සුදොතුම් පියතුමා ගේ දාන අංශයේ ප්‍රධානී කාදිනල් හිමියන්ට යුක්රේන-රුසියා දේශ සීමාව අසලදී වෙඩි ප්‍රහාරයක්

 Pope's almoner shot at while delivering aid in Ukraine 

කාදිනල් ක්‍රව්ජෙස්කි හිමි යුක්රේනයේ සිය 'සහායකයන්' සමග 


(2022 සැප්තැම්බර 18)

ප්‍රැන්සිස්   සුදොතුම් පියතුමා ගේ දානාධිකාරී තුමා, එනම් සසුන් පිය දාන ආයතනයේ නායක කාදිනල් හිමිපාණන්ට යුක්රේන-රුසියා දේශ සීමාව අසල දී වෙඩි තැබීමකට  මුහුණ දීමට සිදු වූ බව වතිකාන නිල ප්‍රවෘත්ති සේවාව වාර්තා කරයි.  

"සසුන් පිය දානාධිකාරී" යන කෙටි නමින් පතළ, වතිකානයේ දයා සේවා දෙපාර්තමේන්තුවේ නායක  කාදිනල් කොන්රඩ් ක්‍රව්ජෙස්කි හිමිපාණන් මේ බියකරු අවස්ථාවට මුහුණ දුන්නේ සුදොතුම් පියතුමා ගේ ආහාර සහ වෙනත් සැපැයුම් ඇතුළත්  ආධාර තොගයක් රැගෙන ඒවා බෙදා දීම සඳහා  යුක්‍රේනයේ රුසියා දේශ සීමාව ආසන්නයේ පිහිටි සැපොරිෂ්ෂියා නගරයට පැමිණි අවස්ථාවේ දී ය. 

"සසුන් පිය සෙනෙහස" බෙදීම 

මෙය කාදිනල් ක්‍රව්ජෙස්කි හිමිපාණන් සුදොතුම් පිය ආහාර සහ සැපැයුම් රැගෙන යුක්රේනයට ගිය තුන් වැනි වතාවයි. 

මේ කාලය තුළ තමන්ට පැවරී  ඇති මෙහෙවර යුද්ධයට මැදි වී සිටින යුක්රේන ජනතාවට අත්‍යවශ්‍ය සැපැයුම් බෙදා දෙන අතර, ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ නියෝජිතයා ලෙස, එතුමා ගේ සමීප බව සහ සෙනෙහස ඔවුනට ලබා දීම බව කාදිනල් හිමි වතිකාන ප්‍රවෘත්ති සේවාවට කියා සිටියේය. 

මෙවර ගමනේදී ආහාර සහ සැපැයුම් වලට අමතරව සුදොතුම් පිය තුමන් විසින් ම ආසිරි ගන්වන ලද ජපමාල ද ජතාවට බෙදා දීම සඳහා එතුමා රැගෙන යමින් සිටියි. මේ ආධාර රැගත් කුඩා බස්රිය පදවා ගෙන යන්නේ ද කාදිනල් හිමියන් මයි. මේවා රැගෙන  එතුමා මුලින්ම ගියේ යුද්ධයෙන් දැඩි පීඩාවට පත් ඔඩෙස්සා නගරයටයි. 

"කතාවක් කඳුලක් නැහැ: 'ජේසුනි මම ඔබ කෙරෙහි විශ්වාස කරමි'"

ඉන් පසුව  කාදිනල් ක්‍රව්ජෙස්කි හිමිපාණන් ඇතුළු දූත පිරිස සැප්තැම්බර් 17 වැනි සෙනසුරාදා සැපොරිෂ්ෂියා නගරයට පැමිණියහ. එහි දී සිය ඔවුන් සිය  කුඩා බස්රථයේ තිබූ ආහාර සහ සැපැයුම් එයින් පිටතට බා හුස්මක් ගත්තා පමණි, කාදිනල් හිමියන් ඇතුළු පිරිස වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල වන්නට පටන් ගත්තේ ය. තමන්ට වහාම රැකවරණයක් සොයන්නට සිදු වූ බව කාදිනල් හිමි එම බියකරු මොහොත සිහිපත් කරමින් කියා සිටියේ ය. 

" මගේ ජීවිතයේ පළමුවැනි වතාවට කොහෙටද දුවන්නෙ කියල මට හිතාගන්න බැරිව ගියා. ...මොකද දිව්වයි කියල විතරක් පලක් නැහැ. දුවන්නෙ කොහේටද කියලත් දැනගන්න ඕනෑ" යි එතුමා කීවේ ය. 

කෙසේ නමුත් එතුමාට හෝ එතුමා සමග සිටි කිසිවෙකුට හෝ මෙම වෙඩි ප්‍රහාරයෙන් කිසිදු තුවාලයක් හෝ අනතුරක් සිදු වූයේ නැත. 

මෙවැනි සිද්ධීන් නිසා සිය මෙහෙවර අත්හැර දැමිය නොහැකි බව කාදිනල් හිමි කීවේය. තමන් ශක්තිමත් කරන්නේ කුමක් දැයි වතිකාන ප්‍රවෘත්තේ සේවයේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් එතුමා විස්තර කළේය:

"අපට වචනයක්වත් කියන්නවත් කඳුලක් සලන්නවත් බිය වෙන්නටවත් බැහැ. අපට පුළුවන් වෙන්නේ එක ප්‍රකාශයක් යළි යළිත් පුනරුච්චාරණය කරන්නයි. එනම්, 'ජේසුනි, මම ඔබ කෙරෙහි විශ්වාස කරමි.'"

කාදිනල් හිමියන් සසුන් පිය "සෙනෙහස සහ සමීප බව" රැගෙන යුක්රේනයේ යුද පීඩාවට පත් ඛර්කීව් නගරයට මීලඟට යනු ඇත. 

යුද බිම් දෙව්මැදුරේ සංවත්සර මෙහෙය  

ක්‍රව්ජෙස්කි හිමි 

සසුන් පිය දානාධිකාරී ක්‍රව්ජෙස්කි හිමිපාණන් වෙඩි ප්‍රහාරයට මුහුණ දුන් සැප්තැම්බර 17 වැනි දින එතුමා ගේ රදගුරු ජීවිතයේ සුවිශේෂී දිනයකි. එනම් සිය රදගුරු අභිෂේකයේ නව වන  සංවත්සරය ද එදිනට යෙදී තිබීමයි. 

එතුමන් ගේ රදගුරුවරදානය සිදු වූයේ 2013 සැප්තැම්බර 17 වැනි දා වතිකානයේ සාන්ත පීතර බැසිලිකාවේ දී ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් විසිනි. 

මෙවර යුක්රේන-රුසියා දේශ සීමාවේදී එතුමා සිය රදගුරුවරයේ 9 වැනි සංවත්සරය සමරුවේ ගඩොල් දෙව්මැදුරක් තුළ නොවේ. ජේසු සමිඳුන් දින දින යාග වන එක් ස්ථානයක් වන අහිංසක මිනිසුන් ජීවිත බියෙන් සිටින කුරිරු යුද බිම් 'දෙව්මැදුරක්' තුළ ය. තවත් කතෝලික රදගුරු තුමෙකු, ප්‍රොතෙස්තන්ත රදගුරු තුමෙකු සහ යුක්රේන සෙබලෙක්  ද එතුමා ගේ මේ 'මෙහෙයට' හවුල්  විය. .  

බස් රථයට ආධාර පැටවීම, බෑම සහ බෙදා දීම කරන්නේ ද  මේ "සේවකයන්" තුන්  දෙනාය. බසය පදවන්නේ කාදිනල් හිමි ය. 

මෙය එතුමාට අලුත් දෙයක් නොවේ. කෝවිඩ් වසංගතයට පෙර රෝමයේ ග්‍රීෂ්ම ඍතුවේ දී එතුමා රෝම නගරයේ සිටින නිවාස රහිත ජනතාවට සිසිලක් දීම සඳහා ඔවුන්ට මුහුදේ දිය නෑමේ අවස්තාවක් ලබා දුන්නේ ය. එම චාරිකාවේ දී නිවාස නැති පුද්ගලයන් රැගත් බස් රථය පැදෙව්වේ ද, වෙරළේ දී  ඔවුන්ට අවශ්‍ය තුවා ආදී දේ බෙදා දුන්නේ ද, දිය නෑමෙන් පසුව පීට්සා කෑම වේලක් බෙදා දුන්නේ ද එතුමා ය. 

ඒ විස්තරය මෙතැනින් කියවන්න:

රෝමයේ ගෙදරක් නැති ජනයාගේ ග්‍රීෂ්මය නිවන්න මුහුදේ 'ස්වීම්' එකක් සමග පීට්සා රෑ කෑම වේලක්: සුදොතුම් පියතුමා ගේ අනුග්‍රහයෙන්

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය