සුදොතුම් පියතුමා හා සුන්නි මුස්ලිම් ශ්‍රේෂ්ඨ ඉමාම් තුමා අතර තීරණාත්මක හමුවක්: " මේ හමුවීමමයි පණිවිඩය"

"The meeting is the message" Pope tells the Grand Imam of al-Azhar  


(2016 මැයි 23)
ගැටළු නිරාකරණයේ දී සාන්ත ප්‍රැන්සිස් අසීසි තුමා ඉගැන්වූ  සාමයේ, සංහිඳියාවේ හා සංවාදයේ  ජීවිත ක්‍රමය අනුගමනය කරන සුදොතුම් ප්‍රැන්සිස් පාප්වහන්සේ අද (2016 මැයි 23) තවත් සංහිඳියා ක්‍රියා මාර්ගයක වැදගත් කඩ ඉමකට පිවිසුනහ. එනම්, මුස්ලිම් ලෝකයේ ගෞරවයට පත් ප්‍රමුඛතම නායකයකු වතිකානයේ දී පිළිගෙන මුහුණට මුහුණ සාකච්ඡා කිරීමයි.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් මෙලෙස මුණගැසුනේ සුන්නි මුස්‌ලිම්  ලෝකය තුළ සුවිසල් බලපෑමක් කළ හැකි නායකයකු ලෙස සැලකෙන ඊජිප්තුවේ අල්-අෂර් විශ්ව විද්‍යාලයේ ප්‍රධානී, අහමඩ් එල්-ටයෙබ් ශ්‍රෙෂ්ඨ ඉමාම් තුමාවයි. පාප් වහන්සේ සාම්ප්‍රදායිකව විදේශීය ප්‍රභූන් පිළිගන්නේ  එතුමන් ගේ අධ්‍යයන කාමරයේ දිය. එම කාමරය වෙත ප්‍රවේශ වෙමින් සිටි  ශ්‍රෙෂ්ඨ ඉමාම් තුමා  වෙත ගිය සුදොතුම් පියතුමා "මෙම හමුවීමමයි පණිවිඩය " යයි කියමින් එතුමන් උණුසුම්ව පිළිගත් බව ලොව සියලුම ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන වාර්තා කරයි.

ඉස්ලාම් චින්තනයේ හා ඉගැන්වීමේ මූලස්ථානයක් ලෙස ප්‍රකට අල්-අෂර් සරසවිය හා වතිකානය අතර නිල සංවාදය ආරම්භවුයේ 1998 දී ය. 2009 දී තරමක් ඉරිතලා ගිය එම සංවාදය 2011 දී මුළුමනින් ම බිඳ වැටුනේය. 2011න් පසුව අල්-අෂර් හි ශ්‍රේෂ්ඨ ඉමාම් තුමකු හා පාප් වහන්සේ නමක් අතර සිදුවූ ප්‍රථම හමුව මෙයයි.

මෙම හමුව සිදුවූයේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් විසින් ක්‍රියාත්මක කරන ලද රාජ්‍යතාන්ත්‍රික දූත මෙහෙවරක ප්‍රතිඵලයක් ලෙසයි. වතිකානයේ සමයාන්තර සංවාදය පිලිබඳ ශුද්ධාසන මන්ත්‍රණ සභාවේ ලේකම් මිගෙල් අයුසෝ ගියුක්සෝ රදගුරු හිමි වැදගත් ලියුමක් ද රැගෙන ඉකුත් පෙබරවාරි මාසයේ කයිරෝ නුවරට ගියේය. එම ලියුමට අත්සන් තබා තිබුණේ මන්ත්‍රණ සභාවේ සභාපති ජාන් ලුයී ටෝරන් කාදිනල් හිමිපාණෝ ය. වතිකානයට පැමිණ පාප් වහන්සේ මුණගැසෙන්නැයි එම ලියුම මගින් ශ්‍රෙෂ්ඨ ඉමාම් තුමාට ආරාධනා කර තිබිණි. මෙය එම ආරාධනයේ ප්‍රතිඵලයකි. (මේ පිළිබඳව 'වතිකාන සුළඟ' එදා වාර්තා කළේය. එය මෙම දිගුව ක්ලික් කිරීමෙන් කියවන්න.
සුදොතුම් පියතුමා ඉස්ලාම් දහම සමග බහුවිධ සංවාදයක් ඇරඹීමේ වෑයමක: ආරම්භය ඊජිප්තුවෙන්?      )

වතිකානයට පැමිණි අල්-ටයෙබ් ශ්‍රෙෂ්ඨ ඉමාම් තුමන් මුලින්ම පිළිගන්නා ලද්දේ කාදිනල් ටෝරන් හිමිපාණන් සහ අයුසෝ රදගුරු තුමන් විසිනි. සුහද සාකච්ඡාවකින් පසුව ඔවුන්  එතුමා කැටුව පාප් වහන්සේ හමුවීමට ගිය බව වතිකාන වාර්තා ප්‍රකාශ කරයි.

පාප් වහන්සේ සාම්ප්‍රදායිකව රාජ්‍ය අමුත්තන් මුණගැසෙන්නේ තම අධ්‍යයන මේසයේ මුහුණට මුහුණ වාඩිවී සිටිමිනි. එහෙත් මේ මොහොතේ දී සිය අසුන එම මේසයේ ඇලයට තබා ගත්  එතුමා ඉමාම් තුමන් තමාට සමීපව මේසයේ පැත්තෙන් වාඩි  කරගත්තේ ය.


ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සහ අහමඩ් අල් -ටයෙබ් ශ්‍රෙෂ්ඨ ඉමාම් තුමන් අතර පෞද්ගලික සාකච්ඡාව පැය බාගයක පමණ කාලයක් පැවැති බව වතිකාන ප්‍රකාශක ෆෙඩරිකෝ ලොම්බාඩි පියතුමා කියයි. "කතෝලික සභාව සහ ඉස්ලාම් දහම අතර සංවාදයේ සන්දර්භය තුළ මෙම හමුවේ ඇති ඉහල වැදගත්කම" පිළිබඳව ද මෙහි දී අදහස් හුවමාරු කරගන්නා ලද බව එතුමා සඳහන් කළේය.

"එතුමන් දෙනම  ඉන්පසුව අවධානය යොමු කලේ ලෝකය තුළ සාමය ඇති කිරීමෙහි ලා මෙම ශ්‍රෙෂ්ඨ ආගම්වල නායකයන් සහ අනුගාමිකයන් තුළ තිබිය යුතු පොදු කැපවීම පිළිබඳවයි. එසේම, ප්‍රචණ්ඩ ක්‍රියා සහ ත්‍රස්තවාදය ප්‍රතික්ෂේප කිරීම, මැදපෙරදිග පවතින ගැටුම් සහ නොසන්සුන්තා හේතුවෙන් එම කලාපයේ කිතුනුවන් මුහුණ දී ඇති තත්වය හා එම ජනතාව ගේ ආරක්ෂාව යන කාරණා ගැන ද නායක දෙපොළ  අදහස් හුවමාරු කරගත්" බව  එම පියතුමා නිකුත් කල නිවේදනයේ සඳහන් වෙයි.

හමුව අවසානයේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අහමඩ් අල් - ටයෙබ් ශ්‍රෙෂ්ඨ ඉමාම් තුමන්ට සිහිවටන දෙකක් තිළිණ කළේය. ඉන් එකක් එතුමන් විසින් නිකුත් කරන ලද "Laudato Si" හෙවත් "වේ ප්‍රශංසා" පරිසර විශ්ව ලේඛනයේ පිටපතකි. දෙවැන්න සාමය සංකේතවත් කරන ඔලිව් ගසක කැටයමක් සහිත පදක්කමකි.

 "අල් - අෂර් හි ශ්‍රෙෂ්ඨ ඉමාම්" හෙවත් "අල් - අෂර් හි ශ්‍රෙෂ්ඨ ෂීක්" යන තනතුර සැලකෙන්නේ සුන්නි ඉස්ලාම් චින්තනයේ බලපෑම් කළහැකි තනතුරක් ලෙසයි. ලොව පුරා සුන්නි ඉස්ලාම් බැතිමත්තු කෝටි සංඛ්‍යාත පිරිසක් එම නායකයාගේ ඉගැන්වීම් අනුගමනය කරති.

සොළොස්වන බෙනඩික් සුදොතුම් පියතුමන් 2006 දී ජර්මනියේ රෙසෙන්ස්බර්ග් නුවර දී  කල ප්‍රකාශයක් නිසා වතිකානය හා අල් -අෂර් විශ්ව විද්‍යාලය අතර සම්බන්ධතා තරමක සීතල මුහුනුවරක් ගත්තේ ය. අල් -අෂර් ආයතනය හා මුස්ලිම් ජනතාව එම ප්‍රකාශය අර්ථ දැක්වූයේ ඉස්ලාම් දහම ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ කිරීමක් ලෙසයි. 2006 දී කොප්ටික් කිතුවන් පිරිසක් ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කිරීමේ සිද්ධියේ දී "මැදපෙරදිග කිතුවන් දැඩි පීඩනයකට ලක්ව ඇති" බව බෙනඩික් සුදොතුම් පියතුමා කියා සිටියේ ය. මෙම ප්‍රකාශය අර්ථ දක්වමින් අල් -අෂර් සරසවිය හා  මුස්ලිම් ලෝකය  කියා සිටියේ සුදොතුම් පියතුමන් යලිත් තම දහම අවමානයට ලක් කර ඇති බවයි. එම අධිකාරීන් හා සභාව අතර සංවාදය ඇනහිටියේ එහි ප්‍රතිඵලයක් ලෙසයි.

අල්-ටයෙබ් ශ්‍රේෂ්ඨ ඉමාම්තුමා පාප් වහන්සේ හමුවීමෙන් පසුව පැරීසිය බලා පිටත් වීමට සූදානමින් සිටියේ ය. එතුමන් එහි යන්නේ "පෙරදිග සහ අපරදිග: ශිෂ්ටාචාර අතර සංවාදය" නමැති ජාත්‍යන්තර සම්මන්ත්‍රණයට සහභාගී වීමටයි. මෙම සමුළුව ඒකාබද්ධව සංවිධාන කර තිබෙන්නේ අල් - අෂර් සරසවිය සහ සාන්ත එදිගියෝ කතෝලික හවුල විසිනි.



Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය