ලතින් ඇමෙරිකාවේ දිවැසිවර-ප්‍රාණපරිත්‍යාගී වරයා භාග්‍යවරයට! පාප් වහන්සේ ගේ නිල පිළිගැනීම නිකුත් වෙයි!

එල් සැල්වදෝරයේ සන්සල්වදෝර් පදවියේ (1980 දී ඝාතනයට ලක්වූ) ඔස්කා රොමෙරෝ අගරදගුරු හිමිපාණන් ප්‍රාණපරිත්‍යාගී වරයකු බව ප්‍රැන්සිස් පාප්වහන්සේ ඊයේ (2015 පෙබවාරි 3 දා) නිල වශයෙන් වතිකානයෙදී ප්‍රකාශයට පත් කළහ.  මේ අනුව එතුමන් භාග්‍යවරයට එසවීමේ දිනය ඉදිරි දින කීපය තුළ ප්‍රකාශයට පත් කෙරෙනු ඇත. 

රොමෙරෝ හිමිපාණන්ගේ ඝාතනය, කිතුනු විශ්වාස ධර්මයට අනුව, ප්‍රාණපරිත්‍යාගී වීමක් ලෙස පිළිගත හැකි බව ඉකුත් ජනවාරියේදී වතිකාන දේවධර්ම විශාරදයෝ   නිල වශයෙන් පාප් වහන්සේට දැනුම් දුන්හ.

මෙය සමස්ත ලතින් ඇමෙරිකාවටම ආනන්ද ජනක පුවතක් බවට පත්ව තිබේ. 

එකල පැවති එල්සැල්වදෝරයේ ඒකාධිපති රේජීමය එරට දුප්පතුන් පෙළමින්, මහජන මුදල් ගසාකමින්, ඊට එරෙහි වන ජනතාවත් ඔවුනට සහාය දෙන පුජකවරුනුත් මරා දමමින් කුරිරු පාලනයක් ගෙන යමින් තිබිණි. ඔස්කා රොමෙරෝ අගරදගුරු හිමිපාණෝ , සිය පුජක, නායක සහ දිවැසිවර යන තෙවදෑරුම් කරිස්මාවන් ජීවත් කරවමින් පාලක රෙජීමය හෙලා දුටහ. එම රෙජීමයට අභියෝග කළහ.  දුප්පත් පීඩිත ජනතාව සමග ජීවත් වෙමින්, ඔවුන් ශක්තිමත් කරමින් ඔවුන්ගේ අයිතිවාසිකම් ගැන හඬ නැගූහ. 

දිගින් දිගටම රොමෙරෝ හිමිපාණන් පීඩනයට ලක්කල දුෂිත පාලකයෝ,  අවසානයේ 1980 මාර්තු 24 දා, සිය  කුලී වෙඩික්කරුවකුගේ යොදවා  රොමෙරෝ හිමියන් ඝාතනයට ලක් කළහ. 

එහෙත්  උත්ථානය සැබෑවක් කරමින් එතුමා  තවමත් එල් සැල්වදෝර ජන හදවත් තුළ ජීවත් වෙයි. 

රොමෙරෝ හිමිපාණන් සිය දේශයේ මානව හිමිකම් අහිමි වූ ගොවි කම්කරු ජනයා වෙනුවෙන් නැගූ හඬ හා කල කැප කිරීම් හුදෙක් දේශපාලන සටනක් ලෙස අර්ථ දැක්වීමේ ව්‍යාපාරයක් එල් සැල්වදෝරයේ කතෝලික සභා නායකයන් විසින් ම දියත් කොට තිබිණ. මේ නිසා  එතුමනේ  ඝාතනය සිය  විශ්වාසයට සාක්ෂි දැරීමක් නොව හුදු  දේශපාලන ඝාතනයක් ලෙස ලුහු කිරීමේ ප්‍රබල ව්‍යාපාරයක් ද පැවතියේය. ඊට සහාය දෙන්නන් විසින් රොමෙරෝ හිමිපාණන් කොමියුනිස්ට් කාරයකු ලෙස අර්ථ දක්වා විවේචනය කරන ලියුම් දහස් ගණනක් රෝමයට ඒවා තිබු බවද වාර්තා වේ. මීට කලින් දෙවැනි ජුවාම් පාවුළු පාප් වහන්සේ ගේ ද සොළොස් වන බෙනඩික් පාප් වහන්සේ ගේ ද යුග වලදී රොමෙරෝ හිමිපාණන් ශුද්ධවරයට එසවීමට ගත් ප්‍රයත්න අඩාල  වූයේ මේ නිසාය. 

එහෙත් ලතින් අමෙරිකානුවකු ලෙස රොමෙරෝ අගරදගුරු හිමියන් ගැන හොඳින් දන සිටි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා එතුමන් ගේ භාග්‍යවරයේ ක්‍රියාවලිය යලි ආරම්භ කළේය. 

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය