ආගමික ත්‍රස්තවාදයට එරෙහිව කටයුතු කිරීමට වතිකානය සහ සුන්නි මුස්ලිම් නායකත්වය එක්වෙයි

Vatican and Al-Azhar Grand Mosque join hands to counter religious justification of violence 

අල් ටායෙබ් ඉමාම් තුමා වතිකානයේ දී සුදොතුම් පියතුමා මුණගැසුණු අවස්ථාව

(2017 පෙබරවාරි 21)
ප්‍රචණ්ඩ ක්‍රියා යුක්තිසහගත කිරීම සඳහා දෙවියන් වහන්සේ ගේ ශ්‍රී නාමය යොදා ගන්නා ආගමික අන්තවාදයට විරුද්ධව එකාබද්ධව කටයුතු කිරීමට ශුද්ධාසනය (වතිකානය) සහ සුන්නි ඉස්ලාම් නායකත්වය සුදානම් වෙයි. මේ සඳහා වතිකානය සමග අත්වැල් බැඳගැනීමට සැරැසෙන්නේ සුන්නි ඉස්ලාමයේ ඉහළම අධිකාරියක් ලෙස ලොව පුරා එම ආගමික බැතිමතුන් පිළිගන්නා ඊජිප්තුවේ අල් -අෂර් අග්‍ර දේවස්ථානය හා සබැඳි අල්-අෂර් විශ්ව විද්‍යාලයයි.

මේ අරමුණෙන් පැවැත්වෙන විශේෂ සම්මන්ත්‍රනයකට සහභාගී වීම සඳහා අන්තර් සාමයික සංවාදය සඳහා වන ශුද්ධාසන මන්ත්‍රණ සභාවේ සභාපති අති උතුම් ජන්-ලුයී  ටෝරන් හිමි ඊජිප්තුව බලා පිටත් වීමට නියමිත බව වතිකානය අද (පෙබරවාරි 21) නිකුත් කල නිවේදනයක සඳහන් වේ. මෙම මන්ත්‍රණ සභාවේ ලේකම් මිගෙල් අයුසෝ ගුයික්සෝ රදගුරු තුමන් සහ එහි ඉස්ලාම් දහම පිලිබඳ කාර්යාලයේ ප්‍රධානී ඛලෙඩ් අකාෂේ මාහිමිපාණෝ  ද ඊජිප්තුවේ වතිකාන තානාපති අගරදගුරු තුමා ද මෙම සම්මන්ත්‍රණයට එක්වන ඉහල පෙලේ වතිකාන නියෝජිත කණ්ඩායමට ඇතුලත් වෙති. ඉස්ලාම් දහම වෙනුවෙන් මෙම විශ්ව විද්‍යාලයේ කුලපති වරයා සේ ම ඊට අනුබද්ධ අග්‍ර දේවස්ථානයේ ප්‍රධානි අහ්මඩ් අල් ටායෙබ් ඉමාම් තුමා ඇතුළු නියෝජිත පිරිසක් ඊට එක වීමට නියමිතයි.

සම්මන්ත්‍රණයේ තේමාව "අන්තවාදය, ධර්මෝන්මාදය (fanaticism), සහ ප්‍රචණ්ඩත්වයේ සංසිද්ධියට එරෙහිව ක්‍රියා කිරීමෙහි ලා අල්-අෂර් අල්-ෂරීෆ්හි  සහ වතිකානයේ භූමිකාව" යන්නයි. එය ආරම්භ වන්නේ පෙබරවාරි 24 වනදා සන්ධ්‍යාවේ යි.

පෙබරවාරි 24 දා සවස මෙම සම්මන්ත්‍රණය ආරම්භ කිරීමට ද  විශේෂ  හේතුවක් තිබේ. අල්-අෂර් අග්‍ර දේවස්ථානය සමග සංවාදයට මුල පිරූ ශු. දෙවැනි ජුවාම් පාවුළු පාප් වහන්සේ එම දේවස්ථානයට හා සරසවියට සැපත් වූයේ වසර 2000 පෙබරවාරි 24 දා සවස ය.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා යටතේ  වතිකානය සහ අල් අෂර් දේවස්ථානය අතර වර්ධනය වූ සම්බන්ධතාවල ප්‍රතිඵලයක් ලෙස අල් ටායෙබ් ඉමාම් තුමා ඉකුත් වසරේ මැයි 23වැනිදා වතිකානයට පැමිණියේ ය. සුදොතුම් පියතුමා සමග පැවැති සාකච්ඡාවෙන් පසුව ඉමාම් තුමා වතිකාන ගුවන් විදුලිය සමග සම්මුඛ සාකච්ඡාවකට ද එක්විය. එහිදී එතුමා අන්තවාදී ඉස්ලාම් පාර්ශව මගින් සිදුකෙරෙන ත්‍රස්තවාදී ක්‍රියා හෙලා දුටුවේය. එතුමා අවධාරණය කෙළේ මෙවැනි ත්‍රස්තවාදී ක්‍රියා ඉස්ලාමයට සම්බන්ධතාවක් නොමැති බවයි. "මුස්ලිම්වරුන් මරා දමන අයත් ඒ වගේම ක්‍රිස්තියානින් මරා දමන අයත් හිතාමතාම හෝ  නොසැලකිල්ලෙන් ඉස්ලාම් දහමේ ලියැවිලි වරදවා තේරුම් අරගෙන තිබෙනවා" යි එතුමා  කියා සිටියේය.

ඒ පිලිබඳ තොරතුරු මෙතනින් කියවන්න:
සුදොතුම් පියතුමා හා සුන්නි මුස්ලිම් ශ්‍රේෂ්ඨ ඉමාම් තුමා අතර තීරණාත්මක හමුවක්: " මේ හමුවීමමයි පණිවිඩය"

"ත්‍රස්තවාදය ලෝකයට ම තර්ජනයක්. ඉස්ලාම් දහමේ අපගමනයක්. එය තුරන් කිරීමට අත්වැල් බැඳ ගනිමු" ශ්‍රේෂ්ඨ ඉමාම් තුමා වතිකානයේ සිට කියයි

අල් ටායෙබ් ඉමාම් තුමා සැලකෙන්නේ සුන්නි ඉස්ලාම් පාර්ශවයේ ඉහලම බලපෑමක් සහිත නායකයකු ලෙසයි. එතුමා නායකත්වය දෙන අග්‍ර දේවස්ථානය එම පාර්ශවයේ ප්‍රධාන පල්ලියක් ලෙස ද විශ්ව විද්‍යාලය ප්‍රධාන චින්තන කේන්ද්‍රයක් ලෙස ද සැලකේ.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය