"මරණ දඬුවම ලොව පුරා නීතියෙන් ම තහනම් කිරීම් සඳහා බල මුළු ගැන්වෙමු." සැප්තැම්බර මාසයේ සුදොතුම් පිය යැදුම් අදහස

 "Let's mobilize for the abolition of the death penalty throughout the world" Pope invites people of good will through his prayer intention for September 2022





(2022 සැප්තැම්බර 7)

2022 සැප්තැම්බර් මාසය සඳහා ප්‍රැන්සිස්  සුදොතුම් පියතුමා ගේ යැදුම් අදහස ඇතුළත් සසුන් පිය වීඩියෝව දැන් නිකුත් වී තිබේ. 

ලොව පුරා සෑම රටකම නීත්‍යනුකුලව ම මරණ දඬුවම තහනම් කරවීම සඳහා බල මුළු ගැන්වෙන්නැයි ද ඒ වෙනුවෙන් දෙවිඳුන් යදින්නැයි එතුමා  එම වීඩියෝ පණිවිඩය මගින් ලොව  පුරා වෙසෙන යහපත් සිත් ඇති සියලු ජනතාවට ආරාධනා කරයි. 

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය ජීවිතය පුරා ම මරණීය දණ්ඩනයට විරුද්ධව පෙනී සිටි කෙනෙකි. පාප් තුමන් ලෙස තේරී පත් වීමෙන් පසුව එතුමා මේ ගැන දිගින් දිගටම නොබියව ඉගැන්නුවේ ය. ඒ වෙනුවෙන් පෙනී සිටියේ ය. 

කතෝලික සභාවේ  ධර්මෝපදේශය  ද සංශෝධනය කල එතුමා මරණ දඬුවම කතෝලික ඉගැන්වීමට පටහැනි බවත්, මේ නිසා එය නොපිළිගතහැකි දඬුවමක් බවත් දැක්වෙන නව වගන්තියක් ඊට එකතු කළේය. මෙම ඉගැන්වීම තව දුරටත් අවධාරණය කිරීම සඳහා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා  "සියල්ලෝ සොහොයුරෝ"  නමැති සිය අලුත්ම විශ්ව ලේඛනයේ  මරණ දඬුවමේ අමානුෂික, අධාර්මික සහ සදාචාර විරෝධී බව පෙන්වා දෙයි. 

මරණීය දණ්ඩනය තහනම් කිරීම පිලිබඳ හඬ දුර්වල නොවී, අමතක නොවී පවත්වාගෙන යාම එතුමා ගේ දැඩි උත්සාහය වී තිබේ. එමගින් එම දඬුවම ඉක්මනින් නීති  පොත්වලින් ඉවත් කිරීම එතුමන් ගේ අරමුණයි. එතුමා ඒ ගැන නිතර කතා කරන්නේ ඒ නිසාය. මේ මාසයේ  යැදුම් අදහස ලෙස එය තෝරා ගැනීමේ හේතුව ද එයයි. 

මරණ දඬුවම "එපා!" 

මේ වන විට ලොව සෑම ප්‍රදේශයක ම මරණ දඬුවම "එපා" කියන හඬ වර්ධනය වෙමින් පවතින බව සිය වීඩියෝ පණිවිඩය ආරම්භ කරමින් එතුමා පෙන්වා දෙයි. එය එම දඬුවම පිටු දකින කතෝලික  සභාවට  බලාපොරොත්තුවේ සලකුණකි. 

මරණ දඬුවම නොමැතිව වුව ද අපරාධ වැළක්විය හැකි බව එතුමා මේ වීඩියෝ පණිවිඩයේ පෙන්වා දෙයි. ඊට පරස්පරව, මරණීය දණ්ඩනය නිසා වින්දිතනයට යුක්තියක් ඉටු නොවේ. එය ධාර්මික ඉගැන්වීම් වලට මෙන් ම සදාචාරයට ද විරුද්ධය. 

මේ නිසා එම දඬුවම තහනම් කිරීමට ඒකරාශී වන ලෙස ද  එම යැදුම් අදහස වෙනුවෙන්  යාච්ඥා කරන ලෙස ද ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ලොව පුරා සිටින "යහපත් සිත් ඇති" සියලු ජනතාවට ආරාධනා කරයි. 

අධිකරණයක් ඉදිරියේ ප්‍රකාශ  කෙරෙන  'නීත්‍යනුකුල' නඩු තීන්දුවක් අනුව ලබා දෙන මරණ දඬුවම සේ ම නීතියෙන් පරිබාහිරව ජනපීඩක ආණ්ඩු විසින් සිදු කරන ඝාතන ද මීට  ඇතුළත් වේ. වරදකරුවන් ලෙස සැකකෙරෙන පුද්ගලයන් නීතියෙන් පරිබාහිරව වුව ද ඝාතනය කිරීම මගින් එම අපරාධවල වින්දිතයනට හෝ පොදු සමාජයට හෝ යුක්තියක් ඉටු නොවේ. වරදකරුවනට  වුව ද ජීවිතයට අයිතියක් ඇති අතර එය පැහැර  ගත නොහැකි බව මේ වීඩියෝව මගින් ද සුදොතුම් පියතුමා පැහැදිලි කරයි. 

සෑම මාසයක ම සසුන් පිය යැදුම් අදහස ඇතුලත් කර සසුන් පිය වීඩියෝව නිකුත් කරනු ලබන්නේ සසුන් පිය ලෝක ව්‍යාප්ත යැදුම් ජාලය විසිනි. 

ලෝකයේ මරණ දඬුවම නීතියෙන් ක්‍රියාත්මක වන රටවල එම දඬුවම සඳහා තවමත් භාවිත කෙරෙන ක්‍රම සසුන් පිය වීඩියෝ දසුන් තුළින් ඉදිරිපත් කෙරේ. එහෙත් ඒවා නෙත් අබියසට ගෙන එනු ලබන්නේ එම දඬුවම් තුළ ආවේනික අමානුෂිකත්වය ද සමගය. මරණ දඬුවමට නියම වූවන් ගේ මානසික තත්වය චිත්‍රණය කෙරෙන කෙටි දසුන් කිහිපයක් ද ඊට ඇතුලත් වේ.  සිර කුටියක පව් සමාවේ ප්‍රසාද නිධානය ලබා දෙන පියතුමකු ගේ දසුනක් ඊට ඇතුළත්ව ඇත්තේ ඕනෑම මොහොතක සිත් හැරීමට මිනිසාට ඇති හැකියාව චිත්‍රණය කරමිනි. ලොව පුරා මරණ දඬුවමට එරෙහිව නැගී එන විරෝධය දැක්වෙන දසුන් ද වීඩියෝවට ඇතුළත් ය,  

2022  සැප්තැම්බර් මාසය සඳහා සුදොතුම් පියතුමා ගේ යැදුම් අදහස සම්පූර්ණයෙන් :

සෑම දිනකම, මරණ දඬුවම "එපා" යැයි ලොව පුරා නැගෙන හඬ වර්ධනය වෙමින් තිබේ. සභාවට මෙය බලාපොරොත්තුවේ සලකුණකි. 

නෛතික දෘෂ්ටි කෝණයෙන් බැලූ විට, එය අනවශ්‍ය ය. 

වරදකරුවන්ට තමන්ට විමුක්තිය ලබා ගැනීමට ඇති හැකියාව අහිමි නොකර ඵලදායී ලෙස අපරාධ මර්දනය කිරීමට සමාජයට හැකිය. 

සෑම විටකම, සෑම නෛතික දඬුවමක් තුළ ම, බලාපොරොත්තුවේ කවුළුවක් තිබිය යුතු ය. 

මරණීය දණ්ඩනය වින්දිතයනට යුක්තියක් ලබා දෙන්නේ නැත. ඒ වෙනුවට එය පළිගැනීම දිරිමත් කරයි. 

එසේම , යම් ආකාරයකින් යුක්තිය පැහැර හැරීමක් සිදු වී ඇතොත් එය වෙනස් කිරීම ඇති  හැකියාව ද මරණ දඬුවම විසින් වලක්වනු ලබයි. 

ඊට අමතරව, සදාචාරාත්මකව මරණ දඬුවම පිළිගත නොහැකිය. මන්ද, අපට ලැබී ඇති වැදගත් ම තිළිණය වන ජීවිතය ඒ මගින් විනාශ කරනු ලබන නිසා ය. අපි මේ වැදගත් කාරණාව  අමතක නොකරමු: එනම්, අවසන් මොහොතේ දී වුව ද පුද්ගලයෙකුට වෙනස් විය හැකිය; සිත් මාරුවක් ඇති කරගත හැකිය. 

සුබ අස්නේ ආලෝකයෙන් බැලූ විට ද මරණ දඬුවම පිළිගත නොහැකිය. "ජීවිතය විනාශ නොකරව" යන පනත නිදොස් පුද්ගලයන්ට සේ ම  වරදකරුවන් ට ද එක සේ බලපවත්වයි. 

මේ නිසා ලෝකය  පුරා ම මරණ දඬුවම තහනම් කිරීම සඳහා ඒක රාශි වන ලෙස සුසිත් ඇති සියලු ජනතාව ගෙන් මම ඉල්ලා සිටිමි. 

මානව පුද්ගලයා ගේ ගරුත්වයට පහර දෙන මරණීය දණ්ඩනය සෑම රටක ම නීත්‍යනුකුල ලෙස තහනම් කරන ලෙස අපි දෙවිඳුන් යදිමු." 

සබැඳි තවත් ලිපි 



Comments

  1. Dear Saman kapila wijesuriya... congratulations for the wonderful piece of work... God bless

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය