යුක්රේන යුද්ධය නවත්වන්නැයි සුදොතුම් පියතුමා ජනාධිපති පුටින්ට ඍජුවම ආයාචනා කරයි. "යුද්ධය විසඳුමක් නොවන බව තේරුම් ගන්නට තව කොච්චර ලේ හැලිය යුතුද?" එතුමා විමසයි. "අපේ යොවුන් පරපුරට යුද්ධයේ දුෂිත වාතය වෙනුවට සාමයේ පිවිතුරු වාතය ආශ්වාස කිරීමට ඉඩ දෙමු." - සුදොතුම් පියතුමා ගේ සම්පූර්ණ ප්‍රකාශය (වීඩියෝ)

Pope Francis  pleads President Putin to end the war. "How much blood must still flow  to realize that war is never a solution ?" (Video) 



(2022 ඔක්තෝබර 2)

යුද්ධය නවත්වන්නැයි ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමා ප්‍රථම වරට රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර්  පුටින් ගෙන් ඍජුවම ඉල්ලා  සිටියි. 

"හිංසනයේ  සහ මරණයේ සර්පිලය නවත්වන්නැයි" පුටින්ගේ නම සඳහන් කරමින් ම එතුමා ආයාචයක් කළේය. එසේ නොකලොත් න්‍යෂ්ටික යුද අවි භාවිතයක් ඇති වී එහි  පාලනය කරගත නොහැකි ආදීනවවලට  ලෝකය මුහුණ දෙනු ඇතැයි එතුමා අනතුරු අඟවයි.  

ඉකුත් මාස කිහිපය තුළ ගලා ගිය ලේ සහ කඳුළු තම සිත මහත් සේ වේදනාවට පත් කරන බව සුදොතුම් පියතුමා කියයි. "දෙවියන් වහන්සේ ගේ නාමයෙන් මේ ගැටුම අවසන් කරන ලෙස  මම මේ හදිසි සහ අත්‍යවශ්‍ය ආයාචනය කරමි. ...ලෝකය න්‍යෂ්ටික ගැටුමක අනතුරට ඉඩ හැරීම මෝඩ කමකි."

"මගේ ආයාචනය වෙනත් සියල්ලන්ටත් වඩා යොමු කරන්නේ රුසියානු  සංගමයේ ජනාධිපතිවරයා වෙතයි. අවම වශයෙන් තමන් ගේ ම ජනතාව ගැන සිතා හෝ ප්‍රචණ්ඩත්වයේ සහ මරණයේ සර්පිලය අවසන් කරන මෙන් මම ඔහුට ආයාචනා කරමි," යි එතුමා කීවේය. 

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ ආයාචනය කලේ ඔක්තෝබර දෙවැනි දා ඉරිදා දහවල් වතිකානයේ සාන්ත පීතර චතුරශ්‍රයේ පැවැති තුන්කාල ආරාධනා මරිය දැහැන අවසානයේ එහි සිටි දහස් සංඛ්‍යාත වන්දනා කරුවන් අමතා විශේෂ දේශනයක් කරමිනි. 

ලේ සහ කඳුළු ගඟ මා වේදනාවට පත් කළා 

"මේ මාසවලදී ගලා ගිය ලේ සහ කඳුළු ගංගා  වෙනුවෙන් මම ශෝකයට පත්ව සිටිමි. මේ යුද්ධයේ දහස් සංඛ්‍යාත වින්දිතයන් ගැනත්, විශේෂයෙන් ම එයින් මිය ගිය දරුවන් ගැනත්, විශාල ජනතාවක් සහ පවුල් විශාල සංඛ්‍යාවක් ගෙවල් නැති මිනිසුන් බවට පත් කරමින් ද  විශාල ප්‍රදේශයක් සීතලට සහ සාගින්නට ගොදුරු කරමින්දු ද සිදු වී ඇති විනාශය ගැන ද මම ශෝකයට පත්ව සිටිමි"යි එතුමා එම විශේෂ දේශනාව ආරම්භ කරමින් කියා සිටියේ ය. 

යුක්ති සහගත කළ නොහැකියි 

"ඇතැම් ක්‍රියා කිසිදාක යුක්තිසහගත කළ නොහැකිය. කිසිදාක" යි එතුමා අවධාරණය කළේය. ලෝකය යුක්‍රේනය ගැන ඉගෙන ගන්නේ යුද්ධයට ගොදුරුව පවතින නගර සහ ගම්මාන වල නම් වැලකින් බව පෙන්වා දෙන සුදොතුම් පියතුමා ඒවා වචනයෙන් විස්තර කල නොහැකි තරම්වේ දනාවෙන්  සහ භීතියෙන් තැති ගෙන ඇතැයි එතුමා පෙන්වා දුන්නේ ය. "ඊට අමතරව මානව සංහතිය යළිත් න්‍යෂ්ටික යුද්ධයක අනතුරකට මුහුණ දී සිටියි. එය ඉතා මුග්ධ ය."

"ඊළඟට සිදු වන්නට යන්නේ කුමක්ද? යුද්ධය කිසිදාකත් විසඳුමක් නොවන බවත් එයින් සිදු වන්නේ විනාශය පමණක් බවත් අවබෝධ කරගැනීමට තව කෙතරම් ලේ හැලිය යුතුද?" යි එතුමා මේ යුද්ධයට අවතීර්ණව සිටින ලෝකයේ රටවලින් එතුමා ප්‍රශ්න කරයි. 

මිනිස් ජීවිතයේ පූජනීයතත්වයට ගරු කිරීම ...

"වහාම යුද විරාමයකට පිවිසෙන මෙන්, මානව හදවත් තුළ සරන  දෙවියන් වහන්සේ ගේ නාමයෙනුත් මනුෂ්‍යත්වයේ නාමයෙනුත් මම යළිත් වරක් ආයාචනා කරමි. අවි ගැටුම් නතර කරමු. ඒ වෙනුවට සම්මුතියට ඉඩ දෙන දීර්ඝ කාලීන ප්‍රතිඵල සහිත, බලහත්කාරයෙන් නොව සංවාදයෙන් සහ සාකච්ඡාවෙන් විසඳුම් සොයා ගන්නා කතිකා මාවතට පිවිසෙමු.  මිනිස් ජීවිතයේ  පූජනීයත්වයට සහ සෑම රටකම ස්වෛරීත්වය සහ භෞමික අඛණ්ඩතාවට ගරු කිරීමත් සුලුතරයන් ගේ අයිතිවාසිකම් සහ ඔවුන් ගේ නීත්‍යනුකුල දුක්ගැනැවිලි වලට ගරු කිරීමත් එම කතිකාවන්වල  පදනම වන්නේ නම්,  ඒවා ස්ථාවර ප්‍රතිඵල ගෙන දෙනු ඇතැ"යි එතුමා සිය දේශනයේ දී පෙන්වා දුන්නේ ය.  

තමා බොහෝ සිත්තැවුලට පත්ව සිටින්නේ ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය වන පියවර කිහිපයක් ඉකුත් දින කිහිපය තුළ ගනු ලැබූ නිසා බව සුදොතුම් පියතුමා කීවේය. "මේ නිසා න්‍යෂ්ටික යුද්ධයක් ඇති වීමේ අවදානම පැනනැගී තිබේ. එසේ වුවහොත් ලෝකය පුරා ඉතා විනාශකාරී තත්වයක් ඇති වනු ඇතැයි බියක් හටගෙන ඇති බව එතුමා පෙන්වා දෙයි. 

රුසියානු ජනාධිපතිතුමාට උදක් ම ආයාචනා කරමි 

"මගේ ආයාචනය ප්‍රථමයෙන් ම සහ ප්‍රධාන වශයෙන් ම යොමු වන්නේ රුසියානු සංගමයේ ජනාධිපතිතුමන් වෙතටයි. ප්‍රචණ්ඩත්වයේ සහ මරණයේ සර්පිලය නවත්වන මෙන් මම ඔහුගෙන් උදක්ම අයැද සිටිමි. සිය ජනතාව ගැන ද සිතා එසේ කරන ලෙස ඔහුගෙන් ඉල්ලමි. සාමය පිලිබඳ බැරෑරුම් යෝජනාවලට විවෘත වන ලෙස   ඊට සමාන විශ්වාසයකින් යුතුව  මම යුක්රේන ජනාධිපතිතුමන් ගෙන් ද ඉල්ලා සිටිමි. "

"මේ තත්වය තවත් දරුණු අතට වර්ධනය වන්නට ඉඩ නොදී  යුද්ධය නැවත්වීම සඳහා තමන්ට හැකි සෑම ක්‍රියාමාර්ගයක් ම ගන්නා ලෙසත් සංවාදය සඳහා වූ මූලිකත්වයන්ට සහය දී ඒවා ප්‍රවර්ධනය කරන ලෙසත්  ජාත්‍යන්තර ජීවිතයේ සියලුම ක්‍රියාධරයන් ගෙනුත්, ජාතීන් ගේ දේශපාලන නායකයන්ගෙනුත් මම ඉල්ලා සිටිමි. "

"අපේ බාල සහ තරුණ පරපුරට වියරුවක් වන යුද්ධයේ දුෂිත වාතය වෙනුවට සාමයේ පිවිතුරු වාතය ආශ්වාස කිරීමට අවස්ථාව සලසා දෙමු."

යුද්ධය වරදක්. සංත්‍රාසයක්.

"යුද්ධය එතුළ ම වරදකි. සංත්‍රාසයකි" යි සුදොතුම් පියතුමා අවධාරණය කරයි. මේ නිසා මෙතෙක්  භාවිත කොට නොමැති සියලු රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාමාර්ග වුව ද ගෙන යුද්ධය අවසන් කර සාමය ඇති කිරීම් සඳහා පියවර ගන්නැයි ලෝකයේ වග කිව යුතු සියලු පාර්ශව වලින් සුදොතුම් පියතුමා ඉලා සිටියි. 

දෙවිඳුන් කෙරෙහි විශ්වාසය තබමු 

"සිත් වෙනස් කල හැකි දෙවියන් වහන්සේ ගේ දයා කරුණාව සහ සාමයේ රැජිණිය ගේ මාතෘක මැදිහත්කම කෙරෙහි අපි විශ්වාසය  තබමු" යි ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමා සිය දේශනය අවසානයේ කියා සිටියේ ය.  

පසුබිම 

මෙය රුසියාවේ යුක්රේන ආක්‍රමණය සහ එම යුද්ධය සම්බන්ධයෙන් සුදොතුම් පියතුමා ජනාධිපති ව්ලැඩ්මීර් පූටින්  ගේ නම සඳහන් කරමින් ආයාචනයක් කළ ප්‍රථම වතාවයි. 

ආක්‍රමණය ආරම්භ වූ සමයේ එතුමා ඔහු සමග පෞද්ගලිකව හමු වී මේ අර්බුදය සමතයකට පත් කිරීමට වෑයම් කළේය. මේ නිසා යුද්ධය සම්බන්ධයෙන්  පූටින් නමින් සඳහන් නොකිරීමට එතුමා අදිටන් කරගෙන සිටියේය. ඒ මගින් ඔහුගේ සිත අමනාප කර සංවාදයේ අවස්ථාව මග හරවා නොගැනීම එතුමා ගේ අරමුණ විය. රුසියාව ඊට යහපත් ප්‍රතිචාර නොදැක්වීම නිසා පූටින් ගේ ප්‍රධාන ම උපදේශකයකු මෙන්ම ඔහු ගේ යුද උන්මාදයට දිරිය දෙන ප්‍රධාන ආධ්‍යාත්මික නායකයා ද වන  රුසියානු ඕතඩොක්ස් සභාවේ නායක කිරිල් පේත්‍රියාක් තුමා සමග සුදොතුම් පියතුමා සාකච්ඡා කළේය. එහෙත් ජනාධිපති පුටින් ගේ යුද මෙහෙයුම යුක්තිසහගත කල පේත්‍රියාක් කිරිල්, මෙය සාමයෙන් සහ සංවාදයෙන් විසඳා ගැනීම ප්‍රතික්ෂේප කළේය. එයින් ද අධෛර්යයට පත් නොවූ සුදොතුම් පියතුමා ගත වූ මාස 7 පුරාම රුසියානු-යුක්‍රේන අර්බුදය සංවාදයෙන් විසඳා ගැනීමේ අධිෂ්ඨාන පූර්වක වෑයමක නිරත වී සිටියේ ය. 

මේ අතර මේ වන විට රුසියාව විසින් අල්ලාගෙන බලහත්කාරයෙන් රැඳී සිටින යුක්‍රේන ප්‍රදේශ රුසියාවට ඈඳා ගැනීම සඳහා  ජනාධිපති පූටින් පසුගියදා අවනීතික ජනමත විචාරණයක් පැවැත්වීය. එය පවත්වන ලද්දේ ජාත්‍යන්තර නීති සියල්ල උල්ලංඝනය කරමිනි. ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව (ඉන්දියාව සහ චීනය ඇතුළු ආක්‍රමණශීලි රටවල් කිහිපයක් හැර) එම අවනීතික තීරණය දැඩි ලෙස විවේචනය කළේය. එම  ප්‍රදේශය රුසියාවට අයත් යැයි නොපිළිගන්නා බව ජාත්‍යන්තර ප්‍රජාව අවධාරණය කළේය. ඊට ප්‍රතිචාර ලෙස පුටින් කියා සිටියේ අවශ්‍ය වුවහොත් න්‍යෂ්ටික ආයුධ භාවිත භාවිත කරන බවයි. ඊට අමතරව බොහෝ සෙබළුන් යුද්ධයේ දී  මිය යාම, රුසියාව අත්පත් කරගෙන සිටි ප්‍රදේශ යුක්රේන හමුදා විසින් යළි දිනාගනු ලැබීම වැනි කාරණා නිසා යුද්ධ කල හැකි වයසේ පසුවන රුසියානුවන් බලහත්කාරයෙන් යුද්ධයට බඳවා ගැනීමේ නියෝගයක් ද රුසියානු ආණ්ඩුව නිකුත් කළේය. මේ තත්වය තුළ යුක්රේන යුද්ධයට විසඳුමක් පරන තෙක් මානයකවත් නැති බව මෙන් ම ලෝකය තුන් වන ලෝක යුද්ධයකට තල්ලු වෙමින් තිබෙන බව දක්නට ලැබේ. 

ශුද්ධෝත්තම  පියතුමා ජනාධිපති ව්ලැඩ්මීර් පූටින් නමින් ම අමතන්නේ මේ වාතාවරණය තුළ ය. 

සබැඳි පුවත් 

"මිනිස් බල පිපාසය වෙනුවෙන් ධර්මය ප්‍රාණ ඇපකාරයෙකු නොකරමු" ජගත් ආගමික නායක සමුළුව අමතමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියයි; ධර්මයන් ගේ නාමයනට පහර දෙන අන්තවාදයන් සහ මූලධර්ම වාදයන්ගෙන් මිදෙමු."

සුදොතුම් පියතුමා ගේ දාන අංශයේ ප්‍රධානී කාදිනල් හිමියන්ට යුක්රේන-රුසියා දේශ සීමාව අසලදී වෙඩි ප්‍රහාරයක්


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය