"අපරාධකාරයන්ටත් සිය ජීවිතය සඳහා අයිතියක් තිබේ..." දයාවේ වසර තුළ මරණ දඬුවම ක්‍රියාත්මක නොකරන ලෙස කතෝලික නායකයන්ගෙන් සුදොතුම් පියතුමා ඉල්ලයි

 "Criminals too have the right to life"


(2016 පෙබරවාරි 22)

මරණ දඬුවම මුළුමනින් ම අහෝසි කිරීමට ලොව පුරා කිතුනුවන් එක්ව ක්‍රියා කල යුතු යැයි සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ කියා සිටිති. උන්වහන්සේ තවදුරටත් කියා සිටියේ බන්ධනාගාරවල තත්වය වැඩි දියුණු කිරීමට ද කිතුනුවන් ක්‍රියා කල යුතු බවයි. මෙම දයාවේ ජුබිලි වසරේ දී තම රටවල මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමෙන් වළකින්නැයි උන්වහන්සේ ලොව පුරා කතෝලික දේශපාලන නායකයන් ගෙන් ඉල්ලීමක් ද කරති.

සුදොතුම් පියතුමා මෙම ඉල්ලීම කලේ තුන්කාල ආරාධනා යැදුමට සහභාගී වීම සඳහා ඊයේ (2016 පෙබරවාරි 21 ඉරිදා) දහවල් වතිකානයේ සාන්ත පීතර චතුරශ්‍රයට රැස්වූ වන්දනාකරුවන්  අමතමිනි.

තුන්කාල ආරාධනා යැදුමෙන් පසුව වන්දනාකරුවන් ඇමතූ පාප් වහන්සේ කියා සිටියේ මරණ දඬුවම අහෝසි කිරීමට පමණක් නොව සිරගෙවල තත්වය වැඩි දියුණු කිරීමටද කිතුනුවන් ක්‍රියා කල යුතු බවයි. මෙය සිරකරුවන් ගේ මානව ගරුත්වය ආරක්ෂා කරන පියවරක් බව එතුමා පෙන්වා දුන්නේ ය.

"මරණ දඬුවම අහෝසි කිරීමේ අන්තර් ජාතික සම්මුතියට එක් වන්නැයි හර්දය සාක්ෂියක් සහිත සියලු ආණ්ඩු නායකයන්ගෙන් මම ඉල්ලා සිටිමි. එසේම මෙම දයාවේ ජුබිලි වසරේ දී ඔබගේ රටවල මරණ දඬුවම ක්‍රියාත්මක නොකරන්නැයි සියලුම කතෝලික ආණ්ඩු හා රාජ්‍ය නායකයන්ගෙන් මම ඉල්ලා සිටිමි. මෙය ධෛර්යසම්පන්න, එඩිතර හා ආදර්ශවත් ක්‍රියාවක් ලෙස පෙනෙනු ඇතැයි "යි එතුමාසඳහන් කලේ ය.

මරණ දඬුවම  අහෝසි කිරීමේ ජාත්‍යන්තර සම්මුතියක් ඇති කිරීම අරමුණු කරගත් සම්මන්ත්‍රණයක් පෙබරවාරි 22 අඟහරුවාදා රෝමයේ දී ඇරඹේ. වතිකානය ඊට අනුග්‍රහය දක්වයි. මරණීය දණ්ඩනය අහෝසි කිරීමේ ප්‍රයත්න ශක්තිමත් කිරීමට මෙම සම්මන්ත්‍රණයට සහභාගීවන්නන්ට හැකියාව ලැබේවා යි පාප් වහන්සේ ප්‍රර්ථනා කළහ.

"'ජීවිතය විනාශ නොකරව' යන දේව පනතට පරම වටිනාකමක් තිබේ.  නිර්දෝෂී පුද්ගලයන්ට සේ ම වරදකරුවන්ටත් එය අදාළ වේ. ජීවිතය දෙවියන් වහන්සේ ගේ තිළිණයකි. එබැවින් අපරාධ කරුවන්ට ද සිය ජීවිතය සඳහා අනුල්ලංඝනීය අයිතිවාසිකමක් තිබේ" යැයි සුදොතුම් පියතුමා අවධාරණය කළේය.

අපරාධකරුවන් යළි සාමාන්‍ය සිවිල් ජීවිතයට අන්තර් ග්‍රහණය කර ගැනීම සඳහා දණ්ඩ නීති ක්‍රමයේ ප්‍රතිපාදන විවෘතව තැබිය යුතු බව ද එතුමා පෙන්වා දුන්නේ ය.

මෙය ප්‍රැන්සිස් පාප් වහන්සේ මරණ දඬුවම අහෝසි කරන ලෙස ඉල්ලු තෙවන වතාවයි. මීට කලින් එතුමන් මෙම ඉල්ලීම කල අවසන් වතාව ඉකුත් වසරේ සැප්තැම්බර මාසයේ අමෙර්කාවේ කොන්ග්‍රෙස් මණ්ඩලය ඇමැතූ අවස්ථාවයි.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය