රෝමයේ ගෙදරක් නැති ජනයාගේ ග්‍රීෂ්මය නිවන්න මුහුදේ 'ස්වීම්' එකක් සමග පීට්සා රෑ කෑම වේලක්: සුදොතුම් පියතුමා ගේ අනුග්‍රහයෙන්

A swim in the sea and a Pizza dinner: Another Papal gift to Rome's Homeless


ගෙදරක් නැති ජනයා සුදොතුම් පියතුමා හමු වූ මොහොතක් 



(2016 අගෝස්තු 17)
මුහුදේ 'ස්විම්' එකක් දාල, 'පීට්සා ඩිනර්' එකක් ලැබුනොත් කොහොමද? හිතන්න මුහුදු වෙරළට යන "ට්‍රිප්' එකේ ඔබව ගෙන යන වෑන් එකේ රියැදුරු  අගරදගුරු තුමෙක් කියල? හිතා ගන්නත් බැහැ නේද? ප්‍රැන්සිස් සුදොතුම්  පිය සමයේ රෝමයේ මේ කතාව දැන් ඇත්තටම සිදුවෙනවා. හැබැයි, කතන්දරේ හෙළිදරව් වුනේ මේ සිද්ධිය පටන් ගෙන හුඟ කලක් සිදු වුනාට පස්සේ ය.

මේ යුරෝපයේ ග්‍රීෂ්ම රිතුවයි. ඉතාලියේ ග්‍රීෂ්ම ඍතුව බොහෝ උණුසුම් ය. මේ නිසා බොහෝ ඉතාලි වාසීහු සිය නිවෙස්වලින් පිටමංව ටිකක් සිසිලස  ඇති පෙදෙස්වල චාරිකා කරති. ඔවුන් බොහෝ ප්‍රිය කරන්නේ මුහුදු වෙරලට ගොස් පීනන්නට ය.

එහෙත් ජීවත් වන්නට ගෙදරක් නැති, අතේ සතේ නැති රෝමයේ  "ගෙදරක් නැති" (Homeless) ප්‍රජාවට නම් මේ වාසනාව මෙතෙක් ලැබී  තිබුනේ නැත. කෙසේ නමුත්, ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ වසරේ ඔවුන්ට ඒ සඳහා අවස්ථාවක් උදා කරදී තිබේ. මේ අනුව රෝමයේ "ගෙදරක් නැති ජනතාවට"  මේ දිනවල මුහුදු වෙරළේ චාරිකාවකුත් එය අවසානයේ රසවත් "පීට්සා භෝජන සංග්‍රහයකුත්" ලැබේ.

එය සිදුවන්නේ මෙසේ ය.

ගෙදරක් නැති ප්‍රජාවේ 10 දෙනෙකු නංවා ගත්  වතිකානයේ වෑන් රථයක් සෑම  දිනෙකම රෝමයේ සිට කිලෝමීටර 30ක් පමණ ඈත පිහිටි මුහුදු වෙරලක් බලා පිටත් වෙයි. වාහනය පදවාගෙන යන්නේ ශුද්ධෝත්තම පියතුමා ගේ දයාවේ ආයතනයේ (පුණ්‍යායතනයේ ) ප්‍රධානි අති උතුම් කොන්රඩ් ක්‍රයෙව්ස්කි අගරදගුරු හිමිපාණෝය. මුහුදු වෙරළේ දී මේ සෑම කෙනෙකුටම පිහිනුම් ඇඳුමක් සහ තුවායක් ලැබේ. මුහුදේ නාන්නට ඔවුනට ප්‍රමාණවත් කාලයක් ලැබේ. මෙම කාලය  අවසානයේ මුහුදු වෙරළට යාබද නගරයේ පීට්සා ආපානශාලවකට යන මෙම පිරිසට පීට්සා රෑ කෑම වේලක් ලැබේ. මේ සියල්ල ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ කාරුණික අනුග්‍රහයෙනි.

මේ වන විටත් 100 දෙනෙකුට වැඩි පිරිසක් මෙම ග්‍රීෂ්ම චාරිකාව සඳහා රැගෙන ගොස් ඇතැයි සුදොතුම් පියතුමා වෙනුවෙන් එය සංවිධාන කරන අතර වාහනයේ රථාචාරියා  ලෙස ද සේවය කරන ක්‍රයෙව්ස්කි අගරදගුරු හිමි 'වටිකන් ඉන්සයිඩර්' පුවත් සේවයට කියා සිටියේ ය.

"මෙවැනි ක්‍රියාකාරකම් වලින් අපට ලෝකය ගලවා ගන්නට  බැහැ. මේවා කිරීමෙන් රෝමයේ ගෙවල් නැති ප්‍රජාව ගේ ප්‍රශ්න විසඳීමටවත්  අපට පුළුවන් වෙන්නේ නැහැ" ක්‍රයෙව්ස්කි අගරදගුරු හිමි මෙහි අරමුණ විස්තර කරමින් කියා සිටියේ ය. "එහෙත් ඇත්ත වශයෙන් ම අපට ඔවුන් ගේ (නිවාස නැති ජනයා ගේ ) ගරුත්වය මඳක් හෝ ඉහළ නංවන්නට පුළුවන්." එතුමා කීවේය.

"මන්ද අවශ්‍යතාවලින් පෙලෙන අපේ මේ සහෝදරවරුන් ගත කරන්නේ අනාරක්ෂිතතා වලින් පිරුණු  ජීවිතයක්. මේ නිසා මෙවැනි අවස්ථා ඔවුන් ගේ මතකයේ රැඳෙන සිද්ධීන්. මෙවැනි අවස්ථාවලට සහභාගී වෙද්දී ඔවුනටත් සෙසු අයට වගේ ම සතුටේ උද්දාමයේ ඇතිවෙනවා..." අගරදගුරු තුමා පෙන්වා දුන්නේ ය.

ප්‍රැන්සිස් පාප් වහන්සේ රෝමයේ ගෙදරක් නැති ප්‍රජාව ගේ මානව ගරුත්වය නංවාලීම සඳහා වැඩසටහන් රැසක් ඇති කිරීමට මූලිකත්වය ගත්තේ ය. නාන ශාලාවක්, බාබර් සාප්පුවක් හා නිදන ශාලාවක් ඇති කිරීම ඉන් සමහරකි. ගිය වසර අවසානයේ  ඔවුනට වතිකාන කෞතුකාගාරයේ චාරිකාවක්  ද ලැබිණි.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය