අලුත් සම්ප්‍රදාය ඇති කරමින් සමු ගන්නා විශ්‍රාමික පාප් වහන්සේ

Pope Emeritus bids Farewell creating new Protocols  

(2023 ජනවාරි 4)

විශ්‍රාමික පාප් වහන්සේ නමකගේ අවමංගල්‍ය කටයුතු සිදුකෙරෙන ආකාරය ගැන නව සභා සම්ප්‍රදායක් බිහි කරමින් සගසැපත් බෙනඩික් විශ්‍රාමික පාප් වහන්සේ ගේ අවමඟුල් වත් පිළිවෙත් ජනවාරි 5 වැනි දින බ්‍රහස්පතින්දා සිදු කෙරේ. 

එතුමන් ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම බදාදා ප.ව. 7න් අවසන් විය. ඉන් පසුව බැසිලිකාව වැසීමෙන් පසු  එම දේහය සාම්ප්‍රදායික අන්දමින් සයිප්‍රස් දැවයෙන් තැනුණු පෙට්ටියක තැන්පත් කෙරිණි. 

සගසැපත් විශ්‍රාමික පාප් වහන්සේ ගේ ආත්මය වෙනුවෙන් දුක්ගායනා ස්තෝත්‍ර යාගික මෙහෙය රෝම වේලාවෙන් 5 වැනිදා පෙ.ව. 9.30ට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ. එනම් ශ්‍රී ලංකාවේ වේලාවෙන් ප.ව. 2ටයි. එය  පැවැත්වෙන්නේ වතිකානයේ සාන්ත පීතර චතුරශ්‍රයේ දී ය. 60,000ක පමණ ජනතාවක් ඊට සහභාගී වනු ඇතැයි වතිකානය අපේක්ෂා කරයි. 

සොළොස් වන බෙනඩික් පාප් වහන්සේ ස්වර්ගස්ථ වූයේ ධුරයේ සක්‍රීයව සිටිය දී  නොව "විශ්‍රාමික පාප් වහන්සේ නමක" ලෙස ය. ඉතිහාසය පුරා පාප් වහන්සේලා ස්වර්ගස්ථ වන තෙක් එම ධුරය දැරීම නිසා විශ්‍රාමික පාප් වහන්සේ නමක ගේ අභාවයේ දී අනුගමනය කල යුතු වත්පිළිවෙත් සහ සම්ප්‍රදාය පිළිබඳ සම්ප්‍රදායක් හෝ පූර්ව නිදර්ශන තිබුණේ නැත. මේ නිසා මේ අවස්ථාව මත නැවුම් තීරණ ගැනීමට වතිකානයට සිදු විය. මේ නයින් බැලු කල සොළොස්වන බෙනඩික් පාප් වහන්සේ සිය විශ්‍රාමයේ දී මෙන් ම අභාවයේ දී ද නව සම්ප්‍රදාය සහ ක්‍රියා පටිපාටීන් ගොඩ නගන්නකු බවට පත් වී සිටිති. 

 එහෙත් එතුමන් ගේ අවමංගල්‍ය ස්තෝත්‍ර යාගික මෙහෙය ඉතා සුළු වෙනස්කම් කිහිපයක් පමණක් සහිතව සගසැපත් පාප් වහන්සේ  නමකගේ දුක් ගායනා පූජාවම පදනම් කරගනිමින් පැවැත්වෙන බව වතිකාන මාධ්‍ය අධ්‍යක්ෂ  මතෙයෝ බෘනි ප්‍රකාශ කළේය. වෙනස් කම් සිදු වන්නේ එතුමන් ගේ අභාවයෙන් ශුද්ධෝත්තම පිය අසුන පුරප්පාඩු නොවීම ("sede vacante") පාදක කරගෙන පමණි. නිදසුනක් ලෙස රෝම පදවියේ නියෝජිතයන් සහ පෙරදිග සභාවල නියෝජිතයන් ගේ අවසන් යාච්ඥා මෙම මෙහෙයට ඇතුළත් වන්නේ නැත.

විශ්‍රාමික බෙනඩික් පාප් වහන්සේ ගේ අවමංගල්‍ය පිළිවෙතේ ප්‍රධාන වෙනස් කමක් වන්නේ එතුමා වෙනුවෙන් දිව්‍ය පූජාව පවත්වනු ලබන්නේ එතුමෙන් ගේ අනුප්‍රාප්තික ප්‍රැන්සිස් පාප් වහන්සේ විසින් වීමයි. පුදුමයකට මෙන් මීට කලින් 2005 දී ශු. දෙවැනි ජුවාම් පාවුළු පාප්තුමන් ස්වර්ගස්ථ වූ අවස්ථාවේ එතුමන් වෙනුවෙන් ස්තෝත්‍ර යාගික මෙහෙය පැවැත්වූයේ මේ සවර්ගස්ථ වූ පාප් වහන්සේ ගේ ප්‍රධානත්වයෙන් වීමයි. එහෙත් එතුමා ඒ වන විට පාප් වහන්සේ නොවේ. එතුමන් එය පවත්වන ලද්දේ සාම්ප්‍රදායික ලෙස කාදිනල් සංසදයේ නායක හිමියන් ලෙස එතුමන්ට ලැබුණු වරම අනුවය. මෙහි පහත දැක්වෙන්නේ එම අවස්ථාවේ පින්තුරයකි.  



අවමංගල්‍ය මෙහෙයේ පොත් පිංච දැන් නිකුත් කර තිබේ. එහි පිටකවරය  සරසන්නේ බරෝක් සමයේ සුප්‍රකට චිත්‍ර ශිල්පියකු වන කරවාජියෝ ගේ සිත්තමක් වන "ක්‍රිස්තුන් වහන්සේ ගල්ලෙනෙහි තැන්පත් කිරීම" නමැති 17 වැනි සියවසට  අයත්  සිත්තමෙනි. දිව්‍ය පූජා පිළිවෙතෙහි සුළු වෙනස් කම් කිහිපයක් ඇතැයි බෘනි කීවේය. 

පළමුවන කියවීම තොරාගෙන් ඇත්තේ ඉසයියස් 29:16-19 කොටසයි. සංසන්දනය කරන විට ශු. දෙවැනි ජුවාම් පාවුළු පාප් වහන්සේ ගේ දිව්‍ය පූජාව අවස්ථාවේ පළමුවන කියවීම අපෝස්තුලු වරුන් ගේ ක්‍රියා පොතේ එන පේදුරු තුමන් ගේ දේශනයයි (ක්‍රියා 10:34-43). දෙවැනි කියවීම පුදුරු තුමන් ගේ පළමු ලිපියේ 1:3-9 කොටසයි. ක්‍රිස්තුන්  වහන්සේ ගේ උත්ථානය කරන කොට ගෙන විශ්වාසිකයනට මරණයෙන් පසු නව උපතක් කෙරෙහි ස්ථිර බලාපොරෝත්තුවක් ඇතැයි එම කියවීම සිහිගන්වයි. සංසන්දනාත්මකව දෙවැනි ජුවාම් පාවුළු සුදොතුම් පිය දිව්‍ය පූජාවේ දෙවැනි කියවීම කිතුනු ජනතාව "ස්වර්ගයේ පුරවැසියන්" බව කියන පාවුළු තුමන් පිලිප්පි වරුන්ට ලියූ ලිපියේ 3:20-4-1 කොටසයි. 

සුබ  අස්න ලෙස තෝරාගෙන ඇත්තේ ලූක් සුවිශේෂයේ එන ජේසු ගේ කුරුසියේ අවසන් අවස්ථාව ගැන කියවෙන කොටසකි. ඊට පරස්පරව ශු. ජුවාම් පාවුළු පාප් වහන්සේ ගේ අවස්ථාවේ සුබ අස්න වූයේ ජේසු සමිඳුන් පෙද්රු තුමන්ට "මාගේ බැටළුවන් පෝෂණය කරන්නැ"යි උපදෙස් දුන් කොටසයි (ජුවාම් 21:15-19). මේ හැරුණුකොට විශ්වාසිකයන් ගේ යැදුම් වල ද වෙනස් කම් කිහියක් තිබේ. 

ස්තෝත්‍ර යාගික මෙහෙය පවත්වනු ලබන්නේ (presided  over by )  ප්‍රැන්සිස් පාප් වහන්සේ ගේ ප්‍රධානත්වයෙනි. දිව්‍ය පූජාවේ ප්‍රධාන පුදැදුරු තුමා (main celebrant) ලෙස කාදිනල් සංසදයේ නායක ජොවන්නි බැතිස්තා රේ කාදිනල් හිමිපාණන් ක්‍රියා කරනු ඇත. 

සගැසපත් බෙනඩික් විශ්‍රාමික පාප්  වහන්සේ ගේ දේහය මිහිදන් කරන අවස්ථාවේ සක්‍රීය පාප්වහ්න්සේ නමක් වෙන්වෙන් අනුගමනය කරන සම්ප්‍රදාය එලෙසින් ම ක්‍රියාත්මක කෙරේ. එතුමා ගේ දේහය බහාලන මංජුසාවට තුන් වර්ගයක සිහිටවටන බහාලනු ඇත: එනම්, එතුමන් ගේ ධුර කාලය තුළ භාවිත වූ කාසි සහ පදක්කම්, එතුමා ගේ පාප් ධුරය සංකේතවත් කරන පැල්ලියම නමැති කර පළඳනාව  සහ එතුමාගේ ධුර කාලයේ සේවාව ගැන සාරාංශයක් ඇතුළත් ලියවිල්ලකි. 

දිව්‍ය පුජාවෙන් පසුව එතුමන් ගේ දේහය බහාලු පෙට්ටිය වසා මුද්‍රා තැබෙනු ඇත. ඉන් පසු එම පෙට්ටිය තුත්තනාගම් (සින්ක්) වලින් සාදන ලද පෙට්ටියක බහා එය ද දැව මුවා පෙට්ටියක බහාලනු ලැබේ. දේහය මිහිදන් කෙරෙන්නේ ඉන් අනතුරුවයි. 

විශ්‍රාමික බෙනඩික් පාප් වහන්සේ ගේ දේහය සාන්තුවරයට පෙර ශු. දෙවැනි ජුවාම් පාවුළු පාප්තුමන් ගේ දේහය තැන්පත් කල ස්ථානයේ මිහිදන් කෙරෙනු ඇත. එය සිදු වන්නේ පුද්ගලික  වත් පිළිවෙතක් ලෙසයි. 



Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය