් වීම ය. ප්‍රේම කිරීම යනු බැටළුවන්ට යහපත් දේ දීම ය, දෙවියන් වහන්සේ ගේ සත්‍යයෙන් සහ දෙවියන්වහන්සේ ගේ වචනයෙන්  පෝෂණය කිරීමය,  උන්වහන්සේ ගේ පෙනීසිටීමෙන් පෝෂ්‍ය කිරීම ය.'" 

කෘතවේදී බවේ සුගන්ධ ද්‍රව්‍යයෙන්  බලාපොරොත්තුවේ තෙලින් ආලේප වන දේහය ... 



බෙනඩික් ශුද්ධෝත්තම පියතුමා සිය ධුර කාලය පුරා ලොව පුරා සිටින සමිඳුන් ගේ බැටළු රල සිය යැදුමෙන් දරාගෙන ගියේ ය. මේ නිසා දැන් එතුමන් අපගේ යැදුමෙන් දරාගෙන යාමට කාලය පැමිණ ඇති බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය දේශනය අවසානයේ කියා සිටියේ ශු. මහා ග්‍රෙගරි පාප් වහන්සේ ගේ ප්‍රකාශයක් උපුටා දක්වමිනි:

" මේ ආධ්‍යාත්මික පෝෂණය තුළ තමා කැටුව යන්නැයි සාන්ත මහා ග්‍රෙගරි ශුද්ධෝත්තම පියතුමා   සිය එඬේරික පාලනය අවසන් භාගයේ  සිය මිතුරෙකුගෙන් ඉල්ලා සිටියේ ය: 'මගේ වත්මන් ජීවිතයේ නෞකාව මුහුදුබත් වීම තුළ ඔබගේ යැදුම් පුවරුව මත මා පෝෂණය කරන්නැයි මම ඔබට ආයාචනා කරමි. මන්ද මගේම බව මා ගිල්වන්නට සැරසෙයි. .ඔබගේ යහගුණයේ අත මා ඉහලට ඔසවයි.' මෙහි අප දකින්නේ තමාට සත්‍යවශයෙන් ම  කවදාවත් තනිව ඔසවාගෙන යන්නට බැරි බරක් ඇති බව තේරුම් ගත් එඬේරෙකු ගේ ඉල්ලීමයි. මේ චතුරශ්‍රයේ  එක්ව සිටින දෙවියන් වහන්සේ ගේ විශ්වාසික ජනතාව දැන් සිය එඬේරා ගේ ජීවිතය කැටුව යමින්   ඔවුන්වහන්සේ ගේ හස්ත වෙත භාර කරති. සමිඳුන් ගේ දේහය රැගෙන   ගල්ලෙනට ගිය ස්ත්‍රීන් සේ අපි කෘතවේදී බවේ සුගන්ධ ද්‍රව්‍ය ද, බලාපොරොත්තුවේ තෙල් ද රැගෙන ඇවිත් සිටිමු. අප යළිත් වරක් එතුමන්ට පෙන්වන්නට අවශ්‍ය  වන්නේ  කිසිදා නොමියෙන අපගේ ප්‍රේමයයි. අප මෙය කරන්නට යන්නේ ගත වූ වසර ගනනාව පුරා එතුමන් අප වෙත දානය කල ප්‍රඥාව, කරුණාව සහ භක්තිය තුළින් මය. අපි හැමෝට ම එක්ව මෙසේ කියන්නට අවශ්‍ය ය. 'පියාණනි, අපි ඔහු ගේ ආත්මය ඔබවහන්සේ ගේ හස්ත වලට භාර කරමු.'"

"මනාලයා ගේ විශ්වාසවන්ත මිතුර,"

"බෙනඩික්!  මනාලයා ගේ විශ්වාසවන්ත මිතුර, උන්වහන්සේගේ හඬ ඇසෙන අතර ඔබ ගේ ප්‍රීතිය සම්පූර්ණ වේවා ! දැනුත් සදහටත් එසේ වේවා !" යි පතමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය ධර්ම දේශනය අවසන් කළේය. 

'මනාලයාගේ විශ්වාසවන්ත මිතුර" - ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සොහොයුරකු සේ තමා  සැලකූ සිය පූර්වගාමියා වෙනුවෙන් මේ වදන්  භාවිත කිරීම අතිශය  ප්‍රබල පණිවිඩයක් ගෙන එයි. ශුද්ධ වූ කතෝලික සභාව මනාලියයි. ක්‍රිස්තුන් වහන්සේ ඇයගේ මනාලියයි. බෙනඩික් පාප් වහන්සේ මේ මනාලයාගේ "විශ්වාසවන්ත මිතුරා" යි. මේ ප්‍රකාශනය ප්‍රබල ය. සෑම පුදැදුරු නමක ගේම භූමිකාව මනාලයා ගේ "විශ්වාසවන්ත මිතුරා" වීමයි. 

බදාදා පිළිවෙත 

ජනවාරි 4 වනදා බදාදා දේහය ඇතුළත් සයිප්‍රස්  දැවයෙන් තැනූ පෙට්ටිය  වසා මුද්‍රා තැබීම සිදුකරන ලද්දේ වතිකානයේ ඉඅහල ම නිල දරන නා හිමිවරුන් අබියස ය. කාදිනල් සංසදයේ නායක ජෝවන්නි බැතිස්තා රේ,  වතිකාන රාජ්‍ය  ලේකම් පියෙත්‍රෝ පැරෝලිනි, රෝම පදවියේ අනුනායක ඇන්ජෙලෝ ද දොනාතිස්, සාන්ත පීතර බැසිලිකාවේ අග පුදැදුරු මෝරෝ ගම්බෙත්ති යන කාදිනල් හිමිවරු ඊට ඇතුලත් වුහ. සොළොස්වන බෙනඩික් සසුන් පියාණන් ගේ පෞද්ගලික ලේකම් ජෝර්ජ් ගැන්ග්ස්වෙන් අගරදගුරු හිමි සහ විශ්‍රාමික පාප්  වහන්සේ රැකබලාගත් Memores Domini  නිකායේ පැවිදි සොයුරියෝ ද ඒ අවස්ථාවට එක් වූහ. 

(සබැඳි පුවත: අලුත් සම්ප්‍රදාය ඇති කරමින් සමු ගන්නා විශ්‍රාමික පාප් වහන්සේ

දිව්‍ය පූජාව 

ආසන්න වශයෙන්  කාදිනල් හිමිවරු 120 නමක් සහ පුදැදුරු තුමන්ලා 3,700 දෙනෙකු පමණ ශුද්ධෝත්තම පියතුමන් සහ කාදිනල් රේ හිමියන් සමග හවුල් දිව්‍ය පූජා මෙහෙය සිදු කළහ. ඔවුන් සිටියේ පූජාසනයට දකුණු පසිනි. 

පුදසුනට වම්  පසින් අසුන් ගෙන සිටියේ රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන් ය. සගසැපත් වන විට  බෙනඩික් පාප් වහන්සේ විශ්‍රාම ලබා සිටි බවින් රාජ්‍ය නායකයින් පැමිණියේ එතුමන් ගේ මව් රට වන ජර්මනියෙන් ස ඉතාලියෙන් පමණි. ස්පාඥ්ඥය, බෙල්යජියම, පෘතුගාලය, පෝලන්තය, හංගේරියාව , ප්‍රංශය , මහා බ්‍රිතාන්‍යය, සය්ප්‍රස් ඇතුළු රටවල් රැසක රාජ්‍ය නියෝජිතයෝ මේ අවස්ථාවට පැමිණ සිටියහ. 



Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය